Monday, March 15, 2010

Peace Brother.... Hippie movement


Some where ages and ages hence,
two roads diverged in woods...
I took the road less traveled by,
and that has made all the difference...


Robert frost
(the Road not taken - 1916)


මට නිවැරදි දේ ඔබටත් නිවැරදි වෙන්නම ඕනද? ඔබ නිවැරදියි කියා සිතනා දේ මට නිවැරදි නැත්නම් මම අසම්මතද? එහෙමනම් ඔබ සිතන ආකාරය වෙනස් කරගත් දවසට මම සිතන පතන අසම්මත ආකාරය සම්මතය බවට පත් වේවි... හැමදෙයක්ම සාපේක්ෂ ලෝකයක සම්මතයත් අසම්මතයත් පමණක් නිරපේක්ෂ වන්නට ඉඩක් නැහැ... වැදගත් වන්නේ වෙනස්කම් කොයි ආකාරයෙන් පැවතුනත් ඔබට තවත් මනුෂ්‍යයෙක්ව ඒ ආකාරයෙන්ම පිළිගන්නට හැකි ලෝකයක් පමණයි... මේ අනාගත ප්‍රාර්ථනා ලෝකය... හිපි චින්තනය අපේක්ෂාවෙන් සිටින ලෝකය...

හිපියෙක් කියන්නේ කවුද? මොනවගේ කෙනෙක්ද? කෙනෙක්ට කියන්න පුළුවන් අඳින පළඳින ආකාරයට, ජීවන රටාවට අනුව හිපියෙක් හඳුනාගන්න පුළුවන් කියලා... තවත් කෙනෙක් කියයි Hippie සාමාජිකයෙක් නැත්නම් පොදු ව්‍යවහාරයේ විදියට "හිපියෙක්" කියලා හඳුන්වන්න පුළුවන් වෙන්නේ පවතින ක්‍රමයට පටහැණි අසම්මතවාදියෙක් කියලා... ශබ්දකෝෂය, hippie කියන පදය අර්ථ දක්වයි පවතින සමාජ ප්‍රමිතීන්ට නොගැළපෙන ස්වාධීන සහ අසම්මත ජීවන රටාවන් අනුගමනය කරන්නන් ලෙසට... දැන් මේ අතූරින් නිවැරදි විග්‍රහය මොකක්ද?

ඒ නිවැරදි විග්‍රහය හොයාගන්න පහසුම ක්‍රමය තමයි Hippie චින්තනය ගැන කථා කිරීම. ඔබට හැකිනම් ඔනෑම සමාජයකට, ආගමකට, සංස්කෘතියකට අයත් මනුෂ‍්‍යයෙක්ව ඒ අයුරින්ම පිළිගන්නට... කුමන වෙනස්කම් නොගැළපීම් තිබුනත් ඒ හැම කෙනෙක්ම තවත් සහෝදර මනුෂ‍්‍යයෙක් බව පිළිගන්නට... සාමය සහ ආදරය, නිදහස් නිවහල් ලෝකයක් කරා වැටී ඇති මාවත බව පිළිගන්නට... මේ හැමදේටමත් වඩා ඔබට හැකිනම් නිදහස් මනුෂ‍්‍යයෙක් වන්නට... Hippie කෙනෙක් කියයි ඔබත් ආලෝකය කරා ලඟා වෙලා කියලා...                             

Hippie උප සංස්කෘතිය බිහි වුනේ 60 දශකයේ මුල් කාලයේදී, එක්සත් ජනපදයෙන්... ඒ තරුණ ව්‍යාපාරයක් ලෙසට...එතැන් සිට Hippie දහම වේගයෙන් ලෝකය පුරාම ව්‍යාප්ත වුනා.පවතින සමාජ සම්මතයන්ගෙන් එල්ලවුනු පීඩනයට ප්‍රතික්‍රියාවක් ලෙසට ගොඩනැඟුනු hippie චින්තනය තමන්ගේම ප්‍රජාවක් වේගයෙන් නිර්මාණය කරගත්තා. ඔවුන් Rock සංගීතය විශේෂයෙන්ම psychedelic rock වලට ඉමහත් ලැදියාවක් දැක්වූවා. සමාජයේ බොහෝ පැතිකඩයන් වෙනස් විය යුතු බවක් යෝජනා කලා. වෙසෙසින්ම චින්තන විප්ලවයක් සහ ලිංගිකත්වය ඇතුළු බොහෝදේ වෙනසකට බඳුන් කරවන සමාජමය විප්ලවයක් බලාපොරොත්තු වුනා. Cannabis, LSD වැනි මත්ද්‍රව්‍ය භාවිතා කරමින් විඥානයේ විවිධ තලයන් ගවේෂණය කරන්නට උත්සාහ දැරුවා...

Hippie සංස්කෘතිය පැතිර ගියේ 60 දශකයේ කියා පැවසුනත් න්‍යායිකව සලකා බලන විට නම් hippie ජීවන රටා සහ ඉගැන්වීම් අතීත ග්‍රීසිය දක්වා පැතිර යනවා. අතීත ග්‍රීසියේ සිටි "සිනික්" දාර්ශනිකයන්, විශේෂයෙන්ම ඩයොජිනීස් ගේ ජීවන රටාව සහ මතවාදයන්, හිපි ජීවන රටාව සහ මතවාදයන්ටට සමානකමක් දැක්වූවා. එමෙන්ම හිපි දර්ශනය සඳහා කලින් කලට ලොව පහළවුනු ශාස්තෲවරයන්ගේ සහ යුග පුරුෂයන්ගේ, වෙසෙසින්ම බුදුරජාණන් වහන්සේගේ සහ ජේසු ක්‍රිස්තු තුමන්ගේ ඉගැන්වීම් සහ දර්ශනයන්ද, එමෙන්ම මහත්මා ගාන්ධි, Hillel the elder, St.Francis of Assisi සහ Henry David Thoreau ගේ මතවාදයන්ද බෙහෙවින්ම බලපෑවා.

1960 දී, hippie සංස්කෘතියට අයත් තරුණ තරුණියන් හිපි පරපුරේ ආරම්භය සනිටුහන් කරන අතරම ඊට කාලයකට පෙර ජර්මනියේද hippie ව්‍යාපාරයට සමාන තරුණ ව්‍යාපාරයක් පැනනැග්ගා. "Der Wandervogal" නැතිනම් 'සංක්‍රමණික කුරුල්ලන්" ලෙස තමන්ව හඳුන්වා ගත් මොවුන් ජර්මානු ජන සංගීතය, නිර්මාණාත්මක විලාසිතා මෙන්ම ෆෙඩ්‍රික් නීට්ෂේ, හර්මන් හෙස, ගොතේ වැනි ජර්මානු මහා දාර්ශනිකයන්, කවීන් සහ ලේඛකයන්ගේ අදහස් සහ චින්තන ධාරාවන් තමන්ගේ ජීවන රටාවන් සහ දෘෂ්ටි වාදයන්ට පදනම් කරගත්තා. පසු කාලීනව මොවුන් එක්සත් ජනපදයට සංක්‍රමණය වන විට එක්සත් ජනපදයේ hippie ව්‍යාපාරය ඇරඹී තිබුනු අතර එය මොවුන් වෙතින් ජර්මානු Wandervogal ලක්ෂණද ලබාගන්නට සමත් වුනා...

hippie ව්‍යාපාරයට මුල් කාලයේ සිටි අනුගාමිකයන් වූයේ වයස අවුරුදු 15 ත් 25 ත් අතර තරුණ පිරිසයි. ඔවුන් සාම්ප්‍රදායික විවාහය වැනි ඇතුළු ස්ථාපිතයන්ට, පුහු මධ්‍යම පාංතික අගයන්ට, න්‍යෂ්ටික ආයුධ වලට සහ එකල වියට්නාම් යුද්ධයට දැඩි ලෙස විරෝධය දැක්වුවා. එසේම පසුකාලීනව පැන නැඟුනු නව වාමාංශික ව්‍යාපාරය සහ මානව හිමිකම් ව්‍යාපාරය, hippie සංස්කෘතියට නව ශක්තියක් එකතු කළා. මෙසේ ලෝකය පුරා ව්‍යාප්ත වන්නට මං පාදාගත් hippie ව්‍යාපාරය, "සාමය සහ ආදරය" තේමා කරගනිමින් නව ලෝකයක් කරා පෙර ගමන් ඇරඹුවා...

හිපි චින්තනයේ න්‍යෂ්ටිය ලෙස සැලකිය හැක්කේ ස්වභාව ධර්මයයි. හිපිවරුන් තමන්ගේ ජීවන රටාව හැඩගස්වා ගත්තේත් මිනිස් අත්වලින් සෑදුනු නීති පද්ධතීන්ට අනුකූලව නොව ස්වභාව ධර්මය විසින් නිර්මිත රීති පද්ධතීන්ට අනුකූලවයි. සමාජය විසින් නියම කර තිබූ තහනම් කලාප සම්පූර්ණයෙන්ම නොසලකා හැරි හිපිවරුන් ජීවිතයේ අර්ථය සොයා යෑම සඳහා තමන්ගේම මාර්ගයක් ඔස්සේ ගමන් කරන්නට හැමවිටම උත්සාහ කලා. වෙනත් ලෙසකට කියනවා නම් පුද්ගල නිදහස සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කලා. කෙසේ වුවත් hippie චින්තනය අවධාරණය කරනු ලැබුවේ සමාජයේ කිසිමාකාර දෙයක් කඩාබිඳ දමා සකස් කිරීමක් නොව තමන් විසින්ම තමන්ගේ මාර්ගය අවබෝධ කරගනිමින් පුහු සමාජ හරයන් ඉවත ලෑමයි. මෙය එතෙක් පැවති යුරෝපීය ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වුනා...

"ඔබට සැබවින්ම වෙනසක් අවශ්‍ය නම් ඔබ කලයුත්තේ අනෙකාව වෙනස් කිරිමට උත්සාහ කිරීම නොව ඔබ තුළින්ම ඒ වෙනස ඇතිකර ගැනීමයි. මහා අනෙකාව හැසිරවීමට බලය යෙදීමම hippie දර්ශනයට පටහැණි වෙනවා. මෙසේ ඔබගේ චින්තනය නිදහස් වන විට ඔබ මෙන්ම නිදහස් සිතුම් පැතුම් ඇති තවත් මනුෂ්‍යයන් ඔබ වටා ඒකරාශී වනු ඇති. මෙසේ පරම්පරා ගණනාවකට පසුව හෝ සම්මත සමාජ ප්‍රමිතීන්ට අනුගත නොකළ හැකි විශේෂ වටිනාකම් ඇති සහෝදරත්වයෙන් එකට වෙලුනු මිනිස් ප්‍රජාවක් බිහිවනු ඇති..."

හිපි ව්‍යාපාරය ඇරඹුනේද මෙලෙසින්ම වේ...

hippie සංස්කෘතිය තුළින් මෙන්ම ඊට පෙර සහ පසු ඇතිවූ උප සංස්කෘතීන් තුළින්ද "සාම්ප්‍රදායික විවාහය" වැනි සමාජ සංස්ථාවන්ට දැඩි නොකැමැත්තක් පිළිබිඹු වුනා. මෙවැනි සාම්ප්‍රදායික ආයතනයක පවතින කුහකත්වය තරයේ ප්‍රතික්ෂේප කල හිපි වරුන් සමාජ සම්මත සදාචාර නීති නැවත සකස් විය යුතු යැයි යෝජනා කළා. තරුණ තරුණියන් එක්ව වාසය කිරීමත් (Living together) එක්ව ගමන් බිමන් යාමත් අනුමත කල හිපිවරුන් කියා සිටියේ නීති රීති වලින් බැඳුනු, ආදරයට වඩා අවශ්‍යතාවයට මූලිකස්ථානය ලැබෙන "සාම්ප්‍රදායික විවාහය" යල් පිනූ එකක් බවයි. එසේම හිපිවරුන් සමලිංගිකයන් හට සමාජයේ පැනනැඟී තිබූ විරෝධාකල්පයන්ට ද ප්‍රතික්‍රියා දැක්වුවා. ඔවුන් කියා සිටියේ සමලිංගිකයන්ද මෙලොව ජීවත් වන අනෙක් සියළු දෙනා මෙන්ම සම අයිතිවාසිකම් ලැබිය යුතු, ප්‍රතික්ෂේප නොවී සිටීමට අයිතියක් ඇති සමාජ කොටසක් යනුවෙන්. එසේම හිපිවරුන්, ලිංගිකත්වය සම්බන්ධයෙන් සියළුම ආකාරවල ආගමික සහ සමාජයීය ඇඟිලි ගැසීම් පිළිකෙව් කලා. මේ නිසාම විය යුතු පරිද්දෙන්ම සාම්ප්‍රදායික සමාජයෙන් hippie සංස්කෘතිය කෙරෙහි සුවිශාල විරෝධයක් එල්ල වුනු අතරම හිපියන් යනු "පාදඩ සහ අවලම්" කොටසක් ලෙස පහර එල්ල වුනා...

hippie විලාසිතාවන් ගැන කථා කරනවා නම්, hippie විලාසිතාවන්ගෙන් පිලිබිඹු වූ ප්‍රධානම කාරණය අක්‍රමවත් බවයි. එසේත් නැතිනම් "ඉබාගාතේ යන" ස්වාභාවයයි. මෙසේ හිපිවරුන් එකල සමාජයේ මුල්බැසගෙන තිබූ ඊනියා සුචරිතවාදයට සහ මනා පිළිවෙලට සිය නොකැමැත්ත පළ කර සිටියා. hippie සංස්කෘතිය මඟින් ප්‍රතික්ෂේප වන ස්ත්‍රී පුරුෂ පරතරය, hippie විලාසිතා මඟිනුත් ප්‍රතික්ෂේපිත වුනා. බොහෝවිට ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම කලිසම් හැඳි අතර දිගට කොණ්ඩය වැවීම හිපිවරුන්ටම අනන්‍ය විලාසිතාවක් ලෙස ජනප්‍රිය වුනා. හිපිවරුන් නිරුවත් දෙපයින්, කිසිම පාවහනකින් තොරව සිටි අතර සමහරුන් සරල පාවැසුම් භාවිතා කලා. හිපි තරුණියන් අත්‍යාවශ්‍ය මොහොතක හැරෙන්නට රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිතා කලේ නැහැ. යටි රැවුල් වැවීම හිපි තරුණයන්ගේ විලාසිතාවක් බවට පත්වන විට තරුණියන් තනපට භාවිතය අත්හැරියා...

මේ සියළුම hippie විලාසිතාවන්ගෙන් පැහැදිලිවම දැකිය හැකිවූ කරුණ වූයේ හිපිවරුන් විසිතුරු, කලාත්මක බවට ඇති කැමැත්ත සහ ස්වභාවධර්මයට ඇති දැඩි නැඹුරුවයි. ඔවුන් දීප්තිමත් වර්ණ ඇති නිර්මාණාත්මක හා අසාමාන්‍ය විලාසිතාවන් සහිත ඇඳුම් පැළඳුම් භාවිතා කල අතරම "Bell Bottom" කලිසම්, දිගු ඉන්දියානු මෝස්තරයේ කමිස සහ විශේෂයෙන්ම ඇමරිකානු, ලතින් ඇමරිකානු, ආසියානු සහ අප්‍රිකානු දේශයන්ට ආවේණික ඇඳුම් විලාසිතා hippie සමාජයේ ඉතා ජනප්‍රිය වුනා. එමෙන්ම විවිධ විසිතුරු සහ කලාත්මක පැළඳුම්, අත්වල බඳිනා පටි, මාල, කරාබු ආදියත් hippie විලාසිතා සම්පූර්ණ වීමට අවශ්‍ය අනිවාර්‍ය අංග වුනා...

hippie නිවාස, යානවාහන සහ අනෙකුත් දේවල් වලත් මේ කලාත්මක විසිතුරු බව සහ ස්වාභාව ධර්මයට ලංවීම පැහැදිලිවම දක්නට ලැබුනා. බොහෝ විට මේවා විසිතුරු වූයේ Psychedelic කලා නිර්මාණ වලට අනුකූලව. මෙහිදී මෙම විලාසිතාවන්, hippie සංස්කෘතියට, ඊට පෙර තිබූ Beat පරපුර, එසේම පසුව පැනනැඟුනු Punk ව්‍යාපාරය සහ අද පවතින තවත් බොහෝ උප සංස්කෘතීන්ගෙන් අනන්‍ය වන්නට පිටුබලයක් වුනා.

සංචාරය... hippie සංස්කෘතියේ තවත් මූලික අංගයක්. දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සංචාරය කිරීම හිපිවරුන්ට මිත්‍රත්වය වර්ධනය කරගැනීමට මහත් උපකාරයක් වුනා. හිපිවරුන්ගේ සරල ජීවන රටාවන් සමඟින්, ඔවුන්ට රට රටවල සංචාරය කිරීම තවදුරටත් වියදම් අධික හා සුඛෝපභෝගී දෙයක් වුනේ නැහැ. හිපි කණ්ඩායම් දේශීය වශයෙන් සංචාරය සඳහා hippie art වලින් විසිතුරු කළ පාසැල් බස් රථ සහ සංකේතාත්මක VW බස් රථ භාවිතා කළා. බොහෝ හිපිවරුන් පා ගමන් සහ පොදු ප්‍රවාහන මාධ්‍ය උපයෝගී කරගත්තා. ඒ ලාභදායි වීමත්, පරිසර හිතකාමී වීමත්, මිනිසුන් මුණගැසීමට වැඩි ඉඩක් ලැබීමත් යන කාරණා නිසා. සෑමවිටම හිපිවරුන් හට සංචාරයන් සඳහා ඉතා සුළු උපකරණ ප්‍රමාණයක් සහ අවම පහසුකම් ප්‍රමාණවත් වුනා. ඒ සංචාරයේදී පවා "සරලබව" හිපිවරුන් ප්‍රියකළ නිසා. අප සමාජයේ "හිපියන්" ලෙස බොහෝවිට හඳුනාගන්නේ මෙසේ අඩු වියදමකින් සංචාරය කරනා විදේශීය තරුණ තරුණියන්...

නියමාකාරයෙන් hippie සංස්කෘතිය පිලිබඳ නොදැනුවත්කම සහ මතුපිට පෙනුම ගැන පමණක් සැලකීම නිසා අප අතර සිටිනා හුදු අක්‍රමවත් හෝ නීති රීති ගරු නොකරන පුද්ගලයන්ට "හිපි" නාමය ආදේශ කිරීම බොහෝවිට අප සමාජයේ සිදුවන වරදක්. විශේෂයෙන්ම hippie සංස්කෘතිය වැළඳගැනීම සඳහා අවශ්‍ය වන්නේ hippie විලාසිතාවන් අනුගමනය කිරීම නොව hippie දර්ශනය අවබෝධ කරගැනීමත් නිදහස් චින්තනයකට හිමිකම් කීමත් වීම අනිවාර්‍ය දෙයක්...

cannabis හෝ LSD වැනි වෙනත් අධි චිත්තවේගී මත්ද්‍රව්‍ය භාවිතය මුල්කාලීන hippie ප්‍රජාව අතර දැඩිව දක්නට ලැබුනු දෙයක්. කෙසේ නමුත් මෙහිදී හිපි ප්‍රජාව තුළ psychedelic drugs නැතිනම් අධි චිත්තවේගී මත්ද්‍රව්‍යයන් භාවිතා වූයේ මිනිස් චිත්ත සන්තානයේ නොදු‍ටු ඉම් ගවේෂණය, ආධ්‍යාත්මික තලයන් සොයායෑම වැනි අරමුණු සමගිනුයි.

පරිසර හිතකාමී බව, එසේත් නැතිනම් ස්වභාව ධර්මයට ආදරය කිරීම hippie දර්ශනයේ තවත් ප්‍රබලව පෙනෙන ලක්ෂණයක්... "Health Foods" සංකල්පය හිපිවරුන් විසින් වර්ධනය කරනු ලැබුවා. "ක්ෂණික ආහාර පාන සහ කෘත්‍රිම ආහාර" පිළිකෙව් කල හිපිවරුන් තමන්ට අවශ්‍ය එළව්ළු සහ පලතුරු තමන් විසින්ම වගා කරගත්තා. එසේම පරිසර හිතකාමී නොවන සියළුම දෑ වලින් ඈත්වන්නට උත්සාහ කළා. පසුකාලීනව Gaia movement, green movement වැනි බොහෝ පරිසර හිතකාමී ව්‍යාපාර වලටද මෙම hippie සංකල්ප බලපෑවා...

නිදහස හැමවිටම පැමිණෙන්නේ තවත් වගකීම් රාශියක් සමඟින්. පවතින ක්‍රමය තුළ කැපකිරීම් නොකර නිදහස වෙනුවෙන් අරගල කිරීම අපහසු කාරණයක්. එහෙත් එය නොකළ හැක්කක්ද නොවෙයි. මේ නිදහස භාවිතා විය යුත්තේ ග්‍රහලෝකයේ සම්පත් නාස්තිය වළකන, තමන්ගේ සහෝදර මනුෂ්‍යයන් හා ආදරයෙන් හා සාමයෙන් ජීවත්වීමට හැකි මංපෙත් සෙවීම වෙනුවෙන්...

මේ, හැමදෙනාම ප්‍රාර්ථනා කරන ලෝකය නොවෙන්නට පිළිවන්. ඒත් මේ හිපි ව්‍යාපාරය වෙනුවෙන් කැපවූ සහෝදර සහෝදරියන් ප්‍රාර්ථනා කරන ලෝකය... ඔබත් මමත් ප්‍රාර්ථනා කරන ලෝකය... අනාගත අපේක්ෂා ලෝකය...

By Pathum Punchihewa

(Published on 'Go' mag, October 2009)

6 comments:

  1. අනේ මේ ප්‍රාරිථනා කරන ලෝකය උද වෙනව නම් කියා හිතෙනව මචන්. සමහර වෙලාවට අපි ඇත්තටම ඉපදිලා ඉන්නේ මොකටද කියන ගැටලුව අපේ සමහර අය කරන දේවල් දැක්කම හිතෙනවා.

    ඒත් "ඔබට සැබවින්ම වෙනසක් අවශ්‍ය නම් ඔබ කලයුත්තේ අනෙකාව වෙනස් කිරිමට උත්සාහ කිරීම නොව ඔබ තුළින්ම ඒ වෙනස ඇතිකර ගැනීමයි." කියන විශ්ව සාධාරණ සත්‍ය මත්තේ ජීවිතේ ගොඩනගන්න උත්සහ ගන්නවා නම් ඒක් කරන්න එතරම් අපහසු නැ කියලයි මට හිතෙන්නේ...!

    ජයෙන් ජය ම පතනවා උඹට..!

    ReplyDelete
  2. ඒක ඇත්ත සහෝදරයා... ඒත් අපි හැමෝම එකට එකතු වුනු දවසට ඒ ලස්සන ලෝකය ඉබේටම බිහිවේවි... ඒකට සමහර විට පරම්පරා ගණනාවක් ගතවේවි... ඒත් ලෝකයත් එක දවසින් බිහිවුනේ නැහැ...

    ReplyDelete
  3. https://mail.google.com/mail/?shva=1#label/Boondi/1277458b4412cce9

    ReplyDelete
  4. "ඔබට සැබවින්ම වෙනසක් අවශ්‍ය නම් ඔබ කලයුත්තේ අනෙකාව වෙනස් කිරිමට උත්සාහ කිරීම නොව ඔබ තුළින්ම ඒ වෙනස ඇතිකර ගැනීමයි."
    මේ ලෝකෙ මිනිස්සු තමන්ට අවශ්‍ය විදියට ස්වාධීනව ජීවත් වෙන දවසක ජීවත් වෙන්න මමත් ආසයි .. 'ලෝකය ගෝලාකාරයි, මිනිස්සු විවිධාකාරයි' කියන කෙනාම 'පුතා ඔයා මේ වගේ වෙන්න' කියල කියනකොට හිතෙනව ඒ කාලෙට තවත් දුරයි කියල

    ReplyDelete
  5. තව පරම්පරා සිය දහස් ගණනක් ගත වෙලා හරි මේ වගේ ලෝකයක් එන්න නම් එක වරම සම්ප්‍රදාය ප්‍රතික්ෂේප නොකර ටික ටික වෙනස් කරන්න වෙනවා. ඒ වෙනස ඇතුළෙ ඔයාගෙ පුතා කොහොම වෙතත් මුණුපුරෙක් හරි ඒ ලස්සන ලෝකයේ ආරම්භයෙන් ඩිංඟක් හරි විඳ ගනිවී.

    ඒක නෙවෙයි..

    කවමදාවත් හිතලා තියෙනවාද උඩට ඇදෙන ඉනිමගක් දිගේ ඉහළටම යන්න. ඉස්සල්ලාම ගෙදර වහලය.. උස පොල් ගස්.. කඳු වැටි ..මේ හැම එකම පහු කරගෙන උඩට යන්න. වලාකුළු වලිනුත් උඩට.. එහෙම ගිය දවසට ඔයාට හරිම ලොකු පුදුමයක් දැනේවී. ඔයා ආපු දුර ගැනත්.. මේ අපූරු චාරිකාව ගැනත්, ඒත් ටික වෙලාවකින් ඔයාටම එපා වේවි.. හාත් පස හිස්කම දැක්කාම...

    මං හිතන්නෙ නැහැ මේ තරම් හදිස්සියකදි එච්චර නිදහස් ලෝකයක් හදවතට දරන්න පුළුවන් කියලා.. හැබැයි මම හැමදාම කැමතියි හුදකලා දඩයක්කාරයාට.

    ReplyDelete
  6. lankave prayogikava hippie aya nadda? ehema tiyanavanam mamat ekatu venava.

    ReplyDelete