Thursday, March 18, 2010

කවියාගේ මළගම

මළානික දවුල් නද
ඈත ගුම් දෙනු ඇසේ
වැරහැල් ගොක්‍ රෑන්
මඟ දෑල මඳ සුළඟට වැනේ...
නිරුවත් දෙපතුලට
සීතල වැලිකැට පහස දැනෙයි
දයාබරය...
දනිමි මම,
ඔබ මා පසුපසින් එනබව...
ගමන් කළත් මා අවසානයට...
නැහැ කිසිම වෙනසක්
දුකක් සන්තාපයක්
මා ගැන කිසිවෙක් ශෝක කරනු කිම
අයිති නොවීමි සහෝදර ජනතාවට කවරදාකවත් මම
ඒත් ඔබට,
ඔබට මා වුවමනා බව දනිමි...
මෙන්න මම, මෙතැන සිටිමි...
දයාබර මරණය...

සිහින් වැහි පොද...
ඇද හැලේ එක දෙක...
අහසවත් හඬනවා වත්ද
මා වෙනුවෙන්...
නොදැනේ කාහටවත්
සිරිපොදක වගක්වත්...
දයාබර සොයුරනි...
ආදරය කරමි තවමත්
නොහෙළනු කඳුළු මා වෙනුවෙන්...
නොකීවෙම්ද නුඹලාට මම,
කවියාගේ ජීවිතයද මරණයම බව..
ඇවිද යමි...
ඇවිද යමි, නවා ගත් හිසින්, බරවූ හදින්...
නුඹලා පසුපසින්...
මගේම අවමඟුල් පෙරහැර සමඟින්...

අතර වටින් පියාපත් විදහාලයි...
අන්ධකාර රාත්‍රිය
නුඹත් මමත් විතරක්
මුහුණින් මුහුණ බලාගෙන,
මිනීවල දෙපස...
ආදරණීය මරණය...
මඳ සුළඟට වැනේ,
මළානික ඉටිපන්දම් දැල්ල...
ජීවිතය වගේමයි,
කියනු ඇත නුඹ...

දෑස් පියාගමි
නැවුම් පස් මතුපිට ඇදි  ඇදී යන
ඇඟිලි තුඩුවලට දැනේ 
තෙත පසේ මුදු මොළොක් පහස
ඇගේ මුදු දෙතොල් පහස වගේමයි...
හරියටම...
සිපගනිමි සිතින් තෙත්වූ ඈ දිගැස
දෑසට තෙත කඳුලු බින්දුවක් උනා එනු දැනේ...
අතීතය මිය ගිහින්
ඔබ මුමුණනු ඇසේ...
අසා සිටිමි නිහඬව, නිහඬවම...
නිශ්ෂබ්දතාවයේ දෝංකාරය...

ඔබගේ සීතල ස්පර්ශය මා කොපුළකට දැනේ.... ජීවිතයත්, මරණයත්, ඔබත් කවියක් වැනිම බව විශ්වාස කළෙමි, ආදරිය... හිනැහෙන්න හැමදාටම.... මා ලියූ කවි අතර...

ඉටිපන්දම නිවී ගොස්...
ඈතින් නැඟී එන හිරු රස් වැද
මිනීවල පුරා විසිරි මල්
රතුපාට... සුදුපාට...
පණගසන්නා සේ පෙනේ...
ඔබ හා මුහුණින් මුහුණ බලා සිටින
මා...
අමතක නොකරන බව දනිමි...
හැමදාටම... 
දයාර්දතම වූ මරණය........

5 comments:

  1. හරිම ලස්සනයි, මේක.

    ReplyDelete
  2. අමුතු හැගීමක අතරමං කරවන්න සමත් උනා මේ නිර්මාණය මාව. නියමයි යාලුවා.

    ReplyDelete
  3. ස්තුතියි Raven... මේක මම ඉතාම පොඩි කාලෙක, මීට අවුරුදු 12 විතර කලින් ලියැවිච්ච එකක්... ඒ එදා මේ කවි පද ලියැවෙන්න වස්තු බීජය වුනු ආකාරයෙම හැඟීමක් මට අත්විඳින්න වුනා ඊයේ... ඒ නිසයි මම මේ post එක දැම්මේ....

    Ansh, නංගි ඔයාට තේරෙනවනේ මම කියන දේ... කවියාට මරණය ජිවිතය තරමටම වටින්නේ කවියා ජීවිතේ අගය හොඳින්ම දන්න නිසා, මම වගේ, ඔය වගේ

    ReplyDelete
  4. ලෝකයක් බිය පත් වන මරණය කවියෙකු ගේ දෑසින් සොඳුරු සිතුවමක් වූ බව හැඟිනි.

    ReplyDelete
  5. පෑන තවමත් ඇත
    කැටි කරන් සායම්
    තව අලුත් කවියක්
    නොලිවිය හැකි පරිද්දෙන්

    මරණයත් මේ තරම්
    දයාබර වි නුඹට
    ජීවයත් එයම නම්
    ඇයිද මේ තව බොහෝ
    කවි ඉතිරි කර ගියේ..

    තුන් යාමයක කඳුළු
    තවරලා අකුරු උඩ..
    අපි තවම අඬනවා..
    මල් වඩම් තුරුළු කර..

    ReplyDelete