Thursday, September 19, 2013

හිමාලයා ප්‍රයාණය




හිමාලයා චිත්‍රපටයේ සංගීතය චිත්ත සන්තානයේ ආකූල ව්‍යාකූලත්වයන් සමනය කරනා මන්ත්‍රයක් වැනිය. හිමාලයා චිත්‍රපටයත්, එහි සංගීතයත් මාගේ ජීවිතය හා බැ‍ඳෙන්නේ පර්යාවලෝකයන් කිහිපයක් හරහායි. 2004 වසරේදී මුල්වරට හිමාලයා නැරඹීමෙන්, දුෂ්කර එහෙත් සුන්දර නේපාලය හා බැඳුණු ආදරය අදටත් එසේම පවතී. කෙදිනක හෝ චෙන්නායි තොටින් ඉන්දියාවට ගොඩ බැස කාලයක් දේශයක් සම්බන්ධයෙන් සිත උමතුකර නොගනිමින් හයිද්‍රාබාදය හරහා විශාකාපට්නම්, ඉරවඩි, රතන්පූර් හරහා තාගෝරයන්ගේ කාව්‍යයන් තවමත් ‍රැව් දෙන බව සිතෙනා බෙංගාලයේ සැරිසරන්නටත්, එතැනින් දහසක් සංස්කෘතික වර්ණයන්ගෙන් ආඪ්‍යව ගංගා ගං ඉවුරු අසබඩ වැජඹෙන වරණාසියටත්, එතැනින් නේපාලයටත් චාරිකා කිරීම තවමත් මිය යාමට පෙර කළ යුතු වැඩ ලැයිස්තුවේ පවතී. ජීවිතයට මා ඇඳ බැඳ තබනා හුය පොට කිහිපයෙන් එකක් වැනි වූ ඒ සිහිනය කාලයෙන් කාලයට වර්ණවත්ව, ප්‍රබලව හිතට නැගෙන්නේ හෂිත අය්යා සමඟ කරනා නිමක් නැති සාකච්ඡා අතරිනුත්, මටත් නොදැනී හිතේ ඇසෙනා තරමට ඇඟට කා වැදී ඇති හිමාලයා සංගීතයත්, මගේ නේපාල මිතුරිය සවූර් ගංගා ගේ වර්ණනාවනුත් තුළින් බැව් නොඅනුමානයි.

නේපාලයේ මේ වනවිට හින්දු සමය පැතිරී තිබේ. ලොව පුරා හින්දු බැතිමතුන් තම ශුද්ධ වූ වන්දනා ගමනක අවසානය සේ ‍තෝරාගන්නා ශිව දෙවිට පිදූ පශුපතිනාත් කෝවිල කත්මණ්ඩු නුවර භගමතී නදී ඉවුරුබඩ පිහිටා තිබෙයි. කිරාති මුන්දුම්, ක්‍රිස්තියානිය සහ ජෛනාගමද සුළු වශයෙන් නේපාලයේ පැතිරී තිබුණත්, බුදුන් උපන් දේශය වූ නේපාලයේ ප්‍රධාන බෞද්ධ ධාරාවන් ත්‍රිත්වයක් තවමත් පවතියි. එය එසේ වුවත් නේපාලය සමගින් සෑමවිටම මහායානය සිතට එන්නේ හෂිත අය්යාගේ රසවතිය සටහන් කියැවීමෙන්දැයි නොදනිමි. හිමාලයා සංගීතය අසනා විටක වුවත්, හිමෙන් වැසුණු දුර්ගම හිමාලයානු කඳු ශිඛරයන් අතුරින් චෙන්රසී, මිලාරෙපා, කුවන් යින්, තාරා, ටන්කා මතුවී එයි. බෘයිනෝ කුලේ (Bruno Coulais) ගේ සංගීතය අතුරින් ඕම් මනි පද්මෙ හුම් මන්ත්‍රය සංගීතවත්ව ඇසෙයි. 

අත් සතරක් ඇති ෂඩක්ශාරී වෙස් ගත් අවලෝකිතේශ්වරයන්ගේ නාමය සමගින් කියැවෙන ඕම් මනි පද්මෙ හුම් සංස්කෘත මන්ත්‍රය ගැන මගේ හිතේ තිබූ බලවත් හැඟීම, දකුණතේ මැණික්ක‍ටුව අසල ඕම්කාරය සහ පද්ම මණ්ඩලය කැටයම් කිරීමෙන් පසුවවත් නැති නොවුණි.

ප්‍රඥා අධිගමය යනු තමන්ගේම සිතයි.
තමන්ගේ සිතේ ස්වභාවය වටහාගන්නවුන් එය දනියි.
තව දුරටත් එපිටින් සම්බෝධිය නොසොයන්න,
සැබවින්ම කියනවා නම් සම්බෝධිය සෙවීමෙන් ලැබ ගත නොහැකි වෙයි.
නුඹ, නුඹගේම සිත විමසා බලන්න,
ඒ ප්‍රගුණ කළ හැකි ඉහලම භාවනාවයි;
පරිසමාප්ත අවබෝධය ලබාගත් සිතක් වේ නම්,
සම්බෝධියට පත්වූ සැමගේ උපන් බිමද එයම වෙයි.

වජ්‍රධාර අධිගම ලද මිලාරෙපා එසේ පවසා සිටී. මගේ සිතේ මේ මොහොතේ ඇති ව්‍යාකූලත්වය මිලාරෙපා යුග ගණනාවකට පෙර සිට දක්නට ඇති සෙයකි. අජරාමර වීමේ රහස සොයා දේශ දේශාන්තරයන්ගේ ඇවිද ගිය ගල් වඳුරා, සුන් වුකොන්ග් මෙන් මමද හිමාලයා සංගීතය සමගින් විමුක්තිය සොයා ඉබාගාතේ මොහොතකට ඇවිද යමි.
ඒ පී ගුණරත්නයන් අතින් පරිවර්තනය වූ වානරයාගේ පුරාවෘත්තයේ හැටියට සිරිතල පර්වතයේදී වානර ට මුණ ගැසෙනා දුප්පත් දර කපන්නාගේ ගීතය මට සිහිපත් වෙයි.

උපා නොසොයමි, පියෝ නොයොදමි ලොවේ නිදි පැසසුම් සමයි
සැහැල්ලුයි දිවි සැහැල්ලුයි හද දුක් තැවුල් කිසිවක් නොවෙයි
හැමදෙනා මට හමුවෙනා මග නිවී සැනහී ගිය අයයි
නිසල සඟ ගණ, හසළ මුණි බණ මේ නිසා අජරාමරයි

හෂිත අය්යා දුන් "මීටින්ග් ද බුද්ධාස්" හි බුද්ධ චරිතය සම්බන්ධයෙන් එහි කතුවරයා, ‘වෙස්සන්තර ලියනා කෙටි සටහන් කිහිපය මගේ සිතේ ඇඳි ශාක්‍යමුණි සම්බන්ධයෙන් නැවත නැවතත් සනාථ කර සිටියි. තවත් මා වැනිම මිනිසෙකු වූ, පෙළහර නොපාන, අහසේ පළක් බැඳ භාවනා නොකළ, එහෙත් සම්බෝධිය සොයා සියල්ල අතැර දැමීමට තරම් ශ්‍රේෂ්ඨ වූ ශාක්‍යමුණීන්ද්‍රයන්, ඔහුගේ පියවර අනුගමනය කිරීමට මා පොළොඹවා සිටී. සුද්ධෝදනයන් විසින් සිද්ධාර්ථයන්ගෙන් ජීවිතයේ යථා ස්වභාවය වැසැංගීමට කටයුතු නොකලේ නම්, කෙදිනක හෝ අභිනිෂ්ක්‍රමණයක් සිදුවන්නට ඉඩක් තිබුනා දැයි මම මවිත වෙමි. යශෝධරාවටත් රාහුලයන්ටත් තිබූ අප්‍රමාණ ඇල්මම සිදුහතුන්ගේ අභිනිෂ්ක්‍රමණය ඉක්මන් කළ බැව් මට වැටහෙයි.
දෙසැත්තෑවක් පරිවර්තන ගත හැකිවූ, අජරාමරත්වය ලඟාකොටගත් වානර මුණිටත් ලෞකික ජීවිතයේ නිස්සාරත්වය වටහා ගැනීමට පුරාවෘත්තයක කාලයක් ගත වුණි. පුහුදුන් මටද ශාක්‍යමුණීන්ද්‍රයන් ඇවිද ගිය මඟ අනුගමනය සඳහා මගේ කෙටි ජීවිත කාලයම ගතවනු ඇත. හිමාලයා සංගීතය අවසාන ඛණ්ඩයද වියැකී යයි. රාත්‍රී නිශ්ශබ්දතාවය තුළින් මට පින්ක් ෆ්ලොයිඩ් ඇසෙයි.

ඔබ මෙතැන සිටියානම්...

"අපි දෙන්නා මාළු දෙන්නෙක්ට ඉන්න පුළුවන් පොඩි බඳුනක අවු‍රුද්දෙන් අවු‍රුද්දට පිහිනමින් ඉන්න අතරමං වුණු ජීවිත දෙකක් විතරයි."
~
පින්ක් ෆ්ලොයිඩ්

පැතුම් පුංචිහේවා

රසවතියට: rasawathiya.blogspot.com



(photo courtesy:  toutlecine.com) 

Thursday, August 1, 2013

The new world Magus: කොය්යෝ


අද දවස මගේ ජීවිතයේ පළමු දවසත්, අවසාන දවසත් කියා මට හැ‍ඟෙනවානම්, ඒ තමයි ජීවත් වෙන්නට හොඳම විදිය...

කෙනෙක් අපෙන් ඉවත්ව යනවා නම්, ඒකේ තේ‍රුම තවත් කෙනෙක් අපේ ජීවිතයට සම්ප්‍රාප්ත වෙන්නට ලඟයි කියන එක. මම නැවතත් ආදරය සොයාගන්නවා.” එහෙම කියන්නේ පාවුලෝ කොය්යෝ
"සහීර්"... කථාව ඇරඹෙන්නේම අබිරහසකින්. ගැහැණියක් ඇගේ සැමියාව අතහැර යනවා කිසිම හේතුවක් නැතිව. අඩු තරමින් කිසිම පණිවුඩයක්, ලියමනක්, කිසිම දෙයක් ඉතිරි කරන්නේ නැතුව. අඩු තරමින් කිසිම දෙයක් අරගෙන යන්නේවත් නැතිව. ඇය නිකම්ම සුවිශාල ලෝක ධාතුවක් මධ්‍යයට වාෂ්ප වෙලා යනවා. එතකොට ඇගේ සැමියා, ඔහු ඉක්මනින්ම අවබෝධ කරගන්නවා තමන් නිරත වෙලා ඉන්නේ ඇයව සොයාගෙන යන චාරිකාවක කියලා. තමන්ව අත හැරලා ගිය තමන්ගේ ආදරවන්තියව සොයාගෙන ඔහු යනවා. මේ ගමන අතරතුරදී ඔහු තේ‍රුම් ගන්නවා, ඔහුට ඇයව හොයාගන්නට වුවමනා කරන සැබෑ හේතුව වෙන්නේ මුරණ්ඩු සහ උමතු ආශාවක් නොවෙන බව. ඔහු ඇයට ආදරෙයි, නිකම්ම ආදරෙයි. එකම හේතුව එයයි.

අපි කෙනෙක් අපි වෙනුවෙන් කරනා දේවල අගය දකින්නේ නැතිවෙනකොට, අපි වෙනුවෙන් කරන දෙයක් වෙනුවෙන් සුළු හෝ කෘතඥතාපූර්වක භාවයක් නැතිව, ඔවුන් ඒ දේවල් අප වෙනුවෙන් කල යුතුයැයි සිතනකොට අපි නොදැනුවත්වම ඒ අය අපේ ජීවිත වලින් දුරස්තර වෙන්න පුලුවන්. ඒත් අපේ නොසැළකිලිමත් බව කොයි තරම්ද කියනවා නම් ඒ බව අපි දැනගන්නේ ඔවුන් ක්ෂිතිජ සීමාවෙන් එපිටට නොපෙනී ගියාටත් පසුව. අපිට යම් දෙයක වටිනාකම තේ‍රුම් යන්නේ ඒ දේ අවසාන වූවාට පසුව. සහීර්, ඒ ගැන කථා කරනවා.

කෙනෙක් අපෙන් ඉවත්ව යනවා නම්, ඒකේ තේ‍රුම තවත් කෙනෙක් අපේ ජීවිතයට සම්ප්‍රාප්ත වෙන්නට ලඟයි කියන එක. මම නැවතත් ආදරය සොයාගන්නවා, කොය්යෝ ඔහුගේ “The Zahir” කථාවේ නැවත නැවතත් එහෙම කියනවා. ඒක ක්ලැසික් කොය්යෝ වර්ගයේ, බොහොම ධෛර්යය ඇති කරවන සුළු කියමනක්!

"That is why it is so important to let certain things go, to release them, to cut loose. People need to understand that no one is playing with marked cards; sometimes we win and sometimes we lose. Don't expect recognition for your efforts; don't expect your genius to be discovered or your love to be understood. Complete the circle. Not out of pride, inability, or arrogance, but simply because whatever it is no longer fits in your life. Close the door, change the record, clean the house; get rid of the dust. Stop being who you were and become who you are."

මිනිහෙක්ව වෙනස් කරන්නේ කාලයවත් ඥානයවත් නෙවෙයි. මිනිහෙක්ව වෙනස් කරන, මිනිහෙක්ගේ හිත වෙනස් කරන එකම දේ ආදරය විතරයි.

පාවුලෝ කොය්යෝ යනු නවීන ලෝකයේ මහා දෛවවාදියාද? අනිවාර්යයෙන්ම ඔහුගේ විශ්වාසය වන්නේ දෛවය සහ සෑම මිනිසෙකුටම සෑම ගැහැණියකටම ඒ මහා විචිත්‍ර රංගන රචනයේ වෙන්වන කොටසක් තිබෙනවා යන සංකල්පය. ඔහුට අනුව විශ්වය යනු කලින්ම නිර්මාණය වුනු අති සංකීර්ණ, එමෙන්ම විශිෂ්ට නිර්මාණයක්. කෙනෙකුගේ ජීවිතයේ පරිසමාප්තිය එළැඹෙන්නේ එහි මේ විශ්වීය නිර්මාණයේ අලංකාර රටාවන් අවබෝධකරගැනීමෙන්, ඒ රටාවට ඔබ ගැළපෙන තැන සොයා ගැනීමෙන්.

"ඔබ ඔබම වෙන්න, නැවුම් මංපෙතක ඔබේ චාරිකාව අරඹන්න" කොය්යෝ කියනවා. ඒත් ඔහුට අනුව ඒ චාරිකාවත් විය යුතු දෙයක්, මහා විශ්වීය සැලසුමක කොටසක්. කවුද මේ සැලසුම නිමැවුම්ක‍රුවා? කවුද මේ අසහාය ඉංජිනේ‍රුවා?

අපේ ජීවිත වල හැම මොහොතකදීම අපි එක් පයක් සුරංගනා ලෝකයකත්, අනෙක් පය පරක් තෙරක් නොපෙනෙන ගැඹු‍රු අගාධයක මුවවිටේත් තියාගෙන ඉන්නේ!

පාවුලෝ කොය්යෝ තවත් "මල් පොත්" රචකයෙක්ද? විය හැකියි. කෙසේ වුවත් වැදගත් වන්නේ ඔහු තවමත් ලියන්නේ කා වෙනුවෙන්ද යන්නයි. කොය්යෝ කියනා ලෙසට ඔහු තවමත් ලියන්නේ තමන් වෙනුවෙන්. ඔහු පවසන්නේ ඔහුගේ හැම පොතක්ම සැබෑ කොය්යෝට වඩා විශිෂ්ට බව.

කොය්යෝ සිය ජීවිතය අරඹන්නේම ලේඛකයකු වීමේ සිහිනයක් සමගින්. කෙසේ නමුත් 60 දශකයේ බ්‍රසීලයේ පැවතුනු තත්වයත් සමගින් ඔහුට ඒ සිහිනය අත්හැර දමන්නට සිදුවනවා. කොය්යෝට වයස 17 වනවිට දක්නට ලැබුනු ඔහුගේ කැරලිකාරී ගැටවර වියත් සමගින්, ඔහුගේ දෙමාපියන් ඔහුව තුන් වරක්ම මානසික රෝහලකට පවා ඇතුළත් කරනවා. "හැමවිටම එය සිදුවුනේ ආදරය නිසා" කොය්යෝ කියනවා. "ඒ වගේ දෙයක් වෙන්නේ ආදරය නිසා. ඔබ තුළ යම් කෙනෙකු කෙරෙහි ආදරයක් ඇතිවිට, ඒත් ඔබට ඒ කෙනාව වෙනස් කරන්නට අවශ්‍ය විට, ඒ කෙනාත් ඔබ මෙන්ම විය යුතුයැයි ඔබ හිතන විට, ආදරය අතිශය විනාශකාරී දෙයක් වනවා" 

මානසික රෝහලින් පිටවන කොය්යෝ නීතිය හැදෑරීමට යොමුවුනත් ඉක්මනින්ම එතැනින් පිටමන් වන්නේ "sex, drugs and rock 'n' roll"  ජීවන රටාව නිසා. පාවුලෝ කොය්යෝ 70 දශකයේදී හිපියෙක් බවට පත්වෙනවා. එසේම බ්‍රසීලයේ මිලිටරි පාලනයට එරෙහිව ඔහුගේ මිතු‍රු රොක් සංගීතඥයින් වෙනුවෙන් ගීත ලිවීම නිසාම දේශපාලන හේතූන් නියමකරමින් ඔහුව තෙවරක් සිරභාරයට ගැනෙනවා. එසේම වධ හිංසාවන්ට පවා ලක් කෙරෙනවා.

කෙසේ වුවත් එතැනින් පසුව විවිධ වෘත්තීන් කිහිපයකම නියැළෙන කොය්යෝ, සියල්ල අතහැර දමා සංචාරය කරන්නට පටන් ගන්නවා. ඔහුගේ ජීවිතය සදහටම වෙනස් වන තවත් එක් මං සලකුණක් වන්නේ, අතීත ක‍තෝලික වන්දනාක‍රුවන්ගේ ගමන්මාර්ගයක් වූ Santiago de Compostela වෙත මයිල පන්සියයකටත් වඩා දුරක් ගෙවා කොය්යෝ යන චාරිකාවයි.

Santiago de Compostela හිදී ඔහු ලබනා ආධ්‍යාත්මික අවබෝධයත්, මේ දේශාටනය සමගින් කොය්යෝගේ දෑස් ඉදිරිපිට මැවුනු ඉපැරණි වන්දනාක‍රුවන් දු‍ටු මහිමයත් සමගින් ඔහු සිය ලෝ ප්‍රකට වුනු පළමු කෘතිය, “The pilgrimage” රචනා කරනවා. එතැනින් එහාට කොය්යෝ නම් ලේඛකයා පිළිබඳව ඔබ දන්නවා.

ආදරයත්, කාලය සම්බන්ධ ගැටළුවක් පමණක් වුනා...

ජීවිතය හිතනවාට වඩා බොහොම කෙටියි, උණුසුම් සිපවැළඳගැනීමකට කාලය නවත්වන්න, හිත තුළින් එන උමතු හිනාවකට හැමවිටම ඉඩදෙන්න, ආදරය සැබෑවක් කියා පිළිගන්න, ඉක්මනින් සමාව දෙන්න. ඇත්ත. ජීවිතය හරිම කෙටියි. ජීවිතය නිරන්තර අභිරහසක්. කොය්යෝ කියනවා. ඒ නිසා ඔබගේම පුරාවෘත්තයක් නිර්මාණය කරගන්න, ඔබේ සිහින ලුහුබඳින්නට එඩිතර වෙන්න, එහි මිල කෙදිනක හෝ ගෙවන්න, විශ්වය ඔබව අමතන ගුප්ත සංඥාවන් කියවන්න, වෙනසකට හිතහදාගන්න... මක්තුබ්... මෙතැනින් එහාට මේ වියමන කියැවීම ඔබ සතුයි.

 (photo courtesy:  paulocoelhoblog.com)



පැතුම් පුංචිහේවා

Thursday, June 13, 2013

ජැක් සහ මායා බෝංචි වැල: Politically correct version

එකමත් එක රටක හිටි ජැක් කිසිදු විශේෂත්වයක් හෝ විශේෂ හැකියාවක් නැති බොහොම සාමාන්‍ය කොලු ගැටයෙක්. ජැක්ගේ පියා නොමැති අතර, වැන්දඹු මව සහ ජැක් ඉතාමත් අමා‍රුවෙන් ජීවිතය ගැටගසා ගන්නේ පවුලේ එකම වත්කම ලෙසින් සැලකිය හැකි එළදෙනගේ කිරි විකිණීමෙන්.

එක් දිනකදී මේ එළදෙන කිරි දීම නවත්වනවා. ජැක් සහ මවට තිබූ එකම ආදායම් මාර්ගයද අහිමි වනවා. මේ නිසා වෙනත් කිරීමට දෙයක් නොමැති තැන මව විසින් ජැක්ව වෙළෙඳපොලට යවන්නේ එළදෙනව විකුණා මුදල් ‍රැගෙන එන ලෙස පවසමින්.

එළදෙනවද ‍රැගෙන වෙළෙඳපොලට යන ජැක්ට මුණ ගැහෙන්නේ වයසක මනුෂ්‍යයෙක්. ඔහු ජැක්ට යෝජනා කරන්නේ එළදෙනව ඔහුට විකුණන ලෙසයි. එසේ වුවත් තමා සන්තකයේ මුදල් නැති බැවින් හිලව්වට මායා බෝංචි ඇට කිහිපයක් ඔහු ජැක්ට ලබාදෙනවා. මෙයත් රුගෙන ගෙදර යන ජැක් මවගෙන් නොසෑහෙනට බැණුම් අසා ගන්නවා. මායා බෝංචි ඇට මිදුලට විසිකර දැමෙනවා. ජැක්ට රාත්‍රී ආහාරය පවා නොමැතිව නින්දට යන්නට සිදුවනවා.

පසුදිනයේ අවදිවන ජැක් දකින්නේ ගෙමිදුලෙන් ඇරඹී අහස උසට නොපෙනෙන තෙක් විහිදී ගිය දැවැන්ත බෝංචි වැලක්. මේ සැබවින්ම මායා බෝංචි ඇට. ජැක් බෝංචි වැල තරණය කරන්නට පටන් ගන්නවා. වලාකුලු වලිනුත් එහාට, බෝංචි වැල දිගේ නැඟ යන ජැක් අවසානයේ අද්භූත දේශයකට පැමිණෙනවා. එහිදී මහා මාළිගාවක් ඉදිරිපිටට යන ජැක් එය යෝධයෙකුගේ වාසභවනය බව දැනගන්නවා.ජැක් යෝධයාගේ බිරිඳගෙන් කෑමට යමක් ඉල්ලා සිටින අතර, ඇය ඔහුට කෑම දී වැඩ කරන්නට සලස්වනවා. එවිට යෝධයා පැමිණෙනවා, ජැක් සැඟවෙනවා. යෝධයා ආහාර ගෙන නිදාගන්නා මොහොතේදී ජැක් පැන යන්නේ යෝධයාගේ රත්‍රන් කාසි මල්ලද රැගෙනයි. මායා බෝංචි වැල දිගේ පහතට බසින ජැක් නි‍රුපද්‍රිතව ගෙදර එනවා.

කෙතරම් භයානක කර්තව්‍යයක් වුවත් ජැක් නැවතත් මායා බෝංචි වැල දිගේ නැඟ යෝධයාගේ නිවසට යනවා. යෝධයාගේ බිරිය ඔහු ගැන සැක කළත් ඔහුට කෑමට යමක් දී වැඩ පවරනවා. දෙවන වරට ජැක් සොරකම් කරන්නේ යෝධයාගේ 'රත්‍රන් බිජු දමන කිකිළිය'යි. එහිදි ඔහු අනූ නවයෙන් බේරී පලා යනවා. තුන්වන වරටද යෝධයාගේ නිවසට යන ජැක්, එවර 'ඉබේ ගීත ගායනා කරනා වීණාව' සොරකම් කරනවා. එහිදී ජැක් පලායන්නට කලින් යෝධයා අවදි වෙනවා. ජැක් මායා බෝංචි වැල දිගේ පහතට බසිනවා. කෙසේ හෝ යෝධයා බෝංචි වැල දිගේ පහතට එන්නට කලින් නිවසට සේන්දු වන ජැක්, වහාම පොරව ගෙන මායා බෝංචි වැල කපා දමනවා. යෝධයා බිමට වැටී මිය යනවා. ජැක් සහ මව, තමන්ට උ‍රුම වූ වටිනා වස්තූන් සමගින් සතුටින් ජීවත් වනවා!

ඉන් පසුව ජැක්ට සහ ජැක්ගේ මවට සිදුවූයේ කුමක්ද? එසේත් නැතිනම් පාසැල් කාලයේදී කථාවක් කියා අවසානයේ අසන පරිදි ජැක් සහ මායා බෝංචි වැල කථාවේ ඔබට ඇති ආදර්ශය කුමක්ද? හරය කුමක්ද? සැබවින්ම එහි ආදර්ශයක් හෝ හරයක් තිබේද?

බොහෝ විට ජැක් සහ බෝංචි වැල කථාවෙන් 'ඔබේ හදවත අනුගමනය කරන්න' හෝ 'ධෛර්යය සම්පන්න පුද්ගලයා හට ජයගැනීමට නොහැක්කක් නොමැත' වැනි ආදර්ශයන් උගන්වන බවක් ප්‍රකාශ වෙයි.එනමුත් සැබවින්ම ජැක් සහ බෝංචි වැල කථාව සලකා බැලූ විට, වඩාත් පැහැදිලිව ජැක් ගේ චරිතය සලකා බැලූ විට ඔහු වීරයෙකුට වඩා මුලින් මෝඩයෙකු සහ ඉන්පසුව ද්‍රෝහියෙකු වන බව දැකිය හැක.

මුලින්ම ඔහු තමන්ගේ එළදෙනව පාරේදී මුණගැසෙන පුද්ගලයෙකුගේ කීමට, මායා බෝංචි ඇට කිහිපයක් සඳහා හුවමා‍රු කරයි. එහිදී ඒවා සැබවින්ම මායා බෝංචි ඇට වීමට වඩා නොවීම සඳහා සම්භාවිතාවක් ඇති අතර, කථාවේදී සැකයේ වාසිය ආගන්තුකයාට ලබාදී ඒවා සැබවින්ම මායා බෝංචි බව සුරංගනා කථා රචකයා විසින් ප්‍රකාශ කොට සිටියත්, එයින් ජැක්ගේ ක්‍රියාවේ මුග්ධ බව නැති නොවේ.

එසේම ජැක් විසින් යෝධයාගේ බිරිඳගේ ආගන්තුක සත්කාරයට ද්‍රෝහි වී ගෙහිමියාගෙන් සොරකම් කිරීමද, අවසානයේ ගෙහිමියාව මරා දැමීමද ජැක්ව වීරයෙකුට වඩා බියසුළු ද්‍රෝහියෙකු ලෙසින් හුවා දක්වයි. මුල් වතාවේ ගෙන එන රන් කාසි සියල්ල වැය කර, ඉන්පසුව ජැක් නැවත නැවතත් යෝධයාගේ වස්තුව සොරකම් කිරීමට පෙළැඹෙයි.

මේ නිසා ජැක් සහ මායා බෝංචි වැල කතාවේ වඩාත් දේශපාලනිකව නිවැරදි සංස්කරණයක්ද එළි දැක්වුණි. එම කථාවේ ආකාරයට සැබවින්ම යෝධයාගේ වාසභවනය අයත් වන්නේ ජැක්ගේ පියාටයි. එසේම රන් කාසි මල්ල, රන් බිජු දමනා කිකිළිය සහ ඉබේ ගී ගයන වීණාවද ජැක්ගේ පියාට අයත් වස්තූන් වෙයි. ජැක් කුඩා කාලයේදීම මෙම ආක්‍රමණික යෝධයා පැමිණ ජැක්ගේ පියාව මරා දමයි. ජැක්ගේ මව ලද‍රු ජැක්වද රුගෙන පලා යයි. ඉන්පසුව මෙම සිද්ධියෙන් ඇතිවන කම්පනය නිසා ජැක්ගේ මවට අතීතය අමතක වී යයි. යෝධයා ජැක්ගේ පියාගේ මාලිගාව සිය වාසභවනය කර ගනී. නොදැනුවත්වම හෝ ජැක් විසින්  සිදු කරන්නේ තමන්ගේ උ‍රුමය ලබා ගැනීම සහ තම පියා මැරූ පළිය ගැනීමයි.එය හෙළිදරව් වන්නේ අවසානයේ ජැක්ගේ මවට සියල්ල සිහිපත් වීමත් සමගයි. මෙම දේශපාලනිකව නිවැරදි කිරීම් සහිත කථාවෙන්, ජැක් හට ප්‍රවේශම් සහිතව නැවතත් වීරයාගේ භූමිකාවට අවතීර්ණ වීමට ඉඩ සැළසෙයි.

මෙහේ වෙන්නේත් මෙහෙම නෙවෙයිද?


පැතුම් පුංචිහේවා

Sunday, May 5, 2013

මහා පුදුම ඒකනේ, තට්ටු දෙකේ බස්ද මේ, ඒ පාරෙන් මේ පාරෙන් හරව හරව...



පොඩි කාලේ ඩබර් ඩෙකර් බස් ගැන අහලා තිබුනට, කාලෙන් කාලෙට කලාතුරකින් ඩබල් ඩෙකර් බස් එකක් දැකලා තිබුනට, ජීවිතේට ඩබල් ඩෙකර් බස් එකක යන්න අවස්ථාවක් මෙතෙක් ලැබිලා තිබුනේ නැහැ. වැඩිපුර සෙනඟ නැති රතුපාට ඩබල් ඩෙකර් එක පැද්දි පැද්දි එනවා දකිනකොට දැනුනේ හරියට පරණ යාළුවෙක් මුණගැනුනා වගේ හැඟීමක්.

සාමාන්‍යයෙන් ඩබල් ඩෙකර් එකක යන්න ආශාවක් තිබුනු, තිබෙන ඕනෑම කෙනෙක් දන්නා කාරණාව වෙන්නේ, ඩබල් ඩෙකර් බස් එකක් හා බැඳුනු සැබෑ ආහ්ලාදය පැමිණෙන්නේ බස් එකේ උඩ තට්‍ටුවේදී විතරයි කියන එක. පොඩි කාලේ වුනත් ඩබල් ඩෙකර් එකක් දැක්කහම ආසා කලේ ඒකේ උඩ තට්‍ටුවේ යන්නනේ. එහෙම නැතිනම් දැනෙන්නේ ඩබල් ඩෙකර් බස් එකක තියෙන ක්ලැසික් ගතිය ගැන හැඟීම් මාත්‍රයක් විතරයි.

බස් එකේ උඩ තට්‍ටුවටම නැඟලා සැපපහසුවට ජනේලයක් අයිනේ තැන්පත් වුනාට පසුව ඊලඟ කර්තව්‍යය වෙන්නේ මගදිගට එක අඟලක හෝ දර්ශනය මග හැරේවි යයි බියෙන් අවට සිරි නැරඹීම. ඔබත් කවදා හෝ ඩබල් ඩෙකර් බස් එකක උඩම තට්‍ටුවේ ගිහින් තියෙනවා නම්, ඔබ පුදුම වෙයි අඩි කිහිපයක් ඔබේ දර්ශන පථය ඉහළින් පිහිටන විට මඟ දෙපස ඇති හැමදේම වෙනදාට වඩා කොයි තරම් වෙනස් හැඟීමක් ඇති කරනවාද කියන එක ගැන. අඩු තරමේ මම, ක්ෂණයකින් මීට පෙර කොළඹ නගරය දැක නැති, කොළඹ නගරයේ විසල් ගොඩනැඟිලි, පාරේ එහා මෙහා කලබලයෙන් යන මිනිසුන්, අඳුර වැටෙන්නට තව මොහොතක් තියාත් දැල්වෙමින් නගරය ක්ෂණයකින් සුරූපී සුන්දරියක් බවට පරිවර්තනය කරනා විදුලි බුබුළු, මේ හැමදේම එකට එක්වී මවාපාන චිත්තාකර්ෂණීය දර්ශනය මහත් විස්මයකින් රස විඳින පොඩි එකෙක් බවට පත් වුනා.

රැකියාවන් නිමවී ගෙවල් බලා යන්නට මඟ දෙපස සිටින සුන්දර යුවතියන්, සාරි, කලිසම්, කාර්යාලීය ඇඳුම් ඈ සෑම වෛවර්ණ විලාසිතාවකින්ම සැරසුණු බවලතුන්, ඒ සුන්දර දසුන් දෙස බලමින් ප්‍රීතිවෙන ත‍රුණයින් මේ හැමදෙනාමත් "කොළඹ" පුරවරයට අයත් අංගෝපාංගයන්. ඔවුන් සේවය නිමවී ගෙවල් බලා ගියත්, ඔවුන් ජීවත් වන්නේ කොළඹින් ඈත එපිට හෝ තදාසන්න පළාතක වුවත්, කොළඹ නගරය කියන හැඟීම පැමිණෙන්නේ මේ හැමදෙනාමත් ඇතුළත් වූ විට. මේ සිරිමල් ක‍රුවලගෙදර, නන්දා, පියල් අයත්වෙන පරපුරක නූතන වේශය බව මොහොතකට මට හිතුනා.

සාමාන්‍යයෙන් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයාගේ නොනවතින කෑ ගැහිල්ල, බස් රිය ඇතුලේ ඇහෙන කළකළය පුදුමයකට වගේ මට ඩබල් ඩෙකර් එක ඇතුලේ ඇහුනේ නැහැ. ඊට වඩා බොහොම සාමකාමී පරිසරයක් තිබුනා, ඒ නිසාම මම ජීවත්වන කාල අවකාශයෙන් මොහොතකට මිදිලා පශ්චාත් යටත් විජිත කාල අවකාශයක අතරමං වෙන්නට මට ඉඩක් ලැබුනා.

ශ්‍රී ලංකාවේ තිබුනු කොළනි කාල වකවානුව කෙරෙහි ශ්‍රී ලාංකිකයන් තුළ කොහොම වුනත් අවිඥාණික සම්බන්ධතාවයක් පවතින බව අකමැත්තෙන් වුවත් පිළිගන්නට වෙනවා. තවත් හිතලා බලනකොට ඒ යටත් විජිත මානසිකත්වයක් නොවුනත්, ලන්දේසි ඌ‍රුවේ ගොඩනැඟිලි අද දකිනකොට වෙනස් හැඟීමක් ඇතිවෙන එක වළක්වන්නට බැහැ.

ඒ බව මට තීව්‍රව දැනෙන්නට පටන් ගත්තේ ඩබල් ඩෙකර් එකෙන් බැහැලා පැරණි ලන්දේසි රෝහල පැත්තට පා ගමනින්ම යනකොටයි. අද පැරණි ලන්දේසි රෝහල නැවතත් මහජනයාට විවෘත වෙලා තියෙනවා. පැරණි ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයේ වෙනස්ම සුන්දරත්වයක් සමගින් නවීන අවන්හල් කිහිපයක එකතුව මිනිසුන්ට වෙනස් විදියක අවන්හල් සංස්කෘතියක් ලබාදී තිබෙනවා. ලන්දේසි රෝහල් සංකීර්ණයේ අවන්හලක් විවෘත කිරීම වෙනස්ම විදියේ මාකටින්ග් වැඩක් බව ඕනෑම කෙනෙකුට පිළිගන්නට වෙනවා. මේ අවන්හලක් මල් පාරේ නැතිනම් බගතලේ පාරේ විවෘත කරනවාට වඩා, ලන්දේසි රෝහල් පරිශ්‍රයේ පිහි‍ටුවීමෙන් ඒ අවන්හලට වෙනස්ම වටිනාකමක්, වෙනස්ම අනන්‍යතාවයක් ලැබෙනවා.

මෝසම් කාළගුණයත් එක්ක කොළඹට ඇද හැලෙන පොද වැස්ස පුදුමයකට වගේ අසහනකාරී දෙයක් වුනේ නැහැ. ඒ වෙනුවට පැරණි ලන්දේසි රෝහල ඉදිරිපිට වාඩිවෙලා ඉන්නකොට ගෝල්ෆේස් එක පැත්තෙන් ඇවිත් මුහුණේ ඇතිල්ලෙන මුහුදු හුළඟත්, පොද වැස්සත් මගේ ආහාර ‍රුචිය වැඩි කරන්නට සමත් වුනා. ලන්දේසි රෝහල් පරිශ්‍රයේ තිබුණු අවන්හලකින් මෙක්සිකානු ක්‍රමයට බිස්ටේක් ටැකෝ එකකින් සහ කොක්ටේල් එකකින් සප්පායම් වෙලා පැයක්වත් නැති බව මට අමතක වුනා. ත‍රු එකක්වත් නැති වුනත් කොළඹ රාත්‍රී ආකාශය සුන්දරයි. ඒ සුන්දරත්වය අහසට ලැබෙන්නේ ඒ අහස යට ඇති දහසකුත් එකක් ගොඩනැඟිලි, වෛවර්ණ විදුලි බුබුළු සහ එකිනෙ හා මිශ්‍ර වන, එකිනෙකාගෙන් වෙන්වන කොළඹ නගරයටම ආවේණික උප සංස්කෘතීන්ගෙන්. මම පයින්ම ගෝල්ෆේස් පැත්තට යන්න ගියේ නානාගේ දුවනගිරිය තව දුරටත් ගෝල්ෆේස් එකේ නැති වුනත්, එතැන අද තියෙන නානාගේ පරම්පරාවේ කඩ පේළියෙන් එකකින්, බටර් නාන් එකක රස බලන බලාපොරොත්තුවෙන්.

රස්තියාදුවක සැබෑ සුන්දරත්වය විඳින්නට හැකි වෙන්නේ අතීතය ආවර්ජනය කිරීමේදී බව අප අමතක නොකළ යුතුයි.”

පැතුම් පුංචිහේවා














Photography courtesy: Dasun Ranasinghe