Wednesday, August 11, 2010

මුහුදු කින්නර ගී හඬ...


රැළි බිඳෙන මුහුදු වෙරළකට හඳ එළිය වැටිලා තියෙනකොට හරි ලස්සනයි, හරි රොමැන්ටික් කියලා මම පොඩි කාලෙත් කථා පොතක කියවලා තිබුනා. හැබැයි එදා දවස වෙනකල්ම මම දැනගෙන හිටියේ නැහැ ඒ පොත් වල විස්තර කරලා තිබුනු විදියේ මුහුදු වෙරළක් ඒ තරමටම ලස්සනයි කියලා... ඔව්.. එදාත් ලස්සනට හඳ පායලා, හඳ එළිය වෙරළ පුරා අනේක රටා මවමින් තිබුනේ... වෙරළ පේන තෙක් මානයටම හිටියේ මාත් ඈත් විතරයි. ඈ, ඈතින් ඈත රිදීපාටට දිලිසෙන මුහුදු තරංග දිහා බලාගෙන ඉන්නකොට මම ඇගේ කණට මුමුණලා කිවුවා අවුරුදු ගණනාවකට කලින් මම මුහුදු වෙරළක තනි වෙලා ඉන්නකොට ලියපු කවි කීපයක්......




නිල්වන් රළ තරඟ මතින්
සුදු පැහැ පෙණ කැටි බිඳේ
වෙරල සිපින්නට පැනවිත්
නැවතත් දියඹට ඇදේ....

බැසයන මළ හිරු රස් වැද
නෙකවන් සිතුවම් මැවේ
ඒ සිතුවම් මැද තී රුව
ඇඳී තිබෙනු සේ පෙනේ....

ඈත දියඹ දෙසට ඇදෙන
ඔරුවක තනිවී මෙමා
ලිහිණි ගීත අසා සිටිමි
තිගෙ රුව සිහි කරමිනා....

තිගෙ සුවඳින් පිරුණු සුසුම්
සුලඟින් මා වෙත ඇදේ
ඒ විඳිනට නොහැකියි මට
ලුණු සුවඳින් සිත පිරේ....

තිගේ සිතේ මට ඇති පෙම
ගීතයකට අමුණලා...
එවපන් සුළඟේ පා කර
ඉන්නම් ඔරුවට වෙලා...

දනිමි දනිමි තී සිත ගැන
හැපී බිඳෙන රළ වැනී
එහෙත් තිගෙන් සිත නොමිදෙයි
තිට බැඳි පෙම නැත මැකී....

ජීවන රල තරඟ මතින්
සුන්බුන් වුවහොත් මෙමා
රැකගනු මැන මගේ මතක
තී සිත මුල්ලක මනා......

වෙරළේ තී දකිනු රිසින්
නෙත් සිත් දෙක වෙහෙසමී
විහිළු කරයි කිඳුරන් මට
තී ගැන මුමුණනු ඇසී......

පෙරළී එන රළ අතරින්
එන්නෙමි මම වහ වහා
සිටිනු මැනව මා සොඳුරිය
දියඹ දෙසට නෙත් යොමා......


මුහුදු වෙරළක ඉන්නකොට දැනෙන මුහුදු රළත්, මුහුදු හුළඟත් එක්ක මිශ්‍ර වුනු ඒ අපූරු හැගීමට වශීකෘත වුනු එකම කෙනා මම වෙන්න බැහැ. පේන තෙක් මානයක කවුරුවත් නැති හඳ එලියෙන් නැහැවුනු මුහුදු වෙරළක... ලුණු මිශ්‍ර හුළඟ විඳිමින්, රල නැගෙන හඬ අහමින් ඔරු කඳක් උඩට වෙලා ගිටාරය වයමින් නිශ්චලත්වයේ සත්සර රටා මවන එක සුරංගනා කථාවක් තරමටම ලස්සනයි... මුහුදු හුළඟින් දඟ කරන කෙහෙ රැලි රඳවා ගන්නට උත්සාහ කරමින්, ප්‍රේමනීය දෑසින් බලාගෙන ඒ සුරංගනා කථාව බෙදා ගන්න කෙනෙක් ඉන්නවනම් ඒ කථාව තවත් ලස්සනයි...  ඒ නැතත් හුළඟට මුසු වුනු ඒ ගී හඬට ඇහුම්කන් දෙන මිනිස්සු හිතේ බර පොදි මොහොතකට පැත්තකින් තියලා හිත සැහැල්ලුවෙන් නිදා ගනීවි. මිනිස්සු කියයි ඒ මුහුදු කින්නරයන්ගේ ගී හඬ කියලා... හිපියෙක් හැමතිස්සේම ආශා කරන දේවල් දෙකක් තමයි හුදකලාවේ රැඳී තියෙන සාමය සහ හිත වසඟ කරන සුරංගනා කථාවක්...!


මේ කවි වලට අවුරුදු දහයකටත් වඩා වයස වෙලා...එදාත් අදත් මුහුදු වෙරළේ වෙනසක් නැහැ.. ඒ හඳ එළියමයි අදත් නලියන රල පෙළ අතරින් රිදී පාට රටා මවන්නේ... මේ කවි ලියනකොටත් මම හිටියේ මුහුදු වෙරළේ තනියම... අද ඒ කවි මම මතක් කරන්නෙත් මුහුදු වෙරළේ තනියම... 


4 comments:

  1. හරිම ලස්සන පද පෙළක්.

    ReplyDelete
  2. තනීකම දන්නෝ පද අමුනන්නෝ............
    පද කියවන්නෝ තනියට ඉන්නෝ .............

    ReplyDelete
  3. rala bidena handa pinawanawa sawanatha..
    sumudu mudu pena keti wasaga karawanawa sitha..
    pada wel thula radunu a muhudu kinnara gee handa
    sanasanawa apa samage sitha..

    ReplyDelete
  4. මට මම ඊයේ දවසම කියපු කවියක් මතක් වුණා.. ඒක ලස්සන ගීතිකාවක්.. ඔබ දන්නවා ඇති සමහර විට

    ReplyDelete