Thursday, June 13, 2013

ජැක් සහ මායා බෝංචි වැල: Politically correct version

එකමත් එක රටක හිටි ජැක් කිසිදු විශේෂත්වයක් හෝ විශේෂ හැකියාවක් නැති බොහොම සාමාන්‍ය කොලු ගැටයෙක්. ජැක්ගේ පියා නොමැති අතර, වැන්දඹු මව සහ ජැක් ඉතාමත් අමා‍රුවෙන් ජීවිතය ගැටගසා ගන්නේ පවුලේ එකම වත්කම ලෙසින් සැලකිය හැකි එළදෙනගේ කිරි විකිණීමෙන්.

එක් දිනකදී මේ එළදෙන කිරි දීම නවත්වනවා. ජැක් සහ මවට තිබූ එකම ආදායම් මාර්ගයද අහිමි වනවා. මේ නිසා වෙනත් කිරීමට දෙයක් නොමැති තැන මව විසින් ජැක්ව වෙළෙඳපොලට යවන්නේ එළදෙනව විකුණා මුදල් ‍රැගෙන එන ලෙස පවසමින්.

එළදෙනවද ‍රැගෙන වෙළෙඳපොලට යන ජැක්ට මුණ ගැහෙන්නේ වයසක මනුෂ්‍යයෙක්. ඔහු ජැක්ට යෝජනා කරන්නේ එළදෙනව ඔහුට විකුණන ලෙසයි. එසේ වුවත් තමා සන්තකයේ මුදල් නැති බැවින් හිලව්වට මායා බෝංචි ඇට කිහිපයක් ඔහු ජැක්ට ලබාදෙනවා. මෙයත් රුගෙන ගෙදර යන ජැක් මවගෙන් නොසෑහෙනට බැණුම් අසා ගන්නවා. මායා බෝංචි ඇට මිදුලට විසිකර දැමෙනවා. ජැක්ට රාත්‍රී ආහාරය පවා නොමැතිව නින්දට යන්නට සිදුවනවා.

පසුදිනයේ අවදිවන ජැක් දකින්නේ ගෙමිදුලෙන් ඇරඹී අහස උසට නොපෙනෙන තෙක් විහිදී ගිය දැවැන්ත බෝංචි වැලක්. මේ සැබවින්ම මායා බෝංචි ඇට. ජැක් බෝංචි වැල තරණය කරන්නට පටන් ගන්නවා. වලාකුලු වලිනුත් එහාට, බෝංචි වැල දිගේ නැඟ යන ජැක් අවසානයේ අද්භූත දේශයකට පැමිණෙනවා. එහිදී මහා මාළිගාවක් ඉදිරිපිටට යන ජැක් එය යෝධයෙකුගේ වාසභවනය බව දැනගන්නවා.ජැක් යෝධයාගේ බිරිඳගෙන් කෑමට යමක් ඉල්ලා සිටින අතර, ඇය ඔහුට කෑම දී වැඩ කරන්නට සලස්වනවා. එවිට යෝධයා පැමිණෙනවා, ජැක් සැඟවෙනවා. යෝධයා ආහාර ගෙන නිදාගන්නා මොහොතේදී ජැක් පැන යන්නේ යෝධයාගේ රත්‍රන් කාසි මල්ලද රැගෙනයි. මායා බෝංචි වැල දිගේ පහතට බසින ජැක් නි‍රුපද්‍රිතව ගෙදර එනවා.

කෙතරම් භයානක කර්තව්‍යයක් වුවත් ජැක් නැවතත් මායා බෝංචි වැල දිගේ නැඟ යෝධයාගේ නිවසට යනවා. යෝධයාගේ බිරිය ඔහු ගැන සැක කළත් ඔහුට කෑමට යමක් දී වැඩ පවරනවා. දෙවන වරට ජැක් සොරකම් කරන්නේ යෝධයාගේ 'රත්‍රන් බිජු දමන කිකිළිය'යි. එහිදි ඔහු අනූ නවයෙන් බේරී පලා යනවා. තුන්වන වරටද යෝධයාගේ නිවසට යන ජැක්, එවර 'ඉබේ ගීත ගායනා කරනා වීණාව' සොරකම් කරනවා. එහිදී ජැක් පලායන්නට කලින් යෝධයා අවදි වෙනවා. ජැක් මායා බෝංචි වැල දිගේ පහතට බසිනවා. කෙසේ හෝ යෝධයා බෝංචි වැල දිගේ පහතට එන්නට කලින් නිවසට සේන්දු වන ජැක්, වහාම පොරව ගෙන මායා බෝංචි වැල කපා දමනවා. යෝධයා බිමට වැටී මිය යනවා. ජැක් සහ මව, තමන්ට උ‍රුම වූ වටිනා වස්තූන් සමගින් සතුටින් ජීවත් වනවා!

ඉන් පසුව ජැක්ට සහ ජැක්ගේ මවට සිදුවූයේ කුමක්ද? එසේත් නැතිනම් පාසැල් කාලයේදී කථාවක් කියා අවසානයේ අසන පරිදි ජැක් සහ මායා බෝංචි වැල කථාවේ ඔබට ඇති ආදර්ශය කුමක්ද? හරය කුමක්ද? සැබවින්ම එහි ආදර්ශයක් හෝ හරයක් තිබේද?

බොහෝ විට ජැක් සහ බෝංචි වැල කථාවෙන් 'ඔබේ හදවත අනුගමනය කරන්න' හෝ 'ධෛර්යය සම්පන්න පුද්ගලයා හට ජයගැනීමට නොහැක්කක් නොමැත' වැනි ආදර්ශයන් උගන්වන බවක් ප්‍රකාශ වෙයි.එනමුත් සැබවින්ම ජැක් සහ බෝංචි වැල කථාව සලකා බැලූ විට, වඩාත් පැහැදිලිව ජැක් ගේ චරිතය සලකා බැලූ විට ඔහු වීරයෙකුට වඩා මුලින් මෝඩයෙකු සහ ඉන්පසුව ද්‍රෝහියෙකු වන බව දැකිය හැක.

මුලින්ම ඔහු තමන්ගේ එළදෙනව පාරේදී මුණගැසෙන පුද්ගලයෙකුගේ කීමට, මායා බෝංචි ඇට කිහිපයක් සඳහා හුවමා‍රු කරයි. එහිදී ඒවා සැබවින්ම මායා බෝංචි ඇට වීමට වඩා නොවීම සඳහා සම්භාවිතාවක් ඇති අතර, කථාවේදී සැකයේ වාසිය ආගන්තුකයාට ලබාදී ඒවා සැබවින්ම මායා බෝංචි බව සුරංගනා කථා රචකයා විසින් ප්‍රකාශ කොට සිටියත්, එයින් ජැක්ගේ ක්‍රියාවේ මුග්ධ බව නැති නොවේ.

එසේම ජැක් විසින් යෝධයාගේ බිරිඳගේ ආගන්තුක සත්කාරයට ද්‍රෝහි වී ගෙහිමියාගෙන් සොරකම් කිරීමද, අවසානයේ ගෙහිමියාව මරා දැමීමද ජැක්ව වීරයෙකුට වඩා බියසුළු ද්‍රෝහියෙකු ලෙසින් හුවා දක්වයි. මුල් වතාවේ ගෙන එන රන් කාසි සියල්ල වැය කර, ඉන්පසුව ජැක් නැවත නැවතත් යෝධයාගේ වස්තුව සොරකම් කිරීමට පෙළැඹෙයි.

මේ නිසා ජැක් සහ මායා බෝංචි වැල කතාවේ වඩාත් දේශපාලනිකව නිවැරදි සංස්කරණයක්ද එළි දැක්වුණි. එම කථාවේ ආකාරයට සැබවින්ම යෝධයාගේ වාසභවනය අයත් වන්නේ ජැක්ගේ පියාටයි. එසේම රන් කාසි මල්ල, රන් බිජු දමනා කිකිළිය සහ ඉබේ ගී ගයන වීණාවද ජැක්ගේ පියාට අයත් වස්තූන් වෙයි. ජැක් කුඩා කාලයේදීම මෙම ආක්‍රමණික යෝධයා පැමිණ ජැක්ගේ පියාව මරා දමයි. ජැක්ගේ මව ලද‍රු ජැක්වද රුගෙන පලා යයි. ඉන්පසුව මෙම සිද්ධියෙන් ඇතිවන කම්පනය නිසා ජැක්ගේ මවට අතීතය අමතක වී යයි. යෝධයා ජැක්ගේ පියාගේ මාලිගාව සිය වාසභවනය කර ගනී. නොදැනුවත්වම හෝ ජැක් විසින්  සිදු කරන්නේ තමන්ගේ උ‍රුමය ලබා ගැනීම සහ තම පියා මැරූ පළිය ගැනීමයි.එය හෙළිදරව් වන්නේ අවසානයේ ජැක්ගේ මවට සියල්ල සිහිපත් වීමත් සමගයි. මෙම දේශපාලනිකව නිවැරදි කිරීම් සහිත කථාවෙන්, ජැක් හට ප්‍රවේශම් සහිතව නැවතත් වීරයාගේ භූමිකාවට අවතීර්ණ වීමට ඉඩ සැළසෙයි.

මෙහේ වෙන්නේත් මෙහෙම නෙවෙයිද?


පැතුම් පුංචිහේවා

13 comments:

  1. අපේ කළා ව්‍යාපාරික ජැක් සෑහෙන කාලයක් ජැක් ගහලා ගහලා හදාගත්තා බෝංචි වැල වගේ සල්ලි ගලන ක්‍රමයක්. දැන් ඌ තමා කළා ලෝකයේ ලොකුම ජැක් එක. හැබැයි ඌට අනික් කලාකාරයෝ කියන්නේ කුප්පීදු ජැක් බල්ලා කියලයි.

    ReplyDelete
  2. දේශපාලනිකව නිවරදි සංස්කරණය කියන එකෙත් ජැක් වීරය වීමක් වෙන්නෙ නෑ නේද පැතුමා... ඔන්න බෝංචි වැලේ පළවෙනි වතාවට නගින්න කලින් ජැක්ගෙ අම්මට අතීත කතාව මතක් වෙලා ජැක්ට කතාව කියන සීන් එක ආවනම් ජැක් වීරයෙක් කියල කියන්න තුබුනා... (මම දන්න කතාවෙ වීණාවෙන් තමා ජැක්ගෙ අම්මට මතකෙ එන්නෙ)

    මෙහෙ වෙන්නෙ ඕක නෙමෙයි... :)

    ReplyDelete
    Replies
    1. නැහැ මචන්. ඇත්තටම ඔය දෙවෙනි සංස්කරණය එලියට එන්නේ ජැක් චාටර් වෙන එක නවත්තන්න. ඒත් අම්මට සීන් එක මතක් වෙන එක කතාවෙ මුලට ආවොත් ක්ලයිමැක්ස් එක අවුල් වෙනවා. ප්‍රවේසම් සහගතම දේ තමයි වීණාවෙන් මතක් වෙන සීන් එක. ඉතින් මචන් අන්තිමට ජැක් වීරයා තමයි.

      මම හිතන්නේ මෙහේ ඕක වෙනවා කියලා. උඹ හිතන දේත් කියපන්

      Delete
  3. ජැක්ගෙ අම්මට මුලදිම වැඩේ මතක් වුණානං පැතුම් මතු කරන තර්කෙ එන්නෙ නෑ. මේක දේශපාලනිකව කියවගෙන යද්දිත් අවසානෙ දක්වා අපි හිතන්නෙ ජැක් ද්‍රෝහියෙක් කියල. නමුත් අවසානෙදි අම්මගෙ මතකය අවදි වීමත් එක්ක තමයි ක්ලයිමැක්ස් එකේදි ජැක් වීරය වෙන්නෙ. (ඒක වෙන්නෙ දේශපාලනිකව නිවැරදි කියවීමෙදි විතරයි මගෙ හිතේ. පොඩි කාලෙ අපි මුල ඉඳන්ම ජැක්ගෙ පැත්තෙ.) අපි අඳුනගන්න වීරය කියන චරිතෙ වෙනස් වෙනව. කාලයක් දුෂ්ඨ චරිතවල හිටපු අය හිටපු ගමන් වීරයො වෙනව. අනිත් පැත්තට වීර චරිත හිටපු ගමන් වැරැද්දකට මාටුටු වෙලා දුෂ්ඨයො වෙනව. ඕක වෙන්නෙ මෙහෙ විතරක් නෙවෙයි මගෙ හිතේ...

    ReplyDelete
    Replies
    1. පුහ්, දුස්ටයොයි වීරයොයි ගැන උඹ දන්න දේවල්!! ;)

      Delete
  4. මම අහලා තියෙන්නේත් දේශපාලනික සංස්කරණය විතරයි. මේ ළඟදී ආපු මේ කතාව බේස් කරන් ලියපු ෆිල්ම් එක නම් මීටත් වඩා ඉස්සරහට ගිහින් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එක සිරා. ඒත් තව පාරක් බලන්න තරම් හිතෙන්නෙ නෑ. මට මම කියන්නේ.

      Delete
    2. මටත් එහෙමයි බං. මුලින් බැලුවෙ අවුල් කොපියක්. දැන් හොඳ එකක් තිබුලත් බලන්න හිතෙන්නෙ නෑ. සමහර විට කාලෙකට පස්සෙ...

      Delete
  5. හෙමීට කියවන්න ඕනේ මචන්...

    ReplyDelete
  6. කොච්චර කොහොම කතාව වෙනස් වුනත් අපිට ආයෙත් ජැක් මුණ ගැහුනම මතක් වෙන්නේ මායා බෝංචි වැල දිගේ ගිහින් පෝසත් වෙච්ච කොල්ලෙක් විදිහටනේ..

    අන්තිමට ඉතුරුවෙන්නේ අපිටත් මෙහෙම බෝංචි ඇට ලැබෙන්නෑනේ කියලා ඇතිවෙන ඉරිසියාව තමයි..

    ReplyDelete
  7. මේකෙ කතුවරයා කව්ද

    ReplyDelete