Thursday, February 28, 2013

වීරයා මියගිය පසු...

"You either die a hero, or live long enough to see yourself become the villain."

වීරයෙක් වීම සෑමවිටම මනුෂ්‍යයෙකුගේ කෙටි ජීවිතයේ ප්‍රධානතම ආකර්ෂණයක් වන බව නොකිවමනායි. ඕනෑම මනුෂ්‍යයෙකුගේ චිත්ත සන්තානය තුළ වීරයෙක් ලෙසින් ග‍රු බුහුමනට පාත්‍ර වීමේ ආශාව උප විඥාණයේ හෝ සැඟවී ඇති අතර, දුෂ්ටයෙකු වීමට කිසිවෙකුත් සිහින දකින්නේ නැති බව ප්‍රත්‍යක්ෂයෙන්ම කිව හැකියි. එසේ වී නම්, දුෂ්ටයින් පැමිණෙන්නේ කොහි සිටද? බොහෝ විට දැකිය හැකි කාරණාව වන්නේ වීරයින් බවට පත්වීමේ උත්කෘෂ්ඨ සිහිනයන්ම දුෂ්ටයින්වද බිහි කරවනා බවයි. "ඔබ එක්කෝ වීරයෙකු ලෙසින් ජීවත් වී වීරයෙකු ලෙසින් ඉක්මනින්ම මිය යා යුතුයි, එසේත් නැතිනම් ඕනෑවට වඩා කාලයක් ජීවත් වී ඔබ දුෂ්ටයෙකු බවට ක්‍රමයෙන් පත්වන ආකාරය දැකිය යුතුයි"

ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාවේ පරම දුෂ්ටයා ලෙසින් පෙනී සිටිනා ඩාත් වේඩාර් සැබවින්ම වීරයෙකු වීමේ දෛවය ඇතිව උපන් බව, කෙටි කාලයකට හෝ වීරයාගේ චරිතය තුළ ජීවත් වූ බව දැකිය හැකියි. සුපර්මෑන්ගේ සදාතනික සතුරා වන ලෙක්ස් ලූතර් සැබවින්ම වීරයෙකු වීමේ පරම අභිලාශය ඇතිව ජීවත් වූ බව, සුපර්මෑන්ගේ ආගමනය සමගින් එම වීරයෙකු වීමේ සිහින මියගිය මොහොතේ පරම දුෂ්ටයා බවට පත් වූ බව, සුපර්මෑන් කොමික් කියවන ඔබට දැකගත හැකියි. එසේම නිශ්චිත දේශපාලන චරිතයන්ද වීරයින් බවට පත්වීමේ පරමාර්ථය දියව ගිය විට, ඔවුන් හටත් නොදැනීම දුෂ්ටයින් බවට පත් වූ බව මෑත ඉතිහාසය තුළ පහසුවෙන් දැකිය හැකියි.

සැබවින්ම තමන්ගේ කාර්යභාරය නිම කරනා ජනතා වීරයා සංකේතීයව මිය යා යුතු වේ. වීරයා හට අමරණීය වීමේ අවස්ථාව ලැබෙන්නේ එතැනින් පමණයි.

සොරෝ ඇස්ට්‍රියානු දර්ශනයේ සිට ලා ඕත්සු දර්ශනය දක්වා ද්වෛතවාදී මතවාදයකට පොදු ලක්ෂණය වන්නේ වීරයෙකුගේ පැවැත්මට සැබවින්ම දුෂ්ටයෙකුගේ පැවැත්මද අත්‍යාවශ්‍ය බව උපකල්පනය කිරීමයි. ආලෝකය සහ අඳුර අතර සදාතනික අරගලය ලෙසින් නිර්වචනය වන මෙය සරලවම ගතහොත්, වීරයාගේ පැවැත්ම සඳහා සෑමවිටම දුෂ්ට චරිතයක් නිර්මාණය විය යුතුයි ලෙසින් පැහැදිලි කළ හැකියි. එසේත් නැතිනම් වීරයා සටන් වදින්නේ කවු‍රුන් සමගින්ද? මේ නයින් ගත්විට වීරයෙකු නිශ්චිතවම බිහිවන්නේ ඔහුට එදිරිව නැඟී සිටිනා දුෂ්ටයාගේ බිහිවීම සිදුවන මොහොතේදී බව නොකිවමනායි. ඒ හා සමගාමීවම දුෂ්ටයාටද සැබවින්ම පැවැත්මක් ඇත්තේ, ඔහුව නැවැත්වීමට වීරයෙකු සිටින තාක්කල් පමණි.

මෙම කථාන්තරය දේශපාලන සන්දර්භයකට ආදේශ කිරීමෙන් අද ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකය තුළද විටින් විට බුර බුරා ඇවිලෙන බොහෝ අවුල් වියවුල් සම්බන්ධයෙන් අඩු තරමේ හොඳ චිත්‍රයක් ලබාගැනීමේ හැකියාව පවතියි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ පවත්නා මූලික අවුලක් වන්නේ දුෂ්ටයාගේ සහ වීරයාගේ චරිතය අතර ඇති අපැහැදිලිතාවයයි. විටෙක වීරයා යනු සැබවින්ම දුෂ්ටයාද යන ගැටළුවත්, දුෂ්ටයා විසින් එක් ක්ෂණභංගුර අවස්ථාවකදී සැබවින්ම වීරයාගේ චරිතය සිදුකරන්නේද යන ගැටළුවත් ප්‍රේක්ෂකයාහට මතුවේ.

ඔබගේ ජීවිතයේ සැබවින්ම දුෂ්ටයෙකු නැතිනම්, වීරයෙකු වීමට ඔබට ඇති එකම මාර්ගය වන්නේ පරිකල්පනීය සතුරෙකුගේ පැවැත්මක් නිර්මාණය කිරීමයි. එය දේශපාලනික තලයකට ගෙන යෑමට ඇවැසි නම්, ඔබ විසින් එම මනංකල්පිත දුෂ්ටයාගේ පැවැත්ම අනෙකාට ඒත්තු ගැන්විය යුතුයි. ඔබට එය සාර්ථකව සිදුකළ හැකි නම්, ඔබත් සාර්ථක දේශපාලඥයෙකු බවට සැකයක් නොමැති වේ.

වීරයා මියගිය විට එතැනින් දුෂ්ටයාගේ පැවැත්ම අවසන් වන බව 'මෙගා මයින්ඩ්' කා‍ටුන් චිත්‍රපටයෙන් මැනවින් පෙන්නුම් කරයි. එතැනින් එහාට දුෂ්ටයා හට අරමුණක් ඉතිරි නොවන අතර ඔහු අපේක්ෂා භංගත්වයට, විශාදයට පත්වීම වැළැක්විය හැකි නොවේ. කෙසේ නමුත් වීරයාගේ මියයෑමත් සමගින් දුෂ්ටයා හට තමන්ගේ ජීවිතයේ පරමාර්ථයන් හෝ අරමුණු සදහටම වෙනස් කරගැනීමට ස්වර්ණමය අවස්ථාවක් නිර්මාණය වන බව බොහෝ දුෂ්ටයින්ගේ සිහියට නොපැමිණෙන කාරණයක් වෙයි. වීරයා මියගිය පසු, දුෂ්ටයාට තවත් දුෂ්ටයෙකුගේ පැවැත්ම සමගින් වීරයා වීමේ හැකියාව ලැබෙන්නේ එතෙක් දුෂ්ටයා හා පැවති සමස්ත මතවාදී සන්දර්භයම උඩු යටිකු‍රු කරමින් වේ. උදාහරණයක් ලෙසට ජනතාවගේ වීරයා වීමට නියමිත, තවමත් ජනතා වීරයා යන චරිතය තුළ සිටින දුෂ්ටයාගේ අදූරදර්ශී සහ පීඩාකාරී පාලනයෙන් පීඩනයට පත්වන එක් මොහොතකදී කරන 'එක් අතකට ප්‍රභාකරන් සිටියා නම් මීට වඩා හොඳයි' යනුවෙන්, 'එක අතකට සුද්දාගේ පාලනය තිබුණා නම් මීට වඩා හොඳයි' වැනි ප්‍රකාශයකින් එළියට එන්නේද මෙම දුෂ්ටයා වීරයා බවට පත්වීමේ, රූපාන්තරණය වීමේ මොහොතයි.

අවසානයේදී ඔබ විසින් ගත යුතු කාරණාව වන්නේ ඔබටත් වීරයෙකු වීමේ ශක්‍යතාවය පවතී වැනි සීනිබෝල ධනාත්මක චින්තන අදහසක් නොවේ. දුෂ්ටයාහට වීරයා වීමේ අභිලාශය ඇති නම්, ඔහු හෝ ඇය විසින් ඔබ ඉදිරියේ පරිකල්පනීය දුෂ්ටයෙකු මවා තබා, තමන්ගේ පැවැත්මේ අවශ්‍යතාවය තහවු‍රු කරගන්නා බවයි. එහිදී ඔබට එම පරිකල්පනීය දුෂ්ටයාගේ පැවැත්ම සැබෑ දුෂ්ටයාගේ වීර පරාක්‍රමයෙන් යුත් වේෂ නිරූපණයෙන් වෙන්කොට හඳුනාගත නොහැකි නම්, දුෂ්ටයා බවට රූපාන්තරණය වූ වීරයා, ඔබ තවත් එක් රූකඩයක් පමණක් බවට පත් කරගන්නා බව නිසැකයි.

ජනතා වීරයින් දිගු කාලයක් ක්‍රියාකාරී වීම සෑමවිටම අවසන් වන්නේ ඔහු එක් ස්ථානයකදී දුෂ්ටයා බවට පරිවර්තනය වීමෙන් බවට අනාගතය සාක්ෂි දරයි. මුහුණු දෙකක් ඇති දෙවියා, ජානුස්ගේ කාලයේ සිට, මෑත අතීතයේ ශ්‍රී ලංකා දේශපාලන ධාරාව දක්වා ඉතිහාසය ඒ සම්බන්ධයෙන් සාක්ෂි දරයි.

පැතුම් පුංචිහේවා
darth vader by azullthras

Friday, January 25, 2013

අය්යෝ, ලෝක විනාසේ ආවෙ නැහැනේ!



"මායාව‍රුන්ගේ දින දර්ශනයට අනුව ලෝක විනාශය වෙන්න තියෙන්නේ 2012 දෙසැම්බර් මාසේ විසි ගණන් වල. අවු‍රුදු දාස් ගාණක් දුරට තිබුණු මායන් කැලැන්ඩරේ 2012 න් ඉවර වෙනවා. ඔයා හිතන්නේ ඒක අහම්බෙන් වුණු දෙයක් කියලද?" ඒ විදියට ඈ තර්ක කළා මාත් එක්ක, හරියටම මීට මාසෙකට පෙරාතුව. ගැහැණියක් හා වාද නොකරන ලෙසට පඬිව‍රු පුරාතනයේ අවවාද දී තිබුණත්, මේ වගේ ජවසම්පන්න වාදයක් අත ඇරලා දාලා "ඔව් ඔයා හරි මගේ සීනි බනිස් ගෙඩිය" කියලා ඈට හාද්දක් දෙන්න පුළුවන්ද මොළයක් තියෙන මිනිහෙක්ට. සමච්චලේට වගේ හිනාවෙලා මම වාදය පටන්ගත්තා, කෙළින්ම නාසා එකෙන්.

"නාසා එක විතරක් නෙවෙයි, මුලු ලෝකෙම වගකිව යුත්තෝ දන්නවා වෙන්න යන දේ ගැන. ඒ වුනාට එහෙම ඒ වගේ දෙයක් ඔහේ කියලා දන්න පුළුවන්ද? මිනිස්සු කොයි තරම් කුලප්පු වෙයිද, ලෝක මට්ටමේ වියවුල් ඇති වෙයි එහෙම දෙයක් ගැන මිනිස්සු දැනගත්තොත්" ඈ මගේ පලමුවෙනි පන්දුවටම හයේ පාරක් ගැහුවා.

"ඒ කොහොම වුනත් ඔය තරම් ග්‍රහලෝක මට්ටමේ විනාශයක් ගැන දන්නවා නම්, ඒ වගේ රහසක් හංගගෙන ඉන්න පුළුවන් කමක් නෑ කිසිම ආණ්ඩුවකට, කිසිම කෙනෙකුට". 

"ඔව්, ඔයා හරි. ඉතින් මේ අපි දන්නේ. ඒක කොයි තරම් උත්සාහ කළත් ලෝකේ ඉන්න කුතුහලයෙන් පි‍රැණු දක්ෂ මිනිස්සුන්ගෙන් රහසක් විදියට තියාගන්න කාටවත් බැහැ, ඒ නිසාම තමයි අපි ඒ ගැන දන්නේ" ඈ සාඩම්බරයෙන් ඒ වචන ටික කිව්වේ ලෝක විනාශයක කුමන්ත්‍රණයක් නවත්වන්න වගකීම කරට අරන් ඉන්න, එක්ස් ෆයිල්ස් එකේ ඒජන්ට් ස්කලී වගේ හිතාගෙන. "හැබැයි ලෝකේ හැමෝම දැනගත්තොත් වෙන්න යන දේ, හිතන්න මොනතරම් කළබගෑණියක් ඇතිවෙයිද ලෝකේ. මිනිස්සු අපේක්ෂා භංගත්වයට පත්වුනාට පස්සේ මොනවා නොකරාවිද"

"ඉතින් ලෝකේ ඔය කියන විදියට ඇත්තටම විනාශ වෙනවා නම්, මොනව වුනත් මොකද. මිනිස්සුන්ට බේරෙන්න දුවන්න තැනකුත් නැත්තම්, පෘතුවියේ ජීවත් වෙන අවසාන දවස් කිහිපය තමන්ට ඕන විදියකට ජීවත් වුනහම මොකද. ඔයා කියන දේ වෙනවනම් කොහොමත් ඔය ආණ්ඩු ඉතු‍රු වෙන්නේ නැහැනේ." මම කල් යල් බලලා තවත් දුස්රා එකක් දැම්මා.

"එහෙම කියන්න එපා. මිනිස්සු ලඟ එන අවසානය ගැන හිත හිත අවසාන දවස් කිහිපය දුක් විඳලා මැරිලා යනවට වඩා හොඳයි එක පාරම කිසිදෙයක් නොදැන මැරෙන එක".

ඔය විදියට මහා ලෝක විනාශයක් ගැන වාදය දිගින් දිගටම ඇදිලා ගියා. ඈ මට ‍රැව්වා. නියෙව්වා, එරෙව්වා, සමච්චලේට හිනා වුනා. ඒත් මම අත අරින්නේම නැතුව විද්‍යාත්මක ක‍රුණු කාරණාවන්ගේ ආනුභාවය ඇතිව වාදාභිශීලීව මගේ මතයේම එල්ලිලා හිටියා. ඈ, ඈත අභ්‍යවකාශයේ සිටන් සෞරග්‍රහ මණ්ඩලය දෙසට ඇදී එන නෙම්සීස් කියලා දැවැන්ත ග්‍රහලෝකයක් ගැන මතයෙන් පටන් අරන්, ක්‍රොප් සයිකල්ස්, නස්කා රේඛාවන්, 2012 චිත්‍රපටය, පෘතුවි ධ්‍රැවයන් විතැන් වීම, මහා සූර්ය කුණා‍ටු ඈ මෙකී නොකී විද්‍යා ප්‍රබන්ධ, අවිද්‍යාත්මක කථා, කටකථා, ක‍රුණු කාරණා සමගින් මට කියන්න දෙයක් නැතිවෙනකල්ම මහා උල්කා වර්ෂාවක් වගේ 2012 දෙසැම්බර් මාසයේ ලෝක විනාශය වෙන බවට සාධක ගෙන හැර පෑවා.

'ඔයා නින්ද යන්න කලින් විද්‍යා ප්‍රබන්ධ පොත් කියවනවා වැඩියි පැටියෝ' කියලා කියන්න කට ඇරලත්, අඩු තරමේ ලෝකය විනාශ වුනත් එතකල් හරි පෙම්වතියව නැතිකරගන්න වුවමනාවක් නැති නිසා මම ආයෙමත් කට වහ ගත්තා. මට ඈත් එක්ක වාද කරලා මගේ මතය හරියි කියලා ඔප්පු කරන්න, ලෝක විනාශයක් වෙන්නේ නැහැ කියලා ඈට පහදලා දෙන්න පුදුම අන්දමේ වුවමනාවක් තිබුනත්, මට තව දුරටත් මායා කැලැන්ඩරයක් ගැන කථා අහන්න කම්මැලි හිතුනා. ඒ නිසා, බැඳපු මිනිස්සු කරනවා වගේ "ඔයා හරි තමයි මගේ අයිස් කැටේ" කියලා මම නිකම් හිටියා. ඒත් මම තව දෙයක් කිව යුතුයි කියලා ඈ ඇස් හීනි කරගෙන මගේ දිහා බලාගෙන හිටපු හැටියට මට පෙනුනා. "ඔයා මට ඔරවා ඔරවා වාද කරනකොට හරිම ශෝක්. ඒ වෙලාවට ඔයාගේ ඇස් පුංචි වෙනවා. එතකොට හරිම ලස්සනයි"
හැබැයි ඈ බලාපොරොත්තු වුනු පිළිතුර වුනේ "ඔයා හරි, මම වැරදියි" කියන එක කියලා මට පර චිත්ත විඥාණන ශක්තියෙන් වගේ දැනුනා.

"ඔයාට හිතෙන්නේ නැද්ද, ලෝක විනාසේ වෙන එකේ, මේ ගෙවෙන්නේ අපි දෙන්නගේ අවසන් දින කිහිපය කියලා" මම ටෙස්ට් රන් එකක් කරලා බැලුවා. ආයෙමත් ඒ ලස්සන ඇස් හීනි වුනා.

"එහෙම නෙවෙයි මම කියන්නේ පැටියෝ, ඔයාට විශ්වාසයිනේ ලෝක විනාසේ එනවා කියන එක ගැන. ඔයාට විශ්වාසයි කියන්නේ මටත් විශ්වාසයි. ඉතින් ඒ කියන්නේ අපි දෙන්නට සතුටින් ජීවත් වෙන්න තියෙන්නේ මේ පොඩි කාලේ විතරයි. එහෙම නේද." මම බොහොම අමා‍රුවෙන් කියාගන්න ඕන ටික කියාගත්තා.

"ඔයා කියන්නේ......................................" ඈ ඇස් ලොකු කරගෙන ඇහුවා.
"මම කියන්නේ.......................... ඔව්" මම ලෝකේ විනාශ වෙනවාමයි කියලා මටම හිතින් කියාගන්න ගමන් කිවුවා.

"ඔයා කියන කථාව හරි. ඒත් මට හිතෙනවා මෙහෙමත්. සමහරවිට ලෝකේ විනාස වෙන එකක් නැහැ නේද. නොත්‍රදාමුස්ගේ අනාවැකි වුනත් කොච්චර හරි ගියත් වැරදුණු ඒවා තිබුණනේ. විද්‍යාඥයින්ටත් වරදින්නේ. සමහරවිට අපිට බේරෙන්න පුළුවන් වෙයි"

"ඒත් අමතක කරන්න එපා, මායන් කැලැන්ඩරේ 2012 න් පස්සේ ඉවරයි. ඒක නිකම්ම අහඹු සිදුවීමක් වෙන්න බැහැනේ. මටත් දැන් හිතෙනවා ලෝකේ විනාස වෙනවාමයි කියලා. මම නම් හිතන්නේ මෙහෙට ලොකූ සුනාමියක් එයි" මම ඇගේ අතේ තිබුණු තු‍රුම්පු කොළ ටික හොරෙන් අරගෙන මගේ වගේ සෙල්ලම් කරන්න පටන් ගත්තා.

"ඔව්, ඔයා කියන එක හරි. ඒත් ඉතින් විශ්වයටම පොදු දේ තමයි මේ වගේ දේවල් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන් කියන එක. අර නාසා එකෙන් නිල නිවේදනයකුත් නිකුත්කරලා තිබුණා ලෝකේ විනාස වෙන කථාව බො‍රුවක් කියලා. අනේ මන්දා" ඈ බොහොම කල්පනාකාරීව කියනවා. හරියට බැලුවොත් මම වාදෙන් දිනුම්. ඒත් ලෝක විනාශය සම්බන්ධයෙන් මගේ මතය මොකක්ද කියලා මටවත් දැන් හරියටම විශ්වාස නැති තැනකට මම පත්වෙලා තිබුනේ. මේ ඉලව් ලෝක විනාසේ කථාව පටන්ගන්නකොටම ඇගේ නහයට හාද්දක් දීලා 'ඔයා හැමදාමත් හරි මගේ පණ' කියලා නොකියපු එක ගැන මම පසුතැවුනා. ලෝකේ දිනෙන් දින භ්‍රමණය වෙමින් නොදන්නා විනාශයක් දෙසට ඇදී ගියා.

දෙසැම්බර් මාසේ පහුවුනා. ලෝකය විනාස වුනෙත් නැහැ. මිනිස්සු ඒ ගැන මොකුත් කිව්වෙත් නැහැ. ඈට අපේ වාදය මතක තිබුනෙත් නැහැ. මට ඒ වාදය ගැන ආයෙමත් මතක් කරන්න වුවමනාවක් තිබුනෙත් නැහැ.

'ලෝකේ විනාස වෙන්න ඕන මේ වගේ දවසක' කියලා හිතෙන තරම් සුන්දර හැන්දෑවක, ලෝක විනාශය ගැන වාද කරලා මාසෙකට පස්සේ ඈ මාව දාලා ගියා.


Thursday, January 3, 2013

Who wants to be a diplomat !!!



"නෝනලා මහත්තේලා මම වෙන කොන්දොස්තරලා වගේ නෙවෙයි, මම ආස නෑ උදේ පාන්දරම සද්දෙ දාලා, මෙතන ඔයගොල්ලන්ට කෑ කෝ ගහලා ඔයාලගෙත් දවස අවුල් කරන්න. එහෙම ඕන නැහැනේ. ඒ නිසා හොඳ නෝනලා මහත්තු‍රැ වගේ ක‍රැණාකරලා සල්ලි අතට අරගෙන මට සල්ලි දීලම පිටිපස්සට යන්න. ලඟ බැස්සට කමක් නැහැ, හැමෝම ඔයාලා වගේ උදේ පාන්දරින් රස්සාවලට යන නෝනලා මහත්තු‍රැ ඉන්නේ. බහින කොට කියලා ඉඩ ඉල්ලගෙන බහින්න පුළුවන්... ආන්න එහෙම. බලන්න කොයි තරම් ලේසිද හැමෝටම..."

මෙහෙම කථාකරනකොට, වයස හින්දා කේන්ති යන සීයා කෙනෙක්ට නැතිනම් ආච්චි ඇන්ටි කෙනෙක්ට වුනත් කට පුරා හිනා වෙලා කොන්දොස්තර මහත්තයට සල්ලි නොදී යන්න බැහැ. වෙනදට කොන්දොස්තර මහත්තයව තඹ සතේකට මායිම් නොකර බස් එකේ දොර ගාවම තෙරපි තෙරපි ඉන්න හැමෝම ඔය ලස්සනට කොන්දොස්තරට සල්ලිත් දීලා පස්සට යන්නේ. කොන්දොස්තර මහත්තයට අයිනකට වෙලා සල්ලි එකතු කරගන්න විතරයි තියෙන්නේ. හරිම ශෝක්. සතු‍ටු සිනා දෝරේ ගලනවා, බස් එකම සිරියාවයි.

බස් එකේ වාඩිවෙලා හිටපු මම මේ හැමදේම දිහා බලාගෙන හිතුවේ එකම දෙයයි. ඒ කොන්දොස්තර මහත්තයට කොයි තරම් සාර්ථක රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, එහෙම නැතිනම් ඩිප්ලොමැට් කෙනෙක් වෙන්න තිබුනද කියන එක. කොන්දොස්තර මහත්තයා නොදැන හරි භාවිතා කළේ ඩිප්ලොමැසි. හැබැයි ඕක බස් එකේ වෙන කවු‍රැවත් දැනගෙන හිටියේ නැහැ, අඩු තරමේ කොන්දොස්තරවත් දන්නේ නැහැ තමන්ට ඒ වගේ ශක්‍යතාවක් තියෙනවා කියලා. සමහර විට බස් එක ගමනාන්තයට ගිහින් ඊලඟ ටර්න් එකට වෙලාව එනකල් කොන්දොස්තර මහත්තයා ඩැයිවර් මහත්තයා එක්ක කදේ දාගෙන ඉන්න වෙලාවක, ඩැයිවර් මහත්තයා කියන්න පුලුවන් "උඹේත් මාර මොත්තේ තියෙන්නේ කියලා".

ආන්න වචනේ අහුවුනා. ලංකාවේ ඒකට කියන්නේ ඩිප්ලොමැසි කියලා නෙවෙයි. මොත්තේ දානවා කියලා. හැබැයි මේ යෙදුම භාවිතා වෙන්නේ නරක අතටම නෙවෙයි. උදාහරණයක් විදියට උදේ පාන්දර කොන්දොස්තර මහත්තයා දීපු දේශනාව කිසිසේත්ම ඵලරහිත නැහැ. කාටවත් පාඩුවක් වුනේත් නැහැ, සාමාන්‍යයෙන් බස් එකක කොන්දොස්තර බස් මඟීන් එක්කත්, බස් මඟීන් කොන්දොස්තර සහ සමස්ත ආණ්ඩුව එක්කත් ගේම ඉල්ලනවා. බස් එකෙන් බහින කොට දවසම ඉවරයි. කොන්දොස්තර මහත්තයාගේත් ඇ‍ඟේ ලේ ඔක්කොම පිච්චිලා ඉවරයි.

*************************************************************************

මට මතකයි අපේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෙක් වෙන්න මොනතරම් තරගයක් තිබුනද කියලා. සාමාන්‍යයෙන් අපේ විද්‍යාලයේ, නැතිනම් ගමේ මිනිස්සු කියන විදියට ටවුමේ කොලීජියේ ශිෂ්‍ය නායකයෙක් කියන්නේ සර්ව බලධාරී නැතත්, තිස්තුන් කෝටියක් දේව මණ්ඩලයේ සාමාජිකයෙක් තරම් වැදගත් තැනක් තිබුනු කෙනෙක්. ශිෂ්‍ය නායකයෙක් වෙන එක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. දහසකුත් එකක් ක්‍රියාකාරකම්, මිලිටරි පුහුණු කඳවු‍රැ කාලයක් ඈ හැමදෙයකින්ම සාර්ථකව දිවි ගලවා ගත්තත්, තවත් බොහොමයක් දේවල් සපුරාලන්න ඕන. පාසැල සිංහල බෞද්ධ වුනත් ඉංගිරිසියෙන් වැඩ කරන්න හැකියාව තිබීම, සුද්දා පරාදවෙන විදියට රජා නොමරා ඉංගිරිසි උසු‍රැවන්න හැකියාව තිබීම, ශිෂ්‍ය නායකයෙක් වීමේ අවශ්‍ය සාධකයක් බවට පත්වුනු එක කාලයක් තිබුනා.

සුද්දාස් ටන්ග් එක අතිශය ගැටළුකාරී දෙයක් බවට පත්වෙලා තිබුණු, ශිෂ්‍ය නායක පදවිය පිළිබඳ දහසකුත් එකක් බලාපොරොත්තු තියාගෙන හිටි ශිෂ්‍යයන්ට, සම්මුඛ සාකච්ඡා මණ්ඩලයේ හිටි අති භයංකර විදියට වතුර වගේ ඉංග්‍රීසි කථාකරන, බනිනකොටත් ඉංග්‍රීසියෙන්ම බණින, අති සුන්දර වගේම පාසැල තුළ ප්‍රබල ස්ථානයක වැජඹුණු "ඉංග්‍රීසි ගු‍රැතුමිය"ගේ කඩ ඉම පහුකරන එක බරපතල ගැටළුවක් බවට පත්වෙලා තිබුනා. 

කොහොම වුනත් එක ශිෂ්‍ය නායකයන් තේරීමේ වාරයකදී, පාසැලේ අනෙක් බාහිර ක්‍රියාකාරකම්, ඉගැනුම් කටයුතු මේ දේවල් වලින් සාමාන්‍ය මට්ටමකින් ඉදිරියෙන් සිටි, ඒත් යේස්, නෝ, තෑන්ක් යූ කියනවා ඇරෙන්න වෙන කිසිම ඉංග්‍රීසි වචනයක් දැන නොහිටි ශිෂ්‍යයෙක් සම්මුඛ සාකච්ඡා මණ්ඩලය ඉදිරියට ගිය මොහොත පිළිබඳව කථාන්තරයක් මුඛ පරම්පරාගතව ඉදිරියට ආවා. මේ වෙලාවේ සුන්දර ඉංග්‍රීසි මිස් සාකච්ඡාව ආරම්භ කළේම පිරිසිදු ඉංග්‍රීසි ආමන්ත්‍රණයකින්. එතනින් එහාට ප්‍රශ්න තුන හතරක් වෙඩි තියන වේගයකින් අපේ මිත්‍රයාගේ මුහුණට එල්ල කරන්නටත් ඉංග්‍රීසි මිස් සමත් වුනා. මේ වෙලාවේ අපේ මිත්‍රයා නොබියව ප්‍රකාශ කළා කියලා කියනවා මෙන්න මෙහෙම.

"මිස් මම හොඳ සිංහලයෙක්. මගේ මවු භාෂාව සිංහල. ඒ නිසා මගෙන් සිංහලෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න. මට ඉංග්‍රීසි බැහැ. ඒ ගැන මට ලැජ්ජ වෙන්න දේකුත් නැහැ."

අඩු තරමින් කියනවා නම් ඉංග්‍රීසි මිස් ටිකක් පුදුම වෙන්න ඇති. මොකද මේ මම කියන ඉංග්‍රීසි ගු‍රැතුමිය පාසැල් චතුරශ්‍රයේ බෝම්බයක් පිපි‍රැණත් ලෙහෙසියෙන් කලබල වෙන ජාතියේ නෙවෙයි. කොහොම වුනත් ඉන් එහාට සම්මුඛ සාකච්ඡාව සිංහලෙන් කෙ‍රැනා. ඒ තරම් නිර්භීතව තමන්ට ඉංග්‍රීසි බැරි බව පිළිගත් නිසාම අපේ මිත්‍රයාට ශිෂ්‍ය නායක පදවිය ලැබුනා. මේ සිදුවීම පාසැල් කාලෙදි ඕනෑ තරම් අහලා තිබුනත්, මේත් ඩිප්ලොමැසි කියන එක මට අවබෝධ වෙන්න පාසැලෙන් ඉවත්වෙලාත් අවු‍රැදු කිහිපයක් ගත්වුණු නිසාම අද ඒ ගැන ලියන්න හිතුනා.

හැබැයි මේ කථාවට එකතුවෙන්න ඕන තවත් දෙයක් තියෙනවා. ඒ ඉංග්‍රීසි ගු‍රැතුමියට අතීතය අමතක වීමේ ඇම්නීෂියා තත්වයක් ඇතැයි වරදවා වටහාගත් තවත් ශිෂ්‍ය නායක අයදුම් ක‍රැවන්, පහුකාලීනවත් මේ උපාය මාර්ගයම භාවිතා කරන්නට සූදානම් වුනත්, ඒ අවාසනාවන්තයන්ට ශිෂ්‍ය නායක පදවිය වගේම තමන්ගේ ආත්ම ගෞරවයත් සම්මු සාකච්ඡා මණ්ඩලය ඉදිරිපිට අමතක කරන්න වුනේ, එවැනි දෙයක් සිදුවන්නේ ඉතිහාසයට එක් වතාවක් කියන කාරණය පැහැදිලි කර දෙමින්. 

ඒ වගේම එතැනින් තවත් කාරණයක් කියැවෙනවා. හොඳ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හැමවෙලාවකම උපාය කෞශල්‍යයෙන් පිරිපුන් වගේම අතිශය නිර්මාණශීලී විය යුතුයි යන්න. තමන්ට කලින් අයගේ තියරි විතරක් අනුගමනය කරන කෙනෙක්ට කොයි තරම් උත්සාහ කළත් හොඳ ඩිප්ලොමැට් කෙනෙක් වෙන්න තියා හොඳට "මොත්තේ" දාන්නවත් බැහැ.

**********************************************************************

මේ කථාව අවසාන වෙන්න කලින් තව එක දෙයක් එකතුවිය යුතු වනවා. හොඳ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, ඩිප්ලොමැට් කෙනෙක් නැතිනම් "මොත්තේ දාන කොන්දොස්තර" කෙනෙක්, අනෙකාව රවටන්නේ නැහැ. සම්‍යක් ප්‍රයෝගය සහ වංචාව අතර පැහැදිලි වෙනසක් තියෙනවා. මේ කථාව අගදීත් ඒ කොන්දොස්තර මහත්තයා "මාර" වෙන්නේ අන්න ඒ හේතුව උඩ. අසා සිටි ඔබ සැමට ස්තුතියි.

“If you can't go around it, over it, or through it, you had better negotiate with it”
~ Ashleigh Brilliant
 

Wednesday, October 31, 2012

එහිතට ඇමතුවෙමි


සිඩ්නි ෂෙල්ඩන්ගේ “are you afraid of the dark?” එක හුස්මට කියවලා ඉවර කරපු මට තවත් විකාර ආසාවක් ඇතිවෙලා. මම ජීවිත කාලෙටම දෙවරකට වඩා කථා කරලා නැති, කවදාවත් කෙලින් මගේ ඇස් දෙක දිහා බලලා නැති, අමුතු තාලේ යාළුකමක් නොවෙන යාළුකමක් තිබුනු "ඇයට" කථා කළා. "මට තින්ක් ටෑන්ක්" එකක් පටන් ගන්න ඕන." මම කිවුවා.

"බොහොම හොඳ අදහසක්. ඇයි එහෙම හිතුනේ?" ඇගේ ප්‍රතිචාරය මම නොහිතපු තරමට 'මූට පිස්සු' වගේ විශ්ලේෂණාත්මක නිගමනයක නොපිහිටා, බැරෑරුම් බවක් ගත්තා. අඩු තරමේ ඒ වගේ දෙයක් කියන්න ජීවිතේ පළමුවෙනි වතාවට ඇයට දුරකථන ඇමතුමක් දුන්නේ ඇයි කියලවත්, කොහෙන්ද මගේ නොම්බරේ හොයාගත්තේ කියලවත් අහන්නේ නැතිව මාවම බයකරවන තරමේ බැරෑරුම් මුහුණකින් ඇය මට සවන්දෙනවා මට මැවිලා පෙනුනා.

"අර සිඩ්නි ෂෙල්ඩන්ගේ කථාවේ ටැනර් කින්ග්ස්ලිත් තින්ක් ටෑන්ක් එකක් පටන් ගන්නවා. ඒක මාර කන්සෙප්ට් එකක්. ඒ නිසා මටත් තින්ක් ටෑන්ක් එකක් පටන් ගන්න ඕන" මම කිවුවට, මගේ හිතේ තින්ක් ටෑන්ක් එකක් ගැන ඇතිවෙලා තියෙන විකාරරූපී උමතුව ඊට වඩා වචන කරන්න බැරි බව මට තේරුනා.

"ඒත් අපි හිතන්න ඕන තින්ක් ටෑන්ක් එකක් පටන් ගන්න කලින්, අපි මොනවගේ ඒරියාස් ද කවර් කරන්නෙ කියලා. පොලිටික්ස්? සයන්ස්? ඉන්ටර්නැෂනල් රිලේෂන්ස්?" මම නිහඬ වෙලා හිටියේ ඇගේ කථාවට ප්‍රතිචාර නැතිවුනු නිසා නෙවෙයි, තුනම එක වගේ හොඳයි කියලා හිතුනු නිසා.

"හරි, අපි හම්බුවෙලා කථාකරමු. හෙට? දහයට? කොෆී ෂොප් එකේ? අපි දෙන්නා විතරක්?" මම නිහඬවම ඔළුව වැනුවා. "හරි එහෙනම් හෙට හම්බුවෙමු." ඇය මගේ නිශ්ශබ්දතාවය තේරුම් අරන්. ඇගේ කටහඬ තවමත් ලයාන්විතයි.

Write me a letter
On baby blue paper
Do it sooner than later
Anytime you’ll need a friend

ජිල් ජොන්සන්ගේ Baby Blue Paper අහන ගමන්, "අපේ තින්ක් ටෑන්ක් එක" ගැන හිතමින්ම මට නින්ද ගිහින්. අවුරුදු විසිපහක වයස් පරතරයක් තියෙන ඇයත් මමත්”, ඇගතා ක්‍රිස්ටි සහ හර්කියුල් පොයිරෝ වගේ අපේ තින්ක් ටෑන්ක් එකේ පළමුවෙනි ව්‍යාපෘතියේ, ඔබත් මමත් දන්න ලෝකය වෙනස් කරන්න සමර්ථ වන බවට නිසැක, කාලගුණය වෙනස්කරනා තාක්ෂණයක් සහිත යන්ත්‍රයක් නිපදවීමේ ව්‍යාපෘතියේ බ්ලූප්‍රින්ට්ස් පරීක්ෂා කරලා බලනවා මම හීනෙන් දැක්කා.

Wednesday, October 24, 2012

මම ඔබ තුළම බිඳ වැටෙමි

"ඔයා හරියට බොබ් මාර්ලේ වගේ" එයා කියනවා. එයා එහෙම කියනකොට ඔයාට දැනුනු ආහ්ලාදය තප්පර කීපයක් ආඩම්බරෙන් විඳගත්ත ඔයා ගිටාර් එක අතට අරන්, පුලුවන් තරම් කටහඬ ගොරහැඩි කරලා "බෆලෝ සෝල්ජර්ස්" කියන්න උත්සාහ කලේ "මම බොබ් මාර්ලේමයි" කියලා හිතාගෙන. එහෙම නේද? හැබැයි එතකොටයි ඔයාට මතක්වෙන්නේ, එයාට ශා‍රුක් ඛාන් ගේ අලුත් ‍ෆිල්ම් එකෙන් එහාට, කත්‍රිනා කායිෆ්ගේ සීරෝ සයිස් එකෙන් එහාට හිතන්න වුවමනාවක් මෙච්චර කාලෙකට තිබිලා නැහැ කියලා. ඒ නිසාම ඔයා ගිටාර් එක පැත්තකට දාලා එයාගෙන් අහනවා, "ඇයි ඔයා මම බොබ් මාර්ලේ වගේ කියන්නේ?"

"දන්නෙ නෑ, එයත් ගිටාර් එකක් උස්සගෙන ෆොටෝ වලට ඉන්නව නේද?" එයා කියනවා. වේදිකාව මත ඊලඟ දර්ශනයට මම ස්ව කැමැත්තෙන්ම පොළාපනිනවා.

කාලය ගෙවිලා ගිහිල්ලා, තවදුරටත් ගිටාර් එක ඔයාගේ අතේ නැහැ. සත්සර විප්ලවයක් ගැන කිසිම විශ්වාසයක් ඔයාගේ හිතේ නැහැ. ඒත් තාම එයා, ඔයා ඉන්න බංකුවේ අනෙක් කොනේ වාඩිවෙලා ඉන්නවා. කිසිම අනතු‍රු ඇඟවීමක් නැතිව එයා කියනවා, "ඔයා හරියට චේ වගේ නේ?". විප්ලවයක් වෙනුවෙන් ලේ හලන්නට වුනත්, මරාගෙන මැරෙන්නට වුනත් සූදානමින් ඉන්න ඔයාගේ හිතට ඒ වචන එක්ක දැනෙන සතුට කියන්න වචන නැහැ. ඕනනම් 'වර්ණනා විෂයාතික්‍රාන්තයි' කියන්න පුලුවන්. පපුව ආඩම්බරෙන් පුම්බගෙන ඉඳලා ටිකක් මහන්සියි වගේ දැනෙනකොට ඔයාට මතක්වෙන්නේ එදා වුනු දේ. කාලාන්තරයකට කලින් වගේ දැනුනු දවසක. 

"ඇයි මම චේ ගුවේරා වගේ කියන්නේ?" ඔයා අහනවා. "ආ එයාගේ නම චේ ගුවේරාද? මම දැනගෙන හිටියේ චේ කියන කෑල්ල විතරයි!", එයාටත් ඔයාගෙ වගේම මැද්දේ ත‍රුවක් ගහපු තොප්පියක් තිබුනා නේද?"

එයාගේ නැත්නම් ඔයාගේ නැත්නම් මගේ වාසනාවට වේදිකාව කළුවර වෙනවා!


පැතුම් පුංචිහේවා