Saturday, May 14, 2011

මුහුදු කොල්ලකාරයා සහ කැනරි කිරිල්ලිය


මුහුදු හැතැම්ම  දස දහස් ගණනාවක් දුර ගෙවාගෙන
රළ මතින් නාඳුනන වෙරළකට පාවී ආ මේ බෝතලය
තුළ ඇති කතාව කියවන කවුරුන් හෝ
නාඳුනන්නෙකු වෙත.......

කාලයක් තිස්සේ මිනිස්සු හිතුවා ආක්ටික් අහසේ අනේක වර්ණ රටා මවන ඒ එලි , දෙවියන්ගේ විශ්මය ජනක ක්‍රියාවක ප්‍රතිඵල කියලා..... aurora borealis නැතිනම් ඌශාලෝක කියලා සමහර මිනිස්සු ඒවා හැඳින්වුවා. කොහොම වුනත් ආක්ටික් අහසේ මේ වෛවර්ණ රටා දකින හැම මොහොතකම , මේ මුහුදටම කැපවුනු , වෘකයෙක්ගේ හැඩහුරුකම් තියෙන  පරණ කුඹ ගස් දෙකේ රුවල් නැවක කපිතාන් වුනු පලපුරුදු මුහුදු කොල්ලකාරයාට හිතුනේ එකම දෙයක්... 'ලෝකේ හරිම විස්මයජනකයි'
ඔහුට නමක් තිබුනේ නෑ. දන්න කියන හැමදෙනාම ඔහුට කතා කලේ 'කපිතාන්' කියලා. නොදන්න හැම දෙනාම ඔහුව හඳුනාගෙන තිබුනේ කැරිබියන් මුහුදේ භීෂණය කියලා. ඒත් ඔහුට තමන් ගැන කියන්න ඉතිහාසයක් වත්,හරි හමන් නමක්වත් නොතිබුනත් තමන් ගැන නිර්වචනයක් තිබුනා. 'අනනුකම්පීය නිර්දය මුහුදු කොල්ලකාරයෙක්'!
කපිතාන් හැමදාමත් දැනගෙන හිටියා තමන්ට ජීවත් වෙන්න ලොකු කාලයක් නැති බව. මැරෙන එක කවදාහරි වෙන්න ඕනෙ. එකම වෙනස මම අනික් මිනිස්සුන්ට කලින් මැරෙන එක, කපිතාන් එහෙම හිතපු වෙලාවල් තිබුනා. සටනකදී කඩු පහරකින් , බීමත් සේලරුවෙක්ගේ කිණිසි පහරකින්, , නැවේ තට්‍ටුවෙන් ඇද වැටිලා නැතිනම් පපුව පසාරු කරගෙන යන වෙඩි පහරකින් ... කාටද කියන්න පුලුවන්.. ඒත් කපිතාන් එක් දෙයක් දැනගෙන හිටියා නියතවම... කපිතාන් ආවේත් තනිවම , කපිතාන් යන්නේත් තනිවම. නැවේ තට්‍ටුවට වෙලා ඈත මුහුද දිහා බලාගෙන ඉන්න කපිතාන් දැනගෙන හිටියා කවදා හෝ තමන්ගේ සයනය වෙන්නේ ඉමක් නැති මුහුදු පතුල කියලා. Davy Jones' locker... ඒ සිතුවිල්ලම කපිතාන්ට සතුට ගෙනාවා. ඒ මේ කෲර මුහුදු කොල්ලකාරයා , කපටි වෘකයා ආදරය ගැන නොදැන හිටියත්, ආදරය කියා දෙයක් ගැන විස්වාස නොකරත් අවිඥානිකව ඔහු මහ මුහුදට ආදරය කල නිසා, අසීමිතව . මහ මුහුද කපිතාන්ගේ ප්‍රියාවත් මවත් වුනා...

එක් දවසක උදෑසනින්ම නැවේ තට්‍ටුවට විත් කුඹගස් වලට ඉහලින් අහස දිහා බලාගෙන ඉන්න මුහුදු වෘකයාට මහාම තනිකමක් දැනුනා. ජීවිතේ පලමුවෙනි වතාවට කපිතාන්ට ආයෙමත් තමන් ගතකල ජීවිතේ ගැන ආපස්සට හැරිලා බලන්න උවමනා වුනා. මේ අනනුකම්පීය මුහුදු කොල්ලකාරයාට දැනෙන්නට වුනා , ජීවත් වුනා ඇති කියලා.
මේ මොහොතේම ගොඩබිම දෙසින් පියඹාගෙන ආවා , නිල්වන් පියාපත් තියෙන, සුන්දර සටහන් තියෙන, කැනරි කිරිල්ලියක්, ලාලිත්‍යවත් පියාසැරියකින්... කැනරි කිරිල්ලිය පියඹාගෙන ඇවිත් නැව් තට්‍ටුවේ ගරාදි වැට මත වැහුවා. කෙලින්ම කපිතාන්ගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා.
අඩුවෙන්ම කියනවනම් කපිතාන් පුදුම වුනා. කැරිබියන් මුහුදු තීරයේ කිසිම කෙනෙක් , මේ ලේ පිපාසිත මුහුදු වෘකයා ඉදිරියේ නැඟී සිටින්නට තරම්, මේ අනනුකම්පීය මුහුදුකොල්ලකාරයා දිහා කෙලින් බලන්න තරම් එඩිතර වුනේ නැහැ. ඒත් මේ අහංකාර කැනරි කිරිල්ලිය , මුහුදු කොල්ලකාරයාගේ ඇස් දෙක දිහාම බලාගෙන හිටියා. මුහුදු වෘකයා නොදැන හිටියත් ලෝකේ ඈත කොනක හිටපු ලේඛකයෙක් ඒ වෙනකොටත් ලියලා තිබුනා "ඇස් කථා කරනවා" කියලා...

එතනින් එහාට සිදුවුන දේවල් ගැන මිනිස්සු එක එක විදියේ කතා කියනවා. ඒත් කවුරුවත් හරියටම සිදුවුනේ මොකක්ද කියලා දැනගෙන හිටියේ නැහැ. තවදුරටත් කැරිබියන් මුහුදේ භීෂනය , දරුණු වෘකයා, අනනුකම්පීය මුහුදු කොල්ලකාරයා , කපිතාන්... ඔහුගේ කුඹ ගස් දෙකේ නෞකාවත් එක්ක රළ අතරින් සැරිසරනවා දකින්න ලැබුනේ නැහැ. සදහටම ඔහු කැරිබියන් මුහුදෙන් අතුරුදන් වුනා....

මෙතනින් එහාට කතාව අවසානයි. ඒත් කැරිබියන් මුහුදේ නාවිකයන් අතර කටින් කර පැවතුනු මිත්‍යා කථාවක් සමහරවිට මෙතනට සම්බන්ධ ඇති. . මිත්‍යා කතා කියන්නේ යථාර්තයේ මායාවී, සිහින කොටස්...

කැරිබියන් මුහුදේ එක් හුදෙකලා දූපතක් අසලට කලාතුරකින් නැව් යනවා. ඒ , මුහුදු මාර්ගයේ තියන ගල්පර මග හරින්න. ඒත් කිසිම කෙනෙක් දූපතට යන්නට තරම් එඩිතර වෙන්නේ නැහැ. ඒ දූපත වටාම නැව් වලට මාරක අනතුරු ලඟා කරන ගල්පර ගහන නිසා. ඒත් ඔබ යාත්‍රා කරන  නැව දූපත අසලින් යනවා නම් සහ ඔබ වාසනාවන්ත නම් ඔබට දකින්න පුලුවන් වේවි හුදෙකලා මුහුදු වෙරළේ ගලින් කල ප්‍රතිමාවක්.
තවත් හෝදිසියෙන් බැලුවොත් ඔබට පෙනේවි , ඒ ප්‍රතිමාව, වැරහැලි වුනු ඇඳුම් ආයිත්තමින් සැරසුනු, මුහුදු කොල්ලකාරයෙකුගේ විසල් හිස්වැස්මකින් සැරසුනු, හිණෙන් කෙටි කඩුවක් හා පිස්තෝලයක් එල්වුනු, අවුල් වුනු දිගු කෙස් කැරළිත් දිගු රවුලත් මඳ සුළගට ලෙළ දෙන මිනිස් රූපයක් බව... ඒ ප්‍රතිමාව, තමන්ගේ ජීවිතය වැනි මහා සමුද්‍රය දෙස ශෝකයෙන් බලා සිටිනා මුහුදු කොල්ලකාරයෙකුගේ හැඩතල දරනා බව... ඔහුගේ නොසෙල්වෙන දසරුව මත වාඩි වී නිසංසලේ හොටයෙන් පිහා‍ටු සකස් කරන්නේ සුන්දර කැනරි කිරිල්ලියක්...මුහුදු කොල්ලකාර ප්‍රතිමාවේ තොල් මත පෙනෙන නොපෙනෙන මඳහසක්....
මිනිසුන් කියනවා ඒ කැරිබියානු මුහුදේ භීෂණයත් ,ඔහුගේ ජීවිතයේ ප්‍රථම ප්‍රේමයත් කියලා..... කතාව මෙතනින් අවසානයි...
~ නාඳුනන කතා කියන්නෙක්
Myth is the hidden part of every story, the buried part, the region that is still unexplored because there are as yet no words to enable us to get there. Myth is nourished by silence as well as by words.
~ Italo Calvino

29 comments:

  1. කාලය පියවරින් පියවර
    මතක අහසක ත‍ටු ගසන සඳ
    වර්ණ මායා දේදුන්න
    පැයුවෙද මෙතරම් සුන්දර ??

    ඉන්ද්‍රජාලය නුඹ
    වර්ණ පැටලන මායාව නුඹ
    ආදරයේ මනස්කාන්ත ෆැන්ටසිය
    මා දෙවඟනක් කල මන්ත්‍රය නුඹ !

    බෙදෙන්නට ඉරි නැති
    ඉරෙන් ඉර ඇඳ නැති
    අයස්කාන්ත පාට පදාසයක් වුන නුඹ
    කොහොම සොඳුරු විද මෙපමණ?

    ලදළු තුරු මත පොපියන
    සීතල පණිවුඩය අරගෙන
    වර්ණ තෑවරුන හීනය
    'ආදරය'.. වැහැපන් තෙමෙන්නට මේ බිම ! :)

    ජීවිතයට ස්තූතිවන්ත විය යුතු නොවෙද ජීවිතය මෙතරම් සොඳුරු වන සඳ ??? :-)

    ReplyDelete
  2. මම මේ දකින්නේ creative writing වල උපරිමය ද මංදා මේ දකින්නේ.., මේකේ ලියැවිල්ලට තියෙන ආසාව මුල සිට අගටත් අග සිට මුලටත් කියෙව්වා.., ඒ වාර දෙකේදීම මට ආවේ අරුත් දෙකක්..!! ඒත් ලියවිල්ලේ රසයේ නම් කිසි අඩුවක් නෑ.., දැනට මේ ඇති.., සෙස්ස උඹට කෝල් කරලම කියන්නම්..!!

    ReplyDelete
  3. හිපියා මට කියන්න වචන නෑ, ඇත්තටම සුපිරි. කොටින්ම මං මේක තුන් පාරක් කියෙව්වා කල්පිතයක් පමණක් බව සැක හැර දැන ගන්න. උඹේ රයිටින් නම් මාරයි සහෝදරයා.
    :)

    ReplyDelete
  4. මම වෙන මොනව කියන්නද ... උඩින් කියන්න ඕනෙ දෙවල් කියල ... නියමයි !!

    ReplyDelete
  5. ලස්සනයි සුන්දරයි ස්තුතියි.

    ReplyDelete
  6. @ ලිශාන්

    ස්තුතියි මචන්... උඹ අහලා තියෙනවද ඩොස්ටොව්ස්කිද කොහෙද කියලා තියෙනවා කවි ලියන්න ආදරය කරන්න ඕන කියලා. ආදරය කරනකොට සරස්වතිය පහල වෙනවා. ;) ඇත්ත මේක යටින් තව ටෙක්ස්ට් එකක් යනවා. ඒ නිසා උඹට අර්ථ දෙකක් දැනුනු එක පුදුමයක් නෙවෙයි.

    @ අසංකා

    ස්තුතියි සහෝදරී. සමහර වෙලාවට ඔය ඇත්ත වෙන්න පුළුවන්, මේ අපි අත්දකින්නේ කල්පිතය වෙන්න පුළුවන්. :)

    "Once upon a time, I, Chuang Tzu, dreamt I was a butterfly, fluttering hither and thither, to all intents and purposes a butterfly. I was conscious only of following my fancies as a butterfly, and was unconscious of my individuality as a man. Suddenly I awaked, and there I lay, myself again. Now I do not know whether I was then a man dreaming I was a butterfly, or whether I am now a butterfly dreaming I am a man."

    ReplyDelete
  7. මේ ගැන කියන්න වචන නෑ මට නම්..

    ReplyDelete
  8. කථාව ඔක්කොම තේරුනේ නැතත් කමෙන්ට් එකෙන් කියලා තියන ටිකෙන් තේරුනා උඹලා දෙන්නගේ ආදරේ තරම....

    [මෙහෙම පෙම්පතක් කියෙව්වමයි මම නම් :D ]

    ReplyDelete
  9. එක පාරින් තේරුනේ නෑ.. දෙතුන් සැරයක් කියෙව්වා. ලිෂාට වගේම මටත් අරුත් කීපයක් හිතෙනවා. ඉන් විය හැකි හා සුන්දරතම අරුත විදියට මං හඳුනාගත් දෙයම නන්නාඳුනන්නාගේ ලියමනේ අරුත වෙන්නට ඇතැයි හිතනවා..

    සුපිරියි...........ද? මැක්සා......ද? පට්ට.........ද?

    නෑ ඊට වඩා වැඩි මොකද්ද දෙයක්.

    ReplyDelete
  10. කියන්න වචන නෑ .......!!! වෙනම ලෝකෙකට ගියා වගේ. ලිවීමේ උපරිම තලය. නියමයි. ලස්සනයි.

    ReplyDelete
  11. කියවේවා..එක පාරක් නෙවෙයි තුන් පාරක් හොඳටත්..තවත් පාරක් උඩින් පල්ලෙනුත් කියෙවුවා..
    උඩින් පල්ලෙන් තමා මුලින්ම කියෙවුවේ..හොඳට කියෙව්වේ ඊට පස්සේ..මං හිතන්නේ මම තව පාරක් කියෙවුවොත් හොඳයි කියලා...

    ReplyDelete
  12. පට්ට්ම් පට්ටයි :)

    ReplyDelete
  13. මේක මට හොඳා.
    මම සුංටං කමෙන්ට් දාන්න එච්චර කැමතිත් නෑ. ඒත් මෙහෙමත් වෙලාවක නොදත් බෑ. "මාවතේ ජිල්"ට වගේ කියවල ඉවර වෙලා මට අලුතෙන් ලියන්න දේකුත් නෑ. ඒත් මේක මට හොඳා. නැත්තං මම මෙහෙමවත් කමෙන්ට් කරන්න කම්මැලි එකෙක්!

    ReplyDelete
  14. ගැඹුරුයි,ඒත් නියමයි........:) ආදරේ පෙන්වන්න පුලුවන් විදියත් හරිම අපූරුයිනේ :)

    ReplyDelete
  15. අපූරු සටහනක්.... කියවපු පොතක් මතක් උනා, මතක හැටියට " the sea wolf ". ඒ මුහුදු වෘකයා නම් කවදාවත් ආදරේට නවාතැන් දුන්නෙ නෑ.. කොහොම උනත් ආ‍යිත් කියවන්න වටින කතාවක්.
    (ගීතික)

    ReplyDelete
  16. සජීවී දසුනුත් දැක්ක මම.. නියම කතාවක් සහෝ...
    ඔබට ජය...

    ReplyDelete
  17. මොට්ට පාල........ඇයි මේක බ්ලොග් එකේ දැම්මේ..... x-(

    ReplyDelete
  18. නියමයි මචන්.... ඊට වඩා‍ දෙයක් නම් කියන්න තේරෙන්නෙ නෑ...

    ReplyDelete
  19. පික්සුද යකෝ??????පිස්සු හැදුනා නොහැදුනා තරමයි! සුබ පැතුම්!

    ReplyDelete
  20. ඔබට විද්‍යුත් ලිපියක් මම එවා ඇත.

    ReplyDelete
  21. අකුරු වලට පෙරළුනු ආදරයක කතාවක් . .

    සුපිරියි . .

    පට්ටයි . .

    මීට වැඩිය දේවල් කියන්න වචන නෑ වගේ බන් . .

    ReplyDelete
  22. සරල රචනා වහරකින්,දෙන්න පුලුවන් උපරිම හැඟීම දෙනවා....මාරම ලස්සනයි....වෙන මොනවා කියන්නද අප්පා තමන් ලියපු එකෙ ලස්සන හොදටම දන්නෙ තමන් නෙ...

    ReplyDelete
  23. මෙවන් අපූරු ලියමනක් දැක වික්ෂිප්තව බලා හිඳීම හැර මට වෙන කරන්න දෙයක් නෑ. උඹ වගේ එකෙක් හම්බ්ණු නිසා, උඹට වඩා එයා වාසනාවන්තයි. එහෙව් වාසනාවන්ත එකියක්ගේ උරුමක්කාරයා උඹ නිසා උඹ ඊටත් වාසනාවන්තයි.

    ReplyDelete
  24. දෙපාරක් කියෙව්වා ....... තව පාරක් කියවන්න ඕන ..... තවම හිතට දැනුනෙ නැහැ ........

    ReplyDelete
  25. pissu hadila ayeth hadenawa..maxa..patta..!!!!

    ReplyDelete
  26. ඉමක් නැති අහසත් , තෙරක් නොපෙනෙන සයුරත් අතරේ දෝලනය වෙන වායු ධාරාවේ ඉහළ පහල යමින් උන් මා පියාපත් රිදෙන්නට වූයේ අද ඊයේ සිට නොවේ.... හිරු බැස යන මුහුදු තෙර සිට මම නිසංසලේ රළ හා පොර බදන කුරුළු හුස්ම වින්දනය කලෙමි. සිතෙහි රඟ දෙන දඟකාර සිතුවිලි වලට සිතෙන් මිදී ලුණු සුලඟ සමග විසිරෙන්නට ඉඩ දෙමින් මම පියාපත් විදා අහස දිය ඔස්සේ කිමි දෙන්නට වීමි. ඒත් ඒ අරමුනක් ඇතිව නොවේ..

    ඈත සෙලවෙන කුඩා තිත මා වසඟයට ගත්තේ කොහෙන්දෝ මතු වූ මොකක්දෝ නෑදෑ කමක් ඉඟි කරමිනි. මා පියාපත් එ'වෙත මෙහෙයුවේ අහම්බයකින් නොවන වග අද මම පසක් කොට සිටිමි. ... මම පියාපතට වෙර ගෙන යලිත් යලි යලිත් අහස් මං ඔස්සේ... සුලං වැල් මගහරිමින් එදෙසට පියාපත් මෙහෙයවීමි.... ශෛලමය ප්‍රතිමාවක් සේ අනන්තය කරා නෙත් විදහාගත් එක් මිනිසෙකු හැරෙන්නට එහි දහස් ගණනක් සෙනග නොසිටීමම මගේ විමතියට හේතු විය... මොහොතක් ඉසුඹු ලමින් මම නැව් ගැටියට වාරු වී, ඒ ගැඹුරු නෙතට හසුවන සේ නතර වීමි.. ඔහු නෙත් විස්මයෙන් විසල් වන අයුරු නරඹමින් මා එහිම නතර වූ හේතු කාරණාව අදටත් මම සිතා නොසිතා අමතක කර දමමි... මන්ද මම එය වාසනාවක් හෝ අවාසනාවක් වෙනුවට දෛවයේ සොඳුරු නිමිත්තක් සේ එදා හඳුනාගත් බැවිනි...

    දෛවය යනු ඒ නොසෙල්වෙන මිනිස් ප්‍රතිමාවත් මාත් අතර හිදැස විය. කිසි දා කිසි ලෙසක නො ඇසුනු අපූරු තාලයකට නෞකාව සයුරෙහි පැද්දෙන්නට වූ අතර මම එහි ගැටිය මත වාඩි ගෙන විසල් වී නිනව් නැතිව බලා හිඳින දෑස් වෙත මෝහනය වී සිටින්නට වීමි. අහස බොහෝ විසල් වග, සුලඟ මා රිසි අත ගෙන යන බව මම අමතක කර දැමීමි.
    **********
    *********
    *******
    *****
    ***
    *

    ReplyDelete
  27. පෙර කමෙන්ටුව හා බෑඳේ ....

    පසුවදන :

    හුදෙකලා දූපතක මම මේ සෙලවෙන මිනිස් රුව අස නැංගුරම් ලෑමි. දිවා රෑ පියා සැලු පියාපත් විවේකයෙන් නිසංසලේ බලා නිදා හිඳී. නිහඬතාව කතා කියන , ලුණු සුලඟ නිදි නැති ‍රැයෙහි නැලවිලි ගී කියන හුදෙකලාවේ මමත් ඔහුත් එකම ගී නැලවිල්ල ශ්‍රවණය කරමු...

    වෙරළ මත වාඩි වී නිසලව මුහුදු මතක ආවර්ජනය කරන අපේ නිශ්ශබ්ද සංවාද සන්ධ්‍යාවෙහිදී, ඉඳහිට හෝ දූපත අසලින් යාත්‍රා කරන රුවල් නැවක් දකින විට , ඔහුගේ මුවෙහි කලාතුරකින් මැවෙන මඳ සිනහව දකින මා සිත ඉපිල යයි... එක්තරා දවසක එක්තරා උදෑසනක නිසල මිනිස් ප්‍රතිමාවක් අභියස නිශ්චල ආඩම්බරකාර දැසින් බලා උන් මා මතක , මගේ සිත මත ආදරය සනි‍ටුහන් කල වග මම ප්‍රමෝදයෙන් සිහිපත් කරමින් දෑස් පියා ගනිමි...

    'ජීවිතය, හුදෙකලාවේ බ්‍රහ්මාස්වාදය බෙදා හදා ගන්නට තරම් හුදෙකලාවට පෙම් බඳින සහකරුවෙකු ලද විට 'ජීවිතය ප්‍රමෝදයක්' බව මම පසක් කොට සිටිමි'

    කැනරි කිරිල්ල

    ReplyDelete
  28. මම මුලින්ම මේක කියවද්දි මට හිතුනා මම මේ කියවන්නේ පොතක කොටසක්ද කියලා...එක ඇත්තටම අපුරුයි..ඔයාගේ ආදරේ වචන හරි ගැඹුරුයි..එත් ආසා හිතෙන තරම්..මේක ආදර ලිපියක් කියලා කියන්න බැරි තරම් මට..
    ඔබට ජය .... එ වගේම ඔය ආදරේ හැමදාටම පවතින්න අවංකම පතනවා...

    ReplyDelete
  29. හරිම ලස්සනයි.. ලස්සන සිත්තමක් ගෙත්තම් වුනා මගේ හිතේ...

    ReplyDelete