Monday, September 24, 2012

Can I keep you?

පාර දිගේ ඔහේ ඇවිදගෙන යන එකේ අමුතු ජොලියක් තිබුනත්, මේ ලියන මටවත්, කියවන පාඨකයාටවත් "ඔහේ ඇවිදගෙන යන" වෙලාව හොයාගන්න එක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. ඕනනම් කියන්න පුළුවන් කාර්ය බහුල ජීවන රටාව එක්ක අපිත් යන්ත්‍ර වගේ වෙලා, පවතින ආර්ථික ක්‍රමය සමඟින් ජීවිතයේ වින්දනාත්මක පැතිකඩ අපිට අහිමි වෙලා, ධනවාදී අර්ථ ක්‍රමයක් තුළ පැවැත්ම උදෙසා සටන් කරන මධ්‍යම පාංතිකයෝ විදියට විඳීමේ නිදහස ගිලිහී ගිහින් වගේ ක්ලැසික් කථාවක්. ඒත් දවස අවසානයේදී ඒවා කේ ජයතිලකගේ ඒ කාලේ නවකතාවක වගේ දෙබස් විතරක් වෙනවා. අපි හෙට ඉරක් පායනු දකින බලාපොරොත්තුවෙන් අද රෑ නිදාගන්නවා. අන්තිමට කවදාවත් ඉර උදාවෙනවා, පළමු රැස් කදම්බය පොළවට වැටෙනවා දකින්න වාසනාවක් නොතිබුනු, අවාසනාවන්ත ජීවිතයක් ගෙවපු, පෘතුවියේ අනාථයෝ වගේ මැරිලා යනවා. 

", නිල්පාට සීලිමේ විහිදුනු කො‍ටු රටාවට ජ්‍යාමිතික අර්ථ විවරණයක් දෙන්න උත්සාහ කළේ ඉස්කෝලෙදී උසස් පෙළට ගණිතය හදාරලා තිබුනු නිසාම නෙවෙයි, සමහර වෙලාවට අයාලේ යන හිතුවිලි එක ලක්ෂ්‍යයක රඳවා තියා ගන්න ඒ වගේ මානසික ව්‍යායාමයක් උදවු වුනු නිසා..." ඒ ටික කියවපු මම පොත වහලා දැම්මේ ඒ තරමට ඒ වගේ ඡේදයන් හු‍රුපුරුදු නිසා. ගොඩක් ප්‍රවීණ වගේම ආධුනික ලේඛකයෝ මේ වගේ ලයින්ස් කියවන්න අප්පිරියා වෙනකල් පරම්පරා ගණනාවක් පට්ට ගහනවා. ඒත් ඉතින් මේ වගේ කොටසක් කියවනකොට මතකයන් ගාල කඩාගත්තු හරක් වගේ හිතට දුවගෙන එන එක නවත්තන්න සක්කරයට තියා උගේ පුතා වයිමාටවත් බැහැ. අඩු තරමේ ඒ මතකයන් ඇතුළේ කිරි කිරි හඬින් කරකැවෙන, මකුළු දැල් පි‍රුණු සීලිම් පංකාවක්, ලාබ හෝටල් කාමරයක් නැහැනේ කියලා මම හිත හදාගත්තා. ඇත්ත. නිල්පාට ගාපු, සුන්දර වගේම මිල අධික වටාපිටාවක් තිබුනු ඒසී කාමරයක කෙරෙන්නෙත් එකම දේ වුනත්, ඒකේ පොඩි කල්චර් එකක් හිතට දැනෙනවා. කොහොම වුනත් නිල්පාට ලස්සන පාටක්. නිදහස කියන්නේ ලස්සන වචනයක්. 

මල් පොතක් කියවන්න සෙට් වුනේ කාලෙකට පස්සේ. එකෙක් අහනකොට උඹ කියවන්නේ විහිළු කතා පොතක්ද කියලා, ඌට මම උත්තරයක් නොදුන්නේ, මට සමහර තැන් වලට තනියම හිනා ගියත්, මොනව වුනත් ඌත් එක්ක එකතුවෙලා මේක ලියපු එකාව බයිට් එකට ගන්න හිත් නොදුන්න නිසා. "එකාව" නෙවෙයි "ලේඛකයාව". එතනදී මම වැරදියි එහෙම හැඳින්වීමක් කරපු එක. ඇත්තටම සමහර "ආත්මීය" වදන් කියවනකොට පපුව පැළෙන්න තරමටම හිනා යන්න ආවත් පොත නරක පොතක් නෙවෙයි. විශේෂයෙන්ම අන්තිමට කොහොමින් කොහොම හරි කොල්ලයි කෙල්ලයි එකතු වෙනවා කියලා ෂුවර් එකක් තියෙන නිසාම පොත නරක නැහැ. ඒත් ඉතින් පරමාදර්ශී අහිංසක පෙම්වතෙක්ව උත්කර්ෂයට නංවලා, දුෂ්ටයාගෙන් කෑලි ගැලවෙන්න ගුටි කාලත් අත උස්සන්නේ නැතුව අවිහිංසක ආත්මීය ටෝක් දෙන නෝංජල් චරිතයක් කොල්ලාගෙන් මවන එක පොඩ්ඩක් අවුල්. ඒත් මේක කියවන උන් එහෙම වෙන්නේ නෑනේ. මේ පොත් කියවන කොල්ලොත්, මේ පොත් කියවන කෙල්ලන්ගේ කොල්ලොත් බොහෝ දුරට පාරෙදි එකෙක් වැරදිලා ඇ‍ඟේ හැප්පුනත් "උඹේ අම්මට" කියලා පටන් ගන්න වර්ගයේ මිනිස්සු. කොහොමත් ෆැන්ටසිය සහ යථ අතර හිඩැස පුරවන්න මේ වගේ දෙයක් වත් තියෙන එක හොඳයි. හැමෝටම ඛලීල් ජිබ්රාන්ව කියවන්න නිර්දේශ කරන්නත් බැහැනේ. 

Coffee lounge එකක තනියම එක්ස්ප්‍රෙසෝ එකක් බොන එකේ තියෙන හැඟීම් සහ වැඩිපුර සෙනඟ නැති හොඳ මට්ටමේ සයිවර් කඩයක උඩ තට්‍ටුවේ ඉඳන් එළකිරි දාපු තේ එකක් බොන කොට දැනෙන හැඟීම් එකිනෙකාට වෙනස්. ඒත් ඒ සන්දර්භයන් දෙකේම නිදහස ගැන හැඟීම් මාත්‍රයන් දැවටිලා තියෙනවා, අඩු තරමේ මට එහෙමයි. බොහොමයක් වෙලාවට සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ අවන්හලක සමාජ තත්වයන් දෙකක කස්ටමර්ස්ලාව පවත්වා ගන්නා ක්‍රමය වෙන්නේ පහල තට්‍ටුවේ එක් සේවාවක් සහ උඩ තට්‍ටුවේ වඩා හොඳ, වඩා සැපපහසුකම් සහිත සේවාවක් සැපයීම. ගොඩක් වෙලාවට මෙනු එක තට්ටු දෙකේම එකම වුනත් ගුණාත්මක තත්වයේ වෙනසක් තියෙනවා. පිරිසිදු කමේ වුනත් ඒ වෙනස තියෙනවා. අනෙක පහල තට්‍ටුවේ මෙනු එකක් ලැබෙන්නේ කලාතුරකින්. වේටර් මල්ලිට ලඟට කථාකරලා මොනවද තියෙන්නේ අහලා ගෙන්න ගන්න වෙනවා. ඒත් Coffee lounge එකක මේ වගේ දේශපාලනික ක්‍රමවේදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම තැනකින් කෝපි එකක් බොන්න ලොකු මුදලක් වියදම් නොවුනත් මිනිස්සුන්ට ඒ වගේ තැනකට යන්න නොහිතෙන මොකක්දෝ අදෘශ්‍යමාන බාධකයක් තියෙනවා, ලංකාවේ බහුතර ජනතාවට. සමහර විට ශ්‍රී ලාංකීය පොදු සංස්කෘතිය තුළ ඉහළින් සැලකෙන අල්පේච්ඡතාව නිසා මිනිස්සුන්ට හිතෙනවා ඇති ‍රුපියල් තුන් හාරසීයක් වියදම් කරලා කෝපි එකක් බොන එකේ තේ‍රුමක් නැහැ කියලා. මම ඒ ගැන වැඩිපුර හිතන්න ගියේ නැහැ, කාලෙකට පස්සේ කාපු දකුණු ඉන්දියානු කෑම වේල අල්ලලා ගියපු නිසා, ජීවිතේ ම‍රු කියලා හිතුනු නිසා.


බස් එකේ පිටිපස්සේම සීට් එක ටිකක් කරදරකාරී තැනක්. බෑග් එක හේත්තුකරලා තියාගන්න ඉස්සරහා සීට් එකක් නැහැ, බස් එකේ ඩ්‍රයිවර්, පයිලට් Alter-Ego එකක් තියෙන කෙනෙක් නම් ඉතින් ඔළුව කෙලින්ම ගිහින් වදිනවා බස් එකේ වහලේ. ඒත් බස් එකේ පිටිපස්සේම සීට් එකේ ඉන්න එකේ අමුතු ජොලියකුත් තියෙනවා. මම කියන්නේ පොදු ජනයාගේ ඉන්ටර්සිටි බස් ගැන නෙවෙයි. ලදරම් වුනත් පිඹගෙන යන ලංගම බස් එකක් නැතිනම් ප්‍රයිවට් බස් එකක් ගැන. හෝල්ට් එකෙන් හෝල්ට් එකට නවත්තලා සෙනඟ පුරවගන්න ඒ හැටි ආසාවක් නැති, ඉක්මනට ගමනාන්තයට යන්න ඕනෑකමක් තියෙන රියැදුරු මහත්තයෙකුත් ඉස්සරහා හිටියනම් බස් ගමන ම‍රු. හැබැයි ඒ වගේ බස් එකක පිටිපස්සේ සීට් එක පොතක් කියව කියව යන්න සුදුසු තැනක් නෙවෙයි. වටපිට සිරි නරඹමින්, පැද්දෙමින්, ගැස්සෙමින්, හුළං වදිමින් යන එකේ ආහ්ලාදය අත්විඳින්න නම් හොඳයි. එහා පැත්තේ වාඩිවෙලා හිටපු කන්තෝ‍රු ගිහින් එන අංකල්, කන්තෝ‍රු ගිහින් එන ඇන්ටිත් එක්ක කථා කරමින් හිටියේ දැන් ත‍රුණ පරපුරේ හැදියාව පිරිහිලා කියන කාලෝචිත මාතෘකාව ගැන. හරි ෂෝක්. එතකොටම පිඹගෙන යන බස් එකේ රේඩියෝ එකෙන් "කොළොම්පුරේ ශ්‍රියා" සිංදුව ඇහෙන්න පටන් ගත්තා. "හන්දියේ අර හිටන් ඉන්න රාළහාමිගේ අත්දෙක, මැෂින් එකක් වගේ නිකන් අර පැත්තට මේ පැත්තට..."

"උඹ හැමදාමත් කියන දෙයක් තමයි කථා කරන්න ගොඩාක් දේවල් තියෙනවා කියලා. ඒත් ඉතින් අපි හම්බවුනාට පස්සේ ගොළු වෙලා මගේ දිහා බලාගෙන ඔහේ හිනාවෙවී ඉන්නෙත් උඹම තමයි. මම සාමාන්‍යයෙන් කථාබහක් නැතිවුනාට උඹ එක්ක ඉන්න පැයක දෙකක කාලය ඇතුළත එෆ් එම් චැනල් එකක් වගේ කියවනවා. එක එක ඒවා. මම හැමදාමත් හිතන්නේ මොනවා කථා කරන්නද කියලා. ඒත් ඉතින් උඹත් එක්ක 'මඟ දිගට ජනකථා' වල ඉඳන් 'කාර්ලෝස් කැස්ටනේඩා' දක්වා නානාවිධ නානාප්‍රකාර දේවල් කියවන එක මට වෙලාවකට නවත්තගන්නත් බැහැ. ඒක නෙවෙයි, දන්නවද මම මේ ලඟදී බැලුවා චිත්‍රපටයක්, ඒකේ නම 'එම්-බටර්ෆ්ලයි'. එම් කියන්නේ මදාම් කියන එකට. ඒකේ කථාව අනුවේදනීයයි. කෙල්ලෙක් විදියට ඉන්න පිරිමියෙක් එක්ක, චීන චරපු‍රුෂයෙක් එක්ක ආදරෙන් බැ‍ඳෙනවා ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. අවු‍රුදු 20ක් තිස්සේ මේ ආදරය පවතිනවා. අන්තිමට රාජ්‍ය රහස් පිටතට දෙන මේ රාජ්‍ය තාන්ත්‍රිකයාට බිහිසුණු යථාර්තයට මුහුණ දෙන්න වෙනවා. තමන්ගේ ආදරවන්තිය සැබවින්ම පිරිමියෙක්. ඉතින් හිරගෙයි දී මේ රාජ්‍ය තාන්ත්‍රිකයා මැඩම් බටර්ෆ්ලයි චරිතය කරනවා, අනෙක් හිරක‍රුවෝ ඉදිරිපිට. මැඩම් බටර්ෆ්ලයි කියන්නේ මායාවී ආදරයක් වෙනුවෙන් ජීවිතය පුද කරන ගැහැණියක්. මේ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයා, මායාවී ආදරයක වසඟය තුළ හිටි උමතු ආදරවන්තයා, කිසිදාක අමතක නොවන  රංගනයකින් පස්සේ දිවි නසා ගන්නවා. චිත්‍රපටය ඉවර වෙනවා. ඔව් මම දන්නවා අද මම පැය දෙකක් තිස්සේ උඹත් එක්ක කථා කලා කියලා. දන්නවද, මට ජීවිතේදී හම්බුවෙලා තියෙන ලස්සනම ඇස් තීයෙන මනෝ චිකිත්සකවරිය උඹයි. සුභ සැන්දෑවක්"

පැතුම් පුංචිහේවා



9 comments:

  1. බස් එකේ යනකොට පොතක් කියවන්න අමාරුයි..අනික මටනම් බස් එක කියන්නෙ එක්තරා වින්දනීය තැනක්..බස් එකේ බහුතරය නිදි නැත්නම් ඒ එක එක කෝලං දිහා බලං යන එක පොතක් කියනවාට වඩා වින්දනීයයි...

    ReplyDelete
  2. මටත් අර වෙන කමෙන්ට් කරන එවුන්ගෙම අවුල තියෙනවා මං හිතන්නෙ.
    "පට්ට පෝස්ට් එක ඈ!"

    ReplyDelete
  3. එක එකාට එක එකාව දැනෙන විදිය වෙනස් මචන්.., අපි මේ ඔක්කොම කරන්නේ එක එකාව දැනෙන විදිය හොයාගන්න..!
    මේක ගෝ මැසසින් එකේ දැක්ක වෙලාවේදී මම කියපුදේ මතකයිනේ උඹට..? ඉතින් ඊට වඩා වෙන දෙයක් මම කියන්න යන්නේ නෑ..!
    ජය!

    ReplyDelete
  4. කියවගෙන කියවගෙන ගියා... අන්තිමේ මට හිතුනේ.. අයියෝ... ඉවරද කියලා.... තව ටිකක් කියවන්න තිබුනනම්..!!

    බැරිද තව මොනවා හරි ලියන්න...:D

    ReplyDelete
  5. බස් ගමන නම් එපා වෙලා තියෙන්නේ ,ටකරන් සින්දුත් එක්ක පොත් කියවනවා නම් බොරු
    ජය!
    http://anuharshi.blogspot.com

    ReplyDelete
  6. කලෙකින් කියවපු හිතට දැනුනු පොස්ට් එකක් ජය.......

    ReplyDelete
  7. නියමයි පැතුමො...

    ReplyDelete
  8. නෝනත් ලස්සනයි ගේත් ලස්සනයි !! ;))

    මාර සිම්පල් තීම් එක!

    ReplyDelete
  9. හිතට වදින එකක්...

    ReplyDelete