Saturday, November 13, 2010

උන්මන්තක කාල යාත්‍රිකයා සහ Butterfly ආචරණය...

"කාලය හරහා ගමන් කරන්න පුළුවන්, කාල තරණ යන්ත්‍රයක් තියෙනවා නම් කොයි තරම් අපූරුද" කියලා මම පුංචි කාලේ ඉඳන් හිතලා තියෙනවා. ,මට හිතුනු තවත් දෙයක් තියෙනවා. කාල තරණය ගැන හීන දැකපු ලෝකේ එකම එක පොඩි එකා මමද? මම හිතන්නේ උත්තරේ "නැහැ". H.G.Wells 1895 අවුරුද්දේ The Time machine ලියන්න හේතුවත් ඔහු මම වගේම කාල තරණය ගැන සිහින දැකීම වෙන්න ඇති.

 
කාලය හරහා ගමන් කරන එකේ තියෙන මේ තරම් හිත් වශීකෘත කරවන ෆැන්ටසි එක මොකක්ද ඇත්තටම? විද්‍යාත්මක කුතුහලය? වෙන්න පුළුවන්. කෙනෙක් අනාගතයට යන්න හිතන්නේ නම් කුතූහලය නිසා වෙන්න පුළුවන්. ඒක වෙනම කතා කරන්න ඕන දෙයක්. ඒත් ඇයි කාල තරණ යන්ත්‍රයකින් අතීතයට යන්න සිහින දකින්නේ? ඒකට මට දෙන්න පුළුවන් එකම උත්තරයයි. අඩු තරමේ අවංකව කතා කළොත් මට කාල තරණ යන්ත්‍රයකින් අතීතයට යන්න ඕන කරන්නේ මේ හේතුව උඩ. ඒ 'අතීතයේ වැරදි නිවැරදි කරන්න'!


තව ටිකක් අවංක වුනොත් මම කතා කරන්නේ ඉතිහාසය පුරා මනුෂ්‍යයා අතින් වුනු වැරදි, කළු පැල්ලම් නෙවෙයි. මගේ ජීවිතයේ මගේ අතින් වෙලා තියෙන වැරදි. ඒක ඉතාම ආත්මාර්ථකාමී අදහසක් කියලා කෙනෙක්ට හිතෙනවා නම් ඒක මම නිවැරදි කරන්න යන්නේ නැහැ. මම කාලය තරණය කරලා අතීතයට ගියොත් මේ මොහොතේ මෙතැන ඉන්න "ආත්මාර්ථකාමී මම" තව දුරටත් ඉන්න පුළුවන් කමක් නැහැනේ... ඒක තමයි කාලතරණයේ තියෙන හිත් වසඟ කරවන ප්‍රමෝදය... ඔබට අනාගතය හැඩගස්වන්න පුළුවන් වීම!


මගේම ෆැන්ටසි අවකාශයේ, කාලතරණ යන්ත්‍රයක නැඟලා අතීතයට ගිහින් සර්ව සම්පූර්ණ "මම" කෙනෙක්ව බිහිකරන එක, වර්තමාන ව්‍යාකූල, අපේක්ෂා භංගත්වයෙන් පිරුණු ලෝකයෙන් මොහොතකට මිදිලා යුතෝපියානු සිහිනයක අතරමං වෙන්න හරියනම නිමිත්තක්!
"වෙලාවකට බයත් හිතෙනවා ඔය විදියට ඔක්කොම වැරදි නිවැරදි කරගෙන එනකොට වර්තමාන 'මම' නැති වේවිද කියලත්"..."මම ගොඩනැඟෙන්නේ අනුභූතින් මත කියලා කිවුවොත් වර්තමාන 'මම' ගොඩනැඟෙන්න පදනම් වුනු නිශ්චිත අනුභූතීන් නැතිවුනු තැන තවදුරටත් 'මම' පවතින්න ඉඩක් නැහැ. ඒක සරලවම තේරුම් ගන්න පුළුවන් Butterfly Effect කියන සංකල්පයට පොඩ්ඩක් හිත යොමු කළොත්. සරල උදාහරණයක්, "ඔබ අතීතයට ගිහින් ඔබ අතින් සමනළයෙක් මැරුනොත්, සහශ්‍රක ගණනාවක් අනාගතේ ඔබට හිතාගන්න වත් බැරි වෙනස්කම් වෙලා තියෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම වෙනස් තාක්ෂණයන්, සම්පූර්ණයෙන්ම වෙනස් සමාජයන්ට අමතරව සම්පූර්ණයෙන්ම වෙනස් චින්තන රටාවන් ඇතිවෙලා තියෙන්න පුළුවන්. මෙතනදී අති දීර්ඝ ක්‍රියාදාමයක එක පුරුකක් වෙන සමනළයා අකාලයේ මියයාම නිසා දේවල් අඩුවෙනවා කියන දේට වඩා දේවල් "වෙනස් වීම" තමයි වෙන්න පුලුවන්. ඒක පලමුවැන්නට වඩා අතිශය භයානක වෙන්න පුළුවන් බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.


දැන් එතකොට වර්තමාන 'මම' ගොඩනැඟෙන්න පදනම් වුනු නිශ්චිත අනුභූතීන් නැතිවුනු තැන තවදුරටත් 'මම' පවතින්න ඉඩක් නැහැ කියන්නේ දැන් කාලතරණයේ යෙදෙන 'මම' ට මොනවා වේවිද? නිශේධ වෙලා යයිද? එතකොට මේ වැල්වටාරම් ලියන මම මෙතන තවදුරටත් පවතින්න ඉඩක් නැද්ද? ඔන්න දැන් ගැලවිල්ලට එනවා තවත් සංකල්පයක්... සමාන්තර විශ්වයන්!


මම හිතනවා Fringe Scienceඑක්ක මේ පැටළුනා හොඳටම ඇති කියලා!  බලනකොට කාලතරණ යන්ත්‍රයක නැඟලා සර්ව සම්පූර්ණ අනාගතයක හීනයක් වෙනුවෙන් අසම්පූර්ණ අතීතයකට ගමන් කරන එක, එතකොට කාලතරණ සංකල්පය එක්ක බැඳුනු දහසක් ඔළුව තෝන්තු වෙන විසංවාදයන්, මතවාදයන් එක්ක ගැටෙනවාට වඩා හැම අතින්ම ලේසියි "උන්මන්තක කාලතරණ ෆැන්ටසියක" මොහොතකට අතරමං වෙන එක.

Time_Travelling_2_by_Allura66
මේකට Psychedelic experience එකක් කියලා කවුරුහරි කිවුවොත් මම මොහොතකටවත් අමනාප වෙන්නේ නැහැ. ඒ වගේම එයින් පැහැදිලි කිරීමක් ලැබෙනවා Psychedelic experience,  වලට නැත්නම් හරියටම කිවුවොත් LSD, weed වගේ Psychedelic Drugs වලට මුල් කාලයේ හිපියන් මේ තරම් ආශක්ත වුනේ ඇයි කියලා.


මේ ලියලා තියෙන වැල්වටාරම් ටික සාහිත්‍ය නිර්මාණයක් විදියට නම් තුට්ටුවක් වටින්නේ නැහැ. ඒත් සමහර වෙලාවට කවුරුහරි නන්නාඳුනන කවියෙක්, ලේඛකයෙක් කිසිම තේරුමක් නැතුව ලියන පදවැල් කීපයක් ඇතුළේ සියවස් ගණනාවකට පස්සේ අපූර්ව තේරුම් පෙනෙන්න පටන්ගන්න හොඳටම ඉඩ තියෙනවා!


විප්ලවයකට අත්‍යාවශ්‍ය සාධකය උණ්ඩ පිටවෙන තුවක්කුවක් නෙවෙයි, තියුණු පරිකල්පනයක්... මේ සටහන තමන්ගේ පරිකල්පන ශක්තියේ ගැඹුර වටහාගෙන සිටින සහෝදර හැම වෙනුවෙන්...

~ හිපියා