Saturday, March 17, 2012

“Could you be loved ... and be loved…”

Me only have one ambition, y'know. I only have one thing I really like to see happen. I like to see mankind live together - black, white, Chinese, everyone - that's all. ~ Bob Marley

එක කාලයක් තිබුනා ගෙදර තිබුනු නමක් ගමක් සඳහන් නොවුනු පරණ කැසට් ටේප් එකක් මම දවසකට කීප වතාවක් අහපු. තාත්තාගේ කැසට් එකතුවේ එකක් වුනු ඒකේ, අමුතු සින්දු කියන හාදයා කවුද කියලා තාත්තාගෙන් අහන්නවත් වුවමනාවක් නොතිබුනත්, කාලය ගතවෙනකොට මට ඒ කැසට් පටයේ තිබුනු ගීත හැම එකක්ම වගේ කටපාඩම් වෙලා තිබුනා. එතනිනුත් මම ආසම සින්දු තිබුනා දෙකක්. එකක් Stir it up'. අනෙක Could you be loved..' ඔහොම කාලය ගතවුනාට පස්සේ දවසක මම දැනගත්තා තාත්තාගෙන්, ඒ ගායකයාගේ නම බොබ් මාර්ලේ කියලා. ඒ වගේම බොබ් මාර්ලේ කියන්නේ ජැමෙයිකන් ජාතිකයෙක් බවත් ඒ වගේම බොබ් මාර්ලේ රස්තා ෆාරියන් කෙනෙක් බවත් තාත්තා කිවුවා මට මතකයි. ඒක අහලා එදා මම ආයෙමත් බොබ් මාර්ලේව ඇහුවා, වෙනස් ආහ්ලාදයක් එක්ක. ඒ කථාව එතනින් අවසානයි.

ඊට පස්සේත් මගේ ලෝකෙට අනන්තවත් ගායක ගායිකාවෝ ආවා, ඇවිත්  ගියා. බොබ් මාර්ලේවත් එහෙමම අමතක වෙලා ගියා. ඒත් අර සින්දු දෙක කාලෙන් කාලෙට මගේ හිට් ලිස්ට් එකේ උඩට පහලට ගියා.

ඊට කාලෙකට පස්සේ දවසක් පුස්තකාලේ පොත් අස්සේ සැරිසරමින් ඉන්න වෙලාවක කියවන්න ලැබුනා සුනිල් මාධව ප්‍රේමතිලක පරිවර්තනය කළ පොතක්. මේ පොත ලියලා තිබුනේ ඩොනල්ඩ් වුඩ්ස් කියලා දකුණු අප්‍රිකානු මාධ්‍යවේදියෙක්. පොතේ නම "හඬනු මැන නිදහස". පොතේ කථාව ස්ථානගතවුනේ දකුණු අප්‍රිකානු වර්ණභේදවාදයට විරුද්ධ ක්‍රියාකාරිකයෙක්, ශිෂ්‍ය නායකයෙක් සහ විප්ලවවාදියෙක් වුනු "ස්ටීව් බිකෝ", ඔහුගේ මතවාදයන්ගේ නැඟීම, ඔහුගේ මරණය, ඩොනල්ඩ් වුඩ්ස්ගේ ඇසින් දැකීමක් ලෙසට.. 'විප්ලවය', 'නිදහස් සටන', 'ජනතා අරගලය', යහපත් ලෝකයක් වෙනුවෙන් සටන් කිරීම' වගේ වචන වලට වාග් මාලාවේ වැඩි ඉඩක් තිබුනු ගැටවර වයසේ ඉඳපු මට ස්ටීව් බිකෝ මගේ මගේ ලෝකයේ වීරයෙක් කියලා පිළිගන්න පොත කියවලා ඒ හැටි වෙලාවක් ගියේ නැහැ. "හඬනු මැන නිදහස නිසා, Y Generation එකේ සාමාජිකයෙක් වුනු මගේ හිතේ සදහටම අමරණීය චරිත බවට පත්වෙන්නට ස්ටීව් බිකෝට වගේම සුනිල් මාධවටත් හැකියාව ලැබුනා. ඒ කථාවත් එතනින් අවසන් වෙනවා.

කාලය ගතවෙනවා. ස්ටීව් බිකෝ ගැන ටිකකුත් බොබ් මාර්ලේ ගැන මහා හුඟකුත් මා වටේ ඉන්න මිනිස්සු කථාවෙන කාලයක් උදාවෙනවා. තවමත් මට බොබ් මාර්ලේ වීරයෙක් වෙලා නැහැ.ඒත් ස්ටීව් බිකෝ වීරයෙක්. මම පුදුම වෙනවා ඇයි මිනිස්සු ස්ටීව් බිකෝ ගැන කථා කරන්නේ නැත්තේ කියලා. ඒකට හේතුව මම තේරුම් ගන්නේ තවත් කාලෙකට පස්සේ. බොබ් මාර්ලේ වෙළඳපල වටිනාකමක් තියෙන තරුවක්. ඒත් ඒ වෙළඳපල වටිනාකම ස්ටීව් බිකෝට ලැබෙන්නේ නැහැ. අඩු තරමේ චේ ගුවේරාට මරණයෙන් කාලෙකට පස්සේ හරි තරුවක් වෙන්න ලැබුනා. කොහොමවුනත් චේ වත් බොබ් මාර්ලේවත් පහුකාලෙක තරු ප්‍රතිරූපයන් වේවි කියලා කවදාවත් නොහිතන්න ඇති කියන එක මම විශ්වාස කරනවා. ඒ කථාවත් එතනින් අවසානයි.

මම ආයෙමත් බොබ් මාර්ලේ අහන්න පටන් ගන්නවා, එදාට වඩා වෙනස් පර්යාවලෝකයක් සමඟින්. “Could you be loved ... and be loved… Could you be loved ... and be loved” මේ ගීතය තුළ මම වෙනස් අර්ථ කථනයක් දකින්න පටන් ගන්නවා. බොබ් මාර්ලේ අහනවා, "මිනිසුන් විදියට, ජන කොටසක් විදියට, අපිට ලැබිය යුතු ගෞරවය අපිට ලබාගන්න පුළුවන් වේවිද" කියලා. ඒක අහන්නේ “System” එකෙන් කියන එක මම අමුතුවෙන් කියන්න වුවමනා නැහැ. ඒ අතරේම මට ගීතයේ වියමන අස්සෙන් දැනෙනවා බොබ් මාර්ලේ "ලෝකයම එකට එකතුවෙන සහෝදරත්වයක්" වගේ මොකක් හරි ගැනත් කථා කරනවා කියලා.

The road of life is rocky, And you may stumble too… මම ඒ වෙනකොටත් දැනගෙන අවසන් ජීවිතය රළු පරළුයි, දුර්ගමයි කියලා.' So while you point your fingers, Someone else is judging you… Love you brotherman… බොබ් මාර්ලේ දිගටම ගායනා කරනවා. ඇත්තටම අපි කවුද තවත් සහෝදර පෘතුවි වාසියෙක්ව විනිශ්චයට  බඳුන් කරන්නට? අපි එහෙම කළොත්, හැමදාමත් අනෙකාව විනිශ්චයට ලක් කරන, අපටත් අනෙකාව විනිශ්චය කරන්නට බල කරන “system” එක සහ අපි අතර මොකක්ද වෙනස... ඒ වෙනුවට ඇහුම්කන් දෙන්න, සහෝදරත්වය ගැන විශ්වාස කරන්න... අනෙකාව සහෝදරත්වයෙන් පිළිගන්න... මේ බොබ් මාර්ලේ ගේ වචන. ජීවිත වෙනස් වෙන්න ඒ හැටි කාලයක් ගතවෙන්නේ නැහැ. මම හිපියෙක් බවට පත් වෙනවා...

අවසන් වුනු කථා තුනක් තවත් ලක්ෂ්‍යකින් ආරම්භ වෙනවා. බොබ් මාර්ලේ, ස්ටීව් බිකෝ වගේම මගේ ලෝකේ වීරයෙක් බවට පත්වෙනවා. මට පේන්න පටන් ගන්නවා බොබ් මාර්ලේ ගේ සහ ස්ටීව් බිකෝ ගේ අයිඩියෝලොජි අතර ලොකු සමානකමක් තියෙන බව. ස්ටීව් බිකෝ විශ්වාස කලේ සුදු මිනිහාගේ "සිස්ටම්" එක සුන් කරලා ඒ නටඹුන් මත කළු "සිස්ටම්" එකක් හදන එක තේරුමක් නැහැ කියලා. ඔහු කථා කලේ 'කළු විඥානයක්' ගැන. බොබ් මාර්ලේ කථා කලේ සුදු කළු භේදයක් නොපවතින දෙවියන්ගේ දේශයක් ගැන. බොබ් මාර්ලේ ගී ගැයුවේ ලෝකයේ හැම මිනිහෙකුටම ලැබිය යුතු ගෞරවය සහ ආදරය ලැබෙන දවසක් ගැන.

"You are, either alive and proud or you are dead, and when you are dead, you can't care anyway." ඒ බිකෝ. "I don't stand for the black man's side; I don’t stand for the white man's side. I stand for God's side." ඒ ගායනා කරන්නේ බොබ් මාර්ලේ…
“Peace n Love”… ඒ විදියට මම ආටිකල් එක අවසාන කරනවා...

පැතුම් පුංචිහේවා

9 comments:

  1. ලස්සන ආටිකල් එකකි

    ReplyDelete
  2. වටිනා අදහසක් යාළුවා.

    ReplyDelete
  3. කලින් Could You be loved සිංදුව අහල තිබුනත් මේ පෝස්ට් එක කියවද්දි ඒ සිංදුව ආයෙමත් බැක්ග්‍රවුන්ඩ් එකෙන් ප්ලේ වෙන්න දාල කියෙව්වෙ.අනේ මංද අමුතුම හැඟීමක් ආවෙ.මේ සතියෙම මම ආයෙ ආයෙත් මේ සිංදුව අසාවි.ස්ටීව් බිකෝ ගැන දැනගත්තෙ අද.වටිනා පෝස්ට් එකකි.

    ReplyDelete
  4. මම නම් බිකෝ ගැන ඒ තරම් කියවල නැහැ. කොහෙත්ම නෑ කිව්වොත් හරි. ඒ වුණාට බොබ් මාලේව සෑහෙන්න කල් ඉඳන් හොඳට දන්නවා. ඔහු කියන්නෙ කවුරුවත් ලොකු හෝ පොඩි නැති සාමූහික තැනක් ගැන... (තව... කම්මැලියි බං... සුපිරි කියල නිකං හිටියනං හරි)

    ReplyDelete
  5. හඬනු මැන නිදහස ...හතරවෙනි තට්ටුව ...ඇට මැස්සා කොට්ටෙට තියන් නිදාගත්තු අය නොවැ අපි . බොබ් මාලේ ගැන නම් කියෙව්වේ පහු කලෙක . මේ ලියවිල්ලට මගේ හිත ගියා . ඒක නෙමේ කවුද මේ Y පරම්පරාව කියන්නේ .

    ReplyDelete
  6. හොඳ ලිපියක් පැතුම්... ඒත් "හැම මිනිහෙකුටම ලැබිය යුතු ගෞරවය සහ ආදරය ලැබෙන දවසක්" මට නම් හීනයක්... එහෙම දවසක් ප්‍රායෝගික ලෝකය ඇතුලෙ උදාවෙන්න අවස්ථාවක් වත් පේන්න නෑ...

    ReplyDelete
  7. ලස්සන අදහසක් මේ පැත්තට ආවමයි මේ

    ReplyDelete