Thursday, February 28, 2013

වීරයා මියගිය පසු...

"You either die a hero, or live long enough to see yourself become the villain."

වීරයෙක් වීම සෑමවිටම මනුෂ්‍යයෙකුගේ කෙටි ජීවිතයේ ප්‍රධානතම ආකර්ෂණයක් වන බව නොකිවමනායි. ඕනෑම මනුෂ්‍යයෙකුගේ චිත්ත සන්තානය තුළ වීරයෙක් ලෙසින් ග‍රු බුහුමනට පාත්‍ර වීමේ ආශාව උප විඥාණයේ හෝ සැඟවී ඇති අතර, දුෂ්ටයෙකු වීමට කිසිවෙකුත් සිහින දකින්නේ නැති බව ප්‍රත්‍යක්ෂයෙන්ම කිව හැකියි. එසේ වී නම්, දුෂ්ටයින් පැමිණෙන්නේ කොහි සිටද? බොහෝ විට දැකිය හැකි කාරණාව වන්නේ වීරයින් බවට පත්වීමේ උත්කෘෂ්ඨ සිහිනයන්ම දුෂ්ටයින්වද බිහි කරවනා බවයි. "ඔබ එක්කෝ වීරයෙකු ලෙසින් ජීවත් වී වීරයෙකු ලෙසින් ඉක්මනින්ම මිය යා යුතුයි, එසේත් නැතිනම් ඕනෑවට වඩා කාලයක් ජීවත් වී ඔබ දුෂ්ටයෙකු බවට ක්‍රමයෙන් පත්වන ආකාරය දැකිය යුතුයි"

ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාවේ පරම දුෂ්ටයා ලෙසින් පෙනී සිටිනා ඩාත් වේඩාර් සැබවින්ම වීරයෙකු වීමේ දෛවය ඇතිව උපන් බව, කෙටි කාලයකට හෝ වීරයාගේ චරිතය තුළ ජීවත් වූ බව දැකිය හැකියි. සුපර්මෑන්ගේ සදාතනික සතුරා වන ලෙක්ස් ලූතර් සැබවින්ම වීරයෙකු වීමේ පරම අභිලාශය ඇතිව ජීවත් වූ බව, සුපර්මෑන්ගේ ආගමනය සමගින් එම වීරයෙකු වීමේ සිහින මියගිය මොහොතේ පරම දුෂ්ටයා බවට පත් වූ බව, සුපර්මෑන් කොමික් කියවන ඔබට දැකගත හැකියි. එසේම නිශ්චිත දේශපාලන චරිතයන්ද වීරයින් බවට පත්වීමේ පරමාර්ථය දියව ගිය විට, ඔවුන් හටත් නොදැනීම දුෂ්ටයින් බවට පත් වූ බව මෑත ඉතිහාසය තුළ පහසුවෙන් දැකිය හැකියි.

සැබවින්ම තමන්ගේ කාර්යභාරය නිම කරනා ජනතා වීරයා සංකේතීයව මිය යා යුතු වේ. වීරයා හට අමරණීය වීමේ අවස්ථාව ලැබෙන්නේ එතැනින් පමණයි.

සොරෝ ඇස්ට්‍රියානු දර්ශනයේ සිට ලා ඕත්සු දර්ශනය දක්වා ද්වෛතවාදී මතවාදයකට පොදු ලක්ෂණය වන්නේ වීරයෙකුගේ පැවැත්මට සැබවින්ම දුෂ්ටයෙකුගේ පැවැත්මද අත්‍යාවශ්‍ය බව උපකල්පනය කිරීමයි. ආලෝකය සහ අඳුර අතර සදාතනික අරගලය ලෙසින් නිර්වචනය වන මෙය සරලවම ගතහොත්, වීරයාගේ පැවැත්ම සඳහා සෑමවිටම දුෂ්ට චරිතයක් නිර්මාණය විය යුතුයි ලෙසින් පැහැදිලි කළ හැකියි. එසේත් නැතිනම් වීරයා සටන් වදින්නේ කවු‍රුන් සමගින්ද? මේ නයින් ගත්විට වීරයෙකු නිශ්චිතවම බිහිවන්නේ ඔහුට එදිරිව නැඟී සිටිනා දුෂ්ටයාගේ බිහිවීම සිදුවන මොහොතේදී බව නොකිවමනායි. ඒ හා සමගාමීවම දුෂ්ටයාටද සැබවින්ම පැවැත්මක් ඇත්තේ, ඔහුව නැවැත්වීමට වීරයෙකු සිටින තාක්කල් පමණි.

මෙම කථාන්තරය දේශපාලන සන්දර්භයකට ආදේශ කිරීමෙන් අද ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකය තුළද විටින් විට බුර බුරා ඇවිලෙන බොහෝ අවුල් වියවුල් සම්බන්ධයෙන් අඩු තරමේ හොඳ චිත්‍රයක් ලබාගැනීමේ හැකියාව පවතියි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ පවත්නා මූලික අවුලක් වන්නේ දුෂ්ටයාගේ සහ වීරයාගේ චරිතය අතර ඇති අපැහැදිලිතාවයයි. විටෙක වීරයා යනු සැබවින්ම දුෂ්ටයාද යන ගැටළුවත්, දුෂ්ටයා විසින් එක් ක්ෂණභංගුර අවස්ථාවකදී සැබවින්ම වීරයාගේ චරිතය සිදුකරන්නේද යන ගැටළුවත් ප්‍රේක්ෂකයාහට මතුවේ.

ඔබගේ ජීවිතයේ සැබවින්ම දුෂ්ටයෙකු නැතිනම්, වීරයෙකු වීමට ඔබට ඇති එකම මාර්ගය වන්නේ පරිකල්පනීය සතුරෙකුගේ පැවැත්මක් නිර්මාණය කිරීමයි. එය දේශපාලනික තලයකට ගෙන යෑමට ඇවැසි නම්, ඔබ විසින් එම මනංකල්පිත දුෂ්ටයාගේ පැවැත්ම අනෙකාට ඒත්තු ගැන්විය යුතුයි. ඔබට එය සාර්ථකව සිදුකළ හැකි නම්, ඔබත් සාර්ථක දේශපාලඥයෙකු බවට සැකයක් නොමැති වේ.

වීරයා මියගිය විට එතැනින් දුෂ්ටයාගේ පැවැත්ම අවසන් වන බව 'මෙගා මයින්ඩ්' කා‍ටුන් චිත්‍රපටයෙන් මැනවින් පෙන්නුම් කරයි. එතැනින් එහාට දුෂ්ටයා හට අරමුණක් ඉතිරි නොවන අතර ඔහු අපේක්ෂා භංගත්වයට, විශාදයට පත්වීම වැළැක්විය හැකි නොවේ. කෙසේ නමුත් වීරයාගේ මියයෑමත් සමගින් දුෂ්ටයා හට තමන්ගේ ජීවිතයේ පරමාර්ථයන් හෝ අරමුණු සදහටම වෙනස් කරගැනීමට ස්වර්ණමය අවස්ථාවක් නිර්මාණය වන බව බොහෝ දුෂ්ටයින්ගේ සිහියට නොපැමිණෙන කාරණයක් වෙයි. වීරයා මියගිය පසු, දුෂ්ටයාට තවත් දුෂ්ටයෙකුගේ පැවැත්ම සමගින් වීරයා වීමේ හැකියාව ලැබෙන්නේ එතෙක් දුෂ්ටයා හා පැවති සමස්ත මතවාදී සන්දර්භයම උඩු යටිකු‍රු කරමින් වේ. උදාහරණයක් ලෙසට ජනතාවගේ වීරයා වීමට නියමිත, තවමත් ජනතා වීරයා යන චරිතය තුළ සිටින දුෂ්ටයාගේ අදූරදර්ශී සහ පීඩාකාරී පාලනයෙන් පීඩනයට පත්වන එක් මොහොතකදී කරන 'එක් අතකට ප්‍රභාකරන් සිටියා නම් මීට වඩා හොඳයි' යනුවෙන්, 'එක අතකට සුද්දාගේ පාලනය තිබුණා නම් මීට වඩා හොඳයි' වැනි ප්‍රකාශයකින් එළියට එන්නේද මෙම දුෂ්ටයා වීරයා බවට පත්වීමේ, රූපාන්තරණය වීමේ මොහොතයි.

අවසානයේදී ඔබ විසින් ගත යුතු කාරණාව වන්නේ ඔබටත් වීරයෙකු වීමේ ශක්‍යතාවය පවතී වැනි සීනිබෝල ධනාත්මක චින්තන අදහසක් නොවේ. දුෂ්ටයාහට වීරයා වීමේ අභිලාශය ඇති නම්, ඔහු හෝ ඇය විසින් ඔබ ඉදිරියේ පරිකල්පනීය දුෂ්ටයෙකු මවා තබා, තමන්ගේ පැවැත්මේ අවශ්‍යතාවය තහවු‍රු කරගන්නා බවයි. එහිදී ඔබට එම පරිකල්පනීය දුෂ්ටයාගේ පැවැත්ම සැබෑ දුෂ්ටයාගේ වීර පරාක්‍රමයෙන් යුත් වේෂ නිරූපණයෙන් වෙන්කොට හඳුනාගත නොහැකි නම්, දුෂ්ටයා බවට රූපාන්තරණය වූ වීරයා, ඔබ තවත් එක් රූකඩයක් පමණක් බවට පත් කරගන්නා බව නිසැකයි.

ජනතා වීරයින් දිගු කාලයක් ක්‍රියාකාරී වීම සෑමවිටම අවසන් වන්නේ ඔහු එක් ස්ථානයකදී දුෂ්ටයා බවට පරිවර්තනය වීමෙන් බවට අනාගතය සාක්ෂි දරයි. මුහුණු දෙකක් ඇති දෙවියා, ජානුස්ගේ කාලයේ සිට, මෑත අතීතයේ ශ්‍රී ලංකා දේශපාලන ධාරාව දක්වා ඉතිහාසය ඒ සම්බන්ධයෙන් සාක්ෂි දරයි.

පැතුම් පුංචිහේවා
darth vader by azullthras

9 comments:

  1. නියමයි පැතුමා...

    ReplyDelete
  2. සහතික ඇත්තය..වීරයාට වීරයා වීමට නම් අනිවාර්යෙන් දුෂ්ඨයෙක්ගේ ආගමනයක් විය යුතුය.. (සිත් ඇද ගන්නා ලිවීමේ රටාවක්..සුභ පැතුම්)

    ReplyDelete
  3. වර්ථමාන ශ්‍රී ලංකා දේශපාලන ධාරාව තුලින් ද දක්නට ලැබෙන්නේ වීරයාගේ පැවැත්ම සඳහා දුෂ්ටයකු නිර්මාණය කරමින් යන ගමනකි. ඒත් ඔබ මම අප හැමෝම මේ ක්‍රියාවලිය ඇතුලේ හුදු රූකඩ පමණක් බවට පත්වී ඇතිබව මේ සමාජය කෙදිනක තේරුම් ගනීද?????

    ReplyDelete
  4. ඔය ජෝන් ලෙනන් මහත්තයට වෙඩි තියපු බුවා ඔහොම කතාවක් කිව්වය කියල කොහේදෝ කියෙව්ව මතකයි. ඔය මිස්ටර් බීන් වුණත් ඒ චරිතෙ දිගටම රඟ ‍නොපාන්න තීරණය කළෙත් ඕක අදාල කරගෙන මග හිතේ...

    වීරත්වයට කාලයත් එක්ක වෙන දේ ගැන දන්න මිනිස්සු මැරෙන්න ඕන වෙලාව දන්නවා!

    වීරයොයි දුෂ්ඨයොයි ගැන උඹට මාර අමාරුවක්නෙ බං තියෙන්නෙ?

    ReplyDelete
  5. දෙපාරක්ම කියෝලයි තේරුං ගත්තේ ඕං...
    හිකිස්...
    ඔය වගේ කේස් එකක් ජස්ටිස් ලීග් එකෙත් තිබ්බා..
    සුපිරි දුෂ්ඨයා නැති උනායිං පස්සේ සුපිරි වීරයාගෙං මිනිස්සුන්ට වැඩක් නැති වෙනවා...

    ReplyDelete
  6. වෙනද වගේම නියමයි අදනම් කොමෙන්ට් කරන්නම හිතුන නියමයි...

    ReplyDelete
  7. වීරයාගේ පැවැත්ම ස්ථාපිත වන්නේ ඒ වීරයාව අප් කරවන දුෂ්ටයෙකුත් සිටිනතාක් පමනි .. එනිසා.. වීරයාට වීරයා වීමට ඇවැසිතාක් කල් දුෂ්ටයාගේ පැවැත්ම තහවුරු කිරීම වීරයා විසින් අනිවාර්යයෙන්ම කල යුතු දෙයකි ... :)

    සටහනට *තම්බ්ස් අප්* .. !!

    ReplyDelete
  8. සිරාම ටෝක...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. කොහොමද බං මෙච්චර දවසක් මට උඹ්ව මග ඇරුණේ ? ජයවේවා එහෙනම්.

    ReplyDelete