Tuesday, March 16, 2010

ප්‍රබන්ධ සාහිත්‍යය, රොමාන්තිකවාදය, සුරංගනා කථා සහ දඩෝරියා...!

    උණුසුම ඇති සැප පුටුවේ... දඩෝරියා නිදි කිරුවේ
       මැස්සෙක් හිඳ නාද කලා... දඩෝරියා අවදි කලා...
          කවුදැයි මේ ආ සතුරා... කියා පැනපි තදින් බුරා...
             මැස්සා ඒ බව නොතකා... දඩෝරියට වැහුණි යකා...
                මැස්සගෙ අමිහිරි නාදේ... නිසා බලනු සිදුවූ දේ...
                   පුටුවෙන් දුනු මතු වුනා... දඩෝරියා විසි වුනා...

    මේ රුසියන් චිත්‍ර කතන්දර පොතේ තිබුනු කවිපද කීපය මම කියෙව්වේ ඉස්කෝලේ යන්න පටන් ගන්නත් කලින්. එදා ඉඳන් කාලෙන් කාලෙට මේ කවිපද කීපය මගේ හිතේත්, මුවේත් රැඳිලා තිබුනා. මම සහතිකේටම දන්නවා මේ මම කියන රුසියන් චිත්‍ර කතන්දර එක්ක ආලයෙන් වෙලුනු එකම පොඩි එකා මම විතරක් නොවෙන බව. මොකක්ද මේවායේ තිබුනු මේ තරම් විශේෂත්වය? දඩෝරියාද?

    අද්භූතවාදය නැත්නම් රොමාන්තික වාදය කියන්නේ ප්‍රබන්ධ සාහිත්‍යයේ දෙවන පියවර.. ඊට කලින් එනවා සුරංගනා කථා, මිත්‍යා කථා, ජන කථා, දෘෂ්ඨාන්ත... ඒත් අමතක කරන්න එපා, සම්භාව්‍ය යතාර්ථවාදීන් තවමත් රොමාන්තික වාදයත් සුරංගනා කථා, දෘෂ්ඨාන්තයන්  ප්‍රතික්ෂේප කරනවා. ප්‍රබන්ධ සාහිත්‍යයේ ප්‍රකටවම පෙනෙන ලක්ෂණයක් වුනේ හොඳ- නරක... කළු-සුදු... වශයෙන් කැපී වෙනසක් දැකගත හැකි වීම. ඒ වගේම පැතළි චරිත කරලියට ගෙන ඒම. හොඳ නම් හොඳයි.... නරක නම් නරකයි... ඒ කියන්නේ හොඳ චොප්පෙ අයියා කෙනෙක් වත් නරක සිරිමත් කෙනෙක්වත් ප්‍රාථමික ප්‍රබන්ධ සාහිත්‍යයේ දී කවදාවත් අපිට මුණ ගැසෙන්නේ නැහැ. වීරයා හැමවිටම ඇවිත් දුෂ්ටයාව පරද්දනවා. හරියට දඩෝරියා වගේ. එතනදී වීරයා වෙන්නේ මැස්සා. ඒත් ඒ තර්කය හරිද? ඇත්තටම මැස්සාද වීරයා? ඇත්තටම නම් අපේ අනුකම්පාව හිමි වෙන්නේ දඩෝරියාට...

    මම එදත් අදත් අනුකම්පා කරන්නේ දඩෝරියාට. ඇයි, මට දැනුන දේ තමයි දඩෝරියා බොහොම අහිංසක විදියට නිදා ගෙන ඉන්නවා. මැස්සා ආක්‍රමණිකයා. අන්තිමට මැස්සා දඩෝරියාව පරාජය කරනවා. නැපෝලියන් බොනපාට් ටත් වඩා හොඳින් නවීන යුධෝපක්‍රම භාවිතා කරමින්. දැන් කියන්න එපා 'මැස්සෙක් ගිය දුර' කියලා... ඒ මැස්සගෙ හැටි...! එත් දඩෝරියා එක්ක පුද්ගලික කෝන්තර තියෙන කෙනෙක් මැස්සගේ පැත්ත ගනීවි..

    දැන් ආයෙමත් ප්‍රස්තුතයට ආවොත් අද අපේ රසවින්දනයන් එදාට වඩා සංකීර්ණයි. එහෙමනම් ඇයි අපි තාමත් මේ කවිපද කීපය රස විඳින්නේ? චිත්ත රූප මවා ගන්නේ? අතීත කාමයද? නැත්නම් අපේ ඇතුළේ නිදා ඉන්න පොඩි එකාගේ අවධි වීමද?

    වැඩක් නැතිව කම්මැලිකමින් ඉන්න වෙලාවට පරිණත විනෝදාස්වාද මාර්ග වලින් මිදිලා නිකමට වගේ ආයෙමත් පරණ පොත් අවුස්සලා අපේ ජන කථා පොත නැත්නම් රුසියන් සුරංගනා කථා ටිකක් කියවන්න. ලස්සන වසිලිස්සා...? නැත්නම් අන්දරේගේ කථා?

කිසිම දවසක සම්භාව්‍ය යථාර්ථවාදයට පුළුවන් වුනේත් නැහැ, පුළුවන් වෙන්නේත් නැහැ අත්භූතවාදයේ නැතිනම් රොමාන්තිකවාදයේ ඇති, ඉදිරි පරපුර අනාගතයට පුහුණු කිරීමේ ශක්‍යතාවය හඳුනා ගන්නට...

        


By Pathum Punchihewa


7 comments:

  1. එකඟයි..!
    ඒක වෙන්න ඇති අපි මූසිලගේ පරම්පරාවෙ මිනිස්සු විදියට හිතන්න පතන්න ගන්න ඇත්තේ..!

    ReplyDelete
  2. මටත් මචං ඔය ගැන ලොකු දාර්ශනික කියවීමක් නෑ ඒ වුනාට සම්භාව්‍ය සාහිත්‍යයේ තියෙන ලොකු අඩුපාඩුවක් වෙන්නෙ හැමදෙනාටම නොතේරෙන බව එ‍හෙමත් නැත්නම් තේරුම් ගන්න උත්සාහ නොකිරීම. එතන මම කියන්නේ සම්භාව්‍ය සාහිත්‍යයේ අසාර්ථකබවක් තියෙනවා. ඕක අපේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද...

    ReplyDelete
  3. ඔව් මම ඒ කථාවට එකඟයි.. ඒ වගේම තවත් දෙයක් තියෙනවා. අපි කියමු සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් කියලා. ඒකේ තේරුම් හොයන්න යන්න නරකයි... ඒකේ තියෙන හැඟීම් තේරුම් ගැනීමයි කළ යුත්තේ... එතනින් අර්ථය පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඒත් අවාසනාවකට පාසැලෙන් නම් ඕවා ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ...

    ReplyDelete
  4. අනිවා.. අනික ලංකාමේ readerly text කියන එක හරිම අඩුයි. වැදගත් වෙන්නෙ පාඨකයා ක්‍රියාකාරීව තැබීම. ලංකාවේ හුඟක් පොත් බනිස් ගෙඩියක් කෑව වගේ කියවලා ඉවර කරන්න පුළුවන්....

    ReplyDelete
  5. “පුටුවෙන් දුනු මතු වුනා... දඩෝරියා විසි වුනා...“
    අතීතය මතක් වුණා :)

    අදයි මේ ලිපිය දැක්කෙ. දරුවට පොත කියවලා දෙන්නෙ දෙමව්පියෝ. වැරදිකාරයා මැස්සාද, දඩෝරියාද? දරුවට මේ වෙලාවේ දෙමව්පියන් කියලා දෙන දෙය තමයි හිතේ පිහිටන්නේ.

    වීරයා-දුෂ්ටයා කතුවරයම වෙන් කරල දෙන පොත්ම කියවනකොට සම්භාව්‍ය කෘති කියවලා තේරුම්ගන්න එක අමාරුවෙනවා.
    කොමෙන්ටුවෙ මොනව ලියවුණාද මන්දා :)

    ReplyDelete
  6. අදයි, මල්ලියො මේ බ්ලොග් එක කියෙව්වෙ. බොහෝ විට දරුවන්ට විතරක් නෙවෙයි අපිටත් බොහෝ දේවල් ඉගැන්නුවෙ ඉතිහාසෙන් නිවැරදි අර්ථ කතනයක් එක්ක නෙවෙයි. ඔහේ පොත්වල තියෙනවට. විෂයමාල සංවර්ධනය කරන අයත් හරියට දන්නෙ නැහැ නෙව.

    ReplyDelete
  7. ඔහුට තිබුණා නිල් පාට , ප්‍රීතිමත්, සාන්ත , විශාල ඇස්. ශේන්යා දැක්කා ඔහුගෙ කළු ඉංගිරියා දෙකේ පෙනෙනවා තම කොණ්ඩ කරල් දෙක, දෙවුර සහ මුහුණ..මතක හැටියට ඔහුගෙ නම විත්යා.

    ලා නිල් පාට මල් පෙත්ත, කඩලා වීසි කරලා.. පතපු ලස්සනම පැතුම..

    මල් පෙත්තේ මල් පෙත්තේ
    උතුරු දෙසට දකුණු දෙසට
    බටහිරටත් - නැගෙනහිරට
    ඉගිල ඉගිල මෙහැම දෙසට
    කැරකීලා ඇවිත් බිමට
    ම කියන දෙය කරදෙන් මට..

    මම හැමදාමත් වැඩිපුරම කැමති ... හත් පෙති මලට!!! වසිලිස්සාටත් වඩා..

    ReplyDelete