Sunday, August 26, 2012

Jedi Philosophy: ස්ටාර් වෝර්ස් විසංයෝජනය


 Always in Motion is the Future -Master Yoda

"දුරාතීත කාලයක... දුර ඈත පිහිටි මන්දාකිණියක... දහසක් තාරකා අතර මින් පෙර නොවූ විරෑ සිවිල් යුද්ධයකින් මන්දාකිණියම විනාශයේ මුවවිටට පැමිණ තිබෙනවා. නපුර සහ යහපත අතර පැවතුනු අනවරත සමබරතාවය ගිලිහී ගොස් තිබෙනවා

කථාව පටන්ගන්නේ මුළු මහත් මන්දාකිණියම සිය අයෝමය ග්‍රහණයෙන් පාලනය කරනා ගැලැක්ටික් අධිරාජ්‍යයට අයත් වන, මුළු මහත් ග්‍රහලෝකයක් මොහොතකින් විනාශකර දැමීමට තරම් බලවත් වන “Death Star” අභ්‍යවකාශ මධ්‍යස්ථානය, විනාශ කර දැමීමට, කැරලිකාර පාර්ශවයේ උත්සාහයන් සමඟින්. මෙහිදී ස්ටාර් වෝර්ස් කථා පෙලේ ඉතිහාසගත දුෂ්ට චරිතය වන අනනුකම්පීය "ඩාත් වේඩාර්" ව හඳුනාගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයාට ලැබෙනවා. 

මේ අතරේදී කථා රේඛාව ක්ෂණයකින් කාන්තාර ලෝකයක් වන "ටැටූයින්' ග්‍රහලෝකයේ, සාමාන්‍ය ගැටවරයෙකු වන ලූක් ස්කයිවෝකර් වෙතට නාභිගත වෙනවා. පැරණි අධිරාජ්‍යයට තවමත් පක්ෂපාත සහ දුෂ්ට "සිත්' අධිරාජ්‍යයාට එරෙහිවන්නට තරම් නිර්භීත, කැරළිකාර පාර්ශවයේ නායිකාව වන ලියා කුමරියගේ හොලොග්‍රෑම් පණිවුඩයක් අහම්බෙන් ත‍රැණ ලූක් ට ලැබෙනවා. එතැන් සිට ලූක් ස්කයිවෝකර් මෙතෙක් දැනසිටි ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වනවා.

මේ ලියා කුමරියගේ පණිවුඩයේ සඳහන් වන නම, "බෙන් කෙනෝබි" යනු ජෙඩායි නයිට්ව‍රැන්ගේ කවයේ සිටි නිර්භීතම ජෙඩායි නයිට්වරයෙක් සහ ස්ටාර් වෝර්ස් ත්‍රිත්වය තුල අතිශය වැදගත් චරිතයක් වන "ඔබි වැන් කෙනෝබි" බව හෙළිවීමත්, ලූක් ස්කයිවෝකර් යනු ඇනකින් ස්කයිවෝකර් නම් ජෙඩායි නයිට්වරයාගේ පුත්‍රයා බවත්, ඇනකින් ස්කයිවෝකර්ව විනාශ කරනු ලැබුවේ දුෂ්ට සිත් අධිරාජ්‍යයාගේ විශ්වාසවන්ත දකුණු අත වන "ඩාත් වේඩාර්" විසින් බවත් "ඔබි වැන් කෙනෝබි" හෙළි කිරීමත්, ඉන්පසුව ලූක් ස්කයිවෝකර් මෙතෙක් දැනසිටි පවුල වුනු මාමාව සහ නැන්දණියව ඩාත් වේඩාර් ගේ “imperial stormtroopers” සොල්දාදුවන් විසින් මරාදැමීමත් සමඟින්, ස්ටාර් වෝර්ස් ත්‍රිත්වයේ පරම ප්‍රතිවාදීන් වන්නේ සිය පියාගේ මරණයේ පළිය ගැනීමට මෙන්ම දුෂ්ට අධිරාජ්‍යයේ අවසානය සනි‍ටුහන් කිරීමට උරැමකම් ලබන, ලූක් ස්කයිවෝකර් සහ ඩාත් වේඩාර් බව මේ වනවිටම පැහැදිලි වන කරැණක්.  

කෙසේ නමුත් අවසානයේදී, ජෝර්ජ් ලූකාස් විසින් තාරකා යුද්ධ කථා මාලාවට "සිංහබාහු' වර්ගයේ නිර්වචනයක් ලබා දෙමින්, සැබවින්ම ඩාත් වේඩාර් යනු, තාරකා යුද්ධ කථාවේ ප්‍රධාන දුෂ්ටයා, අඳුරැ පාර්ශවය ‍තෝරාගත් ඇනකින් ස්කයිවෝකර්ම බව, එසේත් නැතිනම් ලූක් ස්කයිවෝකර්ගේම පියා බවත් හෙළි කර සිටිනවා. එසේම ජෝර්ජ් ලූකාස් විසින් "සිංහබාහු" සාම්‍යය තවත් ඉදිරියට ගෙන යමින්, ලූක් පෙම්බැඳි ලියා කුමරිය යනු, සැබවින්ම ලියා ස්කයිවෝකර්, නැත්නම් ලූක් ගේ නිවුන් සහෝදරිය බවත් අවසානයේදී හෙළි කර සිටිනවා.

ස්ටාර් වෝර්ස් කථා රේඛාව දෙස බලන කල අපට දකින්නට හැකිවන්නේ යහපත සහ නපුර අතර සදාතනික අරගලය පිළිබඳ සම්භාව්‍ය මතාන්තරයයි. ස්ටාර් වෝර්ස් දෙවන කථා ත්‍රිත්වය තුලින්, උදාරත්වය සහ අගතිය වෙන්වන්නේ තනි රේඛාවකින් බව දැක්වෙනවා. මෙහිදී තවදුරටත් දැක්වෙන්නේ නපුර හෝ යහපත වෙන්වන්නේ "‍තෝරාගැනීම" මත බව. සෑමවිටම අඳුර වෙතට හෝ ආලෝකය වෙතට යාම, පුද්ගලානුබද්ධ වරණයන් ලෙස දැක්වෙන්නේ ස්ටාර් වෝර්ස් කථා මාලාවට, වඩා "යූසර් ෆ්‍රෙන්ඩ්ලි" මුහුණුවරක් ලබා දෙමින්. ස්ටාර් වෝර්ස් කථා රේඛාවේ ගලායෑම සඳහා දෛවය හෝ මානුෂිකත්වයට ඉහළින් පවතින බලයක් ආරෝපණය වූවා නම්, ස්ටාර් වෝර්ස් ඒ තරමටම ප්‍රේක්ෂකයාට දිරවාගත හැකි වන්නේ නැහැ.

ස්ටාර් වෝර්ස් කථා මාලාව පුරාම සිටින ජෙඩායි නයිට්වරැන්, මධ්‍යතන යුගයේ සියවස් දෙකක පමණ කාලයක් පැවතුනු ටෙම්ප්ලාර් නයිට්වරැන්ව සිහි ගන්වනවා. ආකෘතිය අතින් ටෙම්ප්ලාර් නයිට්වරැන් සහ ජෙඩායි නයිට්වරැන් සමරෑපතාවක් දැක්වුවත්, ස්ටාර් වෝර්ස් කථාව තුල ජෙඩායි නයිට්වරැන් ගේ කාර්‍යභාරය ආගමික මුහුණුවරක නොපවතිනවා. ඇත්තෙන්ම ජෝර්ජ් ලූකාස් ස්ටාර් වෝර්ස් විශ්වය තුලට ආගම්වාදයන් ඈඳාගැනීමෙන් වැළකී සිටීම ප්‍රශංසනීය කරැණක්. ආගමක අවශ්‍යතාවයද පැන නොනඟින්නේ ආලෝකය සහ අඳුර අතර සදාතනික සමබරතාවය, ද්වෛතවාදී අදහසකින් ස්ටාර් වෝර්ස් දර්ශනය පොහොසත් වන නිසා.

“May the force be with you” මේ ස්ටාර් වෝර්ස් චිත්‍රපටය පුරා ඇසෙන ආශිංශන වාක්‍යයයි. මෙහිදී Force ලෙස හඳුන්වන්නේ ටාඕ දර්ශනයේ එන "චී" ශක්තිය බව අපට මෙහිදී හඳුනාගත හැකි වෙනවා. චී ශක්තිය ලෙසට හැඳින්වෙන්නේ යින්ග් සහ යැන්ග්, එනම් විශ්වයේ පවතින ධනාත්මක බලවේගය සහ සෘණාත්මක බලවේගය, එසේත් නැතිනම් ස්ත්‍රී ස්වරෑපික බලය සහ පුරැෂ ස්වරෑපික බලය වනවා. මෙම යින්ග් සහ යැන්ග් දෙකේ සමතුලිතතාවයෙන් ඇතිවන "චී" ශක්තිය පරම පිරිසිදු ජීවන ශක්තිය ලෙස ටාඕවාදයේ හැඳින්වෙනවා. එසේම තමන් තුළ පවතින චී ශක්තිය තම පාලනයට නතු කරගත හැකි පුද්ගලයා හට විශ්මිත දේ කල හැකි බව අග්නිදිග ආසියානු විශ්වාසය වනවා.

චී ශක්තිය මෙහෙයවීම තුළින් සටන් කලාවන්ගේ නිපුණත්වය ලබාගැනීම මෙන්ම එවැනි බොහෝ චීන කලාවන් චී ශක්තිය ඇසුරැ කරගනිමින් උපත ලබනවා. චී ශක්තිය ගැන ටාඕ වාදයේ සඳහන් වන්නේ එය සජීවී අජීවී සෑම සියළු දෙයක් තුළමත්, එකිනෙකා අතරත් පවතිමින් පැවැත්ම සංස්ථිතික කරන ජීව ගුණය ලෙසට. ස්ටාර් වෝර්ස් කථාමාලාවේ ජෙඩායි නයිට්වරැන් ගේ විශ්වාසය ද මෙයම වනවා. "The force is an energy field created by all living things, it surrounds us, it penetrates us, it binds the galaxy together" ඔබි වැන් කෙනෝබි තරැණ ලූක් ස්කයිවෝකර් ට එසේ කියා සිටිනවා. 

ජෙඩායි දර්ශනය ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාව තුල දක්නට ලැබෙන්නේ පෙරදිග දර්ශනයන් තුනක සංස්ලේශනයක් ලෙසට. අතීත චීන දර්ශනය හෙවත් ටාඕ දර්ශනය, බෞද්ධ දර්ශනය සහ පෞරාණික පර්සියානු සොරෝඇස්ට්‍රියානුවාදය, තම දර්ශනයන් සහ ගතිලක්ෂණ, ජෙඩායි දර්ශනය ගොඩනැංවීමට සහ පොහොසත් කිරීමට දායක කර තිබෙනවා. 

ටාඕ දර්ශනයේ එන යින්ග් සහ යැන්ග් අතර සමබරතාවය සම්පූර්ණයෙන්ම ස්ටාර් වෝර්ස් දාර්ශනික පදනම නිර්මාණය කරනවා. ලෝකයේ බොහෝ බටහිර ආගම්වාද නපුර අභිබවා යහපත ජයග්‍රහණය කිරීම පරමත්වය ලෙස ඔසවා තැබුවත්, ටාඕ දර්ශනයේත්, ජෙඩායි දර්ශනයේත් කියවෙන්නේ විශ්වය පවතින්නේ යහපත සහ නපුර අතර සමබරතාවය මත බව වනවා. එනම් හොඳ හෝ නරක හෝ එකිනෙකා හා ආතතියකින් සමබරව පැවතිය යුතු බවත් මේ සමබරතාවය ගිලිහීමෙන් විනාශය එලැඹෙන බවත් ස්ටාර් වෝර්ස් කථා මාලාව තුල කියැවෙනවා. එසේම ජෙඩායි නයිට්වරැන් සමබරතාවය අත්කරගැනීම, චී ශක්තිය පාලනයට නතුකර ගැනීම මෙන්ම ටාඕ දහමේ එන ස්වභාවිකත්වය සමඟින් ප්‍රසංවාදයක් පවත්වාගැනීම, ස්වභාවිකත්වය හා ඒකාත්මික වීමද උතුම් බව ඉගෙන ගන්නවා.

ජෙඩායි නයිට්වරැන් බැලූ බැල්මට ටෙම්ප්ලාර් නයිට් ආකෘතිය සිහිපත් කලද ජෙඩායි දර්ශනය මැනවින් පිරික්සා බලන විට පෙනී යනේ ජෙඩායි නයිට්වරැන් "ශැඔලීන් බෞද්ධ භික්ෂූන්" හට වඩාත් සමීප වන බවයි. බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන අත්හැරීම, අල්වා නොගැනීම ජෙඩායි නයිට්වරයකු සතු විය යුතු අවශ්‍ය ගුණාංගයක් වනවා. පුද්ගලයන්, ස්ථානයන්, දේවල් පිලිබඳ භාවාත්මක බැඳීම අත හැර දැමීමත්, අවසාන වශයෙන් මමත්වය නැතිව ගිය, බන්ධනයන්ගෙන් විනිර්මුක්ත, ජීවත්වන නොවන සියළු දේ කෙරෙහි නිරාමිස දයාව පවතින තත්වයකට පත්වීමත් ජෙඩායි නයිට්වරයකුගේ පැවැත්මේ පරම අපේක්ෂාව බව ස්ටාර් වෝර්ස් කතාව තුල දක්නට ලැබෙනවා.

එසේම සොරෝ ඇස්ටර් දර්ශනයෙන්ද කියැවෙන්නේ "ලෝකය යනු හොඳ සහ නරක බලවේගයන් අතර සදාකාලින යුධ පිටියක් බවයි. එනිසා සොරෝඇස්ට්‍රියානු අදහස් ද ස්ටාර් වෝර්ස් දර්ශනය ගොඩනැඟීම සඳහා ජෝර්ජ් ලූකාස් හට අනුප්‍රාණයන් වූ බව සැලකිය හැකි වනවා.

ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපට ත්‍රිත්වයේදී, ස්ටාර් වෝර්ස් ප්‍රධාන දුෂ්ට චරිතය, ඩාත් වේඩාර් බිහිවන ආකාරය පෙන්වා දෙනවා. ඩාත් වේඩාර් බවට රෑපාන්තරණය වන ඇනකින් ස්කයිවෝකර්, ස්ටාර් වෝර්ස් කථා මාලාවේ සිටින රොමැන්ටික්ම චරිතය බව කීම නිවැරදියි. ඔහු අසීමිතව තම මවට, තම ආදරය දිනාගත් ගැහැණිය, අමිඩාලා කුමරියට ආලය කරනවා. එනමුත් අවසානයේ ශේක්ස්පියර්ගේ ශෝකාන්ත නාටකය "මැක්බත්" හි මෙන්ම ඇනකින් ස්කයිවෝකර්ගේ අසීමාන්තිකව ආදරය කිරීමම ඔහුව අඳුර වෙතට ගමන්ගන්නා මාවතකට යොමු කරනවා.

ස්ටාර් වෝර්ස් අභ්‍යවකාශ වීර ආඛ්‍යානය නැතහොත් "ගැලැක්ටික් ඔපෙරාව" ලොව පුරා මිනිසුන්ගේ ජීවිතවලට, ජීවන දර්ශනයන් හට දැඩි බලපෑම් එල්ල කල බැව් සත්‍යයක්. ජෝර්ජ් ලූකාස් සවිඥානිකව හෝ අවිඥානිකව දේශපාලන බල තුලනයන් සහ විද්‍යා ප්‍රබන්ධ ෆැන්ටසීන්ගෙන් පෝෂණය වන චිත්‍රපට මාලාවක් අතිශය දාර්ශනික කියැවීමක් සහිත සිනමා කෘති පෙළක් බවට පත් කර තිබෙනවා.

“Fear is the path to the dark side. Fear leads to anger. Anger leads to hate. Hate leads to suffering.” මේ වාක්‍යයෙන්ම නපුර සහ යහපත අතර රේඛාව තරණය කිරීමට කෙනෙකුට සිදුවන්නේ කෙසේද යන්න දාර්ශනික කියැවීමක තබා ජෙඩායි නයිට්වරයකු වන යෝඩා විසින් ප්‍රකාශ කෙරෙනවා. අප හැමදෙනාම බියවන දේවල් බොහෝමයක් තිබෙනවා, පරාජයට, මරණයට, බලය නැතිවීමට... අප ආදරය කරන අය අපව අතහැර යනවාට, අපට ආදරය කරන්නන්ගෙන් වෙන්වන්නට සිදුවනවාට අපි බිය වනවා, ඒ බියම අඳු‍රැ බලවේග කරා, විනාශය වෙතට අපව ලං කෙරෙනවා. මේ ජෙඩායි දර්ශනය සිනමාකරැවකුගේ මනස් පුත්‍රයකු ලෙස උපත ලැබුවත්, එය ඔබගේත් මගේත් ජීවිත පිළිබඳව සිතන්නට යමක් ඉතිරි කරනවා...

පැතුම් පුංචිහේවා
 

4 comments:

  1. මචං කියෙව්වා. දිරවගන්න අමාරුයිනෙ අප්පා.. ටිකක් සංකීර්නයි වගේ... මම ඕං ෆලො කරන්නත් ගත්තා මරේගෙ පෝස්ට් එකෙන් දැකලා..

    ReplyDelete
  2. නරකය යහපත අතර වෙනස, ජීවිතය බෙදාගැනීම සහ බෙදා වෙන්කිරීම අතර වෙනස, යිං යැං මේ ඔක්කොම අපේ ජීවිතය නේද පැතුමා, සමහර වෙලාවට හිතෙන්නේ නැද්ද මේ එක එක චරිත ඔබ්බලා කියන්න හදන්නේ අපේ පරිණාමයේ කතාව කියලා.., මට හිතුනේ එහෙමයි.., මුලින්ම ස්ටාවෝර්ස් චිත්‍රපටයක් බලද්දී මම පහ වසරේද කොහෙද.., ඒ කාලේ මම හරිම ආසාවෙන් හිටියා නියොන් කඩුවක් හදාගන්න.., පොඩිකාලේ හිතේ ඉපදුනු ඒ ආසාව එක්ක අවබෝධය කියන එක එකතු උනාම මට හිතෙන්නේ අපේ ළමාකාලය හරය අපතේ ගිහින් නෑ කියලයි..!
    මට හිතුනේ එහෙමයි..!

    ReplyDelete
  3. අපූරු පෝස්ටුව! ඔබේ බ්ලොගයත් හරිම ලස්සනයි සහෝ....:)

    ReplyDelete
  4. කතාව නම් ෂෝක්.වැදගත් ලිපයක්...

    ReplyDelete