"කාලය හරහා ගමන් කරන්න පුළුවන්, කාල තරණ යන්ත්‍රයක් තියෙනවා නම් කොයි තරම් අපූරුද" කියලා මම පුංචි කාලේ ඉඳන් හිතලා තියෙනවා. ,මට හිතුනු තවත් දෙයක් තියෙනවා. කාල තරණය ගැන හීන දැකපු ලෝකේ එකම එක පොඩි එකා මමද? මම හිතන්නේ උත්තරේ "නැහැ". H.G.Wells 1895 අවුරුද්දේ The Time machine ලියන්න හේතුවත් ඔහු මම වගේම කාල තරණය ගැන සිහින දැකීම වෙන්න ඇති.
කාලය හරහා ගමන් කරන එකේ තියෙන මේ තරම් හිත් වශීකෘත කරවන ෆැන්ටසි එක මොකක්ද ඇත්තටම? විද්‍යාත්මක කුතුහලය? වෙන්න පුළුවන්. කෙනෙක් අනාගතයට යන්න හිතන්නේ නම් කුතූහලය නිසා වෙන්න පුළුවන්. ඒක වෙනම කතා කරන්න ඕන දෙයක්. ඒත් ඇයි කාල තරණ යන්ත්‍රයකින් අතීතයට යන්න සිහින දකින්නේ? ඒකට මට දෙන්න පුළුවන් එකම උත්තරයයි. අඩු තරමේ අවංකව කතා කළොත් මට කාල තරණ යන්ත්‍රයකින් අතීතයට යන්න ඕන කරන්නේ මේ හේතුව උඩ. ඒ 'අතීතයේ වැරදි නිවැරදි කරන්න'!
තව ටිකක් අවංක වුනොත් මම කතා කරන්නේ ඉතිහාසය පුරා මනුෂ්‍යයා අතින් වුනු වැරදි, කළු පැල්ලම් නෙවෙයි. මගේ ජීවිතයේ මගේ අතින් වෙලා තියෙන වැරදි. ඒක ඉතාම ආත්මාර්ථකාමී අදහසක් කියලා කෙනෙක්ට හිතෙනවා නම් ඒක මම නිවැරදි කරන්න යන්නේ නැහැ. මම කාලය තරණය කරලා අතීතයට ගියොත් මේ මොහොතේ මෙතැන ඉන්න "ආත්මාර්ථකාමී මම" තව දුරටත් ඉන්න පුළුවන් කමක් නැහැනේ... ඒක තමයි කාලතරණයේ තියෙන හිත් වසඟ කරවන ප්‍රමෝදය... ඔබට අනාගතය හැඩගස්වන්න පුළුවන් වීම!
මගේම ෆැන්ටසි අවකාශයේ, කාලතරණ යන්ත්‍රයක නැඟලා අතීතයට ගිහින් සර්ව සම්පූර්ණ "මම" කෙනෙක්ව බිහිකරන එක, වර්තමාන ව්‍යාකූල, අපේක්ෂා භංගත්වයෙන් පිරුණු ලෝකයෙන් මොහොතකට මිදිලා යුතෝපියානු සිහිනයක අතරමං වෙන්න හරියනම නිමිත්තක්!
"වෙලාවකට බයත් හිතෙනවා ඔය විදියට ඔක්කොම වැරදි නිවැරදි කරගෙන එනකොට වර්තමාන 'මම' නැති වේවිද කියලත්"..."මම ගොඩනැඟෙන්නේ අනුභූතින් මත කියලා කිවුවොත් වර්තමාන 'මම' ගොඩනැඟෙන්න පදනම් වුනු නිශ්චිත අනුභූතීන් නැතිවුනු තැන තවදුරටත් 'මම' පවතින්න ඉඩක් නැහැ. ඒක සරලවම තේරුම් ගන්න පුළුවන් Butterfly Effect කියන සංකල්පයට පොඩ්ඩක් හිත යොමු කළොත්. සරල උදාහරණයක්, "ඔබ අතීතයට ගිහින් ඔබ අතින් සමනළයෙක් මැරුනොත්, සහශ්‍රක ගණනාවක් අනාගතේ ඔබට හිතාගන්න වත් බැරි වෙනස්කම් වෙලා තියෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම වෙනස් තාක්ෂණයන්, සම්පූර්ණයෙන්ම වෙනස් සමාජයන්ට අමතරව සම්පූර්ණයෙන්ම වෙනස් චින්තන රටාවන් ඇතිවෙලා තියෙන්න පුළුවන්. මෙතනදී අති දීර්ඝ ක්‍රියාදාමයක එක පුරුකක් වෙන සමනළයා අකාලයේ මියයාම නිසා දේවල් අඩුවෙනවා කියන දේට වඩා දේවල් "වෙනස් වීම" තමයි වෙන්න පුලුවන්. ඒක පලමුවැන්නට වඩා අතිශය භයානක වෙන්න පුළුවන් බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
දැන් එතකොට වර්තමාන 'මම' ගොඩනැඟෙන්න පදනම් වුනු නිශ්චිත අනුභූතීන් නැතිවුනු තැන තවදුරටත් 'මම' පවතින්න ඉඩක් නැහැ කියන්නේ දැන් කාලතරණයේ යෙදෙන 'මම' ට මොනවා වේවිද? නිශේධ වෙලා යයිද? එතකොට මේ වැල්වටාරම් ලියන මම මෙතන තවදුරටත් පවතින්න ඉඩක් නැද්ද? ඔන්න දැන් ගැලවිල්ලට එනවා තවත් සංකල්පයක්... සමාන්තර විශ්වයන්!
මම හිතනවා Fringe Scienceඑක්ක මේ පැටළුනා හොඳටම ඇති කියලා! බලනකොට කාලතරණ යන්ත්‍රයක නැඟලා සර්ව සම්පූර්ණ අනාගතයක හීනයක් වෙනුවෙන් අසම්පූර්ණ අතීතයකට ගමන් කරන එක, එතකොට කාලතරණ සංකල්පය එක්ක බැඳුනු දහසක් ඔළුව තෝන්තු වෙන විසංවාදයන්, මතවාදයන් එක්ක ගැටෙනවාට වඩා හැම අතින්ම ලේසියි "උන්මන්තක කාලතරණ ෆැන්ටසියක" මොහොතකට අතරමං වෙන එක.
මේකට Psychedelic experience එකක් කියලා කවුරුහරි කිවුවොත් මම මොහොතකටවත් අමනාප වෙන්නේ නැහැ. ඒ වගේම එයින් පැහැදිලි කිරීමක් ලැබෙනවා Psychedelic experience, වලට නැත්නම් හරියටම කිවුවොත් LSD, weed වගේ Psychedelic Drugs වලට මුල් කාලයේ හිපියන් මේ තරම් ආශක්ත වුනේ ඇයි කියලා.
මේ ලියලා තියෙන වැල්වටාරම් ටික සාහිත්‍ය නිර්මාණයක් විදියට නම් තුට්ටුවක් වටින්නේ නැහැ. ඒත් සමහර වෙලාවට කවුරුහරි නන්නාඳුනන කවියෙක්, ලේඛකයෙක් කිසිම තේරුමක් නැතුව ලියන පදවැල් කීපයක් ඇතුළේ සියවස් ගණනාවකට පස්සේ අපූර්ව තේරුම් පෙනෙන්න පටන්ගන්න හොඳටම ඉඩ තියෙනවා!
විප්ලවයකට අත්‍යාවශ්‍ය සාධකය උණ්ඩ පිටවෙන තුවක්කුවක් නෙවෙයි, තියුණු පරිකල්පනයක්... මේ සටහන තමන්ගේ පරිකල්පන ශක්තියේ ගැඹුර වටහාගෙන සිටින සහෝදර හැම වෙනුවෙන්...
~ හිපියා
කාල තරණය ගැන මමත් හීන තොගයක් දැකලා තියෙනවා. ඔයා කියන දේවල් හරි. මට පේන තව දෙයක් තියෙනවා.
ReplyDeleteඅපි දැනට ඉන්න තැන අපි කවුරුවත් විශේෂ නෑ.මේක පීඩාවක්. මෙතනින් ගැලවිලා වෙනත් කාල අවකාශයක ස්ථානගත වෙනකොට අපි සුවිශේෂ වෙලා. මේකට අපි කැමතියි.
මගේ හීන ගැන අද හිතද්දි මම වැඩිපුර කැමති වෙලා හිටියේ අතීතයට යන්න. අඩු දැනුමකින් යුතු මිනිස්සු ගොඩක් මැද වෙඩිබේත් සහ යාන්ත්‍රික මූලධර්ම ගැන දන්න මිනිහෙක් වෙන්න. (පස්සෙ කාලෙක ඔහොම ෆිල්ම් එකකුත් බැලුවා)
කාල තරණය කියන්නෙ පවත්නා මොහොතෙන් පළායාමේ අවශ්‍යතාව ෆැන්ටසිගත කිරීම.
සතුටුයි කාලෙකට පස්සෙ හරි යමක් ලිවීම ගැන.
niymayi.
ReplyDeleteමට නම් පුරස්න ගොඩයි. අතීතයට හරි අනාගතයට හරි ගියොත් ඉන්නෙ ඒ මමමද? කාල තරණයෙන් පස්සෙ ඔරලොසුවේ කටු කැරකෙන්නෙත් දැන් වේගයෙන්මද? ගියොත් ආපහු එන්නෙ කොහොමද? අපි හදිසියේවත් එහේදි මොනව හරි වෙලා මැරුනොත් මොකද වෙන්නේ.. තව අටෝරාසියක් පුරස්න තියනවා. ඒවට උත්තර හොය හොය ඉන්නවට වඩා ආතල් අතීතයේ හරි අනාගතයේ හරි ජීවත් වෙන එක. මම නම් වර්තමානයේ ජීවත් වෙන්නෙ නැති තරම්. දවසෙන් වැඩි කාලයක් කරන්නේ ඔය දෙකෙන් එකක ජීවත් වෙන එක තමයි.
ReplyDelete@ charmi
ReplyDeleteඔබ කියන කතාවේ ලොකු ඇත්තක් තියෙනවා. සුවිශේෂී වීමට ඇති ආසාව ඕනම මිනිහෙක්ගේ මූලික ෆැන්ටසි එකක්. (අපි ගොඩක් වෙලාවට දකින් දවල් සිහින වලට පාදක වෙන්නෙත් ඒ වගේ තේමාවන්, අනෙක් අයට වඩා වෙනස් නැත්නම් විශේෂ වෙන එක) "ලොකු මිනිහෙක් වෙයන් පුතේ" කියන එක ඇතුළෙත් ඒ ෆැන්ටසි එකම ගැබ් වෙනවා.
අපි අනෙකාට වඩා සුවිශේෂී කියන්න අපි මොනවා හෝ දෙයක් හොයා ගන්නවා... සමහර විට අපේ අරමුණු පරාර්ථකාමීද ආත්මාර්ථකාමීද කියන එක අපිටවත් හොයාගන්න බැහැ. අපි "වඩා හොඳ ලෝකයක් වෙනුවෙන් සටන් කරමු" කියන කොටත් එතන සමහරවිට සුවිශේෂී වෙන්න තියෙන ආසාව වෙන්න පුළුවන්... අපි බ්ලොග් ලියන, අපි හදාගත්තු ලස්සන අරමුණු, පරමාර්ථ පිටිපස්සේත් සමහරවිට Show off කියන එක හැංගිලා තියෙන්න පුළුවන්... ඒ අවංකව කතා කලොත්...
@ බෑන් කී මූන්
ස්තුතියි
@ කාංචන දිනූක
අපිට මෙහෙම කියනවා.... අනාගතය මියගිහින්.. වර්තමානය තවම ඉපදිලා නැහැ.. ඒ නිසා වර්තමානයේ ජීවත් වෙන්න කියලා... කොහොම වුනත් අපි කොයි මොහොතේ මැරෙයිද කියලා නොදන්න නිසා අතීතයේ මතකයන් සහ අනාගතේ සැලසුම් ඔළුවේ තියාගෙන මේ මොහොතේ ජීවත් වෙමු...
~ හිපියා
මේ පෝස්ට් එකේ මම අල්ලගත්ත තැන අර සර්ව සම්පූර්ණ "මම" හදන්න යන උත්සහය. සර්ව සම්පූර්ණ බවක් පිලි ගන්නවා කියන එකයි නිත්‍ය භාවයයි අතර සම්බන්ධයක් තියෙනවයි කියලයි මට හිතෙන්නේ. එතකොට අපි සර්ව සම්පූර්ණ බවක් පිලි ගන්නව නම් සර්ව බලධාරී දෙවියන්වත් හේතු සහගතව පිලිගන්න වෙනවා. ඒ සිතුවිල්ල දිගේම මැවුම් වාදය පිලිගැනීමටත් සිදු වෙනවා මම හිතන්නේ.
ReplyDeleteමම මැවුම් වාදය පිලිගන්නේ නැහැ. ඒ නිසා සර්ව සම්පූර්ණ මම කෙනෙක් නැහැ. අනිත් වචනයෙන් කිව්වොත් දැන් ඉන්න මම සර්ව සම්පූර්ණයි නේද?
*Chaos Theory, Butterfly Effect (1,2,3) චිත්‍රපටි වල මේ අදහස තමයි මූලික කරගෙන තියෙන්නේ.
*කාලතරණ යන්ත්‍රයක් හදාගෙන අතීතෙට ගිහින් ඩයිනෝසර දඩයමේ යන කෙනෙක් වැරදීමකින් සමනලයෙක් පාගලා පස්සේ අනාගතේට එද්දි ලඟ තියෙන දැන්වීම් පුවරුවක අක්ෂර වින්‍යාසය අපි දැනට භාවිතා කරනවට සම්පූර්ණයෙන් වෙනස් විදියට භාවිතා කරන සිද්ධියක් ගැන විද්‍යා ප්‍රබන්ධයක් පොඩි කාලේ කියෙව්වා මතකයි. නමවත්, කතෘවත් හරියට මතක නැහැ. මොනව වුනත් සිත් ගන්නා සුලු කතාවක්.
ඔය කාලය පිළිබද තියරි 2ක් තියෙචනවා. ඔයා ටිකක් කියවල බලන්න. එතකොට ඔයාට ඒකෙ විද්‍යාත්මක පැත්ත තේරුම් ගන්න ලේසි වෙයි.
ReplyDelete1) අයින්ස්ටයින්ගෙ මතය
කාලය කියන්නෙ අපි දන්න මාන 3 ට අමතරව තවත් එක මානයක්. ඒ කියන්නෙ විශ්වය හැදිලා තියෙන්නෙ මාන 4 කින්. අපිට දිග, පළල සහ ගැඹුර කියන මාන වල නිදහසේ චලනය වෙනවා වගේම කාලය දිගේ චලනය වෙන්න පුලුවන්.
මේක පරීක්ෂණ වලින් ඔප්පු වෙලත් තියෙනවා. හැබැයි අයින්ස්ටයින් කියන්නෙ කාලය deterministic කියල. ඒ කියන්නෙ අනාගතය කියනන්නෙ අපි කරන දේවල් මත සිද්ධ වෙන දෙයක් නෙවෙයි.
අනාගතය දැනටමත් සිද්ධ වෙලා ඉවරයි. ඒක තමයි පළවෙනි මතය.
2) කොන්ටම් වාදය
මේකේ දි කියන්නෙ කාලය non deterministic කියන එක. මේක තමයි මම විශ්වාස කරන්න කැමති මතය.
තව විස්තර දැන ගන්න කැමතිනම් උදවු කරන්නම්
@ පිටස්තරයා
ReplyDeleteඔබ අල්ලගත්ත අදහස හරියටම හරි... මට කියන්න වුවමනා වුනු එක දෙයක් ඒක... අපි කවුරුත් සර්ව සම්පූර්න නැහැ. ඒත් අතීතයේ චින්තන පරම්පරා වල ආරම්භයේ ඉඳන්ම සර්ව සම්පූර්ණ, ඒකත්වයක් ගැන විශ්වාසයන් වගේම සොයා බැලීම් දකින්න ලැබෙනවා. කොහොම වුනත් මම විශ්වාස කරන්නේ කිසිම දෙයක්, දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් ඔහු පවා සර්ව සම්පූර්ණ වෙන්න බැහැ කියලා...
අර Supernatural කියලා යන television series එක තමන්ගේ ක්‍රමයට මැවුම්වාදය සර්ව සම්පූර්ණ නැහැ කියන එක බොහොම ලස්සනට තියරියක් විදියට ගේනවා.
@ නිදහස
ස්තුතියි ඔබගේ අදහස් බෙදා ගැනීමට. මේ පෝස්ට් එක කියවන ගොඩක් අයට ඔබගේ කමෙන්ට් එකෙන් තවත් දුර යන්න පුළුවන් වේවි.
කාලය පිළිබඳ තියරි ගැන කතා කරනවා නම්, අපේ ක්‍රියාවන් මත අනාගතය පදනම් වෙනවා කියන මතය මට තවමත් රසවත්.ඒ කියන්නේ එක්කෝ අපේ තෝරාගැනීම මත අනාගතය රුක් සටහනක් වගේ අතු බෙදෙන්න ඕන.... ඒ කියන්නේ Fringe Science වල එන Alternative universes කියන මතය.
මමත් අයින්ස්ටයින් ගේ මතයට එකඟ නැහැ හේතුව ඒ නිසා පාර්ශවිකව වුනත් දයිවවාදය පිළිගන්න වෙන එක.
ඔබට හැකිනම් කාලය සහ එහි විසංවාදයන් ගැන තවත් කරුණු මෙහි පලකරන්න... මමත් ඒ ගැන තවත් අධ්‍යයනය කරන්න ඉතාමත්ම කැමතියි. ස්තුතියි නැවතත්...
අයින්ස්ටයින්ගේ මතය ාdouble slit experiment වගේ පරීක්ෂණ වල ප්‍රතිඵල එක්ක එකට යන්නේ නෑ. අනිත් එක අපි මේ දශක ගණනක් පැරණි මතවාදම කියව කියව ඉන්න එකේ නරකද අලුතින් ගොඩ නැගෙන string තියරිය වැනි දේ ගැන සිත යෙදෙව්වොත්. පරමාණුවේ සිට චක්‍රාවාට දක්වා සියළුම දේ සඳහා එක සේ යොදාගත හැකි එකම විද්‍යාත්මක මතය එය පමණයි.
ReplyDelete@ Dasun Sඅමීර
ReplyDeleteඔව්. අණුක භෞතිකවාදයෙන් මේ වෙනකොට බොහොමයක් විරුද්ධාභාෂයන් පැහැදිලි කරන්න පුළුවන් වෙලා තියෙනවා. ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට.
නමුත් මම එක් දෙයක් පැහැදිලි කරන්න ඕන. මේ සටහනින් උත්සාහ කරන්නේ කාලතරණය ගැන විද්‍යාත්මක සංවද තලයකට යාම නෙවෙයි, අපි අවිඥානික තලයේදී සිතන පතන දේවල් වලට සාකල්‍ය ප්‍රවේශයක් ලබා ගැනීම. පිටස්තරයා ඒ සැබෑ අරමුණ අල්ලාගත්තා.
කොහොමවුනත් එයින් අදහස් වෙන්නේ නැහැ ඔබගේ කමෙන්ටුවේ ගුණය බාලවෙනවා කියලා. ඒක වටිනා අදහසක්. ස්තුතියි.
~ හිපියා
string theory හරියට හැදෑරුවොත් ඒක මහ විකාරයක් වගේ පේනවා. කොහොම වුනත් අයිස්ටයින් කියපු දේවල් පරණයි කියන එකට මම නම් එකඟ නෑ. මොකද වර්තමාන දේවල් හදාරන්න නම් අයිස්ටයින් ගැන හදාරුල ඉන්න වෙනවා. string theory ඉබේ පහල වුනේ නෑ.
ReplyDeleteඑවැනි සංකල්ප ගොඩ නගන්න ගත්තෙ අයිස්ටයින් ගැන හැදෑරීමේන් පසසෙ. විශේෂයෙන්ම E = mc2 කියන සමීකරනයම ඇති අයිස්ටයින් කරපු දේවල් ගැන දැන ගන්න.
අයින්සිටයින් ගැන හැදෑරීමෙන් තමයි නූතන විද්‍යාව ගොඩක් ඉස්සරහට ආවෙ.
Dark Matter, Dark energy , nuclear power වගේ තවත් ගොඩක් දේවල් වලට පදනම දමන්නෙ ඔහු.
අනිත් කාරණය string theory ගණිතය මත ඔප්පු කල පමණින් එය සියලුම දේ පැහැදිලි කල හැකි තියරිය බවට විද්‍යායන් පවා තාම පිළි ගන්නෙ නෑ.
CERN හි තාමත් ඒ ගැන පරීක්ෂණ කරනවා. නමැත් අයිස්ටයින් කියූ බොහො දේ පසුකාලිනව ඔප්පු කලා. ඒ අතින් string තියරි ඉන්නෙ තාම ළදරු අවධියෙ.
ඇත්තටම ඒක දැන් M තියරි කියල තමයි හදුන්වන්නෙ.
http://superstringtheory.com/basics/index.html
ReplyDeletehttp://www.pbs.org/wgbh/nova/elegant/everything.html
http://www.pbs.org/wgbh/nova/elegant/viewpoints.html
http://www.pbs.org/wgbh/nova/elegant/dimensions.html
http://www.pbs.org/wgbh/nova/elegant/view-witten.html
ReplyDeleteමේ string theory ගැන ගොඩක් සේවයක් කරපු කෙනෙක්. කියවන්න.
මචං ,
ReplyDeleteතරහ නැතුව මේ ටිකත් කියවමු. :)
http://www.msnbc.msn.com/id/7318567/ns/technology_and_science-science
ඒත් සමහර වෙලාවට කවුරුහරි නන්නාඳුනන කවියෙක්, ලේඛකයෙක් කිසිම තේරුමක් නැතුව ලියන පදවැල් කීපයක් ඇතුළේ සියවස් ගණනාවකට පස්සේ අපූර්ව තේරුම් පෙනෙන්න පටන්ගන්න හොඳටම ඉඩ තියෙනවා!
ReplyDeleteඋඹ සමනලයෙක් වෙලා අනාගතය යහපත් විදියට වෙනස් කරන්න හිතාගෙන තටු ගහන විදිය හරි ලස්සනයි සහෝදරයා..!
@නිදහස
ReplyDeleteමටනම් ස්ට්‍රින් තියරිය විකාරයක් වගේ පෙනුනේ නෑ. නමුත් එකම දුර්වල කම ඒය තහවුරු කරගත නොහැකිවීම පමණයි. ගුරුත්වාකර්ෂණය මේතරම් බලයෙන් අඩු ඇයි. ඒ වගේම මහා පිපුරුම් වාදයේ ඇති දෝෂ හඳුනාගෙන නිවැරදි පිලිතුරක් දිය හැකි එකම තියරියත් එයයි.
-ප.ලි. උඹගේ බ්ලොග් එක බලපු කාලයක් මතකනෑ. ඉස්ස නෙවරදවා කියවපු බ්ලොග් එකක්නේ..
@පැතුම්
ඔබගේ කතාව අල්ල ගත්ත තැන වැරදිලා නොවෙයි. මට මේ පිළිබඳත් පොඩ්ඩක් මේ එක්කම මතක් වෙච්ච නිසයි ඒ ප්‍රතචාරය දැම්මේ. ඒ ප්‍රතිචාරය නිසා නිදහස් ඔය ෆොම් වොල තියෙන්නේ ;) මට ඕන වුනේ ඒක.
පුද්ගලිකව කාල තරණය ගැන මම විශ්වාස කරන්නේ නෑ. නමුත් කාලය එකිනෙකට සාපේක්ෂවිය හැක. මා එයින් අදහස් කලේ අතීතයට යා නොහැකි බවයි. නමුත් අවුරුදු ඔබට දැනෙන ලෙස අවුරුදු 10ක් ගත වුවද අවුරුදු 100ක අනාගතයට ඒ කාලය තුල ගමං කළ හැකි ක්‍රමයක් කල්පිතව ගොඩ නැගිය හැකියි. නුමුත් ඔබට ආපසු අතීතයට එන්නට බෑ.
Interesting post..!!
ReplyDelete[ඒ වගේම හැබෑම ලස්සන ටෙම්ප්ලේට් එකක් පැතුම්]
:D
@ Ansh Lucky Sri Jay
ReplyDeleteස්තුතියි නංගි... මම මේ ෆොටෝ එක විතරයි හොයාගත්තේ... ටෙම්ප්ලේට් එකේ සම්පූර්ණ ගෞරවය යන්න ඕන මගේ අපාය සහාය මිත්‍රයාට... මිස්ටර් ලිශ් වෙබර් නොහොත් ලිශාන් පුවකෝවිට නොහොත් අවිස්සාවේල්ලේ මැණික් ගරන පුංචි මහත්තයට...!!! :)
අතීතය හඹා ගොස් විය හැකිව තිබූ දහසක් possibilities අතරින් විය යුතුව තිබූ හොඳම කියා දෙයක් නොමැති බවත් , අතීතය නිවැරදි වෙන මොහොතක් පාසා අනාගත ධාරාවන් නිර්මානය වෙමින් වර්තමානය ව්‍යාකූල වෙන බවත් මොනවට කියූ නිර්මාණයක් Butterfly Effect.
ReplyDeleteනිවැරදි කල හැකි බොහෝ දේ විය යුතුව තිබුනේ මෙසේ යැයි අප තැවෙන බොහෝ දේ එසේ සිදු වූවා නම් මෙසේ නොවෙන බව පමණක් කියා යන්නම්....
කැරලිකාර පන්හිඳෙන් ලියන ,හැමෝටම ලියන්නට ලේසි නැති මෙවන් දේ ලියන ඔබට ස්තූතියි සහ ජය!
අයිය වගේම චාමි අක්කත් කිව්ව හරි .. අපි ගොඩක් සිහිනයන්හිදි දකින්නෙ අතීතයේදී හෝ අනාගතයේදී විශේෂ පුද්ගලයෙක් වීමටයි .. ඒ මොනයම් හෝ දේකින් ..ඉතින් මටත් ඒ කාලෙ ඒ වගේ ආසාවක් තිබුන .. නමුත් ඒක වැඩි උනේ spellbinder කියල ටීවීසීරීස් එකක් බැලුවට පස්සෙයි .. බලන්න හිතෙන පෝස්ට් එකක් අයිය.. කමෙන්ට් නුත් නියමයි
ReplyDeleteඒත් සමහර වෙලාවට කවුරුහරි නන්නාඳුනන කවියෙක්, ලේඛකයෙක් කිසිම තේරුමක් නැතුව ලියන පදවැල් කීපයක් ඇතුළේ සියවස් ගණනාවකට පස්සේ අපූර්ව තේරුම් පෙනෙන්න පටන්ගන්න හොඳටම ඉඩ තියෙනවා!
ReplyDeleteමම මුලු ලියවිල්ලෙම කැමතිම තැන එතන.. ජීවිතේ සිදුවන හැම වරදකම අවසානෙ අතීතය අඬ ගහනවා.. ඒ අඬ ගැහීම හරි අපූරුයි.. ඒත් වර්තමානයේ ඒ දේ නොවුණා නම් අතීතය අඬ ගසාවිද? මම හිතන්නෙ වැඩක් නෑ..