Monday, September 24, 2012

Can I keep you?

පාර දිගේ ඔහේ ඇවිදගෙන යන එකේ අමුතු ජොලියක් තිබුනත්, මේ ලියන මටවත්, කියවන පාඨකයාටවත් "ඔහේ ඇවිදගෙන යන" වෙලාව හොයාගන්න එක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. ඕනනම් කියන්න පුළුවන් කාර්ය බහුල ජීවන රටාව එක්ක අපිත් යන්ත්‍ර වගේ වෙලා, පවතින ආර්ථික ක්‍රමය සමඟින් ජීවිතයේ වින්දනාත්මක පැතිකඩ අපිට අහිමි වෙලා, ධනවාදී අර්ථ ක්‍රමයක් තුළ පැවැත්ම උදෙසා සටන් කරන මධ්‍යම පාංතිකයෝ විදියට විඳීමේ නිදහස ගිලිහී ගිහින් වගේ ක්ලැසික් කථාවක්. ඒත් දවස අවසානයේදී ඒවා කේ ජයතිලකගේ ඒ කාලේ නවකතාවක වගේ දෙබස් විතරක් වෙනවා. අපි හෙට ඉරක් පායනු දකින බලාපොරොත්තුවෙන් අද රෑ නිදාගන්නවා. අන්තිමට කවදාවත් ඉර උදාවෙනවා, පළමු රැස් කදම්බය පොළවට වැටෙනවා දකින්න වාසනාවක් නොතිබුනු, අවාසනාවන්ත ජීවිතයක් ගෙවපු, පෘතුවියේ අනාථයෝ වගේ මැරිලා යනවා. 

", නිල්පාට සීලිමේ විහිදුනු කො‍ටු රටාවට ජ්‍යාමිතික අර්ථ විවරණයක් දෙන්න උත්සාහ කළේ ඉස්කෝලෙදී උසස් පෙළට ගණිතය හදාරලා තිබුනු නිසාම නෙවෙයි, සමහර වෙලාවට අයාලේ යන හිතුවිලි එක ලක්ෂ්‍යයක රඳවා තියා ගන්න ඒ වගේ මානසික ව්‍යායාමයක් උදවු වුනු නිසා..." ඒ ටික කියවපු මම පොත වහලා දැම්මේ ඒ තරමට ඒ වගේ ඡේදයන් හු‍රුපුරුදු නිසා. ගොඩක් ප්‍රවීණ වගේම ආධුනික ලේඛකයෝ මේ වගේ ලයින්ස් කියවන්න අප්පිරියා වෙනකල් පරම්පරා ගණනාවක් පට්ට ගහනවා. ඒත් ඉතින් මේ වගේ කොටසක් කියවනකොට මතකයන් ගාල කඩාගත්තු හරක් වගේ හිතට දුවගෙන එන එක නවත්තන්න සක්කරයට තියා උගේ පුතා වයිමාටවත් බැහැ. අඩු තරමේ ඒ මතකයන් ඇතුළේ කිරි කිරි හඬින් කරකැවෙන, මකුළු දැල් පි‍රුණු සීලිම් පංකාවක්, ලාබ හෝටල් කාමරයක් නැහැනේ කියලා මම හිත හදාගත්තා. ඇත්ත. නිල්පාට ගාපු, සුන්දර වගේම මිල අධික වටාපිටාවක් තිබුනු ඒසී කාමරයක කෙරෙන්නෙත් එකම දේ වුනත්, ඒකේ පොඩි කල්චර් එකක් හිතට දැනෙනවා. කොහොම වුනත් නිල්පාට ලස්සන පාටක්. නිදහස කියන්නේ ලස්සන වචනයක්. 

මල් පොතක් කියවන්න සෙට් වුනේ කාලෙකට පස්සේ. එකෙක් අහනකොට උඹ කියවන්නේ විහිළු කතා පොතක්ද කියලා, ඌට මම උත්තරයක් නොදුන්නේ, මට සමහර තැන් වලට තනියම හිනා ගියත්, මොනව වුනත් ඌත් එක්ක එකතුවෙලා මේක ලියපු එකාව බයිට් එකට ගන්න හිත් නොදුන්න නිසා. "එකාව" නෙවෙයි "ලේඛකයාව". එතනදී මම වැරදියි එහෙම හැඳින්වීමක් කරපු එක. ඇත්තටම සමහර "ආත්මීය" වදන් කියවනකොට පපුව පැළෙන්න තරමටම හිනා යන්න ආවත් පොත නරක පොතක් නෙවෙයි. විශේෂයෙන්ම අන්තිමට කොහොමින් කොහොම හරි කොල්ලයි කෙල්ලයි එකතු වෙනවා කියලා ෂුවර් එකක් තියෙන නිසාම පොත නරක නැහැ. ඒත් ඉතින් පරමාදර්ශී අහිංසක පෙම්වතෙක්ව උත්කර්ෂයට නංවලා, දුෂ්ටයාගෙන් කෑලි ගැලවෙන්න ගුටි කාලත් අත උස්සන්නේ නැතුව අවිහිංසක ආත්මීය ටෝක් දෙන නෝංජල් චරිතයක් කොල්ලාගෙන් මවන එක පොඩ්ඩක් අවුල්. ඒත් මේක කියවන උන් එහෙම වෙන්නේ නෑනේ. මේ පොත් කියවන කොල්ලොත්, මේ පොත් කියවන කෙල්ලන්ගේ කොල්ලොත් බොහෝ දුරට පාරෙදි එකෙක් වැරදිලා ඇ‍ඟේ හැප්පුනත් "උඹේ අම්මට" කියලා පටන් ගන්න වර්ගයේ මිනිස්සු. කොහොමත් ෆැන්ටසිය සහ යථ අතර හිඩැස පුරවන්න මේ වගේ දෙයක් වත් තියෙන එක හොඳයි. හැමෝටම ඛලීල් ජිබ්රාන්ව කියවන්න නිර්දේශ කරන්නත් බැහැනේ. 

Coffee lounge එකක තනියම එක්ස්ප්‍රෙසෝ එකක් බොන එකේ තියෙන හැඟීම් සහ වැඩිපුර සෙනඟ නැති හොඳ මට්ටමේ සයිවර් කඩයක උඩ තට්‍ටුවේ ඉඳන් එළකිරි දාපු තේ එකක් බොන කොට දැනෙන හැඟීම් එකිනෙකාට වෙනස්. ඒත් ඒ සන්දර්භයන් දෙකේම නිදහස ගැන හැඟීම් මාත්‍රයන් දැවටිලා තියෙනවා, අඩු තරමේ මට එහෙමයි. බොහොමයක් වෙලාවට සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ අවන්හලක සමාජ තත්වයන් දෙකක කස්ටමර්ස්ලාව පවත්වා ගන්නා ක්‍රමය වෙන්නේ පහල තට්‍ටුවේ එක් සේවාවක් සහ උඩ තට්‍ටුවේ වඩා හොඳ, වඩා සැපපහසුකම් සහිත සේවාවක් සැපයීම. ගොඩක් වෙලාවට මෙනු එක තට්ටු දෙකේම එකම වුනත් ගුණාත්මක තත්වයේ වෙනසක් තියෙනවා. පිරිසිදු කමේ වුනත් ඒ වෙනස තියෙනවා. අනෙක පහල තට්‍ටුවේ මෙනු එකක් ලැබෙන්නේ කලාතුරකින්. වේටර් මල්ලිට ලඟට කථාකරලා මොනවද තියෙන්නේ අහලා ගෙන්න ගන්න වෙනවා. ඒත් Coffee lounge එකක මේ වගේ දේශපාලනික ක්‍රමවේදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම තැනකින් කෝපි එකක් බොන්න ලොකු මුදලක් වියදම් නොවුනත් මිනිස්සුන්ට ඒ වගේ තැනකට යන්න නොහිතෙන මොකක්දෝ අදෘශ්‍යමාන බාධකයක් තියෙනවා, ලංකාවේ බහුතර ජනතාවට. සමහර විට ශ්‍රී ලාංකීය පොදු සංස්කෘතිය තුළ ඉහළින් සැලකෙන අල්පේච්ඡතාව නිසා මිනිස්සුන්ට හිතෙනවා ඇති ‍රුපියල් තුන් හාරසීයක් වියදම් කරලා කෝපි එකක් බොන එකේ තේ‍රුමක් නැහැ කියලා. මම ඒ ගැන වැඩිපුර හිතන්න ගියේ නැහැ, කාලෙකට පස්සේ කාපු දකුණු ඉන්දියානු කෑම වේල අල්ලලා ගියපු නිසා, ජීවිතේ ම‍රු කියලා හිතුනු නිසා.


බස් එකේ පිටිපස්සේම සීට් එක ටිකක් කරදරකාරී තැනක්. බෑග් එක හේත්තුකරලා තියාගන්න ඉස්සරහා සීට් එකක් නැහැ, බස් එකේ ඩ්‍රයිවර්, පයිලට් Alter-Ego එකක් තියෙන කෙනෙක් නම් ඉතින් ඔළුව කෙලින්ම ගිහින් වදිනවා බස් එකේ වහලේ. ඒත් බස් එකේ පිටිපස්සේම සීට් එකේ ඉන්න එකේ අමුතු ජොලියකුත් තියෙනවා. මම කියන්නේ පොදු ජනයාගේ ඉන්ටර්සිටි බස් ගැන නෙවෙයි. ලදරම් වුනත් පිඹගෙන යන ලංගම බස් එකක් නැතිනම් ප්‍රයිවට් බස් එකක් ගැන. හෝල්ට් එකෙන් හෝල්ට් එකට නවත්තලා සෙනඟ පුරවගන්න ඒ හැටි ආසාවක් නැති, ඉක්මනට ගමනාන්තයට යන්න ඕනෑකමක් තියෙන රියැදුරු මහත්තයෙකුත් ඉස්සරහා හිටියනම් බස් ගමන ම‍රු. හැබැයි ඒ වගේ බස් එකක පිටිපස්සේ සීට් එක පොතක් කියව කියව යන්න සුදුසු තැනක් නෙවෙයි. වටපිට සිරි නරඹමින්, පැද්දෙමින්, ගැස්සෙමින්, හුළං වදිමින් යන එකේ ආහ්ලාදය අත්විඳින්න නම් හොඳයි. එහා පැත්තේ වාඩිවෙලා හිටපු කන්තෝ‍රු ගිහින් එන අංකල්, කන්තෝ‍රු ගිහින් එන ඇන්ටිත් එක්ක කථා කරමින් හිටියේ දැන් ත‍රුණ පරපුරේ හැදියාව පිරිහිලා කියන කාලෝචිත මාතෘකාව ගැන. හරි ෂෝක්. එතකොටම පිඹගෙන යන බස් එකේ රේඩියෝ එකෙන් "කොළොම්පුරේ ශ්‍රියා" සිංදුව ඇහෙන්න පටන් ගත්තා. "හන්දියේ අර හිටන් ඉන්න රාළහාමිගේ අත්දෙක, මැෂින් එකක් වගේ නිකන් අර පැත්තට මේ පැත්තට..."

"උඹ හැමදාමත් කියන දෙයක් තමයි කථා කරන්න ගොඩාක් දේවල් තියෙනවා කියලා. ඒත් ඉතින් අපි හම්බවුනාට පස්සේ ගොළු වෙලා මගේ දිහා බලාගෙන ඔහේ හිනාවෙවී ඉන්නෙත් උඹම තමයි. මම සාමාන්‍යයෙන් කථාබහක් නැතිවුනාට උඹ එක්ක ඉන්න පැයක දෙකක කාලය ඇතුළත එෆ් එම් චැනල් එකක් වගේ කියවනවා. එක එක ඒවා. මම හැමදාමත් හිතන්නේ මොනවා කථා කරන්නද කියලා. ඒත් ඉතින් උඹත් එක්ක 'මඟ දිගට ජනකථා' වල ඉඳන් 'කාර්ලෝස් කැස්ටනේඩා' දක්වා නානාවිධ නානාප්‍රකාර දේවල් කියවන එක මට වෙලාවකට නවත්තගන්නත් බැහැ. ඒක නෙවෙයි, දන්නවද මම මේ ලඟදී බැලුවා චිත්‍රපටයක්, ඒකේ නම 'එම්-බටර්ෆ්ලයි'. එම් කියන්නේ මදාම් කියන එකට. ඒකේ කථාව අනුවේදනීයයි. කෙල්ලෙක් විදියට ඉන්න පිරිමියෙක් එක්ක, චීන චරපු‍රුෂයෙක් එක්ක ආදරෙන් බැ‍ඳෙනවා ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. අවු‍රුදු 20ක් තිස්සේ මේ ආදරය පවතිනවා. අන්තිමට රාජ්‍ය රහස් පිටතට දෙන මේ රාජ්‍ය තාන්ත්‍රිකයාට බිහිසුණු යථාර්තයට මුහුණ දෙන්න වෙනවා. තමන්ගේ ආදරවන්තිය සැබවින්ම පිරිමියෙක්. ඉතින් හිරගෙයි දී මේ රාජ්‍ය තාන්ත්‍රිකයා මැඩම් බටර්ෆ්ලයි චරිතය කරනවා, අනෙක් හිරක‍රුවෝ ඉදිරිපිට. මැඩම් බටර්ෆ්ලයි කියන්නේ මායාවී ආදරයක් වෙනුවෙන් ජීවිතය පුද කරන ගැහැණියක්. මේ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයා, මායාවී ආදරයක වසඟය තුළ හිටි උමතු ආදරවන්තයා, කිසිදාක අමතක නොවන  රංගනයකින් පස්සේ දිවි නසා ගන්නවා. චිත්‍රපටය ඉවර වෙනවා. ඔව් මම දන්නවා අද මම පැය දෙකක් තිස්සේ උඹත් එක්ක කථා කලා කියලා. දන්නවද, මට ජීවිතේදී හම්බුවෙලා තියෙන ලස්සනම ඇස් තීයෙන මනෝ චිකිත්සකවරිය උඹයි. සුභ සැන්දෑවක්"

පැතුම් පුංචිහේවා



Sunday, August 26, 2012

Jedi Philosophy: ස්ටාර් වෝර්ස් විසංයෝජනය


 Always in Motion is the Future -Master Yoda

"දුරාතීත කාලයක... දුර ඈත පිහිටි මන්දාකිණියක... දහසක් තාරකා අතර මින් පෙර නොවූ විරෑ සිවිල් යුද්ධයකින් මන්දාකිණියම විනාශයේ මුවවිටට පැමිණ තිබෙනවා. නපුර සහ යහපත අතර පැවතුනු අනවරත සමබරතාවය ගිලිහී ගොස් තිබෙනවා

කථාව පටන්ගන්නේ මුළු මහත් මන්දාකිණියම සිය අයෝමය ග්‍රහණයෙන් පාලනය කරනා ගැලැක්ටික් අධිරාජ්‍යයට අයත් වන, මුළු මහත් ග්‍රහලෝකයක් මොහොතකින් විනාශකර දැමීමට තරම් බලවත් වන “Death Star” අභ්‍යවකාශ මධ්‍යස්ථානය, විනාශ කර දැමීමට, කැරලිකාර පාර්ශවයේ උත්සාහයන් සමඟින්. මෙහිදී ස්ටාර් වෝර්ස් කථා පෙලේ ඉතිහාසගත දුෂ්ට චරිතය වන අනනුකම්පීය "ඩාත් වේඩාර්" ව හඳුනාගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයාට ලැබෙනවා. 

මේ අතරේදී කථා රේඛාව ක්ෂණයකින් කාන්තාර ලෝකයක් වන "ටැටූයින්' ග්‍රහලෝකයේ, සාමාන්‍ය ගැටවරයෙකු වන ලූක් ස්කයිවෝකර් වෙතට නාභිගත වෙනවා. පැරණි අධිරාජ්‍යයට තවමත් පක්ෂපාත සහ දුෂ්ට "සිත්' අධිරාජ්‍යයාට එරෙහිවන්නට තරම් නිර්භීත, කැරළිකාර පාර්ශවයේ නායිකාව වන ලියා කුමරියගේ හොලොග්‍රෑම් පණිවුඩයක් අහම්බෙන් ත‍රැණ ලූක් ට ලැබෙනවා. එතැන් සිට ලූක් ස්කයිවෝකර් මෙතෙක් දැනසිටි ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වනවා.

මේ ලියා කුමරියගේ පණිවුඩයේ සඳහන් වන නම, "බෙන් කෙනෝබි" යනු ජෙඩායි නයිට්ව‍රැන්ගේ කවයේ සිටි නිර්භීතම ජෙඩායි නයිට්වරයෙක් සහ ස්ටාර් වෝර්ස් ත්‍රිත්වය තුල අතිශය වැදගත් චරිතයක් වන "ඔබි වැන් කෙනෝබි" බව හෙළිවීමත්, ලූක් ස්කයිවෝකර් යනු ඇනකින් ස්කයිවෝකර් නම් ජෙඩායි නයිට්වරයාගේ පුත්‍රයා බවත්, ඇනකින් ස්කයිවෝකර්ව විනාශ කරනු ලැබුවේ දුෂ්ට සිත් අධිරාජ්‍යයාගේ විශ්වාසවන්ත දකුණු අත වන "ඩාත් වේඩාර්" විසින් බවත් "ඔබි වැන් කෙනෝබි" හෙළි කිරීමත්, ඉන්පසුව ලූක් ස්කයිවෝකර් මෙතෙක් දැනසිටි පවුල වුනු මාමාව සහ නැන්දණියව ඩාත් වේඩාර් ගේ “imperial stormtroopers” සොල්දාදුවන් විසින් මරාදැමීමත් සමඟින්, ස්ටාර් වෝර්ස් ත්‍රිත්වයේ පරම ප්‍රතිවාදීන් වන්නේ සිය පියාගේ මරණයේ පළිය ගැනීමට මෙන්ම දුෂ්ට අධිරාජ්‍යයේ අවසානය සනි‍ටුහන් කිරීමට උරැමකම් ලබන, ලූක් ස්කයිවෝකර් සහ ඩාත් වේඩාර් බව මේ වනවිටම පැහැදිලි වන කරැණක්.  

කෙසේ නමුත් අවසානයේදී, ජෝර්ජ් ලූකාස් විසින් තාරකා යුද්ධ කථා මාලාවට "සිංහබාහු' වර්ගයේ නිර්වචනයක් ලබා දෙමින්, සැබවින්ම ඩාත් වේඩාර් යනු, තාරකා යුද්ධ කථාවේ ප්‍රධාන දුෂ්ටයා, අඳුරැ පාර්ශවය ‍තෝරාගත් ඇනකින් ස්කයිවෝකර්ම බව, එසේත් නැතිනම් ලූක් ස්කයිවෝකර්ගේම පියා බවත් හෙළි කර සිටිනවා. එසේම ජෝර්ජ් ලූකාස් විසින් "සිංහබාහු" සාම්‍යය තවත් ඉදිරියට ගෙන යමින්, ලූක් පෙම්බැඳි ලියා කුමරිය යනු, සැබවින්ම ලියා ස්කයිවෝකර්, නැත්නම් ලූක් ගේ නිවුන් සහෝදරිය බවත් අවසානයේදී හෙළි කර සිටිනවා.

ස්ටාර් වෝර්ස් කථා රේඛාව දෙස බලන කල අපට දකින්නට හැකිවන්නේ යහපත සහ නපුර අතර සදාතනික අරගලය පිළිබඳ සම්භාව්‍ය මතාන්තරයයි. ස්ටාර් වෝර්ස් දෙවන කථා ත්‍රිත්වය තුලින්, උදාරත්වය සහ අගතිය වෙන්වන්නේ තනි රේඛාවකින් බව දැක්වෙනවා. මෙහිදී තවදුරටත් දැක්වෙන්නේ නපුර හෝ යහපත වෙන්වන්නේ "‍තෝරාගැනීම" මත බව. සෑමවිටම අඳුර වෙතට හෝ ආලෝකය වෙතට යාම, පුද්ගලානුබද්ධ වරණයන් ලෙස දැක්වෙන්නේ ස්ටාර් වෝර්ස් කථා මාලාවට, වඩා "යූසර් ෆ්‍රෙන්ඩ්ලි" මුහුණුවරක් ලබා දෙමින්. ස්ටාර් වෝර්ස් කථා රේඛාවේ ගලායෑම සඳහා දෛවය හෝ මානුෂිකත්වයට ඉහළින් පවතින බලයක් ආරෝපණය වූවා නම්, ස්ටාර් වෝර්ස් ඒ තරමටම ප්‍රේක්ෂකයාට දිරවාගත හැකි වන්නේ නැහැ.

ස්ටාර් වෝර්ස් කථා මාලාව පුරාම සිටින ජෙඩායි නයිට්වරැන්, මධ්‍යතන යුගයේ සියවස් දෙකක පමණ කාලයක් පැවතුනු ටෙම්ප්ලාර් නයිට්වරැන්ව සිහි ගන්වනවා. ආකෘතිය අතින් ටෙම්ප්ලාර් නයිට්වරැන් සහ ජෙඩායි නයිට්වරැන් සමරෑපතාවක් දැක්වුවත්, ස්ටාර් වෝර්ස් කථාව තුල ජෙඩායි නයිට්වරැන් ගේ කාර්‍යභාරය ආගමික මුහුණුවරක නොපවතිනවා. ඇත්තෙන්ම ජෝර්ජ් ලූකාස් ස්ටාර් වෝර්ස් විශ්වය තුලට ආගම්වාදයන් ඈඳාගැනීමෙන් වැළකී සිටීම ප්‍රශංසනීය කරැණක්. ආගමක අවශ්‍යතාවයද පැන නොනඟින්නේ ආලෝකය සහ අඳුර අතර සදාතනික සමබරතාවය, ද්වෛතවාදී අදහසකින් ස්ටාර් වෝර්ස් දර්ශනය පොහොසත් වන නිසා.

“May the force be with you” මේ ස්ටාර් වෝර්ස් චිත්‍රපටය පුරා ඇසෙන ආශිංශන වාක්‍යයයි. මෙහිදී Force ලෙස හඳුන්වන්නේ ටාඕ දර්ශනයේ එන "චී" ශක්තිය බව අපට මෙහිදී හඳුනාගත හැකි වෙනවා. චී ශක්තිය ලෙසට හැඳින්වෙන්නේ යින්ග් සහ යැන්ග්, එනම් විශ්වයේ පවතින ධනාත්මක බලවේගය සහ සෘණාත්මක බලවේගය, එසේත් නැතිනම් ස්ත්‍රී ස්වරෑපික බලය සහ පුරැෂ ස්වරෑපික බලය වනවා. මෙම යින්ග් සහ යැන්ග් දෙකේ සමතුලිතතාවයෙන් ඇතිවන "චී" ශක්තිය පරම පිරිසිදු ජීවන ශක්තිය ලෙස ටාඕවාදයේ හැඳින්වෙනවා. එසේම තමන් තුළ පවතින චී ශක්තිය තම පාලනයට නතු කරගත හැකි පුද්ගලයා හට විශ්මිත දේ කල හැකි බව අග්නිදිග ආසියානු විශ්වාසය වනවා.

චී ශක්තිය මෙහෙයවීම තුළින් සටන් කලාවන්ගේ නිපුණත්වය ලබාගැනීම මෙන්ම එවැනි බොහෝ චීන කලාවන් චී ශක්තිය ඇසුරැ කරගනිමින් උපත ලබනවා. චී ශක්තිය ගැන ටාඕ වාදයේ සඳහන් වන්නේ එය සජීවී අජීවී සෑම සියළු දෙයක් තුළමත්, එකිනෙකා අතරත් පවතිමින් පැවැත්ම සංස්ථිතික කරන ජීව ගුණය ලෙසට. ස්ටාර් වෝර්ස් කථාමාලාවේ ජෙඩායි නයිට්වරැන් ගේ විශ්වාසය ද මෙයම වනවා. "The force is an energy field created by all living things, it surrounds us, it penetrates us, it binds the galaxy together" ඔබි වැන් කෙනෝබි තරැණ ලූක් ස්කයිවෝකර් ට එසේ කියා සිටිනවා. 

ජෙඩායි දර්ශනය ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාව තුල දක්නට ලැබෙන්නේ පෙරදිග දර්ශනයන් තුනක සංස්ලේශනයක් ලෙසට. අතීත චීන දර්ශනය හෙවත් ටාඕ දර්ශනය, බෞද්ධ දර්ශනය සහ පෞරාණික පර්සියානු සොරෝඇස්ට්‍රියානුවාදය, තම දර්ශනයන් සහ ගතිලක්ෂණ, ජෙඩායි දර්ශනය ගොඩනැංවීමට සහ පොහොසත් කිරීමට දායක කර තිබෙනවා. 

ටාඕ දර්ශනයේ එන යින්ග් සහ යැන්ග් අතර සමබරතාවය සම්පූර්ණයෙන්ම ස්ටාර් වෝර්ස් දාර්ශනික පදනම නිර්මාණය කරනවා. ලෝකයේ බොහෝ බටහිර ආගම්වාද නපුර අභිබවා යහපත ජයග්‍රහණය කිරීම පරමත්වය ලෙස ඔසවා තැබුවත්, ටාඕ දර්ශනයේත්, ජෙඩායි දර්ශනයේත් කියවෙන්නේ විශ්වය පවතින්නේ යහපත සහ නපුර අතර සමබරතාවය මත බව වනවා. එනම් හොඳ හෝ නරක හෝ එකිනෙකා හා ආතතියකින් සමබරව පැවතිය යුතු බවත් මේ සමබරතාවය ගිලිහීමෙන් විනාශය එලැඹෙන බවත් ස්ටාර් වෝර්ස් කථා මාලාව තුල කියැවෙනවා. එසේම ජෙඩායි නයිට්වරැන් සමබරතාවය අත්කරගැනීම, චී ශක්තිය පාලනයට නතුකර ගැනීම මෙන්ම ටාඕ දහමේ එන ස්වභාවිකත්වය සමඟින් ප්‍රසංවාදයක් පවත්වාගැනීම, ස්වභාවිකත්වය හා ඒකාත්මික වීමද උතුම් බව ඉගෙන ගන්නවා.

ජෙඩායි නයිට්වරැන් බැලූ බැල්මට ටෙම්ප්ලාර් නයිට් ආකෘතිය සිහිපත් කලද ජෙඩායි දර්ශනය මැනවින් පිරික්සා බලන විට පෙනී යනේ ජෙඩායි නයිට්වරැන් "ශැඔලීන් බෞද්ධ භික්ෂූන්" හට වඩාත් සමීප වන බවයි. බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන අත්හැරීම, අල්වා නොගැනීම ජෙඩායි නයිට්වරයකු සතු විය යුතු අවශ්‍ය ගුණාංගයක් වනවා. පුද්ගලයන්, ස්ථානයන්, දේවල් පිලිබඳ භාවාත්මක බැඳීම අත හැර දැමීමත්, අවසාන වශයෙන් මමත්වය නැතිව ගිය, බන්ධනයන්ගෙන් විනිර්මුක්ත, ජීවත්වන නොවන සියළු දේ කෙරෙහි නිරාමිස දයාව පවතින තත්වයකට පත්වීමත් ජෙඩායි නයිට්වරයකුගේ පැවැත්මේ පරම අපේක්ෂාව බව ස්ටාර් වෝර්ස් කතාව තුල දක්නට ලැබෙනවා.

එසේම සොරෝ ඇස්ටර් දර්ශනයෙන්ද කියැවෙන්නේ "ලෝකය යනු හොඳ සහ නරක බලවේගයන් අතර සදාකාලින යුධ පිටියක් බවයි. එනිසා සොරෝඇස්ට්‍රියානු අදහස් ද ස්ටාර් වෝර්ස් දර්ශනය ගොඩනැඟීම සඳහා ජෝර්ජ් ලූකාස් හට අනුප්‍රාණයන් වූ බව සැලකිය හැකි වනවා.

ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපට ත්‍රිත්වයේදී, ස්ටාර් වෝර්ස් ප්‍රධාන දුෂ්ට චරිතය, ඩාත් වේඩාර් බිහිවන ආකාරය පෙන්වා දෙනවා. ඩාත් වේඩාර් බවට රෑපාන්තරණය වන ඇනකින් ස්කයිවෝකර්, ස්ටාර් වෝර්ස් කථා මාලාවේ සිටින රොමැන්ටික්ම චරිතය බව කීම නිවැරදියි. ඔහු අසීමිතව තම මවට, තම ආදරය දිනාගත් ගැහැණිය, අමිඩාලා කුමරියට ආලය කරනවා. එනමුත් අවසානයේ ශේක්ස්පියර්ගේ ශෝකාන්ත නාටකය "මැක්බත්" හි මෙන්ම ඇනකින් ස්කයිවෝකර්ගේ අසීමාන්තිකව ආදරය කිරීමම ඔහුව අඳුර වෙතට ගමන්ගන්නා මාවතකට යොමු කරනවා.

ස්ටාර් වෝර්ස් අභ්‍යවකාශ වීර ආඛ්‍යානය නැතහොත් "ගැලැක්ටික් ඔපෙරාව" ලොව පුරා මිනිසුන්ගේ ජීවිතවලට, ජීවන දර්ශනයන් හට දැඩි බලපෑම් එල්ල කල බැව් සත්‍යයක්. ජෝර්ජ් ලූකාස් සවිඥානිකව හෝ අවිඥානිකව දේශපාලන බල තුලනයන් සහ විද්‍යා ප්‍රබන්ධ ෆැන්ටසීන්ගෙන් පෝෂණය වන චිත්‍රපට මාලාවක් අතිශය දාර්ශනික කියැවීමක් සහිත සිනමා කෘති පෙළක් බවට පත් කර තිබෙනවා.

“Fear is the path to the dark side. Fear leads to anger. Anger leads to hate. Hate leads to suffering.” මේ වාක්‍යයෙන්ම නපුර සහ යහපත අතර රේඛාව තරණය කිරීමට කෙනෙකුට සිදුවන්නේ කෙසේද යන්න දාර්ශනික කියැවීමක තබා ජෙඩායි නයිට්වරයකු වන යෝඩා විසින් ප්‍රකාශ කෙරෙනවා. අප හැමදෙනාම බියවන දේවල් බොහෝමයක් තිබෙනවා, පරාජයට, මරණයට, බලය නැතිවීමට... අප ආදරය කරන අය අපව අතහැර යනවාට, අපට ආදරය කරන්නන්ගෙන් වෙන්වන්නට සිදුවනවාට අපි බිය වනවා, ඒ බියම අඳු‍රැ බලවේග කරා, විනාශය වෙතට අපව ලං කෙරෙනවා. මේ ජෙඩායි දර්ශනය සිනමාකරැවකුගේ මනස් පුත්‍රයකු ලෙස උපත ලැබුවත්, එය ඔබගේත් මගේත් ජීවිත පිළිබඳව සිතන්නට යමක් ඉතිරි කරනවා...

පැතුම් පුංචිහේවා
 

Friday, June 15, 2012

Amor Fati


"දිව්‍යලෝකයේ ඇස්...". නොදන්නා ලෝකයක ඉම් සොයා නිර්භීත චාරිකාවන්ගේ නිරත වනු අතීත හවායි සේලරැවන්, නි‍රැවත් රාත්‍රී ආකාශයේ අපිළිවෙලට විසිරැණු තාරකා හැඳින්වූයේ එහෙමයි. "තාරකා කියන්නේ දිව්‍යලෝකයේ ඇස්..." තාරකා, නිහඬව, ගුප්තව පහල ලෝකයේ සිදුවෙන හැමදේම දෙස බලා සිටින බව ඔවුන් විශ්වාස කලා...

අනන්ත තරැ පිරි අහසක් යට වැතිරිලා ඉහළාකාශයේ නිශ්ශබ්ද ආලෝක පුංජයන් අතර අරමුණක් නැති රටාවන් අධ්‍යයනය කිරීම, ඕනෑම මනුෂ්‍යයෙක්ගේ අවිඥාණයේ සැඟවිලා තිබෙන ආශාවක්. නියැන්ඩතාල් මානවයාගේ සිට අද දක්වාම සෑම මනුෂ්‍යයෙකුම තමන්ගේ හිසට ඉහලින් විහිදී පැතිරී ඇති අනන්තාපරිමිත විශ්වය දෙස විස්මයෙන් බලා හිටියා.

නොදන්නා ඉමක් දක්වා විහිදුනු තරැ පිරි අහසක් හැමවිටම මිනිස් චිත්ත සන්තානයේ අසීමිත නිදහස පිළිබඳ තියුණු හැඟීමක් ඇතිකරවනවා. ජීවිත කාලයකට නොහිතන දාර්ශනික ප්‍රශ්න අහන්නට බල කරනවා. තමන් ලෙස ජීවත් වන මනුෂ්‍ය ප්‍රාණියා කවුරැන්ද, ඔහු ආවේ කොහි සිටද කියා මවිත වන්නට බල කරනවා. මොහොතකට, ඔබ විශ්වයේ කේන්ද්‍රය බවට වන මායාකාරී නිර්වචනයක ඔබව අතරමං කරවනවා....

මම උත්සාහ කරමින් හිටියේ අතීත මිනිසුන් තරැ අතර දු‍ටු යශෝධර හැඟීම අත්විඳින්නට. මේ තාරකා අතර තවත් කොහේ හෝ ජීවයේ ගිනි පුළිඟු පහළ වී ඇත්ද කියා මම පුදුම වුනා. ඒ මොහොතේදී මම දැක්කා, තරැ පොකුරක ඈත කොනක හුදකලාව තිබුනු තරැවක් එක් මොහොතකට දීප්තියෙන් දැල්වී නිවී යනවා... සමහරවිට මම ඒ දකින්න ඇත්තේ තරැවක මියයාම. සුපර්නෝවා පිපිරීමක්. වසර මිලියන ගණනාවක් සෙමින් දැවෙමින් දීප්තියෙන් දැල්වුනු වෙහෙසට පත් දැවැන්ත තාරකාවක්, මිනිසා දන්නා, නොදන්නා සියළුම මූලද්‍රව්‍ය නිර්මාණය කරමින් තමන් තුළටම කඩා වැටෙනවා. අති මහත් ශක්තියකින් තමන් තුළටම පුපුරා යනවා. දෘෂ්ඨි මායාවක් බවට ස්ථිර හැඟීමක් තිබුනත් අඩු තරමේ මම විශ්වාස කරන්න කැමති වුනා ඒ මම දකින්නේ තාරකාවක මියයාම බව.

ඒ මොහොතේ දී, මට සිහිපත් වුනා මම බලා සිටින්නේ අතීතය දෙස බව. රාත්‍රී ආකාශය දෙසට ඔබ නෙත් හරවන ඔබ හැමවිටම දකින්නේ අතීතය. සමහරවිට වසර මිලියන ගණනක අතීතය. ඔබ බලාසිටින්නේ අභ්‍යවකාශ සුසාන භූමියක් දෙස. දීප්තිමත්ව ඔබේ ඇස් ඉදිරිපිට දැල්වෙන තාරකාවක් මේ වනවිට මිය ගොස් ඇතිවා වෙන්නට පුළුවන්.

ග්‍රීක, ඊජිප්තු, ස්කැන්ඩිනේවියානු මිත්‍යා කථාන්තර වල ජීවත්වුනු වීරයන් මනුෂ්‍ය ලෝකයේ තමන්ගේ වීර චාරිකාවන් අවසන් කලාට පසුව, දෙවිවරැන් ඔවුන්ව අහසේ සදහටම දීප්තිමත් තාරකා ලෙස සටහන් කරනවා. පර්සියුස් සහ ඇන්ඩ්‍රොමීඩා, එලෙස ග්‍රීක දෙවිවරැන් විසින් අහසේ තරැ රටා ලෙස සටහන් කර තැබුවා. මෙහි අර්ථය ඔවුන් සදාකාලික බව. අතීත ශිෂ්ඨාචාරයන්ගේ විශ්වාසය වූයේ අහසේ දිදුලන තරැ, සදාකාලික බව... සදාතනිකත්වය හැමදාකමත් මිනිසාගේ අවිඥාණයේ සැඟවුනු ප්‍රාර්ථනාවක් වූවා.

"සදාතනික කිසිවක් නැහැ..."අතීතයේ මියගොස් තවමත් අහසේ දීප්තිමත්ව ගිනිගෙන දැවෙන තරැ, නිහඬවම පවසනවා. “Memento Moriමම ඉහලාකාශයේ විසිරැණු තරැ රටාවන්ට මිමිණුවා...මතක තබාගනු, දිනක ඔබ මිය යනු ඇත..."




"The Starry Night". Vince Van Gogh