Sunday, December 12, 2010

ජීවිතේ හරිම රස්තියාදුවක්

"මම රස්තියාදුකාරයෙක්", එහෙම නැත්නම් "මමත් රස්තියාදු ගහලා තියෙනවා" කියනවාට වඩා "ජීවිතේ හරිම රස්තියාදුවක්" කිවුවහම මිනිස්සු මේ ලිපියට කොහේවත් නැති වැදගත්කමක් දෙන්න උත්සාහ කරයි. ඒත් ඉතින් ඒ මිනිස්සුන්ගේ හැටි. ඔබත් මාත් අයිති වෙන, ඒ වගේම ඔබත් මමත් කැපී වෙන්වෙන සමාජයේ ජීවත් වෙන සහෝදර ජනතාව, මිනිස්සු...

ආයෙමත් රස්තියාදු කතාවට ආවොත්, "ඔව්, මම රස්තියාදු ගහලා තියෙනවා හොඳට". ඉස්කෝලේ යන කාලේ නම් මරදාන වටේ තිබුනු පොත් කඩවල, මෑත අතීතයේ නම් හැමතැනම.
රස්තියාදු ගහන එක නරකයි කියලා ඉස්කෝලේ කාලේ කියලා දීලා තිබුනා මට මතකයි. ඇත්තටම රස්තියාදු ගහන එක නරකද? ඒ ප්‍රශ්නය මට කොයිම මොහොතකවත්-දැන් ඇරෙන්න- මතක් වෙලා නැහැ.මං හිතන්නේ ඉස්කෝලෙදී හරියටම කිවුවේ 'රස්තියාදුකාරයෙක්' වෙන්න එපා කියලා. දැන් ඊලඟ නිර්වචනය, රස්තියාදුකාරයා... ඒක මම දන්නේ නැහැ. ඒ නිර්වචනය ඔබට අයිති වැඩක්.

මම දැන් රස්තියාදු ගහන්නේ කොලඹ පාරවල් දිගේ විතරක් නෙවෙයි. ආර්ට් ගැලරි අස්සේ, පොත් කඩවල් අස්සේ, ජාතික පුස්තකාලයේ, ෆිල්ම් තියෙටර් අස්සේ, කෝපි කඩ අස්සේ- කෝපි කඩ කිවුවට අනෙක් අය කියන්නේ ලස්සනට බරකරලා coffee lounges කියලා...  එතකොට මුහුදු වෙරළ, ගෝල්ෆේස් එකේ ඉස්සො වඩේ කරත්ත, Goethe. Alliance France, Russian cultural center,මාර්ගරිටා බ්ලූ, Budz, Barefoot, Burger king, Club parties, beach parties වගේ සංස්කෘතික, සමාජයීය වශයෙන් අහසට පොළව වගේ වෙන/ අතිශය සර්වසම වෙන දහසකුත් එකක් තැන් මගේ රස්තියාදු අධිරාජ්‍යයේ දේශසීමාවන් ඇතුළේ තියෙනවා. ඔව්, මම beach party එකකට ගියත් එතන තියෙන්නේ එක්තරා විදියක රස්තියාදුවක්. ඒකේ පුදුමයකුත් නැහැ. මම හිපියෙක්, හිපියෙක් රස්තියාදුව නරකයි කියලා කියන්නේ නැහැ...

මම ඉස්කෝලේ යනකොට Rowing කරන කාලේ අනන්තවත් හබල් දෙකේ තනි ඔරුවකට වෙලා, බේරේ වැවේ Rowing Club එකට අයිති කොටසේ ඔහේ පාවි පාවි රස්තියාදු වෙලා තියෙනවා. එතකොට මට පෙනිලා තියෙනවා මාලිගා වගේ හෝටල් එක පැත්තකත්, පොඩි වුන් ගේ දොරකඩ වාඩිවෙලා කක්කා කරන මුඩුක්කු පැල්පත් බේරේ වැවේ අනෙක් පැත්තේත් තියෙනවා. රස්තියාදුවකට දේශපාලන මතවාදයන් බිහිකරන්න බැරිත් නැහැ.

මම කොහේ හරි කියෙව්වා, රස්තියාදුවෙන් දාර්ශනිකයෝ බිහිවෙනවා කියලා... ඒක දාර්ශනිකයෙකුගෙන් අහලා බලන්න.

රස්තියාදු ගහනවා කියන්නේ කාලය නාස්ති කරනවා කියන එක නම් මම ඒ කතාවට එකඟ වෙන්නේ නැහැ.මොකද මට නම් මගේ රස්තියාදු දේශාටන වලදී නාස්ති කරන්න වෙලාවක් තිබුනේ නැහැ. ලෝකේ කොයි තරම් ලොකුද? කොයි තරම් නම් දේවල් බලන්න තියෙනවද? කොයි තරම් මිනිස්සුන්ව මුණගැහෙන්න තියෙනවද? මේ හැමදේම මැරෙන්න කලින් කරන්නත් ඕන. අපි ඔක්කොම මැරෙන මිනිස්සු...

මගේ ප්‍රියතම හීනයක් තමයි අත්‍යාවශ්‍ය ඇඳුම් පැළඳුම්, තවත් අත්‍යාවශ්‍ය දේවල් backpack එකකට අහුරගෙන, කැමරාවක් කරේ එල්ලගෙන ඔහේ රස්තියාදු වෙන එක. ලංකාව පුරා විතරක් නෙවෙයි, ලෝකේ පුරාම...ඉන්දියාවේ වරණාසි වල, ඌටි කඳුකරයේ, කජුරාවෝ වල, රාජස්ථානයේ වර්ණ අතරේ... ස්පාඤ්ඤයේ අන්දලුසියානු කඳුබිම් වල... රොමානි කූඩාරම් අතරේ... කාම්බෝජයේ අන්ග්කෝර් වල... ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවලින් මායිම් වන පිටිසර ප්‍රංශ ගම්මාන වල... මගේ හීන විසල් කියලා මම දන්නවා.
backpackers උප සංස්කෘතිය බිහිවෙන්නේ හිපි ව්‍යාපාරයට ගොඩක් පස්සේ. ඒත් මතවාදමය සහ ආකෘතිමය වෙනස්කම් අත ඇරලා බැලුවොත්, ලෝකය දකින්න තියෙන, සංචාරය කරන්න තියෙන හිපීන්ගේ නොතිත් ආශාව backpackersලාත් බෙදාහදා ගන්නවා...

AR1421_0

මේ ආඛ්‍යානය දිග වැඩියි, පැටලිළි ගොඩයි කියලා කවුරුහරි කියනවා නම් මට ඒකට කරන්න දෙයක් නැහැ. This post also one big vagabonding dream...

මෑතකදී මමත් තව රස්තියාදු මිත්‍රයෙකුත් රස්තියාදු ගමනක යෙදිලා ඉන්නකොට මුණගැහුනා අපි දෙන්නාගේම පරණ මිතුරියක්, කුමාරි කුමාරගම. ජාතික පුස්තකාලය ඉස්සරහාපිටදී. එයත් එයාගේ අළුත්ම පොත, 'උරෙයිට්ටු සාප්පාඩ්' තනියම බෙදා හරින රස්තියාදු ගමනක හිටියේ. ඇය කිවුවා "අපි ඔක්කොම රස්තියාදුකාරයොනේ මචං' කියලා. එතකොට තමයි මට හිතුනේ "ජීවිතේ හරිම රස්තියාදුවක්" කියලා කොහේ හරි ලියලා තියන්න ඕන කියලා...

දැන් මම ඉන්නේ නිදහස් චතුරශ්‍රයට යන පාරේ වටරවුම ගාව. මට දැන් මතක නැහැ එතනට කියන්නේ මොකක්ද කියලා. රස්තියාදු ගහන කෙනෙක්ට නිදහස තියෙනවා මඟතොට ගැන පාරිභාෂික නාම නොදැන ඉන්න, අමතක වෙන්න. මෙතනින් කෙළින්ම ගියොත් නිදහස් චතුරශ්‍රයේ ගල් කුළුණක් යටට වෙලා ඔහේ වාඩිවෙලා අහස දිහා බලාගෙන කල්පනා කරකර ඉඳලා ඇතිවුනහම අග්‍රා එකට ගිහින් දකුණු ඉන්දියන් කෑම වේලක් කන්න පුළුවන්. නැත්නම් වමට හැරිලා ගිහින්, ගොතේ එකට යන්න පුළුවන්.ඕනනම් පොලිසිය ලඟින් ඇතුළට හැරිලා ගිහිල්ලා ලයනල් වෙන්ඩ්ට් එකට යන්නත් පුළුවන්.නැත්නම් ආපහු හැරිලා ගිහින් එතනින් ඔළුව හැරෙන මුල්ම පැත්තට යන්නත් පුළුවන්!

රස්තියාදුවේ අලංකාරයක් තියෙනවා... නැත්නම් අමුතුම 'එකක්' තියෙනවා. ඒ ලෝකය බලන්න, මිනිස්සුන්ට ආදරේ කරන, ආදරේ දැනෙන, ජීවත් වෙන්න සැබෑ වුවමනාවක් තියෙන මිනිස්සුන්ට...

The song of the open road... එන්න, ඔබත් මමත් එකට මෙය පරිවර්තනය කරමු, අපිට දැනෙන විදිහට... "නිදහස් සිතුවිලි, විඩා නොදැනෙන දෙපා... ඔබ ඉදිරියේ වැතිර පැතිර ඇත්තේ ආශ්චර්යමත් ලෝකයක්..."

ඒ මට දැනෙන ලෝකය...

~ හිපියා

Saturday, November 13, 2010

උන්මන්තක කාල යාත්‍රිකයා සහ Butterfly ආචරණය...

"කාලය හරහා ගමන් කරන්න පුළුවන්, කාල තරණ යන්ත්‍රයක් තියෙනවා නම් කොයි තරම් අපූරුද" කියලා මම පුංචි කාලේ ඉඳන් හිතලා තියෙනවා. ,මට හිතුනු තවත් දෙයක් තියෙනවා. කාල තරණය ගැන හීන දැකපු ලෝකේ එකම එක පොඩි එකා මමද? මම හිතන්නේ උත්තරේ "නැහැ". H.G.Wells 1895 අවුරුද්දේ The Time machine ලියන්න හේතුවත් ඔහු මම වගේම කාල තරණය ගැන සිහින දැකීම වෙන්න ඇති.

 
කාලය හරහා ගමන් කරන එකේ තියෙන මේ තරම් හිත් වශීකෘත කරවන ෆැන්ටසි එක මොකක්ද ඇත්තටම? විද්‍යාත්මක කුතුහලය? වෙන්න පුළුවන්. කෙනෙක් අනාගතයට යන්න හිතන්නේ නම් කුතූහලය නිසා වෙන්න පුළුවන්. ඒක වෙනම කතා කරන්න ඕන දෙයක්. ඒත් ඇයි කාල තරණ යන්ත්‍රයකින් අතීතයට යන්න සිහින දකින්නේ? ඒකට මට දෙන්න පුළුවන් එකම උත්තරයයි. අඩු තරමේ අවංකව කතා කළොත් මට කාල තරණ යන්ත්‍රයකින් අතීතයට යන්න ඕන කරන්නේ මේ හේතුව උඩ. ඒ 'අතීතයේ වැරදි නිවැරදි කරන්න'!


තව ටිකක් අවංක වුනොත් මම කතා කරන්නේ ඉතිහාසය පුරා මනුෂ්‍යයා අතින් වුනු වැරදි, කළු පැල්ලම් නෙවෙයි. මගේ ජීවිතයේ මගේ අතින් වෙලා තියෙන වැරදි. ඒක ඉතාම ආත්මාර්ථකාමී අදහසක් කියලා කෙනෙක්ට හිතෙනවා නම් ඒක මම නිවැරදි කරන්න යන්නේ නැහැ. මම කාලය තරණය කරලා අතීතයට ගියොත් මේ මොහොතේ මෙතැන ඉන්න "ආත්මාර්ථකාමී මම" තව දුරටත් ඉන්න පුළුවන් කමක් නැහැනේ... ඒක තමයි කාලතරණයේ තියෙන හිත් වසඟ කරවන ප්‍රමෝදය... ඔබට අනාගතය හැඩගස්වන්න පුළුවන් වීම!


මගේම ෆැන්ටසි අවකාශයේ, කාලතරණ යන්ත්‍රයක නැඟලා අතීතයට ගිහින් සර්ව සම්පූර්ණ "මම" කෙනෙක්ව බිහිකරන එක, වර්තමාන ව්‍යාකූල, අපේක්ෂා භංගත්වයෙන් පිරුණු ලෝකයෙන් මොහොතකට මිදිලා යුතෝපියානු සිහිනයක අතරමං වෙන්න හරියනම නිමිත්තක්!
"වෙලාවකට බයත් හිතෙනවා ඔය විදියට ඔක්කොම වැරදි නිවැරදි කරගෙන එනකොට වර්තමාන 'මම' නැති වේවිද කියලත්"..."මම ගොඩනැඟෙන්නේ අනුභූතින් මත කියලා කිවුවොත් වර්තමාන 'මම' ගොඩනැඟෙන්න පදනම් වුනු නිශ්චිත අනුභූතීන් නැතිවුනු තැන තවදුරටත් 'මම' පවතින්න ඉඩක් නැහැ. ඒක සරලවම තේරුම් ගන්න පුළුවන් Butterfly Effect කියන සංකල්පයට පොඩ්ඩක් හිත යොමු කළොත්. සරල උදාහරණයක්, "ඔබ අතීතයට ගිහින් ඔබ අතින් සමනළයෙක් මැරුනොත්, සහශ්‍රක ගණනාවක් අනාගතේ ඔබට හිතාගන්න වත් බැරි වෙනස්කම් වෙලා තියෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම වෙනස් තාක්ෂණයන්, සම්පූර්ණයෙන්ම වෙනස් සමාජයන්ට අමතරව සම්පූර්ණයෙන්ම වෙනස් චින්තන රටාවන් ඇතිවෙලා තියෙන්න පුළුවන්. මෙතනදී අති දීර්ඝ ක්‍රියාදාමයක එක පුරුකක් වෙන සමනළයා අකාලයේ මියයාම නිසා දේවල් අඩුවෙනවා කියන දේට වඩා දේවල් "වෙනස් වීම" තමයි වෙන්න පුලුවන්. ඒක පලමුවැන්නට වඩා අතිශය භයානක වෙන්න පුළුවන් බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.


දැන් එතකොට වර්තමාන 'මම' ගොඩනැඟෙන්න පදනම් වුනු නිශ්චිත අනුභූතීන් නැතිවුනු තැන තවදුරටත් 'මම' පවතින්න ඉඩක් නැහැ කියන්නේ දැන් කාලතරණයේ යෙදෙන 'මම' ට මොනවා වේවිද? නිශේධ වෙලා යයිද? එතකොට මේ වැල්වටාරම් ලියන මම මෙතන තවදුරටත් පවතින්න ඉඩක් නැද්ද? ඔන්න දැන් ගැලවිල්ලට එනවා තවත් සංකල්පයක්... සමාන්තර විශ්වයන්!


මම හිතනවා Fringe Scienceඑක්ක මේ පැටළුනා හොඳටම ඇති කියලා!  බලනකොට කාලතරණ යන්ත්‍රයක නැඟලා සර්ව සම්පූර්ණ අනාගතයක හීනයක් වෙනුවෙන් අසම්පූර්ණ අතීතයකට ගමන් කරන එක, එතකොට කාලතරණ සංකල්පය එක්ක බැඳුනු දහසක් ඔළුව තෝන්තු වෙන විසංවාදයන්, මතවාදයන් එක්ක ගැටෙනවාට වඩා හැම අතින්ම ලේසියි "උන්මන්තක කාලතරණ ෆැන්ටසියක" මොහොතකට අතරමං වෙන එක.

Time_Travelling_2_by_Allura66
මේකට Psychedelic experience එකක් කියලා කවුරුහරි කිවුවොත් මම මොහොතකටවත් අමනාප වෙන්නේ නැහැ. ඒ වගේම එයින් පැහැදිලි කිරීමක් ලැබෙනවා Psychedelic experience,  වලට නැත්නම් හරියටම කිවුවොත් LSD, weed වගේ Psychedelic Drugs වලට මුල් කාලයේ හිපියන් මේ තරම් ආශක්ත වුනේ ඇයි කියලා.


මේ ලියලා තියෙන වැල්වටාරම් ටික සාහිත්‍ය නිර්මාණයක් විදියට නම් තුට්ටුවක් වටින්නේ නැහැ. ඒත් සමහර වෙලාවට කවුරුහරි නන්නාඳුනන කවියෙක්, ලේඛකයෙක් කිසිම තේරුමක් නැතුව ලියන පදවැල් කීපයක් ඇතුළේ සියවස් ගණනාවකට පස්සේ අපූර්ව තේරුම් පෙනෙන්න පටන්ගන්න හොඳටම ඉඩ තියෙනවා!


විප්ලවයකට අත්‍යාවශ්‍ය සාධකය උණ්ඩ පිටවෙන තුවක්කුවක් නෙවෙයි, තියුණු පරිකල්පනයක්... මේ සටහන තමන්ගේ පරිකල්පන ශක්තියේ ගැඹුර වටහාගෙන සිටින සහෝදර හැම වෙනුවෙන්...

~ හිපියා

Wednesday, August 11, 2010

මුහුදු කින්නර ගී හඬ...


රැළි බිඳෙන මුහුදු වෙරළකට හඳ එළිය වැටිලා තියෙනකොට හරි ලස්සනයි, හරි රොමැන්ටික් කියලා මම පොඩි කාලෙත් කථා පොතක කියවලා තිබුනා. හැබැයි එදා දවස වෙනකල්ම මම දැනගෙන හිටියේ නැහැ ඒ පොත් වල විස්තර කරලා තිබුනු විදියේ මුහුදු වෙරළක් ඒ තරමටම ලස්සනයි කියලා... ඔව්.. එදාත් ලස්සනට හඳ පායලා, හඳ එළිය වෙරළ පුරා අනේක රටා මවමින් තිබුනේ... වෙරළ පේන තෙක් මානයටම හිටියේ මාත් ඈත් විතරයි. ඈ, ඈතින් ඈත රිදීපාටට දිලිසෙන මුහුදු තරංග දිහා බලාගෙන ඉන්නකොට මම ඇගේ කණට මුමුණලා කිවුවා අවුරුදු ගණනාවකට කලින් මම මුහුදු වෙරළක තනි වෙලා ඉන්නකොට ලියපු කවි කීපයක්......




නිල්වන් රළ තරඟ මතින්
සුදු පැහැ පෙණ කැටි බිඳේ
වෙරල සිපින්නට පැනවිත්
නැවතත් දියඹට ඇදේ....

බැසයන මළ හිරු රස් වැද
නෙකවන් සිතුවම් මැවේ
ඒ සිතුවම් මැද තී රුව
ඇඳී තිබෙනු සේ පෙනේ....

ඈත දියඹ දෙසට ඇදෙන
ඔරුවක තනිවී මෙමා
ලිහිණි ගීත අසා සිටිමි
තිගෙ රුව සිහි කරමිනා....

තිගෙ සුවඳින් පිරුණු සුසුම්
සුලඟින් මා වෙත ඇදේ
ඒ විඳිනට නොහැකියි මට
ලුණු සුවඳින් සිත පිරේ....

තිගේ සිතේ මට ඇති පෙම
ගීතයකට අමුණලා...
එවපන් සුළඟේ පා කර
ඉන්නම් ඔරුවට වෙලා...

දනිමි දනිමි තී සිත ගැන
හැපී බිඳෙන රළ වැනී
එහෙත් තිගෙන් සිත නොමිදෙයි
තිට බැඳි පෙම නැත මැකී....

ජීවන රල තරඟ මතින්
සුන්බුන් වුවහොත් මෙමා
රැකගනු මැන මගේ මතක
තී සිත මුල්ලක මනා......

වෙරළේ තී දකිනු රිසින්
නෙත් සිත් දෙක වෙහෙසමී
විහිළු කරයි කිඳුරන් මට
තී ගැන මුමුණනු ඇසී......

පෙරළී එන රළ අතරින්
එන්නෙමි මම වහ වහා
සිටිනු මැනව මා සොඳුරිය
දියඹ දෙසට නෙත් යොමා......


මුහුදු වෙරළක ඉන්නකොට දැනෙන මුහුදු රළත්, මුහුදු හුළඟත් එක්ක මිශ්‍ර වුනු ඒ අපූරු හැගීමට වශීකෘත වුනු එකම කෙනා මම වෙන්න බැහැ. පේන තෙක් මානයක කවුරුවත් නැති හඳ එලියෙන් නැහැවුනු මුහුදු වෙරළක... ලුණු මිශ්‍ර හුළඟ විඳිමින්, රල නැගෙන හඬ අහමින් ඔරු කඳක් උඩට වෙලා ගිටාරය වයමින් නිශ්චලත්වයේ සත්සර රටා මවන එක සුරංගනා කථාවක් තරමටම ලස්සනයි... මුහුදු හුළඟින් දඟ කරන කෙහෙ රැලි රඳවා ගන්නට උත්සාහ කරමින්, ප්‍රේමනීය දෑසින් බලාගෙන ඒ සුරංගනා කථාව බෙදා ගන්න කෙනෙක් ඉන්නවනම් ඒ කථාව තවත් ලස්සනයි...  ඒ නැතත් හුළඟට මුසු වුනු ඒ ගී හඬට ඇහුම්කන් දෙන මිනිස්සු හිතේ බර පොදි මොහොතකට පැත්තකින් තියලා හිත සැහැල්ලුවෙන් නිදා ගනීවි. මිනිස්සු කියයි ඒ මුහුදු කින්නරයන්ගේ ගී හඬ කියලා... හිපියෙක් හැමතිස්සේම ආශා කරන දේවල් දෙකක් තමයි හුදකලාවේ රැඳී තියෙන සාමය සහ හිත වසඟ කරන සුරංගනා කථාවක්...!


මේ කවි වලට අවුරුදු දහයකටත් වඩා වයස වෙලා...එදාත් අදත් මුහුදු වෙරළේ වෙනසක් නැහැ.. ඒ හඳ එළියමයි අදත් නලියන රල පෙළ අතරින් රිදී පාට රටා මවන්නේ... මේ කවි ලියනකොටත් මම හිටියේ මුහුදු වෙරළේ තනියම... අද ඒ කවි මම මතක් කරන්නෙත් මුහුදු වෙරළේ තනියම... 


Thursday, August 5, 2010

ඇයි වෙරෝනිකාට ජීවිතේ එපා වුනේ... වෙරෝනිකා... දැන් මටත් පිස්සු!

පිස්සන් කොටු... ඒ සාමාන්‍ය ව්‍යවහාර භාෂාවෙන්... හරියටම කියනවා නම් මානසික ආරෝග්‍ය ශාලා... මොකටද ඒවා තියෙන්නේ? ලේසියෙන්ම කියන්න පුළුවන් පිස්සන්ව දාන්න කියලා... (අපි මේ මොහොතේ පිස්සාව නිර්වචනය නොකර ඉමු) ඇත්තටම් මානසික ආරෝග්‍ය ශාලා තියෙන්නේ පිස්සන්ව ගාල් කරලා තියන්නද? දැන් එහෙම පිස්සන්ව කොටු කරලා තියෙන උන්මත්තකාගාර (asylum) නැහැ.. පිස්සොත් නැහැ. දැන් ඉන්නේ මානසික රෝගීන්, තියෙන්නේ මානසික ආරෝග්‍ය ශාලා... ඔවුන්ව සුවපත් කරන්න. අඩු තරමේ මිනිස්සු Lunatic කියන වචනේ ගැන එහෙම කථා කරන එකත් සමාජ විපර්යාසයක් කියන්න පුළුවන්.

මට එකවතාවකට වඩා අත්දැකීම් තියෙනවා මිනිස්සු "පිස්සෙක්" විදියට මාව හඳුන්වලා. ඒත් ඒ හැඳින්වීම වෙනස්. කවුරුවත් මාව මානසික ආරෝග්‍ය ශාලාවකට යවන්න ඕන කියලා හිතුවේ නැතත් මට සාමාන්‍ය මිනිස්සුන්ට වඩා පිස්සු කියලා නම් කියලා තියෙනවා, මට නෑහෙන්න ඒ ගැන සඳහන් කරන්න තරම් සමහර අය කරුණාවන්ත වුනා. කවුද කියන්නේ මිනිස්සු කුරිරුයි කියලා...!

මම, මේ සමාජයෙන් වෙන්කරලා තියෙන පිස්සන් සහ සමාජගත පිස්සන් ගැන පුදුම වෙන්න පටන් ගත්ත කාලයේම තමයි වෙරෝනිකා ඕනවට වැඩියෙන් නිදිපෙති අරගෙන දිවි නසා ගන්න තීරණය කරන්නේ. වෙරෝනිකාට තිබුනු ප්‍රශ්නය සඟරාවක "Where is Slovenia?" කියලා ලිපියක් පළවීම කියලා ඇය තමන්ගේ ක්‍රියාව සාධාරණීකරණය කළත් ඇත්ත හේතුව අපි හැමෝම දැනගත්තා තප්පර කෑල්ලක් ගතවෙන්නත් කලින්. වෙරෝනිකාට ඔක්කොම එපා වෙලා තිබුනේ. හරියටම කියනවා නම් ජීවත් වෙන එක මහාම මහා කම්මැලි වැඩක් වෙලා තිබුනේ. මට හරියටම වෙරෝනිකා තේරුම් ගන්න පුළුවන් වුනා මටත් ජීවිතේ කම්මැලි කම දැනිලා, ජීවත් වුනා ඇති කියලා හිතුනු අවස්ථා තිබුනු නිසා...කොහොම වුනත් මම හොයාගෙන තිබුනා ජීවත් වෙන එක කම්මැලි නොවෙන්න දෙයක්... හැමදාම උදේට මතක් කරගත්තොත් අද හවසට මැරෙන්නත් පුළුවන් කියලා, ඔන්න එක පාරටම ජීවිතේ හැංගිලා තිබුනු වර්ණ පේන්න ගන්නවා. එකපාරටම ආශ්චර්‍යයකින් වගේ ජීවිතේ වටිනා දෙයක් කියලා හිතෙන්න ගන්නවා. මැරෙන්නෙ කලින් ජීවිතේ කරන්න තියෙන හැමදේම කරන්න ඕන කියන හැඟීම නිසා අපූරු වින්දනයක් ජීවිතේ පුරාම ගලායන්න පටන් ගන්නවා... හැබැයි මේ අදහස එක පාරටම පිළිගන්න ඉක්මන් වෙන්න එපා. අමතකද... මිනිස්සු මට පිස්සු කියලත් කියනවා. සමහර විට පාවුලෝ කොයියෝ ටත් මිනිස්සු එහෙම කියන්න ඇති...

දවසක් මට පාරෙදි මුණගැහුනු මනුස්සයෙක් අපූරු කථාවක් කිවුවා... 'රටේ ඉන්න පිස්සෝ ඔක්කොම එකතැනකට ගාල් කරලා කන්න බොන්න දෙන්න ගියොත් රටේ ආර්ථිකයත් කඩාවැටෙන්න ගනිවි, රටක් ඉතිරි වෙන එකකුත් නැහැ. ඒ නිසා ලේසිම ක්‍රමය තමයි හොඳ සිහියෙන් ඉන්න අයව කොටු කරලා, වෙන් කරලා පිස්සෝ ටික නිදහස් කරලා තියන එක.  ප්‍රශ්නේ ඉවරයිනේ. කොටු කරලා ඉන්න අයට පිස්සෝ කිවුවත්, මානසික රෝගීන් කිවුවත් දෙකම කිවුවත් වෙනසක් වෙන්නේ නැහැනේ."

මතක තියාගන්න, සම්මතය හැමවිටම සාපේක්ෂයි. මට මේ කථාව කිවුවෙත් සමාජ සම්මතයට අනුව පිස්සෙක්... හරියටම කිවුවොත් මානසික ආරෝග්‍ය ශාලාවකින් පැනලා ඇවිත් ගමේ යන කෙනෙක්... එයා කිවුවෙත් "මට තාමත් පිස්සු මහත්තයෝ" කියලා... සමහරවිට මේ කතාව ලියන්නේත් සමාජ සම්මත ප්‍රමිතීන්ට අනුව පිස්සෙක්... කෝකත් එකයි.. අද හවස ගෙදර යන්න කලින් මම මැරෙන්න සම්භාවිතාවක් තියෙන නිසා ජීවිතේ පුදුමාකාර ලස්සනයි...!!!



Sunday, May 2, 2010

කවියක් සහ අපේ ලොකු මාමා...

පුන් සඳේ ඔහොම නොකරන් හැමදාම...

රන් බඳේ කිතුල් ගෝමර ඇති සේම...

මන් ලඳේ මෙදුකා පවසන්නද කෝම...

යන් ලඳේ රටට නොකියා රහසේම...

මේ කවිය මට මුලින්ම ඇහුනේ හඳ එළියෙන් වැහුනු බාගෙට ගොයම් කපපු කුඹුරක පිදුරු ගොඩකට හේත්තු වෙලා නින්දත් නොනින්දත් අතරේ අහස දිහා බලාගෙන ඉන්නකොට... මේ කවිය කිවුවේ කුඹුරේ පැලට වෙලා හිටපු අපේ ලොකු මාමා... තාමත් මට කුඹුරු යාය විනිවිදිමින් උස් පහත් වෙවී නින්නාද වුනු ඒ ශෝකී කවිපද ඇහෙනවා වගේ... ඔව්, ලොකු මාමාගේ කටහඬේ තැවරිලා තිබුනේ ශෝකයක්... කවිය කිවුවේ අපේම ලොකු මාමා වුනත් ලොකු මාමා හිටියේ මහගම සේකරයන්ගේ තුංමංහංදිය පොතේ... ඒ අපේම ලොකු මාමා...

මට හරිම ආසාවක් තිබුනා, තාමත් තියෙනවා.. මේ කවියේ ආදරයට ලක්වුනු ගමේ කෙල්ල කොයි වගේ වෙන්න ඇත්ද කියලා බලන්න ... මට නිතරම දැනිලා තියෙනවා, මේ කවිපද මුමුණන හැමවෙලාවකම, මේ කවිපද අතරේ හැංගිලා ඇත්තේ Tragedy end එකක් කියලා... සමහරවිට මේ කවියා මේ තරම් ආදරේ කරපු දැරිවි පිට ගමකට දීග යන්න ඇති...කවියා කුඹුරේ පැලට වෙලා ඈ ගැන හිත හිත මේ සීපදය කිය කියා ඉඳලා මැරිලා යන්න ඇති... නැත්නම් මොකක්ද මේ කවිපද අතරේ හැංගිලා තියෙන ශෝකය?

තුංමංහංදිය පොතේ සිරිසේනගේ ලොකු මාමා සහ අපේ ලොකු මාමා බොහොම සමානයි... දෙන්නම ලස්සන හිත් තිබුනු අහිංසක, සුන්දර මිනිස්සු... අපේ ලොකු මාමා නියම ජේ වී පී කාරයෙක්... ... ඒ වගේම හැමෝම කියන විදියට විශිෂ්ට මොළයක් තිබුනු අපූරු මිනිහෙක් ... වෙනස් ලෝකයක් ගැන හීන දැකපු, ඒ හීනවලට අඩිතාලම් දමපු පුංචි කොළු ගැටයෙක්ගේ ලෝකයට ලොකු මාමා ලොකු හයියක් වුනා.

ඒ ලොකු මාමා අද නැතත්, මට අද ලොකු මාමාව මතක් වුනා. ඒ කවි පදත් ආයෙමත් ඇහෙන්න පටන් ගත්තා... සමහරවිට වෙල් එළිය දිගේ උස් පහත් වෙමින් ඇහුනු ඒ ශෝකාන්විත සීපද රාවය මහගමසේකරයන්ගේ භාවයන්ට කථා කරන්න ඇති... ඒ ඇහෙන්නේ අපේ ලොකු මාමාගේ කටහඬ...


පුන් සඳේ ඔහොම නොකරන් හැමදාම... යන් ලඳේ රටට නොකියා රහසේම...

Sunday, March 28, 2010

Sorrows are not a part of the graveyard, just solitary and peace….


                     I was in the most peaceful place of the earth, alone. For that question, people have many answers with personal perspectives. But I think the most peaceful place on earth is God’s acre, the cemetery. Not only ‘the hippie’ but many other poets and writers saw the cemetery as a place where peace and solitude reigns.

When we walk on a busy street with hundreds of, thousands of people, we are still alone. We feel the loneliness. We are strangers and we are forsaken among the crowd. But in a graveyard there is always a familiar feeling float around. Nobody is alone even is such solitude.

I remember, kahlil Gibran once said in one of his books that the cemetery is the land of peace where people sleeps in eternal rest. From there, living being’s city appears twined with the mist.

Why are some afraid of death? Hippies aren’t afraid to die. They are not dying. They just fade away to eternity and their memories will live forever among brothers and sisters.

Life is just a resting place in the journey of life and death… Sorrows are not a part of the graveyard, just solitary and peace…. Maybe Love…



A brief candle; both ends burning

An endless mile; a bus wheel turning

A friend to share the lonesome times

A handshake and a sip of wine

So say it loud and let it ring

We are all a part of everything

The future, present and the past

Fly on proud bird

You're free at last.

        Written by Charlie Daniels en route to the funeral for his friend, Ronnie Van Zant of the band, Lynyrd Skynyrd…
 

Hipster aka Pathum Punchihewa
Published on Youth Mirror - Daily Mirror (25th March, 2010)


Thursday, March 18, 2010

කවියාගේ මළගම

මළානික දවුල් නද
ඈත ගුම් දෙනු ඇසේ
වැරහැල් ගොක්‍ රෑන්
මඟ දෑල මඳ සුළඟට වැනේ...
නිරුවත් දෙපතුලට
සීතල වැලිකැට පහස දැනෙයි
දයාබරය...
දනිමි මම,
ඔබ මා පසුපසින් එනබව...
ගමන් කළත් මා අවසානයට...
නැහැ කිසිම වෙනසක්
දුකක් සන්තාපයක්
මා ගැන කිසිවෙක් ශෝක කරනු කිම
අයිති නොවීමි සහෝදර ජනතාවට කවරදාකවත් මම
ඒත් ඔබට,
ඔබට මා වුවමනා බව දනිමි...
මෙන්න මම, මෙතැන සිටිමි...
දයාබර මරණය...

සිහින් වැහි පොද...
ඇද හැලේ එක දෙක...
අහසවත් හඬනවා වත්ද
මා වෙනුවෙන්...
නොදැනේ කාහටවත්
සිරිපොදක වගක්වත්...
දයාබර සොයුරනි...
ආදරය කරමි තවමත්
නොහෙළනු කඳුළු මා වෙනුවෙන්...
නොකීවෙම්ද නුඹලාට මම,
කවියාගේ ජීවිතයද මරණයම බව..
ඇවිද යමි...
ඇවිද යමි, නවා ගත් හිසින්, බරවූ හදින්...
නුඹලා පසුපසින්...
මගේම අවමඟුල් පෙරහැර සමඟින්...

අතර වටින් පියාපත් විදහාලයි...
අන්ධකාර රාත්‍රිය
නුඹත් මමත් විතරක්
මුහුණින් මුහුණ බලාගෙන,
මිනීවල දෙපස...
ආදරණීය මරණය...
මඳ සුළඟට වැනේ,
මළානික ඉටිපන්දම් දැල්ල...
ජීවිතය වගේමයි,
කියනු ඇත නුඹ...

දෑස් පියාගමි
නැවුම් පස් මතුපිට ඇදි  ඇදී යන
ඇඟිලි තුඩුවලට දැනේ 
තෙත පසේ මුදු මොළොක් පහස
ඇගේ මුදු දෙතොල් පහස වගේමයි...
හරියටම...
සිපගනිමි සිතින් තෙත්වූ ඈ දිගැස
දෑසට තෙත කඳුලු බින්දුවක් උනා එනු දැනේ...
අතීතය මිය ගිහින්
ඔබ මුමුණනු ඇසේ...
අසා සිටිමි නිහඬව, නිහඬවම...
නිශ්ෂබ්දතාවයේ දෝංකාරය...

ඔබගේ සීතල ස්පර්ශය මා කොපුළකට දැනේ.... ජීවිතයත්, මරණයත්, ඔබත් කවියක් වැනිම බව විශ්වාස කළෙමි, ආදරිය... හිනැහෙන්න හැමදාටම.... මා ලියූ කවි අතර...

ඉටිපන්දම නිවී ගොස්...
ඈතින් නැඟී එන හිරු රස් වැද
මිනීවල පුරා විසිරි මල්
රතුපාට... සුදුපාට...
පණගසන්නා සේ පෙනේ...
ඔබ හා මුහුණින් මුහුණ බලා සිටින
මා...
අමතක නොකරන බව දනිමි...
හැමදාටම... 
දයාර්දතම වූ මරණය........

Tuesday, March 16, 2010

ප්‍රබන්ධ සාහිත්‍යය, රොමාන්තිකවාදය, සුරංගනා කථා සහ දඩෝරියා...!

    උණුසුම ඇති සැප පුටුවේ... දඩෝරියා නිදි කිරුවේ
       මැස්සෙක් හිඳ නාද කලා... දඩෝරියා අවදි කලා...
          කවුදැයි මේ ආ සතුරා... කියා පැනපි තදින් බුරා...
             මැස්සා ඒ බව නොතකා... දඩෝරියට වැහුණි යකා...
                මැස්සගෙ අමිහිරි නාදේ... නිසා බලනු සිදුවූ දේ...
                   පුටුවෙන් දුනු මතු වුනා... දඩෝරියා විසි වුනා...

    මේ රුසියන් චිත්‍ර කතන්දර පොතේ තිබුනු කවිපද කීපය මම කියෙව්වේ ඉස්කෝලේ යන්න පටන් ගන්නත් කලින්. එදා ඉඳන් කාලෙන් කාලෙට මේ කවිපද කීපය මගේ හිතේත්, මුවේත් රැඳිලා තිබුනා. මම සහතිකේටම දන්නවා මේ මම කියන රුසියන් චිත්‍ර කතන්දර එක්ක ආලයෙන් වෙලුනු එකම පොඩි එකා මම විතරක් නොවෙන බව. මොකක්ද මේවායේ තිබුනු මේ තරම් විශේෂත්වය? දඩෝරියාද?

    අද්භූතවාදය නැත්නම් රොමාන්තික වාදය කියන්නේ ප්‍රබන්ධ සාහිත්‍යයේ දෙවන පියවර.. ඊට කලින් එනවා සුරංගනා කථා, මිත්‍යා කථා, ජන කථා, දෘෂ්ඨාන්ත... ඒත් අමතක කරන්න එපා, සම්භාව්‍ය යතාර්ථවාදීන් තවමත් රොමාන්තික වාදයත් සුරංගනා කථා, දෘෂ්ඨාන්තයන්  ප්‍රතික්ෂේප කරනවා. ප්‍රබන්ධ සාහිත්‍යයේ ප්‍රකටවම පෙනෙන ලක්ෂණයක් වුනේ හොඳ- නරක... කළු-සුදු... වශයෙන් කැපී වෙනසක් දැකගත හැකි වීම. ඒ වගේම පැතළි චරිත කරලියට ගෙන ඒම. හොඳ නම් හොඳයි.... නරක නම් නරකයි... ඒ කියන්නේ හොඳ චොප්පෙ අයියා කෙනෙක් වත් නරක සිරිමත් කෙනෙක්වත් ප්‍රාථමික ප්‍රබන්ධ සාහිත්‍යයේ දී කවදාවත් අපිට මුණ ගැසෙන්නේ නැහැ. වීරයා හැමවිටම ඇවිත් දුෂ්ටයාව පරද්දනවා. හරියට දඩෝරියා වගේ. එතනදී වීරයා වෙන්නේ මැස්සා. ඒත් ඒ තර්කය හරිද? ඇත්තටම මැස්සාද වීරයා? ඇත්තටම නම් අපේ අනුකම්පාව හිමි වෙන්නේ දඩෝරියාට...

    මම එදත් අදත් අනුකම්පා කරන්නේ දඩෝරියාට. ඇයි, මට දැනුන දේ තමයි දඩෝරියා බොහොම අහිංසක විදියට නිදා ගෙන ඉන්නවා. මැස්සා ආක්‍රමණිකයා. අන්තිමට මැස්සා දඩෝරියාව පරාජය කරනවා. නැපෝලියන් බොනපාට් ටත් වඩා හොඳින් නවීන යුධෝපක්‍රම භාවිතා කරමින්. දැන් කියන්න එපා 'මැස්සෙක් ගිය දුර' කියලා... ඒ මැස්සගෙ හැටි...! එත් දඩෝරියා එක්ක පුද්ගලික කෝන්තර තියෙන කෙනෙක් මැස්සගේ පැත්ත ගනීවි..

    දැන් ආයෙමත් ප්‍රස්තුතයට ආවොත් අද අපේ රසවින්දනයන් එදාට වඩා සංකීර්ණයි. එහෙමනම් ඇයි අපි තාමත් මේ කවිපද කීපය රස විඳින්නේ? චිත්ත රූප මවා ගන්නේ? අතීත කාමයද? නැත්නම් අපේ ඇතුළේ නිදා ඉන්න පොඩි එකාගේ අවධි වීමද?

    වැඩක් නැතිව කම්මැලිකමින් ඉන්න වෙලාවට පරිණත විනෝදාස්වාද මාර්ග වලින් මිදිලා නිකමට වගේ ආයෙමත් පරණ පොත් අවුස්සලා අපේ ජන කථා පොත නැත්නම් රුසියන් සුරංගනා කථා ටිකක් කියවන්න. ලස්සන වසිලිස්සා...? නැත්නම් අන්දරේගේ කථා?

කිසිම දවසක සම්භාව්‍ය යථාර්ථවාදයට පුළුවන් වුනේත් නැහැ, පුළුවන් වෙන්නේත් නැහැ අත්භූතවාදයේ නැතිනම් රොමාන්තිකවාදයේ ඇති, ඉදිරි පරපුර අනාගතයට පුහුණු කිරීමේ ශක්‍යතාවය හඳුනා ගන්නට...

        


By Pathum Punchihewa


Monday, March 15, 2010

Peace Brother.... Hippie movement


Some where ages and ages hence,
two roads diverged in woods...
I took the road less traveled by,
and that has made all the difference...


Robert frost
(the Road not taken - 1916)


මට නිවැරදි දේ ඔබටත් නිවැරදි වෙන්නම ඕනද? ඔබ නිවැරදියි කියා සිතනා දේ මට නිවැරදි නැත්නම් මම අසම්මතද? එහෙමනම් ඔබ සිතන ආකාරය වෙනස් කරගත් දවසට මම සිතන පතන අසම්මත ආකාරය සම්මතය බවට පත් වේවි... හැමදෙයක්ම සාපේක්ෂ ලෝකයක සම්මතයත් අසම්මතයත් පමණක් නිරපේක්ෂ වන්නට ඉඩක් නැහැ... වැදගත් වන්නේ වෙනස්කම් කොයි ආකාරයෙන් පැවතුනත් ඔබට තවත් මනුෂ්‍යයෙක්ව ඒ ආකාරයෙන්ම පිළිගන්නට හැකි ලෝකයක් පමණයි... මේ අනාගත ප්‍රාර්ථනා ලෝකය... හිපි චින්තනය අපේක්ෂාවෙන් සිටින ලෝකය...

හිපියෙක් කියන්නේ කවුද? මොනවගේ කෙනෙක්ද? කෙනෙක්ට කියන්න පුළුවන් අඳින පළඳින ආකාරයට, ජීවන රටාවට අනුව හිපියෙක් හඳුනාගන්න පුළුවන් කියලා... තවත් කෙනෙක් කියයි Hippie සාමාජිකයෙක් නැත්නම් පොදු ව්‍යවහාරයේ විදියට "හිපියෙක්" කියලා හඳුන්වන්න පුළුවන් වෙන්නේ පවතින ක්‍රමයට පටහැණි අසම්මතවාදියෙක් කියලා... ශබ්දකෝෂය, hippie කියන පදය අර්ථ දක්වයි පවතින සමාජ ප්‍රමිතීන්ට නොගැළපෙන ස්වාධීන සහ අසම්මත ජීවන රටාවන් අනුගමනය කරන්නන් ලෙසට... දැන් මේ අතූරින් නිවැරදි විග්‍රහය මොකක්ද?

ඒ නිවැරදි විග්‍රහය හොයාගන්න පහසුම ක්‍රමය තමයි Hippie චින්තනය ගැන කථා කිරීම. ඔබට හැකිනම් ඔනෑම සමාජයකට, ආගමකට, සංස්කෘතියකට අයත් මනුෂ‍්‍යයෙක්ව ඒ අයුරින්ම පිළිගන්නට... කුමන වෙනස්කම් නොගැළපීම් තිබුනත් ඒ හැම කෙනෙක්ම තවත් සහෝදර මනුෂ‍්‍යයෙක් බව පිළිගන්නට... සාමය සහ ආදරය, නිදහස් නිවහල් ලෝකයක් කරා වැටී ඇති මාවත බව පිළිගන්නට... මේ හැමදේටමත් වඩා ඔබට හැකිනම් නිදහස් මනුෂ‍්‍යයෙක් වන්නට... Hippie කෙනෙක් කියයි ඔබත් ආලෝකය කරා ලඟා වෙලා කියලා...                             

Hippie උප සංස්කෘතිය බිහි වුනේ 60 දශකයේ මුල් කාලයේදී, එක්සත් ජනපදයෙන්... ඒ තරුණ ව්‍යාපාරයක් ලෙසට...එතැන් සිට Hippie දහම වේගයෙන් ලෝකය පුරාම ව්‍යාප්ත වුනා.පවතින සමාජ සම්මතයන්ගෙන් එල්ලවුනු පීඩනයට ප්‍රතික්‍රියාවක් ලෙසට ගොඩනැඟුනු hippie චින්තනය තමන්ගේම ප්‍රජාවක් වේගයෙන් නිර්මාණය කරගත්තා. ඔවුන් Rock සංගීතය විශේෂයෙන්ම psychedelic rock වලට ඉමහත් ලැදියාවක් දැක්වූවා. සමාජයේ බොහෝ පැතිකඩයන් වෙනස් විය යුතු බවක් යෝජනා කලා. වෙසෙසින්ම චින්තන විප්ලවයක් සහ ලිංගිකත්වය ඇතුළු බොහෝදේ වෙනසකට බඳුන් කරවන සමාජමය විප්ලවයක් බලාපොරොත්තු වුනා. Cannabis, LSD වැනි මත්ද්‍රව්‍ය භාවිතා කරමින් විඥානයේ විවිධ තලයන් ගවේෂණය කරන්නට උත්සාහ දැරුවා...

Hippie සංස්කෘතිය පැතිර ගියේ 60 දශකයේ කියා පැවසුනත් න්‍යායිකව සලකා බලන විට නම් hippie ජීවන රටා සහ ඉගැන්වීම් අතීත ග්‍රීසිය දක්වා පැතිර යනවා. අතීත ග්‍රීසියේ සිටි "සිනික්" දාර්ශනිකයන්, විශේෂයෙන්ම ඩයොජිනීස් ගේ ජීවන රටාව සහ මතවාදයන්, හිපි ජීවන රටාව සහ මතවාදයන්ටට සමානකමක් දැක්වූවා. එමෙන්ම හිපි දර්ශනය සඳහා කලින් කලට ලොව පහළවුනු ශාස්තෲවරයන්ගේ සහ යුග පුරුෂයන්ගේ, වෙසෙසින්ම බුදුරජාණන් වහන්සේගේ සහ ජේසු ක්‍රිස්තු තුමන්ගේ ඉගැන්වීම් සහ දර්ශනයන්ද, එමෙන්ම මහත්මා ගාන්ධි, Hillel the elder, St.Francis of Assisi සහ Henry David Thoreau ගේ මතවාදයන්ද බෙහෙවින්ම බලපෑවා.

1960 දී, hippie සංස්කෘතියට අයත් තරුණ තරුණියන් හිපි පරපුරේ ආරම්භය සනිටුහන් කරන අතරම ඊට කාලයකට පෙර ජර්මනියේද hippie ව්‍යාපාරයට සමාන තරුණ ව්‍යාපාරයක් පැනනැග්ගා. "Der Wandervogal" නැතිනම් 'සංක්‍රමණික කුරුල්ලන්" ලෙස තමන්ව හඳුන්වා ගත් මොවුන් ජර්මානු ජන සංගීතය, නිර්මාණාත්මක විලාසිතා මෙන්ම ෆෙඩ්‍රික් නීට්ෂේ, හර්මන් හෙස, ගොතේ වැනි ජර්මානු මහා දාර්ශනිකයන්, කවීන් සහ ලේඛකයන්ගේ අදහස් සහ චින්තන ධාරාවන් තමන්ගේ ජීවන රටාවන් සහ දෘෂ්ටි වාදයන්ට පදනම් කරගත්තා. පසු කාලීනව මොවුන් එක්සත් ජනපදයට සංක්‍රමණය වන විට එක්සත් ජනපදයේ hippie ව්‍යාපාරය ඇරඹී තිබුනු අතර එය මොවුන් වෙතින් ජර්මානු Wandervogal ලක්ෂණද ලබාගන්නට සමත් වුනා...

hippie ව්‍යාපාරයට මුල් කාලයේ සිටි අනුගාමිකයන් වූයේ වයස අවුරුදු 15 ත් 25 ත් අතර තරුණ පිරිසයි. ඔවුන් සාම්ප්‍රදායික විවාහය වැනි ඇතුළු ස්ථාපිතයන්ට, පුහු මධ්‍යම පාංතික අගයන්ට, න්‍යෂ්ටික ආයුධ වලට සහ එකල වියට්නාම් යුද්ධයට දැඩි ලෙස විරෝධය දැක්වුවා. එසේම පසුකාලීනව පැන නැඟුනු නව වාමාංශික ව්‍යාපාරය සහ මානව හිමිකම් ව්‍යාපාරය, hippie සංස්කෘතියට නව ශක්තියක් එකතු කළා. මෙසේ ලෝකය පුරා ව්‍යාප්ත වන්නට මං පාදාගත් hippie ව්‍යාපාරය, "සාමය සහ ආදරය" තේමා කරගනිමින් නව ලෝකයක් කරා පෙර ගමන් ඇරඹුවා...

හිපි චින්තනයේ න්‍යෂ්ටිය ලෙස සැලකිය හැක්කේ ස්වභාව ධර්මයයි. හිපිවරුන් තමන්ගේ ජීවන රටාව හැඩගස්වා ගත්තේත් මිනිස් අත්වලින් සෑදුනු නීති පද්ධතීන්ට අනුකූලව නොව ස්වභාව ධර්මය විසින් නිර්මිත රීති පද්ධතීන්ට අනුකූලවයි. සමාජය විසින් නියම කර තිබූ තහනම් කලාප සම්පූර්ණයෙන්ම නොසලකා හැරි හිපිවරුන් ජීවිතයේ අර්ථය සොයා යෑම සඳහා තමන්ගේම මාර්ගයක් ඔස්සේ ගමන් කරන්නට හැමවිටම උත්සාහ කලා. වෙනත් ලෙසකට කියනවා නම් පුද්ගල නිදහස සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කලා. කෙසේ වුවත් hippie චින්තනය අවධාරණය කරනු ලැබුවේ සමාජයේ කිසිමාකාර දෙයක් කඩාබිඳ දමා සකස් කිරීමක් නොව තමන් විසින්ම තමන්ගේ මාර්ගය අවබෝධ කරගනිමින් පුහු සමාජ හරයන් ඉවත ලෑමයි. මෙය එතෙක් පැවති යුරෝපීය ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වුනා...

"ඔබට සැබවින්ම වෙනසක් අවශ්‍ය නම් ඔබ කලයුත්තේ අනෙකාව වෙනස් කිරිමට උත්සාහ කිරීම නොව ඔබ තුළින්ම ඒ වෙනස ඇතිකර ගැනීමයි. මහා අනෙකාව හැසිරවීමට බලය යෙදීමම hippie දර්ශනයට පටහැණි වෙනවා. මෙසේ ඔබගේ චින්තනය නිදහස් වන විට ඔබ මෙන්ම නිදහස් සිතුම් පැතුම් ඇති තවත් මනුෂ්‍යයන් ඔබ වටා ඒකරාශී වනු ඇති. මෙසේ පරම්පරා ගණනාවකට පසුව හෝ සම්මත සමාජ ප්‍රමිතීන්ට අනුගත නොකළ හැකි විශේෂ වටිනාකම් ඇති සහෝදරත්වයෙන් එකට වෙලුනු මිනිස් ප්‍රජාවක් බිහිවනු ඇති..."

හිපි ව්‍යාපාරය ඇරඹුනේද මෙලෙසින්ම වේ...

hippie සංස්කෘතිය තුළින් මෙන්ම ඊට පෙර සහ පසු ඇතිවූ උප සංස්කෘතීන් තුළින්ද "සාම්ප්‍රදායික විවාහය" වැනි සමාජ සංස්ථාවන්ට දැඩි නොකැමැත්තක් පිළිබිඹු වුනා. මෙවැනි සාම්ප්‍රදායික ආයතනයක පවතින කුහකත්වය තරයේ ප්‍රතික්ෂේප කල හිපි වරුන් සමාජ සම්මත සදාචාර නීති නැවත සකස් විය යුතු යැයි යෝජනා කළා. තරුණ තරුණියන් එක්ව වාසය කිරීමත් (Living together) එක්ව ගමන් බිමන් යාමත් අනුමත කල හිපිවරුන් කියා සිටියේ නීති රීති වලින් බැඳුනු, ආදරයට වඩා අවශ්‍යතාවයට මූලිකස්ථානය ලැබෙන "සාම්ප්‍රදායික විවාහය" යල් පිනූ එකක් බවයි. එසේම හිපිවරුන් සමලිංගිකයන් හට සමාජයේ පැනනැඟී තිබූ විරෝධාකල්පයන්ට ද ප්‍රතික්‍රියා දැක්වුවා. ඔවුන් කියා සිටියේ සමලිංගිකයන්ද මෙලොව ජීවත් වන අනෙක් සියළු දෙනා මෙන්ම සම අයිතිවාසිකම් ලැබිය යුතු, ප්‍රතික්ෂේප නොවී සිටීමට අයිතියක් ඇති සමාජ කොටසක් යනුවෙන්. එසේම හිපිවරුන්, ලිංගිකත්වය සම්බන්ධයෙන් සියළුම ආකාරවල ආගමික සහ සමාජයීය ඇඟිලි ගැසීම් පිළිකෙව් කලා. මේ නිසාම විය යුතු පරිද්දෙන්ම සාම්ප්‍රදායික සමාජයෙන් hippie සංස්කෘතිය කෙරෙහි සුවිශාල විරෝධයක් එල්ල වුනු අතරම හිපියන් යනු "පාදඩ සහ අවලම්" කොටසක් ලෙස පහර එල්ල වුනා...

hippie විලාසිතාවන් ගැන කථා කරනවා නම්, hippie විලාසිතාවන්ගෙන් පිලිබිඹු වූ ප්‍රධානම කාරණය අක්‍රමවත් බවයි. එසේත් නැතිනම් "ඉබාගාතේ යන" ස්වාභාවයයි. මෙසේ හිපිවරුන් එකල සමාජයේ මුල්බැසගෙන තිබූ ඊනියා සුචරිතවාදයට සහ මනා පිළිවෙලට සිය නොකැමැත්ත පළ කර සිටියා. hippie සංස්කෘතිය මඟින් ප්‍රතික්ෂේප වන ස්ත්‍රී පුරුෂ පරතරය, hippie විලාසිතා මඟිනුත් ප්‍රතික්ෂේපිත වුනා. බොහෝවිට ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම කලිසම් හැඳි අතර දිගට කොණ්ඩය වැවීම හිපිවරුන්ටම අනන්‍ය විලාසිතාවක් ලෙස ජනප්‍රිය වුනා. හිපිවරුන් නිරුවත් දෙපයින්, කිසිම පාවහනකින් තොරව සිටි අතර සමහරුන් සරල පාවැසුම් භාවිතා කලා. හිපි තරුණියන් අත්‍යාවශ්‍ය මොහොතක හැරෙන්නට රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිතා කලේ නැහැ. යටි රැවුල් වැවීම හිපි තරුණයන්ගේ විලාසිතාවක් බවට පත්වන විට තරුණියන් තනපට භාවිතය අත්හැරියා...

මේ සියළුම hippie විලාසිතාවන්ගෙන් පැහැදිලිවම දැකිය හැකිවූ කරුණ වූයේ හිපිවරුන් විසිතුරු, කලාත්මක බවට ඇති කැමැත්ත සහ ස්වභාවධර්මයට ඇති දැඩි නැඹුරුවයි. ඔවුන් දීප්තිමත් වර්ණ ඇති නිර්මාණාත්මක හා අසාමාන්‍ය විලාසිතාවන් සහිත ඇඳුම් පැළඳුම් භාවිතා කල අතරම "Bell Bottom" කලිසම්, දිගු ඉන්දියානු මෝස්තරයේ කමිස සහ විශේෂයෙන්ම ඇමරිකානු, ලතින් ඇමරිකානු, ආසියානු සහ අප්‍රිකානු දේශයන්ට ආවේණික ඇඳුම් විලාසිතා hippie සමාජයේ ඉතා ජනප්‍රිය වුනා. එමෙන්ම විවිධ විසිතුරු සහ කලාත්මක පැළඳුම්, අත්වල බඳිනා පටි, මාල, කරාබු ආදියත් hippie විලාසිතා සම්පූර්ණ වීමට අවශ්‍ය අනිවාර්‍ය අංග වුනා...

hippie නිවාස, යානවාහන සහ අනෙකුත් දේවල් වලත් මේ කලාත්මක විසිතුරු බව සහ ස්වාභාව ධර්මයට ලංවීම පැහැදිලිවම දක්නට ලැබුනා. බොහෝ විට මේවා විසිතුරු වූයේ Psychedelic කලා නිර්මාණ වලට අනුකූලව. මෙහිදී මෙම විලාසිතාවන්, hippie සංස්කෘතියට, ඊට පෙර තිබූ Beat පරපුර, එසේම පසුව පැනනැඟුනු Punk ව්‍යාපාරය සහ අද පවතින තවත් බොහෝ උප සංස්කෘතීන්ගෙන් අනන්‍ය වන්නට පිටුබලයක් වුනා.

සංචාරය... hippie සංස්කෘතියේ තවත් මූලික අංගයක්. දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සංචාරය කිරීම හිපිවරුන්ට මිත්‍රත්වය වර්ධනය කරගැනීමට මහත් උපකාරයක් වුනා. හිපිවරුන්ගේ සරල ජීවන රටාවන් සමඟින්, ඔවුන්ට රට රටවල සංචාරය කිරීම තවදුරටත් වියදම් අධික හා සුඛෝපභෝගී දෙයක් වුනේ නැහැ. හිපි කණ්ඩායම් දේශීය වශයෙන් සංචාරය සඳහා hippie art වලින් විසිතුරු කළ පාසැල් බස් රථ සහ සංකේතාත්මක VW බස් රථ භාවිතා කළා. බොහෝ හිපිවරුන් පා ගමන් සහ පොදු ප්‍රවාහන මාධ්‍ය උපයෝගී කරගත්තා. ඒ ලාභදායි වීමත්, පරිසර හිතකාමී වීමත්, මිනිසුන් මුණගැසීමට වැඩි ඉඩක් ලැබීමත් යන කාරණා නිසා. සෑමවිටම හිපිවරුන් හට සංචාරයන් සඳහා ඉතා සුළු උපකරණ ප්‍රමාණයක් සහ අවම පහසුකම් ප්‍රමාණවත් වුනා. ඒ සංචාරයේදී පවා "සරලබව" හිපිවරුන් ප්‍රියකළ නිසා. අප සමාජයේ "හිපියන්" ලෙස බොහෝවිට හඳුනාගන්නේ මෙසේ අඩු වියදමකින් සංචාරය කරනා විදේශීය තරුණ තරුණියන්...

නියමාකාරයෙන් hippie සංස්කෘතිය පිලිබඳ නොදැනුවත්කම සහ මතුපිට පෙනුම ගැන පමණක් සැලකීම නිසා අප අතර සිටිනා හුදු අක්‍රමවත් හෝ නීති රීති ගරු නොකරන පුද්ගලයන්ට "හිපි" නාමය ආදේශ කිරීම බොහෝවිට අප සමාජයේ සිදුවන වරදක්. විශේෂයෙන්ම hippie සංස්කෘතිය වැළඳගැනීම සඳහා අවශ්‍ය වන්නේ hippie විලාසිතාවන් අනුගමනය කිරීම නොව hippie දර්ශනය අවබෝධ කරගැනීමත් නිදහස් චින්තනයකට හිමිකම් කීමත් වීම අනිවාර්‍ය දෙයක්...

cannabis හෝ LSD වැනි වෙනත් අධි චිත්තවේගී මත්ද්‍රව්‍ය භාවිතය මුල්කාලීන hippie ප්‍රජාව අතර දැඩිව දක්නට ලැබුනු දෙයක්. කෙසේ නමුත් මෙහිදී හිපි ප්‍රජාව තුළ psychedelic drugs නැතිනම් අධි චිත්තවේගී මත්ද්‍රව්‍යයන් භාවිතා වූයේ මිනිස් චිත්ත සන්තානයේ නොදු‍ටු ඉම් ගවේෂණය, ආධ්‍යාත්මික තලයන් සොයායෑම වැනි අරමුණු සමගිනුයි.

පරිසර හිතකාමී බව, එසේත් නැතිනම් ස්වභාව ධර්මයට ආදරය කිරීම hippie දර්ශනයේ තවත් ප්‍රබලව පෙනෙන ලක්ෂණයක්... "Health Foods" සංකල්පය හිපිවරුන් විසින් වර්ධනය කරනු ලැබුවා. "ක්ෂණික ආහාර පාන සහ කෘත්‍රිම ආහාර" පිළිකෙව් කල හිපිවරුන් තමන්ට අවශ්‍ය එළව්ළු සහ පලතුරු තමන් විසින්ම වගා කරගත්තා. එසේම පරිසර හිතකාමී නොවන සියළුම දෑ වලින් ඈත්වන්නට උත්සාහ කළා. පසුකාලීනව Gaia movement, green movement වැනි බොහෝ පරිසර හිතකාමී ව්‍යාපාර වලටද මෙම hippie සංකල්ප බලපෑවා...

නිදහස හැමවිටම පැමිණෙන්නේ තවත් වගකීම් රාශියක් සමඟින්. පවතින ක්‍රමය තුළ කැපකිරීම් නොකර නිදහස වෙනුවෙන් අරගල කිරීම අපහසු කාරණයක්. එහෙත් එය නොකළ හැක්කක්ද නොවෙයි. මේ නිදහස භාවිතා විය යුත්තේ ග්‍රහලෝකයේ සම්පත් නාස්තිය වළකන, තමන්ගේ සහෝදර මනුෂ්‍යයන් හා ආදරයෙන් හා සාමයෙන් ජීවත්වීමට හැකි මංපෙත් සෙවීම වෙනුවෙන්...

මේ, හැමදෙනාම ප්‍රාර්ථනා කරන ලෝකය නොවෙන්නට පිළිවන්. ඒත් මේ හිපි ව්‍යාපාරය වෙනුවෙන් කැපවූ සහෝදර සහෝදරියන් ප්‍රාර්ථනා කරන ලෝකය... ඔබත් මමත් ප්‍රාර්ථනා කරන ලෝකය... අනාගත අපේක්ෂා ලෝකය...

By Pathum Punchihewa

(Published on 'Go' mag, October 2009)

Saturday, March 13, 2010

හිපියෙක්, හිපියෙක් සහ හිපියෙක්..

හිපියෙක් කියන්නේ මොනවගේ සමාජ සත්ත්වයෙක්ද කියන එක ලාංකීය සම්මත කතිකාව ඇතුළේ නම් ටිකක් මතභේදකාරියි... කොහොම වුනත් කෙනෙක් සැළකිලිමත් වෙන්න ඕන හිපියා ඉරිච්ච ඩෙනිම් අඳින්නේ ඇයිද කියන එක ගැන නෙවෙයි... Weed පාවිච්චි කිරීම සදාචාර විරෝධීද වගේ මතුපිට කාරණා ගැන නෙවෙයි... හිපි චින්තනය ගැන... ඒක තේරුම් ගන්න පුලුවනිනම් අද අපි අත්දකින ගොඩක් ගැටළු වලට උත්තර හොයාගන්න පුළුවන්...

ඒ වගේම හිපි දර්ශනය දිහා බලන්න හිපියෙක් වෙන්න ඕන නැහැ... ඒත් මම හිපියා කියන විශේෂණය පාවිච්චි කරන්නේ ලස්සන ලෝකයක් ගැන හීන දකින, ලස්සන ලෝකයක මැවීම වෙනුවෙන් සටන් කරන හැමෝම විස්තර කරන්න... ඒ අරමුණ පෙරදැරි කරගත් තව උප සංස්කෘතින් තියෙනවා... ඒවා ගැන පස්සට කතා කරමු...




යුස්ටයින් ගෝඩර් (Jostein Gaarder) ගේ "සොෆීගේ ලෝකය" (Sofies verden) පොතේ එන මගේ හිත්ගත්තු කොටසක් ගැන සඳහන් කරලා මේ සටහන මම අවසන් කරන්නම්... ලෝකේ හරියට මහා මායාකාරයෙක් ටොප් හැට් එකකින් එළියට ඇදලා ගත්ත සුදු හාවෙක් කියලා හිතුවොත්( ඒ කියන්නේ මේ ලෝකේ ඒ තරමටම පුදුමාකාරයි කියලා) අපි තමයි ඒ සුදු හාවාගේ සිනිඳු ලොම් ගස් අස්සේ ජීවත් වෙන ක්ෂුද්‍ර ප්‍රාණීන්... මිනිස්සු දෙකොටසක් ඉන්නවා ලෝකේ... එක කොටසක් සුදු හාවාගේ ලොම් ගස් අස්සට රිංගලා බොහොම සැපපහසුවට තැන්පත් වෙලා ඉන්නවා.. "මේ දවස්වල තක්කාලි වල ගණන් කොහොමද අනේ?, දන්නවද මයිකල් ජැක්සන්ට වෙන වෙන තැන්වලත් ළමයි ඉඳලනේ... පව් නේද බ්‍රිට්නි?, ඔය බටර් එක මෙහාට දෙන්න අනේ..." ඔය වගේ දේවල් කථා කරකර... මේ අතරේ ලෝකේ ඉන්න අනෙක් කොටස... අනවරත උනන්දුවකින් සත්‍යය හොයාගෙන යන පිරිස (ඒ කියන්නේ අපි කියමු මහා මායාකාරයගේ ඇස් දිහා කෙලින් බලන්න උත්සාහ කරන දාර්ශනිකයෝ කියලා) බොහොම අමාරුවෙන් සුදු හාවගේ ලිස්සන සුළු සිනිඳු ලොම් ගස් දිගේ නඟිනවා... ඒක ලේසි වැඩක් නෙවෙයි.. ගොඩක් අය මඟදි පහළට ඇදන් වැටෙනවා.. ඒත් ඒ අය එකතු වෙලා එක එකාගේ කර පිටට නැඟලා අමාරුවෙන් ලොම් ගස් වල අන්තිම කෙළවරටම ලඟාවෙනවා... ඊට පස්සේ ඉහළ බලලා මවිතයෙන් කෑ ගහනවා අර පහළ ඉන්න අයට... "මහත්වරුනි, අපි අභ්‍යවකාශයේ පා වෙනවා"... එතකොට අර පහළ සැපපහසුවට ඉන්න අය කියනවා "අයියෝ මහා වද කරච්චල් කාරයෝ ටිකක්... ඒක නෙවෙයි අනේ අර අළුත්ම ෆිල්ම් එකේ කරීනා කපූර් මැරෙනවා නේ එන්ඩ් එකේ? හරිම සෑඩ්"

ඕක තමයි කථාව... මම ටිකක් විතර modify කළා Original එක... :) මම හිතනවා මම කියපු දේවල් සහෘද හැමදෙනාම තේරුම් ගත්තා කියලා.. අපි හැමදෙනාම තෝරාගැනීමක් කළයුතු තැනක ඉන්නේ, කොයි මිනිස් කොටසටද අපි අයිති වෙන්න ඕන කියලා... අපි කියලා කියන්නේ ඔබත් මාත්...පුළුවනිනම් සොෆීගේ ලෝකය කියවන්න... ඒකට දර්ශනවාදය විෂයයක් විදියට හදාරන්න ඕන නැහැ... 'සොෆීගේ ලෝකය', ජීවිතය දිහා අළුත් විදියකට බලන්න කියා දේවි දර්ශනවාදයේ ඉතිහාසය හරහා...

"You create your own reality..."
                                              - Seth


By Pathum Punchihewa