Thursday, January 3, 2013

Who wants to be a diplomat !!!



"නෝනලා මහත්තේලා මම වෙන කොන්දොස්තරලා වගේ නෙවෙයි, මම ආස නෑ උදේ පාන්දරම සද්දෙ දාලා, මෙතන ඔයගොල්ලන්ට කෑ කෝ ගහලා ඔයාලගෙත් දවස අවුල් කරන්න. එහෙම ඕන නැහැනේ. ඒ නිසා හොඳ නෝනලා මහත්තු‍රැ වගේ ක‍රැණාකරලා සල්ලි අතට අරගෙන මට සල්ලි දීලම පිටිපස්සට යන්න. ලඟ බැස්සට කමක් නැහැ, හැමෝම ඔයාලා වගේ උදේ පාන්දරින් රස්සාවලට යන නෝනලා මහත්තු‍රැ ඉන්නේ. බහින කොට කියලා ඉඩ ඉල්ලගෙන බහින්න පුළුවන්... ආන්න එහෙම. බලන්න කොයි තරම් ලේසිද හැමෝටම..."

මෙහෙම කථාකරනකොට, වයස හින්දා කේන්ති යන සීයා කෙනෙක්ට නැතිනම් ආච්චි ඇන්ටි කෙනෙක්ට වුනත් කට පුරා හිනා වෙලා කොන්දොස්තර මහත්තයට සල්ලි නොදී යන්න බැහැ. වෙනදට කොන්දොස්තර මහත්තයව තඹ සතේකට මායිම් නොකර බස් එකේ දොර ගාවම තෙරපි තෙරපි ඉන්න හැමෝම ඔය ලස්සනට කොන්දොස්තරට සල්ලිත් දීලා පස්සට යන්නේ. කොන්දොස්තර මහත්තයට අයිනකට වෙලා සල්ලි එකතු කරගන්න විතරයි තියෙන්නේ. හරිම ශෝක්. සතු‍ටු සිනා දෝරේ ගලනවා, බස් එකම සිරියාවයි.

බස් එකේ වාඩිවෙලා හිටපු මම මේ හැමදේම දිහා බලාගෙන හිතුවේ එකම දෙයයි. ඒ කොන්දොස්තර මහත්තයට කොයි තරම් සාර්ථක රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, එහෙම නැතිනම් ඩිප්ලොමැට් කෙනෙක් වෙන්න තිබුනද කියන එක. කොන්දොස්තර මහත්තයා නොදැන හරි භාවිතා කළේ ඩිප්ලොමැසි. හැබැයි ඕක බස් එකේ වෙන කවු‍රැවත් දැනගෙන හිටියේ නැහැ, අඩු තරමේ කොන්දොස්තරවත් දන්නේ නැහැ තමන්ට ඒ වගේ ශක්‍යතාවක් තියෙනවා කියලා. සමහර විට බස් එක ගමනාන්තයට ගිහින් ඊලඟ ටර්න් එකට වෙලාව එනකල් කොන්දොස්තර මහත්තයා ඩැයිවර් මහත්තයා එක්ක කදේ දාගෙන ඉන්න වෙලාවක, ඩැයිවර් මහත්තයා කියන්න පුලුවන් "උඹේත් මාර මොත්තේ තියෙන්නේ කියලා".

ආන්න වචනේ අහුවුනා. ලංකාවේ ඒකට කියන්නේ ඩිප්ලොමැසි කියලා නෙවෙයි. මොත්තේ දානවා කියලා. හැබැයි මේ යෙදුම භාවිතා වෙන්නේ නරක අතටම නෙවෙයි. උදාහරණයක් විදියට උදේ පාන්දර කොන්දොස්තර මහත්තයා දීපු දේශනාව කිසිසේත්ම ඵලරහිත නැහැ. කාටවත් පාඩුවක් වුනේත් නැහැ, සාමාන්‍යයෙන් බස් එකක කොන්දොස්තර බස් මඟීන් එක්කත්, බස් මඟීන් කොන්දොස්තර සහ සමස්ත ආණ්ඩුව එක්කත් ගේම ඉල්ලනවා. බස් එකෙන් බහින කොට දවසම ඉවරයි. කොන්දොස්තර මහත්තයාගේත් ඇ‍ඟේ ලේ ඔක්කොම පිච්චිලා ඉවරයි.

*************************************************************************

මට මතකයි අපේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෙක් වෙන්න මොනතරම් තරගයක් තිබුනද කියලා. සාමාන්‍යයෙන් අපේ විද්‍යාලයේ, නැතිනම් ගමේ මිනිස්සු කියන විදියට ටවුමේ කොලීජියේ ශිෂ්‍ය නායකයෙක් කියන්නේ සර්ව බලධාරී නැතත්, තිස්තුන් කෝටියක් දේව මණ්ඩලයේ සාමාජිකයෙක් තරම් වැදගත් තැනක් තිබුනු කෙනෙක්. ශිෂ්‍ය නායකයෙක් වෙන එක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. දහසකුත් එකක් ක්‍රියාකාරකම්, මිලිටරි පුහුණු කඳවු‍රැ කාලයක් ඈ හැමදෙයකින්ම සාර්ථකව දිවි ගලවා ගත්තත්, තවත් බොහොමයක් දේවල් සපුරාලන්න ඕන. පාසැල සිංහල බෞද්ධ වුනත් ඉංගිරිසියෙන් වැඩ කරන්න හැකියාව තිබීම, සුද්දා පරාදවෙන විදියට රජා නොමරා ඉංගිරිසි උසු‍රැවන්න හැකියාව තිබීම, ශිෂ්‍ය නායකයෙක් වීමේ අවශ්‍ය සාධකයක් බවට පත්වුනු එක කාලයක් තිබුනා.

සුද්දාස් ටන්ග් එක අතිශය ගැටළුකාරී දෙයක් බවට පත්වෙලා තිබුණු, ශිෂ්‍ය නායක පදවිය පිළිබඳ දහසකුත් එකක් බලාපොරොත්තු තියාගෙන හිටි ශිෂ්‍යයන්ට, සම්මුඛ සාකච්ඡා මණ්ඩලයේ හිටි අති භයංකර විදියට වතුර වගේ ඉංග්‍රීසි කථාකරන, බනිනකොටත් ඉංග්‍රීසියෙන්ම බණින, අති සුන්දර වගේම පාසැල තුළ ප්‍රබල ස්ථානයක වැජඹුණු "ඉංග්‍රීසි ගු‍රැතුමිය"ගේ කඩ ඉම පහුකරන එක බරපතල ගැටළුවක් බවට පත්වෙලා තිබුනා. 

කොහොම වුනත් එක ශිෂ්‍ය නායකයන් තේරීමේ වාරයකදී, පාසැලේ අනෙක් බාහිර ක්‍රියාකාරකම්, ඉගැනුම් කටයුතු මේ දේවල් වලින් සාමාන්‍ය මට්ටමකින් ඉදිරියෙන් සිටි, ඒත් යේස්, නෝ, තෑන්ක් යූ කියනවා ඇරෙන්න වෙන කිසිම ඉංග්‍රීසි වචනයක් දැන නොහිටි ශිෂ්‍යයෙක් සම්මුඛ සාකච්ඡා මණ්ඩලය ඉදිරියට ගිය මොහොත පිළිබඳව කථාන්තරයක් මුඛ පරම්පරාගතව ඉදිරියට ආවා. මේ වෙලාවේ සුන්දර ඉංග්‍රීසි මිස් සාකච්ඡාව ආරම්භ කළේම පිරිසිදු ඉංග්‍රීසි ආමන්ත්‍රණයකින්. එතනින් එහාට ප්‍රශ්න තුන හතරක් වෙඩි තියන වේගයකින් අපේ මිත්‍රයාගේ මුහුණට එල්ල කරන්නටත් ඉංග්‍රීසි මිස් සමත් වුනා. මේ වෙලාවේ අපේ මිත්‍රයා නොබියව ප්‍රකාශ කළා කියලා කියනවා මෙන්න මෙහෙම.

"මිස් මම හොඳ සිංහලයෙක්. මගේ මවු භාෂාව සිංහල. ඒ නිසා මගෙන් සිංහලෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න. මට ඉංග්‍රීසි බැහැ. ඒ ගැන මට ලැජ්ජ වෙන්න දේකුත් නැහැ."

අඩු තරමින් කියනවා නම් ඉංග්‍රීසි මිස් ටිකක් පුදුම වෙන්න ඇති. මොකද මේ මම කියන ඉංග්‍රීසි ගු‍රැතුමිය පාසැල් චතුරශ්‍රයේ බෝම්බයක් පිපි‍රැණත් ලෙහෙසියෙන් කලබල වෙන ජාතියේ නෙවෙයි. කොහොම වුනත් ඉන් එහාට සම්මුඛ සාකච්ඡාව සිංහලෙන් කෙ‍රැනා. ඒ තරම් නිර්භීතව තමන්ට ඉංග්‍රීසි බැරි බව පිළිගත් නිසාම අපේ මිත්‍රයාට ශිෂ්‍ය නායක පදවිය ලැබුනා. මේ සිදුවීම පාසැල් කාලෙදි ඕනෑ තරම් අහලා තිබුනත්, මේත් ඩිප්ලොමැසි කියන එක මට අවබෝධ වෙන්න පාසැලෙන් ඉවත්වෙලාත් අවු‍රැදු කිහිපයක් ගත්වුණු නිසාම අද ඒ ගැන ලියන්න හිතුනා.

හැබැයි මේ කථාවට එකතුවෙන්න ඕන තවත් දෙයක් තියෙනවා. ඒ ඉංග්‍රීසි ගු‍රැතුමියට අතීතය අමතක වීමේ ඇම්නීෂියා තත්වයක් ඇතැයි වරදවා වටහාගත් තවත් ශිෂ්‍ය නායක අයදුම් ක‍රැවන්, පහුකාලීනවත් මේ උපාය මාර්ගයම භාවිතා කරන්නට සූදානම් වුනත්, ඒ අවාසනාවන්තයන්ට ශිෂ්‍ය නායක පදවිය වගේම තමන්ගේ ආත්ම ගෞරවයත් සම්මු සාකච්ඡා මණ්ඩලය ඉදිරිපිට අමතක කරන්න වුනේ, එවැනි දෙයක් සිදුවන්නේ ඉතිහාසයට එක් වතාවක් කියන කාරණය පැහැදිලි කර දෙමින්. 

ඒ වගේම එතැනින් තවත් කාරණයක් කියැවෙනවා. හොඳ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හැමවෙලාවකම උපාය කෞශල්‍යයෙන් පිරිපුන් වගේම අතිශය නිර්මාණශීලී විය යුතුයි යන්න. තමන්ට කලින් අයගේ තියරි විතරක් අනුගමනය කරන කෙනෙක්ට කොයි තරම් උත්සාහ කළත් හොඳ ඩිප්ලොමැට් කෙනෙක් වෙන්න තියා හොඳට "මොත්තේ" දාන්නවත් බැහැ.

**********************************************************************

මේ කථාව අවසාන වෙන්න කලින් තව එක දෙයක් එකතුවිය යුතු වනවා. හොඳ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, ඩිප්ලොමැට් කෙනෙක් නැතිනම් "මොත්තේ දාන කොන්දොස්තර" කෙනෙක්, අනෙකාව රවටන්නේ නැහැ. සම්‍යක් ප්‍රයෝගය සහ වංචාව අතර පැහැදිලි වෙනසක් තියෙනවා. මේ කථාව අගදීත් ඒ කොන්දොස්තර මහත්තයා "මාර" වෙන්නේ අන්න ඒ හේතුව උඩ. අසා සිටි ඔබ සැමට ස්තුතියි.

“If you can't go around it, over it, or through it, you had better negotiate with it”
~ Ashleigh Brilliant
 

8 comments:

  1. අපේ තාත්තගෙ යාලු අංකල්කෙනෙක් හිටිය එයා තමා මම දැකල තියන හොදම මොත්තෙ දාන කෙනා.. යාලුවො එයාට කිව්වෙත් 'මොත්තෙ අයියා' කියල.
    වෙනද වගේම මරු! ජයවේවා . . ! :-)

    ReplyDelete
  2. හොඳ ලිපියක් පැතුමා... එතනිං එහාට වෙලාවක කතාකරමු... වචන ගලපල ලියන එකට මම දක්ෂයෙක් නෙමෙයි... :)

    ReplyDelete
  3. සම්යැක් ප්ර යෝගය සහ වංචාව අතර පැහැදිලි ‍වෙනසක් තියෙනවා...ඇත්තටම... වැඩි ‍දෙ‍නෙක්‍ ‍ගේ යහපත ‍වෙනු‍වෙන් උපක්රයමශීලී ‍වෙන එක, ‍‍මොත්තෙ පාරක් දාන එක නරක නැහැ ‍නේද? කොන්දොස්තරල ගැන අප්රවසන්න අත්දැකීම් තමයි වැඩි.. ‍මේ ව‍ගේ ‍කොන් දොස්තර ‍කෙ‍නෙක් ගැන අහන්න ලැබීමත් සතුටක්..

    ReplyDelete
  4. 138 මහරගමට එන බස් එකක කොන්දොස්තර මල්ලියෙක් ඔයිට සමානව මිනිස්සුන්ට කතා කලා..මන් ඒ බස් එකට නැග්ගෙ වැරදිලා පන්නිපිටියට ටිකට් එක ඉල්ලුවෙ..එතකොට බස් හෝල්ට් හතරක් පහක් ගිහින්..සල්ලි නොගෙනම මේකා කිව්වා සර් අර පිටිපස්සෙ නවත්තලා තියෙන කොට්ටාව එකට නගින්න මේක යන්නෙ මහරගමට විතරයි කියලා..ඒ වෙනකොටත් මන් මේ කොන්දොස්තර මල්ලිගෙ හොඳ කතාව ඇහුනු නිසා..මහරගමට එන කන් ඒ බස් එකේම ආවා..

    ReplyDelete
  5. අපේ වෙනි අයියා බුකියේ ෂෙයාර් කරපු ලිංකුවක් හරහා ආවේ...

    මාත් ශිෂ්‍ය නායකයෙක් වෙලා හිටියා ඒ කාලේ මට ඕන වුනේ ශිෂ්‍ය නායකයෝ හෙන සවුත්තු පොරවල් නෙමෙයි සාමාන්‍ය එවුන් වගේමයි කියලා අනික් එවුන් එක්ක ෆිට් එකේ ඉන්න....

    ඊට පස්සේ ඉඳලා ඒ කට්ටිය කොච්චර ෆිට් වුනාද කිව්වොත් එපා කියපු දෙයක් නොකරන්නත් ළමයි වගබලාගත්තා වගේම සෑහෙන්න උදව් පවා කරලා තියෙනවා... නොදැන කලත් ඒ කරපු දේ තේරුනේ දැන් මේ ලිපිය හරහා...

    ඕකට කියන්නේ මොත්තේ වුනත් ඕක නිසා නැතිවෙච්ච දේ බොහෝයි උදාහරනෙකට මගේ පට්ටමයි ටයි එකයි පවා නැතිවුනා ඒත් මම ඒවා ඉල්ලලා ඒ පස්සේ ගියෙ නැති එක ගැන තාමත් සන්තෝසයි....

    ජය වේවා මචෝ

    ReplyDelete
  6. මරේ මරු කතාව පැතුම් අයියේ... 32/32 :ඩී
    අර සුද්දා කියපු කතාවකුත් තියෙනවා ලු නේ... "If you can't dazzle them with brilliance, baffle them with bullshit!" කියලා.

    ReplyDelete
  7. හැබැයි පුතේ මෙහෙම වැඩක් තියෙනවා. ඔය උඹ කියන කොන්දා කොන්දා කියන රස්සාවට ආසා එකෙක් වෙන්න පුළුවන්. අපි අපිට ඕනි දෙයක් කරනකොට මම හිතන්නේ අපි ඉබේම ඔය ඩිප්ලෝමසි කියන එකට සෙට් වෙනවා.

    ReplyDelete