Thursday, August 5, 2010

ඇයි වෙරෝනිකාට ජීවිතේ එපා වුනේ... වෙරෝනිකා... දැන් මටත් පිස්සු!

පිස්සන් කොටු... ඒ සාමාන්‍ය ව්‍යවහාර භාෂාවෙන්... හරියටම කියනවා නම් මානසික ආරෝග්‍ය ශාලා... මොකටද ඒවා තියෙන්නේ? ලේසියෙන්ම කියන්න පුළුවන් පිස්සන්ව දාන්න කියලා... (අපි මේ මොහොතේ පිස්සාව නිර්වචනය නොකර ඉමු) ඇත්තටම් මානසික ආරෝග්‍ය ශාලා තියෙන්නේ පිස්සන්ව ගාල් කරලා තියන්නද? දැන් එහෙම පිස්සන්ව කොටු කරලා තියෙන උන්මත්තකාගාර (asylum) නැහැ.. පිස්සොත් නැහැ. දැන් ඉන්නේ මානසික රෝගීන්, තියෙන්නේ මානසික ආරෝග්‍ය ශාලා... ඔවුන්ව සුවපත් කරන්න. අඩු තරමේ මිනිස්සු Lunatic කියන වචනේ ගැන එහෙම කථා කරන එකත් සමාජ විපර්යාසයක් කියන්න පුළුවන්.

මට එකවතාවකට වඩා අත්දැකීම් තියෙනවා මිනිස්සු "පිස්සෙක්" විදියට මාව හඳුන්වලා. ඒත් ඒ හැඳින්වීම වෙනස්. කවුරුවත් මාව මානසික ආරෝග්‍ය ශාලාවකට යවන්න ඕන කියලා හිතුවේ නැතත් මට සාමාන්‍ය මිනිස්සුන්ට වඩා පිස්සු කියලා නම් කියලා තියෙනවා, මට නෑහෙන්න ඒ ගැන සඳහන් කරන්න තරම් සමහර අය කරුණාවන්ත වුනා. කවුද කියන්නේ මිනිස්සු කුරිරුයි කියලා...!

මම, මේ සමාජයෙන් වෙන්කරලා තියෙන පිස්සන් සහ සමාජගත පිස්සන් ගැන පුදුම වෙන්න පටන් ගත්ත කාලයේම තමයි වෙරෝනිකා ඕනවට වැඩියෙන් නිදිපෙති අරගෙන දිවි නසා ගන්න තීරණය කරන්නේ. වෙරෝනිකාට තිබුනු ප්‍රශ්නය සඟරාවක "Where is Slovenia?" කියලා ලිපියක් පළවීම කියලා ඇය තමන්ගේ ක්‍රියාව සාධාරණීකරණය කළත් ඇත්ත හේතුව අපි හැමෝම දැනගත්තා තප්පර කෑල්ලක් ගතවෙන්නත් කලින්. වෙරෝනිකාට ඔක්කොම එපා වෙලා තිබුනේ. හරියටම කියනවා නම් ජීවත් වෙන එක මහාම මහා කම්මැලි වැඩක් වෙලා තිබුනේ. මට හරියටම වෙරෝනිකා තේරුම් ගන්න පුළුවන් වුනා මටත් ජීවිතේ කම්මැලි කම දැනිලා, ජීවත් වුනා ඇති කියලා හිතුනු අවස්ථා තිබුනු නිසා...කොහොම වුනත් මම හොයාගෙන තිබුනා ජීවත් වෙන එක කම්මැලි නොවෙන්න දෙයක්... හැමදාම උදේට මතක් කරගත්තොත් අද හවසට මැරෙන්නත් පුළුවන් කියලා, ඔන්න එක පාරටම ජීවිතේ හැංගිලා තිබුනු වර්ණ පේන්න ගන්නවා. එකපාරටම ආශ්චර්‍යයකින් වගේ ජීවිතේ වටිනා දෙයක් කියලා හිතෙන්න ගන්නවා. මැරෙන්නෙ කලින් ජීවිතේ කරන්න තියෙන හැමදේම කරන්න ඕන කියන හැඟීම නිසා අපූරු වින්දනයක් ජීවිතේ පුරාම ගලායන්න පටන් ගන්නවා... හැබැයි මේ අදහස එක පාරටම පිළිගන්න ඉක්මන් වෙන්න එපා. අමතකද... මිනිස්සු මට පිස්සු කියලත් කියනවා. සමහර විට පාවුලෝ කොයියෝ ටත් මිනිස්සු එහෙම කියන්න ඇති...

දවසක් මට පාරෙදි මුණගැහුනු මනුස්සයෙක් අපූරු කථාවක් කිවුවා... 'රටේ ඉන්න පිස්සෝ ඔක්කොම එකතැනකට ගාල් කරලා කන්න බොන්න දෙන්න ගියොත් රටේ ආර්ථිකයත් කඩාවැටෙන්න ගනිවි, රටක් ඉතිරි වෙන එකකුත් නැහැ. ඒ නිසා ලේසිම ක්‍රමය තමයි හොඳ සිහියෙන් ඉන්න අයව කොටු කරලා, වෙන් කරලා පිස්සෝ ටික නිදහස් කරලා තියන එක.  ප්‍රශ්නේ ඉවරයිනේ. කොටු කරලා ඉන්න අයට පිස්සෝ කිවුවත්, මානසික රෝගීන් කිවුවත් දෙකම කිවුවත් වෙනසක් වෙන්නේ නැහැනේ."

මතක තියාගන්න, සම්මතය හැමවිටම සාපේක්ෂයි. මට මේ කථාව කිවුවෙත් සමාජ සම්මතයට අනුව පිස්සෙක්... හරියටම කිවුවොත් මානසික ආරෝග්‍ය ශාලාවකින් පැනලා ඇවිත් ගමේ යන කෙනෙක්... එයා කිවුවෙත් "මට තාමත් පිස්සු මහත්තයෝ" කියලා... සමහරවිට මේ කතාව ලියන්නේත් සමාජ සම්මත ප්‍රමිතීන්ට අනුව පිස්සෙක්... කෝකත් එකයි.. අද හවස ගෙදර යන්න කලින් මම මැරෙන්න සම්භාවිතාවක් තියෙන නිසා ජීවිතේ පුදුමාකාර ලස්සනයි...!!!



8 comments:

  1. සිරාවටම් ඇත්ත කතාව....හරියට අන්ධයො විතරක් ඉන්න රටකට ගිය ඇස්පේන මිනිහට වුනදේත් ඕකමයි නෙව...

    ReplyDelete
  2. මට නම් වෙරෝනිකා කියන්නේ කොයියෝ ගේ මාස්ටර්පීස් එක. මාරම පොතක්.
    ඔබ ලියලා තියෙනවා වගේ ඒක කෙලින්ම අපේ ප්‍රශ්ණෙට බහිනවා.
    පොත කියවපු අය එක්ක කතා කරද්දි තේරෙන්නෙ බහුතරයකට තියෙන්නෙ වෙරෝනිකාගෙ ප්‍රශ්ණෙම තමා කියන එක.

    ReplyDelete
  3. මමත් කියවපු නියම පොතක් තමයි වෙ.මැ.තී.ක. ඇත්තටම තියෙන ප්‍රශ්ණෙ තමයි අනිත් මිනිස්සු අපිව පාලනය කරන්න යන එක. එයාලගෙ සිස්ටම් ඇතුලට අපිවත් ඇදල ගන්න යන එක. අපි ඉන්න විධිය කාටවත් කරදරයක් නොවුණත් අපට අපිට ඕන විධියට ඉන්න බැරි වීමේ ප්‍රතිඵලය ජීවිතේ එපාවීමම තමයි...

    ReplyDelete
  4. නියම පොතක්. ඊටත් වඩා ඇත්තටම අගනා පෝස්ට් එකක්. කෙළින්ම ඔලුවට කතා කරපු.

    ReplyDelete
  5. @ හේමලයා

    අපි හැමෝම එකම පිස්සු නැටුමක් නටනකොට අපිට දැනෙන්නේ නැහැ අපි පිස්සුවෙන් නටනවා කියලා... ඒත් නැටුමෙන් පොඩ්ඩක් ඈතට ගිහින් බැලුවොත් පේනවා මුන් ටික මොන තරම් පිස්සුවකින්ද නටන්නේ කියලා...

    @ charmi

    ඔව්, The Alchemist සහ Veronika Decides to Die කියන්නේ මිනිහෙක් ගේ ජීවිතයක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ශක්‍යතාවයක් තියෙන කෘති දෙකක් කියලා තමයි හැඳින්වෙන්නේ... ඒ වගේ කෘතියක් බිහිවෙන්නේ අවුරුදු ගණනාවකට සැරයක්...

    @ h

    අපි ජීවත් වෙන පුංචි කාලේ තව කෙනෙක්ගේ අවශ්‍යතාවයන් ප්‍රීනනය කරන්න අපේ හිතන පතන විදිය වෙනස් කරගන්න එක අපරාදේ...

    @ Ansh Lucky Sri Jay

    ස්තුතියි නංගි... අපිත් ලේඛකයෝ විදියට කරන්න ඕන මිනිස්සුන්ට තමන්ගේ ජීවිත වෙනස් කරගන්න පාර පෙන්නන එක...

    ReplyDelete
  6. මේ වගේ post 1ක් දකින්නත් ආසයි. ස්තූතියි..

    සම්මතය විතරක් නෙවෙයි මේ හැම මගුලම සාපේක්ෂයි. ඒ කියන්නෙ සේරම හිස් කියන එකනෙ. මේ පාර දිගේ හිතාගෙන යනකොට... වෙන දේට කියන්න වචනයක් නෑනෙ. කියන්න තියා හිතා ගන්නවත් බෑ. සමහර විට ඒකට වෙන්නැති පිස්සු කියල කියන්නෙ.

    මට මේ දේවල් වලට කොහෙන්වත් උත්තර නැති නිසා මෙහෙම අහන්නෙ..
    Ansh ට කිවුව විදියට ජීවිත වෙනස් කරගන්න පාර පෙන්නන්නෙ කොහොමද.. මිනිස්සුන්ට කියනවද සම්මතයෙ විදියට හැදියන්.. හරියට අපෙ අම්මල, මිස්ල කියල තියෙනව වගේ. එහෙම නැත්තන් සම්මතයට පිට ගියපු තමන්ගෙ විදියට යනවද.. ඊට පස්සෙ ආයෙත් මේ සමාජෙ ජීවත් වෙන්නෙ කොහොමද? මම දැකපු පිට පැන්න උන් නොමැරි මැරෙනව. කෙටියෙන් අහනවන් තනියෙකුට ජීවත් වෙන්න පුලුවන්ද.. දැන් කියන්න නම් එපා ඔය අතරමැදි තත්ව ගැන.

    මොන පොතේ මොන දේ කිවුවත් සම්මතයට විරුද්දව යන එකාට පැවැත්මක් නෑ. අත්දැකීමෙන් කියන්නෙ. මේ සමාජෙ ඇතුලෙ ගොඩ ගන්න ජීවිතයක් නෑ.

    post එකේ මගේ නම කොහොම තිවුනත් දැන් මාව හදුන්නන්න වෙන්නෙ සමාජ සම්මතයට අනුව උන්මත්තකයෙක් කියල.

    ReplyDelete
  7. @ සිත්තරා

    සහෝදරයා, ඔබ කියන කථාව තවත් කථා ගොඩකට මඟ පාදනවා. මුලින්ම මම ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම්.

    ඔබත් මමත් වෙනසක් බලාපොරොත්තු වෙනවා, ඔබට හැමදාමත් තේරුණු දෙයක් තමයි "අනෙක් මිනිස්සුන්ට වඩා මොකක්ද විකාර ගතියක් මගේ තියෙනව" කියන එක. මේ ඔක්කොටමත් වඩා ඔයාට මහා තනි වුනු හැඟීමක් දැනෙනවා.

    ඔබ ඇත්තටම තනිවෙලා නැත්නම්? ඔබ සටන දිගටම පවත්වාගෙන යන්න සූදානම්ද? මේ සටන කරන්න පාරට බහින්න ඕන නැහැ. බෝඩ් උස්සගන්න ඕන නැහැ. උපවාස කරන්න ඕන නැහැ, හැබැයි කැප කිරීම කරන්න වෙනවා, මේක අරගලයක්... සහෝදරත්වයේ ලෝකයක් වෙනුවෙන් කරන අරගලයක්..

    ඔබට තාමත් තනිකම දැනෙනවා නම් ආයෙමත් බලන්න වටපිට.. අඩු තරමේ ඔයා වගේ හිතන පතන තව දෙතුන් දෙනෙක්ව වත් දකින්න ලැබේවි.

    පිස්සුව ගැන කියනවා නම් අපි හැමෝටම සෑහෙන තරමක පිස්සුවක් නැත්නම් අනාගතයේදී චින්තන විප්ලවයක් කරන්න දඟලන්නේ නැහැනේ.... මටත් "bi polar disorder" තියෙනවා කියලා මගේ මානසික ​ෙවෙද්‍යවරයා නිගමනය කළා. :)

    කොහොම වුනත් ජීවිතයත් සහෝදරත්වයත්, ආදරයත්, මරණයත්, මුහුණු වල රැඳුනු හිනාත්, කොළ අග රැඳුනු පිණි බිංදුත් ලස්සනයි... සම්මතය සාපේක්ෂ නිසාම අසම්මතය සුන්දරයි කියලා කියන්න ගොඩක් අය එකතු වෙන දවස ගැන තියෙන බලාපොරොත්තුත් සුන්දරයි!

    ReplyDelete
  8. //අද හවස ගෙදර යන්න කලින් මම මැරෙන්න සම්භාවිතාවක් තියෙන නිසා ජීවිතේ පුදුමාකාර ලස්සනයි...//

    ජීවිත කාලෙම වැඩියම ලස්සන වෙන්නෙ අපි මැරෙන බව අපි දන්න නිසා කියන එකටත් වඩා, අපි හැම වෙලාවෙම හිතින් ඒ සිතුවිල්ල reject කරන නිසයි කියලා හුඟක් වෙලාවට මට හිතෙනවා

    ReplyDelete