Thursday, March 13, 2014

ඩැෆඩිල්: Verses from my eternal twenties



කඩිමුඩියේ ගත වෙන ජීවිතේත් ඩැෆඩිල් මලකට වඩා වෙනසක් නැහැ. රොබට් හෙරික් එහෙම කිව්වා කියලා සාහිත්‍ය පංතියේදී ඉගෙන ගත්තත්, පුදුමෙකට ජීවිතේ එක තැනකට එනකල්ම ඕක ඇඟට දැනෙන්නේ නැති හැටි. අඩු තරමෙන් ඒක එහෙමයි කියලා බුද්ධිය දැනගෙන හිටියට, ඒ හැඟීම හදවතට දැනෙන්න අවු‍රුදු තිහක්ම ගත වෙලා ගියපු හැටි.

හොඳින්ම ජීවත් වෙලා තියෙන්නේ අඩුම අවු‍රුදු ගණනක් තුළ වැඩිම කාලයක් ජීවත් වුණු මිනිහා හෝ ගැහැණිය කියලා ආඩම්බරෙන් කියපු මම, තව මාස කිහිපයකින් පස්සේ අවු‍රුදු තිහක් ඇත්තටම ගත වෙලා කියන ඇත්ත පිළිගන්න පැකිළෙනවා. දිල් චාතා හේ චිත්‍රපටයේ වයසින් අවුරුදු ගණනාවක් වැඩිමහල් චිත්‍ර ශිල්පිනිය තාරාට ආදරය කරනකොට ඇය එක්තරා මොහොතකදී පසුතැවිලි වුනා ඇගේ ජීවිතයේ අවු‍රුදු ගණනාවක් ගෙවිලා ගිහින් මාව මුණගැහුනු එක ගැන. ඒ වෙලාවේ මම තාරාට ආදරෙන් කිව්ව වචන මට තවමත් මතකයි. "අවු‍රුදු වලින් ජීවිතේ මනින්න බැහැ තාරා". ඒත් ඒ මමම මගේ ජීවිතේ ට්වෙන්ටීස් දාලා යන්න බැ‍රුව දුක් වෙනවා. ඒක sadness කියන දුක නෙවෙයි. ඒ හැඟීමට දෙන්න පුලුවන් නම melancholia... තාරාත් මමත් හමුවුණේ මගේ ට්වෙන්ටීස් වලදී...

  *******************************************

Melancholia කියන්නේ වචනයක්ම නෙවෙයි, ඒක ඊට වඩා හැඟීමක්. මනසේ ඇතිවෙන හිස්කමක් එක්ක ඇතිවෙන විශණ්ණතාවයක් එක්ක එන දුක්ඛ ලාලසාවක්. හරියටම නම් melancholia කියන්නේ ශෝකාකූලත්වයෙන් ඇතිවන සන්තුෂ්ටිය, සුඛ-වේදනාව කියලා වික්ටර් හියුගෝ කිව්වා. මගේ තාරා මැරෙන්න මොහොතකට කලිනුත් melancholia කියන හැඟීම දැනෙනවා කියලා කිව්වා.

"මිනිහෙක් කොයි තරම් සතුට හොයාගෙන ගියත්, දවස අවසානයේ සතුට කියලා දෙයක් ගැන ඒ මිනිහාට හිතාගන්න බැහැ කියලා, මිනිස්සුන්ගේ ජීවිත මැරෙනකල්ම කාලකණ්ණි කමකින් වැහිලා තියෙනවා කියලා, සත් සමුදු‍රු තරණය කරලා අවසානයේ ඒ මනුස්සයාගේ නෞකාව වරායට ලඟා වෙන්නේ මුහුදුබත් වුණු, පෙඳ පාසි වලින් වැහුණු සුන්බුන් ගොඩක් විදියට කියලා කිව්වේ මම නෙවෙයි ෂෝපන්හවර්" තාරා ඇස් පුංචි කරලා එහෙම කියනකොට මම ඒක පිළිගත්තේ නැහැ. "කොහොම වුනත් හෙට දවස වෙනකල් ජීවත් වීමම සතුටක්" කියලා මම ඒ කථාව අමතක කළා. එහෙම නැතිනම් මරණය වැළඳගන්න සූදානම් වෙලා හිටපු තාරාගේ ඔළුවෙන් ඒ කථාව අමතක කරවන්න උත්සාහ කළා.

අද, තාරා නැතුවත් මට ඒ හැඟිම, melancholia දැනෙනවා.

 *******************************************

Ajeeb daastaan hai yeh - Kahan shuru kahan khatam
Yeh manzile hai kaunsi - Na voh samajh sake na hum...

ඈට මාත් එක්ක ගත කරන්න ඉතිරිවෙලා තිබුණේ හරියටම එකම එක රාත්‍රියක් විතරයි. පහුවදා උදේ ඇය පිටත්වෙන්න නියමිතව තිබුණා. හරියට කලින් කියලා වගේ එදා රෑ වහින්න පටන් ගත්තා. ඇයටත් මටත් ගිටාරයටත් විතරක් ඒ පුංචි කාමරයේ යන්තම් ඉඩ තිබුණා. මම ඇඳ පාමුල වාඩිවෙලා ඇගේ උකුලට ඔළුව තියාගෙන වචනයෙන් කියාගන්න බැ‍රුව හිටි හැමදෙයක්ම කියන්න ගිටාරයට ඉඩ දුන්නා. එක මොහොතකට ගිටාරය පැත්තකින් තියලා ඈ දිහා බලනකොට මට ගැඹු‍රු ලිං පතුළක පේන ත‍රු දෙකක ඡායාව වගේ දිලිසෙන ඇගේ ඇස් දෙක පෙනුනා.

"මීට වඩා අපූ‍රු, අ‍රුම කථාවක් තවත් නැතිව ඇති... මේ කථාව පටන් ගත්තේ කොතනින්ද කියලා නොදැන අවසානයක් ගැන කොහොම හිතන්නද....  ඉරණම මේ කථාව කොහේට ගෙනයාවිද..." ඇය හෙමිහිට ගායනා කරන්න පටන් ගත්තා. හිතිවිලි වල හඬ ඇහෙන්නට පටන් ගත්තට පස්සේ වැස්සේ හඬ නොදැනීම යටපත් වෙලා ගියා.  කොහොම වුනත් ආයෙමත් කවදාවත් මේ රාත්‍රියවත්, ඒ ගීතයවත් මේ තරමට සුන්දරව මට අහන්න ලැබෙන එකක් නැහැ කියලා මට ඉවෙන් වගේ දැනුනා.

මට ඒ රාත්‍රිය සදාකාලික මොහොතක හිරකරලා තියාගන්න ඕන වුනා...

 *******************************************


Sindbad the sailor, sailed away one day
Listen up my friends...
Looking for a new world in his own way
Listen up my friends...
He sailed into uncharted seas
He was at the mercy of the waves
He was warned to not to go to sea
Listen up my friends...
Warned that it wasn’t such a good dream to see
Listen up my friends..
He was wrapped in his own dreams
And he listened only to his heart
The only thing he owned, was a dream of his own
That was the dream of Sindbad the sailor...


මට මැරෙන්න කලින් කරන්න ඕන දේවල ලැයිස්තුවේ තියෙන එක දෙයක් තමයි ඔල්වරසන් දෙන රසිකයින් පිරිවරාගෙන එකම එක රැයක රොක් සංගීතයත් එක්ක එකම එක ගීතයක් කරන එක. මම හැමදාමත් හිතෙන් මවාගෙන හිටියා Magik සංගීත කණ්ඩායමේ ජෝ, කිලර් ඩ්‍රමර් සහ රොබ් එක්ක ගිටාරය වාදනය කරමින් අති විශිෂ්ට එකම එක ඉදිරිපත් කිරීමක් කරන්න. අලුත් ලෝකයක් හොයාගන්න නිර්භීත සිහිනයත් සමගින් සින්බෑඩ් නම් මුහුදු යාත්‍රිකයාගෙ වීර චාරිකාව ගැන ගායනා කරන්න හැමදාමත් මට ඕනෑ වුනා. මුහුදේ දහසකුත් එකක් උවදු‍රු, සැඩ සුළං මැද්දෙන් සින්බෑඩ් තමන්ගේ සිහිනය හොයාගෙන යාත්‍රා කළ විදිය ගැන මම ගායනා කරනකොට රසිකයින් ඔල්වරසන් දෙන හැටි මට හැමදාමත් ඇහුනා.

ඒ ගීතය Magik සමගින් කළ අවසාන ඉදිරිපත් කිරීම. එදායින් මාස දෙකකට පස්සේ රොබ් මිය ගියා.

 *******************************************
තාරා මියගිහින් කොයි තරම් කාලයක් ගත වෙලාද කියලා මතකයක් නැතත් එදා රෑ මට තාරාව හීනෙන් පෙනුනා. ඈත් එක්ක ට්වෙන්ටීස් වලම හැමදාමත් ජීවත් වෙන්න ඕන උමතු ආශාවක් එක්ක මම ඇහැ‍රුණා. අන්දලුසියන් කඳුකරය පාමුල තැනිතලාවක ගිනිමැලයක් ලඟ වාඩි වෙලා ත‍රු පිරුණු ග්‍රීෂ්ම අහස දිහා බලාගෙන ඉන්න, මැරෙන්න කලින් එක වතාවක් අන්ග්කෝර් වත් බලන්න යන්න, මැරෙන්න කලින් ලෝකෙම මිනිස්සු කථා වෙන විදියේ පොතක් ලියන්න, තව එක දවසක් ඇගේ පිටේ කොණක පුංචි මල් කිනිත්තක් අඳින්න, තව එකම එක දවසක් රෑ එළිවෙනකල් ඈත් එක්ක කථා කරමින් ඉන්න, හිනා නොයන මගේ විහිළු වලට කම්මුල් රතු කරන් ඈ හිනාවෙනවා බලන්න... මේ විදියේ එකී මෙකී දහසක් දේ තිබුණු මගේ bucket list එක ඈත් එක්ක හදපු හැටි මට මතක් වුනා. ට්වෙන්ටීස් වල ඈත් එක්ක සදහටම ජිවත් වෙන්න නම් මගේ bucket list එකේ තියෙන දේවල් මේ මොහොතේම පටන් ගන්න ඕන කියලා හිතාගෙන මම නැගිට්ටා.

ජීවිතේ ඩැෆඩිල් මලක් වගේ අස්ථිරයි. ඒක ඇත්ත. කොහොම වුනත් ඩැෆඩිල් ගැන කවි ලියලා තියෙන්නේ රොබට් හෙරික් විතරක් නෙවෙයි. තාරාට මම එහෙමයි කිව්වේ.

I wandered lonely as a Cloud
That floats on high o'er Vales and Hills,
When all at once I saw a crowd
A host of dancing Daffodils;
Along the Lake, beneath the trees,
Ten thousand dancing in the breeze...


~ William Wordsworth

Salvador Dali - Melancholy, 1942

8 comments:

  1. Writing becomes a song when words make music... Memorizing, as always !!

    ReplyDelete
    Replies
    1. You always were an admirer of those words. :)

      Delete
  2. අන්තිමට දාලා තියෙන වර්ඩ්ස්වර්ත් ගෙ කවිය මුලින්ම කියවපු දවසෙ ඇති උන හැඟීම මට ආයෙත් මතක් උනා.

    ReplyDelete
    Replies
    1. වර්ඩ්ස්වර්ත් ගේ කවි වල දෘෂ්ටාන්ත වලට වඩා තියෙන්නෙ හැඟීම්.

      Delete
  3. අපූරූ ලිවීමක්.. හරියට ෆිල්ම් එකක් බැලුවා වගේ.. රහයි..

    සින්ඩියේ එල්ලුවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන්

      Delete
  4. ඉරිසියා හිතෙන තරම් සුන්දර ලියවිල්ලක්...

    ReplyDelete
  5. පැතුමා උබට අපිව මොල් කරන එකෙත් සිමාවක තියේනවා...පට්ට වචන ටික මචං. උබේ ලිවිල්ලේ තියෙන රටාවට මම පට්ට කැමති. ඒ අතරමැද හිස්තැන මාව අලුත් ලොකේක හිර කරනවා.

    ReplyDelete