Sunday, May 2, 2010

කවියක් සහ අපේ ලොකු මාමා...

පුන් සඳේ ඔහොම නොකරන් හැමදාම...

රන් බඳේ කිතුල් ගෝමර ඇති සේම...

මන් ලඳේ මෙදුකා පවසන්නද කෝම...

යන් ලඳේ රටට නොකියා රහසේම...

මේ කවිය මට මුලින්ම ඇහුනේ හඳ එළියෙන් වැහුනු බාගෙට ගොයම් කපපු කුඹුරක පිදුරු ගොඩකට හේත්තු වෙලා නින්දත් නොනින්දත් අතරේ අහස දිහා බලාගෙන ඉන්නකොට... මේ කවිය කිවුවේ කුඹුරේ පැලට වෙලා හිටපු අපේ ලොකු මාමා... තාමත් මට කුඹුරු යාය විනිවිදිමින් උස් පහත් වෙවී නින්නාද වුනු ඒ ශෝකී කවිපද ඇහෙනවා වගේ... ඔව්, ලොකු මාමාගේ කටහඬේ තැවරිලා තිබුනේ ශෝකයක්... කවිය කිවුවේ අපේම ලොකු මාමා වුනත් ලොකු මාමා හිටියේ මහගම සේකරයන්ගේ තුංමංහංදිය පොතේ... ඒ අපේම ලොකු මාමා...

මට හරිම ආසාවක් තිබුනා, තාමත් තියෙනවා.. මේ කවියේ ආදරයට ලක්වුනු ගමේ කෙල්ල කොයි වගේ වෙන්න ඇත්ද කියලා බලන්න ... මට නිතරම දැනිලා තියෙනවා, මේ කවිපද මුමුණන හැමවෙලාවකම, මේ කවිපද අතරේ හැංගිලා ඇත්තේ Tragedy end එකක් කියලා... සමහරවිට මේ කවියා මේ තරම් ආදරේ කරපු දැරිවි පිට ගමකට දීග යන්න ඇති...කවියා කුඹුරේ පැලට වෙලා ඈ ගැන හිත හිත මේ සීපදය කිය කියා ඉඳලා මැරිලා යන්න ඇති... නැත්නම් මොකක්ද මේ කවිපද අතරේ හැංගිලා තියෙන ශෝකය?

තුංමංහංදිය පොතේ සිරිසේනගේ ලොකු මාමා සහ අපේ ලොකු මාමා බොහොම සමානයි... දෙන්නම ලස්සන හිත් තිබුනු අහිංසක, සුන්දර මිනිස්සු... අපේ ලොකු මාමා නියම ජේ වී පී කාරයෙක්... ... ඒ වගේම හැමෝම කියන විදියට විශිෂ්ට මොළයක් තිබුනු අපූරු මිනිහෙක් ... වෙනස් ලෝකයක් ගැන හීන දැකපු, ඒ හීනවලට අඩිතාලම් දමපු පුංචි කොළු ගැටයෙක්ගේ ලෝකයට ලොකු මාමා ලොකු හයියක් වුනා.

ඒ ලොකු මාමා අද නැතත්, මට අද ලොකු මාමාව මතක් වුනා. ඒ කවි පදත් ආයෙමත් ඇහෙන්න පටන් ගත්තා... සමහරවිට වෙල් එළිය දිගේ උස් පහත් වෙමින් ඇහුනු ඒ ශෝකාන්විත සීපද රාවය මහගමසේකරයන්ගේ භාවයන්ට කථා කරන්න ඇති... ඒ ඇහෙන්නේ අපේ ලොකු මාමාගේ කටහඬ...


පුන් සඳේ ඔහොම නොකරන් හැමදාම... යන් ලඳේ රටට නොකියා රහසේම...

6 comments:

  1. කාලෙකට පස්සෙ නේද?
    උඹේ මේ සටහනත් එක්ක මමත් මොහොතකට තිගැස්සුනා මේ පද හතරේ සැගවිලා තිබ්බ ඒ ශෝකාන්විත බව දැකල.

    ReplyDelete
  2. හ්ම්...................

    ReplyDelete
  3. ඔව්..ඒ කවි දෙපදේ හරිම ශෝකී හුදකලාවක් තැවරිලා තියනවා..

    ReplyDelete
  4. ඒ කවි ඒ වගේ තමයි

    ReplyDelete