Wednesday, February 5, 2014

නිර්වාණයේ දොරකඩ හිඳිමි




"I personally believe that riding a great wave is something you should experience before you die. When you are on the verge of a gigantic collapsing wave, when you are uniting with the overture of the ocean-the abstruse chaos, when you are catching a glimpse of the shore through the scattering, roaring salt water... you will feel you are one step closer to the Nirvana..."

මූදත් එක්ක මගේ තිබුණු සම්බන්දේ බොහොම පරණයි. ලොකු නුවණක්කාර පුංචි ඉවාන් ගැන කියවපු පිංචි කාලෙත් අනික් හැම දේකටම වඩා රුසියානු සුරංගනා කථා ක්‍රමයේ මුහුදට මම ආසා කරන්නට පටන් ගත්තා. ඉස්කෝලේ කාලේ ජීවිතාරක්ෂකයෙක් විදියට හැම ඉරිදාකම ගල්කිස්ස මුහුදු වෙරළේ එකෙක් ගිලෙනකල් බලාගෙන ඉන්න එක අනිත් උන්ට පට්ට කම්මැලි වැඩක් වුනාට පුදුමෙකට වගේ මට එහෙම වුනේ නැහැ. ඊට පස්සේ ප්‍රථම ප්‍රේමයත් එක්ක මුහුදු වෙරළේ ගත කරපු රොමාන්තික හැන්දෑවල්, හඳ එළියේ ඈත් එක්ක මුහුදු වෙරළේ කවි කොඳුරපු රාත්‍රීන්, මුහුදු වෙරළේ මම තනියට පෝට් වයින් බෝතලයක් එක්ක ගත කරපු රාත්‍රීන් විදියට මමයි මුහුදයි විතරක් දැනගෙන හිටපු අසීමාන්තික රහස් එක්ක ජීවිතේ අවුරුදු තිහක් වෙනකල්ම ගත වෙලා ගියා.

ඒ අවුරුදු තිහේදී, එක දවසක තුඟු දිය ‍රැළි උඩින් සර්ෆ් බෝර්ඩ් එකක වේගයෙන් ඇදීගෙන යන මොහොතේ, මුහුදේ කලකලයත්, මූණට වදින ලුණු වතුර බිංදු අතරින් නොපැහැදිලිව පේන වෙරළේ දර්ශනයත් නිසා එක පාරටම මට හිතුනා මෙච්චර කල් මොනදේ ලියලා තිබුණත්, මුහුදේත් මගේත් කථාව මම නොලියා මග ඇරියා නෙවෙයිද කියලා.

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

අපි දෙන්නා අවසාන වතාවේ අත් පටළවාගෙන මුහුදු වෙරලේ හිටි දවස වගේම එදාත් හඳ වටකුරුවට තිබුණු දවසක්. මම ඉන්නේ මුහුදු වෙරළේ නොවුනත්, මට මුහුදු ‍රැළි වදින හඬ ඇහෙන්නට වුනා. වයින් බෝතලයක් අදත් මගේ ලඟ තිබුණා. ඒ එක්කම ලෝකෙම දන්න ලේඛකයෙක් වෙන්න, පොතක් ලියන්න උත්සන්න වුණු අමුතු පිස්සුවකුත් අලුතෙන් මගේ ගාවට ඇවිත් තිබුණා.

"මම විශ්වාස කරන්නේ දැවැන්ත ‍රැල්ලක මුදුනේ නැගිලා, පැරණි හවායි ජනකථාවක එන උතුරු හුළඟට අධිපති දේවතාවා වගේ වේගයෙන් ලිස්සලා යන අත්දැකීම ඕනෑම කෙනෙක් මැරෙන්න කලින් අත්විඳිය යුතු දෙයක් කියලයි. පහතට කඩා වැටෙන්නට ඔන්න මෙන්න තියෙන, දැවැන්ත මුහුදු ජීවියෙකුගේ ශක්තිය, ජවය තියෙනවා කියලා හිතෙන මහා ‍රැල්ලක කෙළවරේ සිටින මොහොතේදී, මහා සමුද්‍රයේ ගූඪ ව්‍යාකූලභාවය සමගින් සුසංයෝග වෙන බවක් හිතට දැනෙන මොහොතේදී, හෙක්ටර් බෙර්ලියෝස්ට පවා ප්‍රතිනිර්මාණය කරන්නට බැරි වුණු එකක් පි‍ටුපසින් එකක් එන මහා ‍රැළි වල ගෝසාව අත්විඳින මොහොතේදී, මට දැනෙනවා මම නිර්වාණයට එක් පියවරකින් ලංවෙලා කියලා."



මගේ පොතේ අවසාන පි‍ටුවේ අවසානය ඒ විදියට ලියලා මම කථාව පටන් ගන්න හිතුවා. තාමත් පොත පටන්ගැන්ම ලියන්න බයේ හිටියත් මගේ හිතේ එක දෙයක් තියෙනවා. කථාවේ නායකයා 'බෝධිසත්ව' එක්ක ආදරයෙන් බැ‍ඳෙන්න 'පූර්ණිමා' කෙනෙක් මේ කථාවට ඕනමයි. සංස්කෘත භාෂාවේ පූර්ණ චන්ද්‍රයා වෙන්නේ පූර්ණිමා කියලා මට කියලා දුන්නේ ඈ...
  
 පැතුම් පුංචිහේවා

Thursday, September 19, 2013

හිමාලයා ප්‍රයාණය




හිමාලයා චිත්‍රපටයේ සංගීතය චිත්ත සන්තානයේ ආකූල ව්‍යාකූලත්වයන් සමනය කරනා මන්ත්‍රයක් වැනිය. හිමාලයා චිත්‍රපටයත්, එහි සංගීතයත් මාගේ ජීවිතය හා බැ‍ඳෙන්නේ පර්යාවලෝකයන් කිහිපයක් හරහායි. 2004 වසරේදී මුල්වරට හිමාලයා නැරඹීමෙන්, දුෂ්කර එහෙත් සුන්දර නේපාලය හා බැඳුණු ආදරය අදටත් එසේම පවතී. කෙදිනක හෝ චෙන්නායි තොටින් ඉන්දියාවට ගොඩ බැස කාලයක් දේශයක් සම්බන්ධයෙන් සිත උමතුකර නොගනිමින් හයිද්‍රාබාදය හරහා විශාකාපට්නම්, ඉරවඩි, රතන්පූර් හරහා තාගෝරයන්ගේ කාව්‍යයන් තවමත් ‍රැව් දෙන බව සිතෙනා බෙංගාලයේ සැරිසරන්නටත්, එතැනින් දහසක් සංස්කෘතික වර්ණයන්ගෙන් ආඪ්‍යව ගංගා ගං ඉවුරු අසබඩ වැජඹෙන වරණාසියටත්, එතැනින් නේපාලයටත් චාරිකා කිරීම තවමත් මිය යාමට පෙර කළ යුතු වැඩ ලැයිස්තුවේ පවතී. ජීවිතයට මා ඇඳ බැඳ තබනා හුය පොට කිහිපයෙන් එකක් වැනි වූ ඒ සිහිනය කාලයෙන් කාලයට වර්ණවත්ව, ප්‍රබලව හිතට නැගෙන්නේ හෂිත අය්යා සමඟ කරනා නිමක් නැති සාකච්ඡා අතරිනුත්, මටත් නොදැනී හිතේ ඇසෙනා තරමට ඇඟට කා වැදී ඇති හිමාලයා සංගීතයත්, මගේ නේපාල මිතුරිය සවූර් ගංගා ගේ වර්ණනාවනුත් තුළින් බැව් නොඅනුමානයි.

නේපාලයේ මේ වනවිට හින්දු සමය පැතිරී තිබේ. ලොව පුරා හින්දු බැතිමතුන් තම ශුද්ධ වූ වන්දනා ගමනක අවසානය සේ ‍තෝරාගන්නා ශිව දෙවිට පිදූ පශුපතිනාත් කෝවිල කත්මණ්ඩු නුවර භගමතී නදී ඉවුරුබඩ පිහිටා තිබෙයි. කිරාති මුන්දුම්, ක්‍රිස්තියානිය සහ ජෛනාගමද සුළු වශයෙන් නේපාලයේ පැතිරී තිබුණත්, බුදුන් උපන් දේශය වූ නේපාලයේ ප්‍රධාන බෞද්ධ ධාරාවන් ත්‍රිත්වයක් තවමත් පවතියි. එය එසේ වුවත් නේපාලය සමගින් සෑමවිටම මහායානය සිතට එයි. හිමාලයා සංගීතය අසනා විටක වුවත්, හිමෙන් වැසුණු දුර්ගම හිමාලයානු කඳු ශිඛරයන් අතුරින් චෙන්රසී, මිලාරෙපා, කුවන් යින්, තාරා, ටන්කා මතුවී එයි. බෘයිනෝ කුලේ (Bruno Coulais) ගේ සංගීතය අතුරින් ඕම් මනි පද්මෙ හුම් මන්ත්‍රය සංගීතවත්ව ඇසෙයි. 

අත් සතරක් ඇති ෂඩක්ශාරී වෙස් ගත් අවලෝකිතේශ්වරයන්ගේ නාමය සමගින් කියැවෙන ඕම් මනි පද්මෙ හුම් සංස්කෘත මන්ත්‍රය ගැන මගේ හිතේ තිබූ බලවත් හැඟීම, දකුණතේ මැණික්ක‍ටුව අසල ඕම්කාරය සහ පද්ම මණ්ඩලය කැටයම් කිරීමෙන් පසුවවත් නැති නොවුණි.

ප්‍රඥා අධිගමය යනු තමන්ගේම සිතයි.
තමන්ගේ සිතේ ස්වභාවය වටහාගන්නවුන් එය දනියි.
තව දුරටත් එපිටින් සම්බෝධිය නොසොයන්න,
සැබවින්ම කියනවා නම් සම්බෝධිය සෙවීමෙන් ලැබ ගත නොහැකි වෙයි.
නුඹ, නුඹගේම සිත විමසා බලන්න,
ඒ ප්‍රගුණ කළ හැකි ඉහලම භාවනාවයි;
පරිසමාප්ත අවබෝධය ලබාගත් සිතක් වේ නම්,
සම්බෝධියට පත්වූ සැමගේ උපන් බිමද එයම වෙයි.

වජ්‍රධාර අධිගම ලද මිලාරෙපා එසේ පවසා සිටී. මගේ සිතේ මේ මොහොතේ ඇති ව්‍යාකූලත්වය මිලාරෙපා යුග ගණනාවකට පෙර සිට දක්නට ඇති සෙයකි. අජරාමර වීමේ රහස සොයා දේශ දේශාන්තරයන්ගේ ඇවිද ගිය ගල් වඳුරා, සුන් වුකොන්ග් මෙන් මමද හිමාලයා සංගීතය සමගින් විමුක්තිය සොයා ඉබාගාතේ මොහොතකට ඇවිද යමි.
ඒ පී ගුණරත්නයන් අතින් පරිවර්තනය වූ වානරයාගේ පුරාවෘත්තයේ හැටියට සිරිතල පර්වතයේදී වානර ට මුණ ගැසෙනා දුප්පත් දර කපන්නාගේ ගීතය මට සිහිපත් වෙයි.

උපා නොසොයමි, පියෝ නොයොදමි ලොවේ නිදි පැසසුම් සමයි
සැහැල්ලුයි දිවි සැහැල්ලුයි හද දුක් තැවුල් කිසිවක් නොවෙයි
හැමදෙනා මට හමුවෙනා මග නිවී සැනහී ගිය අයයි
නිසල සඟ ගණ, හසළ මුණි බණ මේ නිසා අජරාමරයි

හෂිත අය්යා දුන් "මීටින්ග් ද බුද්ධාස්" හි බුද්ධ චරිතය සම්බන්ධයෙන් එහි කතුවරයා, ‘වෙස්සන්තර ලියනා කෙටි සටහන් කිහිපය මගේ සිතේ ඇඳි ශාක්‍යමුණි සම්බන්ධයෙන් නැවත නැවතත් සනාථ කර සිටියි. තවත් මා වැනිම මිනිසෙකු වූ, පෙළහර නොපාන, අහසේ පළක් බැඳ භාවනා නොකළ, එහෙත් සම්බෝධිය සොයා සියල්ල අතැර දැමීමට තරම් ශ්‍රේෂ්ඨ වූ ශාක්‍යමුණීන්ද්‍රයන්, ඔහුගේ පියවර අනුගමනය කිරීමට මා පොළොඹවා සිටී. සුද්ධෝදනයන් විසින් සිද්ධාර්ථයන්ගෙන් ජීවිතයේ යථා ස්වභාවය වැසැංගීමට කටයුතු නොකලේ නම්, කෙදිනක හෝ අභිනිෂ්ක්‍රමණයක් සිදුවන්නට ඉඩක් තිබුනා දැයි මම මවිත වෙමි. යශෝධරාවටත් රාහුලයන්ටත් තිබූ අප්‍රමාණ ඇල්මම සිදුහතුන්ගේ අභිනිෂ්ක්‍රමණය ඉක්මන් කළ බැව් මට වැටහෙයි.
දෙසැත්තෑවක් පරිවර්තන ගත හැකිවූ, අජරාමරත්වය ලඟාකොටගත් වානර මුණිටත් ලෞකික ජීවිතයේ නිස්සාරත්වය වටහා ගැනීමට පුරාවෘත්තයක කාලයක් ගත වුණි. පුහුදුන් මටද ශාක්‍යමුණීන්ද්‍රයන් ඇවිද ගිය මඟ අනුගමනය සඳහා මගේ කෙටි ජීවිත කාලයම ගතවනු ඇත. හිමාලයා සංගීතය අවසාන ඛණ්ඩයද වියැකී යයි. රාත්‍රී නිශ්ශබ්දතාවය තුළින් මට පින්ක් ෆ්ලොයිඩ් ඇසෙයි.

ඔබ මෙතැන සිටියානම්...

"අපි දෙන්නා මාළු දෙන්නෙක්ට ඉන්න පුළුවන් පොඩි බඳුනක අවු‍රුද්දෙන් අවු‍රුද්දට පිහිනමින් ඉන්න අතරමං වුණු ජීවිත දෙකක් විතරයි."
~
පින්ක් ෆ්ලොයිඩ්

පැතුම් පුංචිහේවා




(photo courtesy:  toutlecine.com) 

Thursday, August 1, 2013

The new world Magus: කොය්යෝ


අද දවස මගේ ජීවිතයේ පළමු දවසත්, අවසාන දවසත් කියා මට හැ‍ඟෙනවානම්, ඒ තමයි ජීවත් වෙන්නට හොඳම විදිය...

කෙනෙක් අපෙන් ඉවත්ව යනවා නම්, ඒකේ තේ‍රුම තවත් කෙනෙක් අපේ ජීවිතයට සම්ප්‍රාප්ත වෙන්නට ලඟයි කියන එක. මම නැවතත් ආදරය සොයාගන්නවා.” එහෙම කියන්නේ පාවුලෝ කොය්යෝ
"සහීර්"... කථාව ඇරඹෙන්නේම අබිරහසකින්. ගැහැණියක් ඇගේ සැමියාව අතහැර යනවා කිසිම හේතුවක් නැතිව. අඩු තරමින් කිසිම පණිවුඩයක්, ලියමනක්, කිසිම දෙයක් ඉතිරි කරන්නේ නැතුව. අඩු තරමින් කිසිම දෙයක් අරගෙන යන්නේවත් නැතිව. ඇය නිකම්ම සුවිශාල ලෝක ධාතුවක් මධ්‍යයට වාෂ්ප වෙලා යනවා. එතකොට ඇගේ සැමියා, ඔහු ඉක්මනින්ම අවබෝධ කරගන්නවා තමන් නිරත වෙලා ඉන්නේ ඇයව සොයාගෙන යන චාරිකාවක කියලා. තමන්ව අත හැරලා ගිය තමන්ගේ ආදරවන්තියව සොයාගෙන ඔහු යනවා. මේ ගමන අතරතුරදී ඔහු තේ‍රුම් ගන්නවා, ඔහුට ඇයව හොයාගන්නට වුවමනා කරන සැබෑ හේතුව වෙන්නේ මුරණ්ඩු සහ උමතු ආශාවක් නොවෙන බව. ඔහු ඇයට ආදරෙයි, නිකම්ම ආදරෙයි. එකම හේතුව එයයි.

අපි කෙනෙක් අපි වෙනුවෙන් කරනා දේවල අගය දකින්නේ නැතිවෙනකොට, අපි වෙනුවෙන් කරන දෙයක් වෙනුවෙන් සුළු හෝ කෘතඥතාපූර්වක භාවයක් නැතිව, ඔවුන් ඒ දේවල් අප වෙනුවෙන් කල යුතුයැයි සිතනකොට අපි නොදැනුවත්වම ඒ අය අපේ ජීවිත වලින් දුරස්තර වෙන්න පුලුවන්. ඒත් අපේ නොසැළකිලිමත් බව කොයි තරම්ද කියනවා නම් ඒ බව අපි දැනගන්නේ ඔවුන් ක්ෂිතිජ සීමාවෙන් එපිටට නොපෙනී ගියාටත් පසුව. අපිට යම් දෙයක වටිනාකම තේ‍රුම් යන්නේ ඒ දේ අවසාන වූවාට පසුව. සහීර්, ඒ ගැන කථා කරනවා.

කෙනෙක් අපෙන් ඉවත්ව යනවා නම්, ඒකේ තේ‍රුම තවත් කෙනෙක් අපේ ජීවිතයට සම්ප්‍රාප්ත වෙන්නට ලඟයි කියන එක. මම නැවතත් ආදරය සොයාගන්නවා, කොය්යෝ ඔහුගේ “The Zahir” කථාවේ නැවත නැවතත් එහෙම කියනවා. ඒක ක්ලැසික් කොය්යෝ වර්ගයේ, බොහොම ධෛර්යය ඇති කරවන සුළු කියමනක්!

"That is why it is so important to let certain things go, to release them, to cut loose. People need to understand that no one is playing with marked cards; sometimes we win and sometimes we lose. Don't expect recognition for your efforts; don't expect your genius to be discovered or your love to be understood. Complete the circle. Not out of pride, inability, or arrogance, but simply because whatever it is no longer fits in your life. Close the door, change the record, clean the house; get rid of the dust. Stop being who you were and become who you are."

මිනිහෙක්ව වෙනස් කරන්නේ කාලයවත් ඥානයවත් නෙවෙයි. මිනිහෙක්ව වෙනස් කරන, මිනිහෙක්ගේ හිත වෙනස් කරන එකම දේ ආදරය විතරයි.

පාවුලෝ කොය්යෝ යනු නවීන ලෝකයේ මහා දෛවවාදියාද? අනිවාර්යයෙන්ම ඔහුගේ විශ්වාසය වන්නේ දෛවය සහ සෑම මිනිසෙකුටම සෑම ගැහැණියකටම ඒ මහා විචිත්‍ර රංගන රචනයේ වෙන්වන කොටසක් තිබෙනවා යන සංකල්පය. ඔහුට අනුව විශ්වය යනු කලින්ම නිර්මාණය වුනු අති සංකීර්ණ, එමෙන්ම විශිෂ්ට නිර්මාණයක්. කෙනෙකුගේ ජීවිතයේ පරිසමාප්තිය එළැඹෙන්නේ එහි මේ විශ්වීය නිර්මාණයේ අලංකාර රටාවන් අවබෝධකරගැනීමෙන්, ඒ රටාවට ඔබ ගැළපෙන තැන සොයා ගැනීමෙන්.

"ඔබ ඔබම වෙන්න, නැවුම් මංපෙතක ඔබේ චාරිකාව අරඹන්න" කොය්යෝ කියනවා. ඒත් ඔහුට අනුව ඒ චාරිකාවත් විය යුතු දෙයක්, මහා විශ්වීය සැලසුමක කොටසක්. කවුද මේ සැලසුම නිමැවුම්ක‍රුවා? කවුද මේ අසහාය ඉංජිනේ‍රුවා?

අපේ ජීවිත වල හැම මොහොතකදීම අපි එක් පයක් සුරංගනා ලෝකයකත්, අනෙක් පය පරක් තෙරක් නොපෙනෙන ගැඹු‍රු අගාධයක මුවවිටේත් තියාගෙන ඉන්නේ!

පාවුලෝ කොය්යෝ තවත් "මල් පොත්" රචකයෙක්ද? විය හැකියි. කෙසේ වුවත් වැදගත් වන්නේ ඔහු තවමත් ලියන්නේ කා වෙනුවෙන්ද යන්නයි. කොය්යෝ කියනා ලෙසට ඔහු තවමත් ලියන්නේ තමන් වෙනුවෙන්. ඔහු පවසන්නේ ඔහුගේ හැම පොතක්ම සැබෑ කොය්යෝට වඩා විශිෂ්ට බව.

කොය්යෝ සිය ජීවිතය අරඹන්නේම ලේඛකයකු වීමේ සිහිනයක් සමගින්. කෙසේ නමුත් 60 දශකයේ බ්‍රසීලයේ පැවතුනු තත්වයත් සමගින් ඔහුට ඒ සිහිනය අත්හැර දමන්නට සිදුවනවා. කොය්යෝට වයස 17 වනවිට දක්නට ලැබුනු ඔහුගේ කැරලිකාරී ගැටවර වියත් සමගින්, ඔහුගේ දෙමාපියන් ඔහුව තුන් වරක්ම මානසික රෝහලකට පවා ඇතුළත් කරනවා. "හැමවිටම එය සිදුවුනේ ආදරය නිසා" කොය්යෝ කියනවා. "ඒ වගේ දෙයක් වෙන්නේ ආදරය නිසා. ඔබ තුළ යම් කෙනෙකු කෙරෙහි ආදරයක් ඇතිවිට, ඒත් ඔබට ඒ කෙනාව වෙනස් කරන්නට අවශ්‍ය විට, ඒ කෙනාත් ඔබ මෙන්ම විය යුතුයැයි ඔබ හිතන විට, ආදරය අතිශය විනාශකාරී දෙයක් වනවා" 

මානසික රෝහලින් පිටවන කොය්යෝ නීතිය හැදෑරීමට යොමුවුනත් ඉක්මනින්ම එතැනින් පිටමන් වන්නේ "sex, drugs and rock 'n' roll"  ජීවන රටාව නිසා. පාවුලෝ කොය්යෝ 70 දශකයේදී හිපියෙක් බවට පත්වෙනවා. එසේම බ්‍රසීලයේ මිලිටරි පාලනයට එරෙහිව ඔහුගේ මිතු‍රු රොක් සංගීතඥයින් වෙනුවෙන් ගීත ලිවීම නිසාම දේශපාලන හේතූන් නියමකරමින් ඔහුව තෙවරක් සිරභාරයට ගැනෙනවා. එසේම වධ හිංසාවන්ට පවා ලක් කෙරෙනවා.

කෙසේ වුවත් එතැනින් පසුව විවිධ වෘත්තීන් කිහිපයකම නියැළෙන කොය්යෝ, සියල්ල අතහැර දමා සංචාරය කරන්නට පටන් ගන්නවා. ඔහුගේ ජීවිතය සදහටම වෙනස් වන තවත් එක් මං සලකුණක් වන්නේ, අතීත ක‍තෝලික වන්දනාක‍රුවන්ගේ ගමන්මාර්ගයක් වූ Santiago de Compostela වෙත මයිල පන්සියයකටත් වඩා දුරක් ගෙවා කොය්යෝ යන චාරිකාවයි.

Santiago de Compostela හිදී ඔහු ලබනා ආධ්‍යාත්මික අවබෝධයත්, මේ දේශාටනය සමගින් කොය්යෝගේ දෑස් ඉදිරිපිට මැවුනු ඉපැරණි වන්දනාක‍රුවන් දු‍ටු මහිමයත් සමගින් ඔහු සිය ලෝ ප්‍රකට වුනු පළමු කෘතිය, “The pilgrimage” රචනා කරනවා. එතැනින් එහාට කොය්යෝ නම් ලේඛකයා පිළිබඳව ඔබ දන්නවා.

ආදරයත්, කාලය සම්බන්ධ ගැටළුවක් පමණක් වුනා...

ජීවිතය හිතනවාට වඩා බොහොම කෙටියි, උණුසුම් සිපවැළඳගැනීමකට කාලය නවත්වන්න, හිත තුළින් එන උමතු හිනාවකට හැමවිටම ඉඩදෙන්න, ආදරය සැබෑවක් කියා පිළිගන්න, ඉක්මනින් සමාව දෙන්න. ඇත්ත. ජීවිතය හරිම කෙටියි. ජීවිතය නිරන්තර අභිරහසක්. කොය්යෝ කියනවා. ඒ නිසා ඔබගේම පුරාවෘත්තයක් නිර්මාණය කරගන්න, ඔබේ සිහින ලුහුබඳින්නට එඩිතර වෙන්න, එහි මිල කෙදිනක හෝ ගෙවන්න, විශ්වය ඔබව අමතන ගුප්ත සංඥාවන් කියවන්න, වෙනසකට හිතහදාගන්න... මක්තුබ්... මෙතැනින් එහාට මේ වියමන කියැවීම ඔබ සතුයි.

 (photo courtesy:  paulocoelhoblog.com)



පැතුම් පුංචිහේවා