Sunday, August 26, 2012

Jedi Philosophy: ස්ටාර් වෝර්ස් විසංයෝජනය


 Always in Motion is the Future -Master Yoda

"දුරාතීත කාලයක... දුර ඈත පිහිටි මන්දාකිණියක... දහසක් තාරකා අතර මින් පෙර නොවූ විරෑ සිවිල් යුද්ධයකින් මන්දාකිණියම විනාශයේ මුවවිටට පැමිණ තිබෙනවා. නපුර සහ යහපත අතර පැවතුනු අනවරත සමබරතාවය ගිලිහී ගොස් තිබෙනවා

කථාව පටන්ගන්නේ මුළු මහත් මන්දාකිණියම සිය අයෝමය ග්‍රහණයෙන් පාලනය කරනා ගැලැක්ටික් අධිරාජ්‍යයට අයත් වන, මුළු මහත් ග්‍රහලෝකයක් මොහොතකින් විනාශකර දැමීමට තරම් බලවත් වන “Death Star” අභ්‍යවකාශ මධ්‍යස්ථානය, විනාශ කර දැමීමට, කැරලිකාර පාර්ශවයේ උත්සාහයන් සමඟින්. මෙහිදී ස්ටාර් වෝර්ස් කථා පෙලේ ඉතිහාසගත දුෂ්ට චරිතය වන අනනුකම්පීය "ඩාත් වේඩාර්" ව හඳුනාගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයාට ලැබෙනවා. 

මේ අතරේදී කථා රේඛාව ක්ෂණයකින් කාන්තාර ලෝකයක් වන "ටැටූයින්' ග්‍රහලෝකයේ, සාමාන්‍ය ගැටවරයෙකු වන ලූක් ස්කයිවෝකර් වෙතට නාභිගත වෙනවා. පැරණි අධිරාජ්‍යයට තවමත් පක්ෂපාත සහ දුෂ්ට "සිත්' අධිරාජ්‍යයාට එරෙහිවන්නට තරම් නිර්භීත, කැරළිකාර පාර්ශවයේ නායිකාව වන ලියා කුමරියගේ හොලොග්‍රෑම් පණිවුඩයක් අහම්බෙන් ත‍රැණ ලූක් ට ලැබෙනවා. එතැන් සිට ලූක් ස්කයිවෝකර් මෙතෙක් දැනසිටි ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වනවා.

මේ ලියා කුමරියගේ පණිවුඩයේ සඳහන් වන නම, "බෙන් කෙනෝබි" යනු ජෙඩායි නයිට්ව‍රැන්ගේ කවයේ සිටි නිර්භීතම ජෙඩායි නයිට්වරයෙක් සහ ස්ටාර් වෝර්ස් ත්‍රිත්වය තුල අතිශය වැදගත් චරිතයක් වන "ඔබි වැන් කෙනෝබි" බව හෙළිවීමත්, ලූක් ස්කයිවෝකර් යනු ඇනකින් ස්කයිවෝකර් නම් ජෙඩායි නයිට්වරයාගේ පුත්‍රයා බවත්, ඇනකින් ස්කයිවෝකර්ව විනාශ කරනු ලැබුවේ දුෂ්ට සිත් අධිරාජ්‍යයාගේ විශ්වාසවන්ත දකුණු අත වන "ඩාත් වේඩාර්" විසින් බවත් "ඔබි වැන් කෙනෝබි" හෙළි කිරීමත්, ඉන්පසුව ලූක් ස්කයිවෝකර් මෙතෙක් දැනසිටි පවුල වුනු මාමාව සහ නැන්දණියව ඩාත් වේඩාර් ගේ “imperial stormtroopers” සොල්දාදුවන් විසින් මරාදැමීමත් සමඟින්, ස්ටාර් වෝර්ස් ත්‍රිත්වයේ පරම ප්‍රතිවාදීන් වන්නේ සිය පියාගේ මරණයේ පළිය ගැනීමට මෙන්ම දුෂ්ට අධිරාජ්‍යයේ අවසානය සනි‍ටුහන් කිරීමට උරැමකම් ලබන, ලූක් ස්කයිවෝකර් සහ ඩාත් වේඩාර් බව මේ වනවිටම පැහැදිලි වන කරැණක්.  

කෙසේ නමුත් අවසානයේදී, ජෝර්ජ් ලූකාස් විසින් තාරකා යුද්ධ කථා මාලාවට "සිංහබාහු' වර්ගයේ නිර්වචනයක් ලබා දෙමින්, සැබවින්ම ඩාත් වේඩාර් යනු, තාරකා යුද්ධ කථාවේ ප්‍රධාන දුෂ්ටයා, අඳුරැ පාර්ශවය ‍තෝරාගත් ඇනකින් ස්කයිවෝකර්ම බව, එසේත් නැතිනම් ලූක් ස්කයිවෝකර්ගේම පියා බවත් හෙළි කර සිටිනවා. එසේම ජෝර්ජ් ලූකාස් විසින් "සිංහබාහු" සාම්‍යය තවත් ඉදිරියට ගෙන යමින්, ලූක් පෙම්බැඳි ලියා කුමරිය යනු, සැබවින්ම ලියා ස්කයිවෝකර්, නැත්නම් ලූක් ගේ නිවුන් සහෝදරිය බවත් අවසානයේදී හෙළි කර සිටිනවා.

ස්ටාර් වෝර්ස් කථා රේඛාව දෙස බලන කල අපට දකින්නට හැකිවන්නේ යහපත සහ නපුර අතර සදාතනික අරගලය පිළිබඳ සම්භාව්‍ය මතාන්තරයයි. ස්ටාර් වෝර්ස් දෙවන කථා ත්‍රිත්වය තුලින්, උදාරත්වය සහ අගතිය වෙන්වන්නේ තනි රේඛාවකින් බව දැක්වෙනවා. මෙහිදී තවදුරටත් දැක්වෙන්නේ නපුර හෝ යහපත වෙන්වන්නේ "‍තෝරාගැනීම" මත බව. සෑමවිටම අඳුර වෙතට හෝ ආලෝකය වෙතට යාම, පුද්ගලානුබද්ධ වරණයන් ලෙස දැක්වෙන්නේ ස්ටාර් වෝර්ස් කථා මාලාවට, වඩා "යූසර් ෆ්‍රෙන්ඩ්ලි" මුහුණුවරක් ලබා දෙමින්. ස්ටාර් වෝර්ස් කථා රේඛාවේ ගලායෑම සඳහා දෛවය හෝ මානුෂිකත්වයට ඉහළින් පවතින බලයක් ආරෝපණය වූවා නම්, ස්ටාර් වෝර්ස් ඒ තරමටම ප්‍රේක්ෂකයාට දිරවාගත හැකි වන්නේ නැහැ.

ස්ටාර් වෝර්ස් කථා මාලාව පුරාම සිටින ජෙඩායි නයිට්වරැන්, මධ්‍යතන යුගයේ සියවස් දෙකක පමණ කාලයක් පැවතුනු ටෙම්ප්ලාර් නයිට්වරැන්ව සිහි ගන්වනවා. ආකෘතිය අතින් ටෙම්ප්ලාර් නයිට්වරැන් සහ ජෙඩායි නයිට්වරැන් සමරෑපතාවක් දැක්වුවත්, ස්ටාර් වෝර්ස් කථාව තුල ජෙඩායි නයිට්වරැන් ගේ කාර්‍යභාරය ආගමික මුහුණුවරක නොපවතිනවා. ඇත්තෙන්ම ජෝර්ජ් ලූකාස් ස්ටාර් වෝර්ස් විශ්වය තුලට ආගම්වාදයන් ඈඳාගැනීමෙන් වැළකී සිටීම ප්‍රශංසනීය කරැණක්. ආගමක අවශ්‍යතාවයද පැන නොනඟින්නේ ආලෝකය සහ අඳුර අතර සදාතනික සමබරතාවය, ද්වෛතවාදී අදහසකින් ස්ටාර් වෝර්ස් දර්ශනය පොහොසත් වන නිසා.

“May the force be with you” මේ ස්ටාර් වෝර්ස් චිත්‍රපටය පුරා ඇසෙන ආශිංශන වාක්‍යයයි. මෙහිදී Force ලෙස හඳුන්වන්නේ ටාඕ දර්ශනයේ එන "චී" ශක්තිය බව අපට මෙහිදී හඳුනාගත හැකි වෙනවා. චී ශක්තිය ලෙසට හැඳින්වෙන්නේ යින්ග් සහ යැන්ග්, එනම් විශ්වයේ පවතින ධනාත්මක බලවේගය සහ සෘණාත්මක බලවේගය, එසේත් නැතිනම් ස්ත්‍රී ස්වරෑපික බලය සහ පුරැෂ ස්වරෑපික බලය වනවා. මෙම යින්ග් සහ යැන්ග් දෙකේ සමතුලිතතාවයෙන් ඇතිවන "චී" ශක්තිය පරම පිරිසිදු ජීවන ශක්තිය ලෙස ටාඕවාදයේ හැඳින්වෙනවා. එසේම තමන් තුළ පවතින චී ශක්තිය තම පාලනයට නතු කරගත හැකි පුද්ගලයා හට විශ්මිත දේ කල හැකි බව අග්නිදිග ආසියානු විශ්වාසය වනවා.

චී ශක්තිය මෙහෙයවීම තුළින් සටන් කලාවන්ගේ නිපුණත්වය ලබාගැනීම මෙන්ම එවැනි බොහෝ චීන කලාවන් චී ශක්තිය ඇසුරැ කරගනිමින් උපත ලබනවා. චී ශක්තිය ගැන ටාඕ වාදයේ සඳහන් වන්නේ එය සජීවී අජීවී සෑම සියළු දෙයක් තුළමත්, එකිනෙකා අතරත් පවතිමින් පැවැත්ම සංස්ථිතික කරන ජීව ගුණය ලෙසට. ස්ටාර් වෝර්ස් කථාමාලාවේ ජෙඩායි නයිට්වරැන් ගේ විශ්වාසය ද මෙයම වනවා. "The force is an energy field created by all living things, it surrounds us, it penetrates us, it binds the galaxy together" ඔබි වැන් කෙනෝබි තරැණ ලූක් ස්කයිවෝකර් ට එසේ කියා සිටිනවා. 

ජෙඩායි දර්ශනය ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාව තුල දක්නට ලැබෙන්නේ පෙරදිග දර්ශනයන් තුනක සංස්ලේශනයක් ලෙසට. අතීත චීන දර්ශනය හෙවත් ටාඕ දර්ශනය, බෞද්ධ දර්ශනය සහ පෞරාණික පර්සියානු සොරෝඇස්ට්‍රියානුවාදය, තම දර්ශනයන් සහ ගතිලක්ෂණ, ජෙඩායි දර්ශනය ගොඩනැංවීමට සහ පොහොසත් කිරීමට දායක කර තිබෙනවා. 

ටාඕ දර්ශනයේ එන යින්ග් සහ යැන්ග් අතර සමබරතාවය සම්පූර්ණයෙන්ම ස්ටාර් වෝර්ස් දාර්ශනික පදනම නිර්මාණය කරනවා. ලෝකයේ බොහෝ බටහිර ආගම්වාද නපුර අභිබවා යහපත ජයග්‍රහණය කිරීම පරමත්වය ලෙස ඔසවා තැබුවත්, ටාඕ දර්ශනයේත්, ජෙඩායි දර්ශනයේත් කියවෙන්නේ විශ්වය පවතින්නේ යහපත සහ නපුර අතර සමබරතාවය මත බව වනවා. එනම් හොඳ හෝ නරක හෝ එකිනෙකා හා ආතතියකින් සමබරව පැවතිය යුතු බවත් මේ සමබරතාවය ගිලිහීමෙන් විනාශය එලැඹෙන බවත් ස්ටාර් වෝර්ස් කථා මාලාව තුල කියැවෙනවා. එසේම ජෙඩායි නයිට්වරැන් සමබරතාවය අත්කරගැනීම, චී ශක්තිය පාලනයට නතුකර ගැනීම මෙන්ම ටාඕ දහමේ එන ස්වභාවිකත්වය සමඟින් ප්‍රසංවාදයක් පවත්වාගැනීම, ස්වභාවිකත්වය හා ඒකාත්මික වීමද උතුම් බව ඉගෙන ගන්නවා.

ජෙඩායි නයිට්වරැන් බැලූ බැල්මට ටෙම්ප්ලාර් නයිට් ආකෘතිය සිහිපත් කලද ජෙඩායි දර්ශනය මැනවින් පිරික්සා බලන විට පෙනී යනේ ජෙඩායි නයිට්වරැන් "ශැඔලීන් බෞද්ධ භික්ෂූන්" හට වඩාත් සමීප වන බවයි. බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන අත්හැරීම, අල්වා නොගැනීම ජෙඩායි නයිට්වරයකු සතු විය යුතු අවශ්‍ය ගුණාංගයක් වනවා. පුද්ගලයන්, ස්ථානයන්, දේවල් පිලිබඳ භාවාත්මක බැඳීම අත හැර දැමීමත්, අවසාන වශයෙන් මමත්වය නැතිව ගිය, බන්ධනයන්ගෙන් විනිර්මුක්ත, ජීවත්වන නොවන සියළු දේ කෙරෙහි නිරාමිස දයාව පවතින තත්වයකට පත්වීමත් ජෙඩායි නයිට්වරයකුගේ පැවැත්මේ පරම අපේක්ෂාව බව ස්ටාර් වෝර්ස් කතාව තුල දක්නට ලැබෙනවා.

එසේම සොරෝ ඇස්ටර් දර්ශනයෙන්ද කියැවෙන්නේ "ලෝකය යනු හොඳ සහ නරක බලවේගයන් අතර සදාකාලින යුධ පිටියක් බවයි. එනිසා සොරෝඇස්ට්‍රියානු අදහස් ද ස්ටාර් වෝර්ස් දර්ශනය ගොඩනැඟීම සඳහා ජෝර්ජ් ලූකාස් හට අනුප්‍රාණයන් වූ බව සැලකිය හැකි වනවා.

ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපට ත්‍රිත්වයේදී, ස්ටාර් වෝර්ස් ප්‍රධාන දුෂ්ට චරිතය, ඩාත් වේඩාර් බිහිවන ආකාරය පෙන්වා දෙනවා. ඩාත් වේඩාර් බවට රෑපාන්තරණය වන ඇනකින් ස්කයිවෝකර්, ස්ටාර් වෝර්ස් කථා මාලාවේ සිටින රොමැන්ටික්ම චරිතය බව කීම නිවැරදියි. ඔහු අසීමිතව තම මවට, තම ආදරය දිනාගත් ගැහැණිය, අමිඩාලා කුමරියට ආලය කරනවා. එනමුත් අවසානයේ ශේක්ස්පියර්ගේ ශෝකාන්ත නාටකය "මැක්බත්" හි මෙන්ම ඇනකින් ස්කයිවෝකර්ගේ අසීමාන්තිකව ආදරය කිරීමම ඔහුව අඳුර වෙතට ගමන්ගන්නා මාවතකට යොමු කරනවා.

ස්ටාර් වෝර්ස් අභ්‍යවකාශ වීර ආඛ්‍යානය නැතහොත් "ගැලැක්ටික් ඔපෙරාව" ලොව පුරා මිනිසුන්ගේ ජීවිතවලට, ජීවන දර්ශනයන් හට දැඩි බලපෑම් එල්ල කල බැව් සත්‍යයක්. ජෝර්ජ් ලූකාස් සවිඥානිකව හෝ අවිඥානිකව දේශපාලන බල තුලනයන් සහ විද්‍යා ප්‍රබන්ධ ෆැන්ටසීන්ගෙන් පෝෂණය වන චිත්‍රපට මාලාවක් අතිශය දාර්ශනික කියැවීමක් සහිත සිනමා කෘති පෙළක් බවට පත් කර තිබෙනවා.

“Fear is the path to the dark side. Fear leads to anger. Anger leads to hate. Hate leads to suffering.” මේ වාක්‍යයෙන්ම නපුර සහ යහපත අතර රේඛාව තරණය කිරීමට කෙනෙකුට සිදුවන්නේ කෙසේද යන්න දාර්ශනික කියැවීමක තබා ජෙඩායි නයිට්වරයකු වන යෝඩා විසින් ප්‍රකාශ කෙරෙනවා. අප හැමදෙනාම බියවන දේවල් බොහෝමයක් තිබෙනවා, පරාජයට, මරණයට, බලය නැතිවීමට... අප ආදරය කරන අය අපව අතහැර යනවාට, අපට ආදරය කරන්නන්ගෙන් වෙන්වන්නට සිදුවනවාට අපි බිය වනවා, ඒ බියම අඳු‍රැ බලවේග කරා, විනාශය වෙතට අපව ලං කෙරෙනවා. මේ ජෙඩායි දර්ශනය සිනමාකරැවකුගේ මනස් පුත්‍රයකු ලෙස උපත ලැබුවත්, එය ඔබගේත් මගේත් ජීවිත පිළිබඳව සිතන්නට යමක් ඉතිරි කරනවා...

පැතුම් පුංචිහේවා
 

Friday, June 15, 2012

Amor Fati


"දිව්‍යලෝකයේ ඇස්...". නොදන්නා ලෝකයක ඉම් සොයා නිර්භීත චාරිකාවන්ගේ නිරත වනු අතීත හවායි සේලරැවන්, නි‍රැවත් රාත්‍රී ආකාශයේ අපිළිවෙලට විසිරැණු තාරකා හැඳින්වූයේ එහෙමයි. "තාරකා කියන්නේ දිව්‍යලෝකයේ ඇස්..." තාරකා, නිහඬව, ගුප්තව පහල ලෝකයේ සිදුවෙන හැමදේම දෙස බලා සිටින බව ඔවුන් විශ්වාස කලා...

අනන්ත තරැ පිරි අහසක් යට වැතිරිලා ඉහළාකාශයේ නිශ්ශබ්ද ආලෝක පුංජයන් අතර අරමුණක් නැති රටාවන් අධ්‍යයනය කිරීම, ඕනෑම මනුෂ්‍යයෙක්ගේ අවිඥාණයේ සැඟවිලා තිබෙන ආශාවක්. නියැන්ඩතාල් මානවයාගේ සිට අද දක්වාම සෑම මනුෂ්‍යයෙකුම තමන්ගේ හිසට ඉහලින් විහිදී පැතිරී ඇති අනන්තාපරිමිත විශ්වය දෙස විස්මයෙන් බලා හිටියා.

නොදන්නා ඉමක් දක්වා විහිදුනු තරැ පිරි අහසක් හැමවිටම මිනිස් චිත්ත සන්තානයේ අසීමිත නිදහස පිළිබඳ තියුණු හැඟීමක් ඇතිකරවනවා. ජීවිත කාලයකට නොහිතන දාර්ශනික ප්‍රශ්න අහන්නට බල කරනවා. තමන් ලෙස ජීවත් වන මනුෂ්‍ය ප්‍රාණියා කවුරැන්ද, ඔහු ආවේ කොහි සිටද කියා මවිත වන්නට බල කරනවා. මොහොතකට, ඔබ විශ්වයේ කේන්ද්‍රය බවට වන මායාකාරී නිර්වචනයක ඔබව අතරමං කරවනවා....

මම උත්සාහ කරමින් හිටියේ අතීත මිනිසුන් තරැ අතර දු‍ටු යශෝධර හැඟීම අත්විඳින්නට. මේ තාරකා අතර තවත් කොහේ හෝ ජීවයේ ගිනි පුළිඟු පහළ වී ඇත්ද කියා මම පුදුම වුනා. ඒ මොහොතේදී මම දැක්කා, තරැ පොකුරක ඈත කොනක හුදකලාව තිබුනු තරැවක් එක් මොහොතකට දීප්තියෙන් දැල්වී නිවී යනවා... සමහරවිට මම ඒ දකින්න ඇත්තේ තරැවක මියයාම. සුපර්නෝවා පිපිරීමක්. වසර මිලියන ගණනාවක් සෙමින් දැවෙමින් දීප්තියෙන් දැල්වුනු වෙහෙසට පත් දැවැන්ත තාරකාවක්, මිනිසා දන්නා, නොදන්නා සියළුම මූලද්‍රව්‍ය නිර්මාණය කරමින් තමන් තුළටම කඩා වැටෙනවා. අති මහත් ශක්තියකින් තමන් තුළටම පුපුරා යනවා. දෘෂ්ඨි මායාවක් බවට ස්ථිර හැඟීමක් තිබුනත් අඩු තරමේ මම විශ්වාස කරන්න කැමති වුනා ඒ මම දකින්නේ තාරකාවක මියයාම බව.

ඒ මොහොතේ දී, මට සිහිපත් වුනා මම බලා සිටින්නේ අතීතය දෙස බව. රාත්‍රී ආකාශය දෙසට ඔබ නෙත් හරවන ඔබ හැමවිටම දකින්නේ අතීතය. සමහරවිට වසර මිලියන ගණනක අතීතය. ඔබ බලාසිටින්නේ අභ්‍යවකාශ සුසාන භූමියක් දෙස. දීප්තිමත්ව ඔබේ ඇස් ඉදිරිපිට දැල්වෙන තාරකාවක් මේ වනවිට මිය ගොස් ඇතිවා වෙන්නට පුළුවන්.

ග්‍රීක, ඊජිප්තු, ස්කැන්ඩිනේවියානු මිත්‍යා කථාන්තර වල ජීවත්වුනු වීරයන් මනුෂ්‍ය ලෝකයේ තමන්ගේ වීර චාරිකාවන් අවසන් කලාට පසුව, දෙවිවරැන් ඔවුන්ව අහසේ සදහටම දීප්තිමත් තාරකා ලෙස සටහන් කරනවා. පර්සියුස් සහ ඇන්ඩ්‍රොමීඩා, එලෙස ග්‍රීක දෙවිවරැන් විසින් අහසේ තරැ රටා ලෙස සටහන් කර තැබුවා. මෙහි අර්ථය ඔවුන් සදාකාලික බව. අතීත ශිෂ්ඨාචාරයන්ගේ විශ්වාසය වූයේ අහසේ දිදුලන තරැ, සදාකාලික බව... සදාතනිකත්වය හැමදාකමත් මිනිසාගේ අවිඥාණයේ සැඟවුනු ප්‍රාර්ථනාවක් වූවා.

"සදාතනික කිසිවක් නැහැ..."අතීතයේ මියගොස් තවමත් අහසේ දීප්තිමත්ව ගිනිගෙන දැවෙන තරැ, නිහඬවම පවසනවා. “Memento Moriමම ඉහලාකාශයේ විසිරැණු තරැ රටාවන්ට මිමිණුවා...මතක තබාගනු, දිනක ඔබ මිය යනු ඇත..."




"The Starry Night". Vince Van Gogh

Saturday, March 17, 2012

“Could you be loved ... and be loved…”

Me only have one ambition, y'know. I only have one thing I really like to see happen. I like to see mankind live together - black, white, Chinese, everyone - that's all. ~ Bob Marley

එක කාලයක් තිබුනා ගෙදර තිබුනු නමක් ගමක් සඳහන් නොවුනු පරණ කැසට් ටේප් එකක් මම දවසකට කීප වතාවක් අහපු. තාත්තාගේ කැසට් එකතුවේ එකක් වුනු ඒකේ, අමුතු සින්දු කියන හාදයා කවුද කියලා තාත්තාගෙන් අහන්නවත් වුවමනාවක් නොතිබුනත්, කාලය ගතවෙනකොට මට ඒ කැසට් පටයේ තිබුනු ගීත හැම එකක්ම වගේ කටපාඩම් වෙලා තිබුනා. එතනිනුත් මම ආසම සින්දු තිබුනා දෙකක්. එකක් Stir it up'. අනෙක Could you be loved..' ඔහොම කාලය ගතවුනාට පස්සේ දවසක මම දැනගත්තා තාත්තාගෙන්, ඒ ගායකයාගේ නම බොබ් මාර්ලේ කියලා. ඒ වගේම බොබ් මාර්ලේ කියන්නේ ජැමෙයිකන් ජාතිකයෙක් බවත් ඒ වගේම බොබ් මාර්ලේ රස්තා ෆාරියන් කෙනෙක් බවත් තාත්තා කිවුවා මට මතකයි. ඒක අහලා එදා මම ආයෙමත් බොබ් මාර්ලේව ඇහුවා, වෙනස් ආහ්ලාදයක් එක්ක. ඒ කථාව එතනින් අවසානයි.

ඊට පස්සේත් මගේ ලෝකෙට අනන්තවත් ගායක ගායිකාවෝ ආවා, ඇවිත්  ගියා. බොබ් මාර්ලේවත් එහෙමම අමතක වෙලා ගියා. ඒත් අර සින්දු දෙක කාලෙන් කාලෙට මගේ හිට් ලිස්ට් එකේ උඩට පහලට ගියා.

ඊට කාලෙකට පස්සේ දවසක් පුස්තකාලේ පොත් අස්සේ සැරිසරමින් ඉන්න වෙලාවක කියවන්න ලැබුනා සුනිල් මාධව ප්‍රේමතිලක පරිවර්තනය කළ පොතක්. මේ පොත ලියලා තිබුනේ ඩොනල්ඩ් වුඩ්ස් කියලා දකුණු අප්‍රිකානු මාධ්‍යවේදියෙක්. පොතේ නම "හඬනු මැන නිදහස". පොතේ කථාව ස්ථානගතවුනේ දකුණු අප්‍රිකානු වර්ණභේදවාදයට විරුද්ධ ක්‍රියාකාරිකයෙක්, ශිෂ්‍ය නායකයෙක් සහ විප්ලවවාදියෙක් වුනු "ස්ටීව් බිකෝ", ඔහුගේ මතවාදයන්ගේ නැඟීම, ඔහුගේ මරණය, ඩොනල්ඩ් වුඩ්ස්ගේ ඇසින් දැකීමක් ලෙසට.. 'විප්ලවය', 'නිදහස් සටන', 'ජනතා අරගලය', යහපත් ලෝකයක් වෙනුවෙන් සටන් කිරීම' වගේ වචන වලට වාග් මාලාවේ වැඩි ඉඩක් තිබුනු ගැටවර වයසේ ඉඳපු මට ස්ටීව් බිකෝ මගේ මගේ ලෝකයේ වීරයෙක් කියලා පිළිගන්න පොත කියවලා ඒ හැටි වෙලාවක් ගියේ නැහැ. "හඬනු මැන නිදහස නිසා, Y Generation එකේ සාමාජිකයෙක් වුනු මගේ හිතේ සදහටම අමරණීය චරිත බවට පත්වෙන්නට ස්ටීව් බිකෝට වගේම සුනිල් මාධවටත් හැකියාව ලැබුනා. ඒ කථාවත් එතනින් අවසන් වෙනවා.

කාලය ගතවෙනවා. ස්ටීව් බිකෝ ගැන ටිකකුත් බොබ් මාර්ලේ ගැන මහා හුඟකුත් මා වටේ ඉන්න මිනිස්සු කථාවෙන කාලයක් උදාවෙනවා. තවමත් මට බොබ් මාර්ලේ වීරයෙක් වෙලා නැහැ.ඒත් ස්ටීව් බිකෝ වීරයෙක්. මම පුදුම වෙනවා ඇයි මිනිස්සු ස්ටීව් බිකෝ ගැන කථා කරන්නේ නැත්තේ කියලා. ඒකට හේතුව මම තේරුම් ගන්නේ තවත් කාලෙකට පස්සේ. බොබ් මාර්ලේ වෙළඳපල වටිනාකමක් තියෙන තරුවක්. ඒත් ඒ වෙළඳපල වටිනාකම ස්ටීව් බිකෝට ලැබෙන්නේ නැහැ. අඩු තරමේ චේ ගුවේරාට මරණයෙන් කාලෙකට පස්සේ හරි තරුවක් වෙන්න ලැබුනා. කොහොමවුනත් චේ වත් බොබ් මාර්ලේවත් පහුකාලෙක තරු ප්‍රතිරූපයන් වේවි කියලා කවදාවත් නොහිතන්න ඇති කියන එක මම විශ්වාස කරනවා. ඒ කථාවත් එතනින් අවසානයි.

මම ආයෙමත් බොබ් මාර්ලේ අහන්න පටන් ගන්නවා, එදාට වඩා වෙනස් පර්යාවලෝකයක් සමඟින්. “Could you be loved ... and be loved… Could you be loved ... and be loved” මේ ගීතය තුළ මම වෙනස් අර්ථ කථනයක් දකින්න පටන් ගන්නවා. බොබ් මාර්ලේ අහනවා, "මිනිසුන් විදියට, ජන කොටසක් විදියට, අපිට ලැබිය යුතු ගෞරවය අපිට ලබාගන්න පුළුවන් වේවිද" කියලා. ඒක අහන්නේ “System” එකෙන් කියන එක මම අමුතුවෙන් කියන්න වුවමනා නැහැ. ඒ අතරේම මට ගීතයේ වියමන අස්සෙන් දැනෙනවා බොබ් මාර්ලේ "ලෝකයම එකට එකතුවෙන සහෝදරත්වයක්" වගේ මොකක් හරි ගැනත් කථා කරනවා කියලා.

The road of life is rocky, And you may stumble too… මම ඒ වෙනකොටත් දැනගෙන අවසන් ජීවිතය රළු පරළුයි, දුර්ගමයි කියලා.' So while you point your fingers, Someone else is judging you… Love you brotherman… බොබ් මාර්ලේ දිගටම ගායනා කරනවා. ඇත්තටම අපි කවුද තවත් සහෝදර පෘතුවි වාසියෙක්ව විනිශ්චයට  බඳුන් කරන්නට? අපි එහෙම කළොත්, හැමදාමත් අනෙකාව විනිශ්චයට ලක් කරන, අපටත් අනෙකාව විනිශ්චය කරන්නට බල කරන “system” එක සහ අපි අතර මොකක්ද වෙනස... ඒ වෙනුවට ඇහුම්කන් දෙන්න, සහෝදරත්වය ගැන විශ්වාස කරන්න... අනෙකාව සහෝදරත්වයෙන් පිළිගන්න... මේ බොබ් මාර්ලේ ගේ වචන. ජීවිත වෙනස් වෙන්න ඒ හැටි කාලයක් ගතවෙන්නේ නැහැ. මම හිපියෙක් බවට පත් වෙනවා...

අවසන් වුනු කථා තුනක් තවත් ලක්ෂ්‍යකින් ආරම්භ වෙනවා. බොබ් මාර්ලේ, ස්ටීව් බිකෝ වගේම මගේ ලෝකේ වීරයෙක් බවට පත්වෙනවා. මට පේන්න පටන් ගන්නවා බොබ් මාර්ලේ ගේ සහ ස්ටීව් බිකෝ ගේ අයිඩියෝලොජි අතර ලොකු සමානකමක් තියෙන බව. ස්ටීව් බිකෝ විශ්වාස කලේ සුදු මිනිහාගේ "සිස්ටම්" එක සුන් කරලා ඒ නටඹුන් මත කළු "සිස්ටම්" එකක් හදන එක තේරුමක් නැහැ කියලා. ඔහු කථා කලේ 'කළු විඥානයක්' ගැන. බොබ් මාර්ලේ කථා කලේ සුදු කළු භේදයක් නොපවතින දෙවියන්ගේ දේශයක් ගැන. බොබ් මාර්ලේ ගී ගැයුවේ ලෝකයේ හැම මිනිහෙකුටම ලැබිය යුතු ගෞරවය සහ ආදරය ලැබෙන දවසක් ගැන.

"You are, either alive and proud or you are dead, and when you are dead, you can't care anyway." ඒ බිකෝ. "I don't stand for the black man's side; I don’t stand for the white man's side. I stand for God's side." ඒ ගායනා කරන්නේ බොබ් මාර්ලේ…
“Peace n Love”… ඒ විදියට මම ආටිකල් එක අවසාන කරනවා...

පැතුම් පුංචිහේවා

Saturday, February 25, 2012

අන්ධකාරයේ කුමාරයා: Another saga of the caped crusader…

The Joker: Oh, you. You just couldn't let me go, could you? This is what happens when an unstoppable force meets an immovable object. You truly are incorruptible, aren't you? You won't kill me out of some misplaced sense of self-righteousness. And I won't kill you because yo u're just too much fun. I think you and I are destined to do this forever

"ජෝකර්" කියන්නේ ගොතම් නගරයට තවත් එක් අපරාධකාරයෙක් පමණක් වුනා. කොමික් ලෝලීන්ටත් "ජෝකර්" කියන්නේ තවත් එක් Villain කෙනෙක්, දුෂ්ටයෙක් විතරයි. හැමවිටම කොමික් පොතක් කියවන බැට්මෑන් රසිකයෙක් අවසානය අනුමාන කරනවා. හැමවිටම ඒ අවසානය සරල කළු සුදු සන්දර්භයක පවතිනවා. බැට්මෑන් අතින් දුෂ්ටයා පරාජය වනවා. ලෝකේ කොහේ හරි ඉන්න තවත් තරුණියක් බැට්මෑන් සමඟින් ආදරයෙන් වෙළෙනවා. කථාව අවසන් වෙනවා. එහෙත් මේ තරම් සරලව බැට්මෑන් ව කියවා අවසන් කරන්නට හැකිද?

බැට්මෑන් ට අවිවාදිතවම "ජෝකර්" කියන්නේ ඔහුගේ "වෙලින්ටන්". ඔහුගේ පරම සමානයා. ජෝකර්ගේ පැවැත්ම බැඳී තිබෙන්නේ බැට්මෑන් ගේ පැවැත්ම සමඟින්. වෙන් කළ නොහැකි අඳුර සහ ආලෝකය වගේ. ජෝකර් පමණක් නොව ඕනෑම දුෂ්ටයෙක්, බැට්මෑන්ගේ පැවැත්මේ තීරණාත්මක සාධක වනවා. ගොතම් නගරය හෝ ලෝකය නපුරින් තොර, දුෂ්ටයන්ගෙන් තොරවූ දිනයට බැට්මෑන්ගේ පැවැත්ම අවසන් වනවා. ඒ කියන්නේ සැබවටම. ඔහුට එදිනට තමන්ගේ සාමාන්‍ය ජීවිතයට යන්න හැකි වෙන්නේත් නැහැ. හේතුව බැට්මෑන් කියන්නේ බෲස් වේන් ගේ වෙස්මුහුණ 'නොවීම'. බෲස් වේන් කියන්නේ බැට්මෑන් ගේ සැබෑ අනන්‍යතාවය වසන් කරනා වෙස් මුහුණ වීම...

බැට්මෑන් උපත ලබන්නේ "එක් අවාසනාවන්ත දිනයක" සිදුවන අවාසනාවන්ත සිදුවීමකින්. ඕනෑම බැට්මෑන් ලෝලියෙක් දන්නා විදියට කුඩා බෲස් වේන්ගේ දෙමාපියන් ගොතම් නගරයේ අඳුරු ප‍ටුමඟකදී මංකොල්ලක‍රුවකු අතින් නිරර්ථක ලෙස ඝාතනයට ලක්වනවා. වචනාර්ථයෙන්ම බැට්මෑන් උපත ලබන්නේ එදිනයි.

අනෙක් අතට ජෝකර් උපත ලබන්නේද එවන්ම අවාසනාවන්ත දිනයකින්. තාර්කිකව සලකන කල බැට්මෑන් සහ ජෝකර් දෙදෙනාම එකම දෛවයක් උරුම කරගත්, ප්‍රතිවාදී හොඳ සහ නරක නියෝජනය කරනා ඇදවැ‍ටුනු දේවදූතයන් දෙදෙනෙක්. 

බැට්මෑන් චරිතය උපත ලබන්නේ 1939 දී. ඒ චිත්‍ර ශිල්පියෙක් වුනු බොබ් කේන් සහ රචකයෙක් වුනු බිල් ‍ෆින්ගර් ගේ එකමුතුවෙන් මැවුනු සුපිරි වීරයෙක් ලෙසට. මේ වනවිට සුපර්මෑන් උපත ලබා අවසන්. ඒ ඊට පෙර වසරේදී. කොමික් ඉතිහාසයේ පැරණිම වීරයන් දෙදෙනා වන සුපර් මෑන් සහ බැට්මෑන් තීරණාත්මක ලෙස වෙනස්වන්නේ සුපර්මෑන් සුපිරි බලයන් සහිත විනාශකල නොහැකි චරිතයක් වීම සහ අනෙක් අතට බැට්මෑන් ශක්තිය, බුද්ධිය සහ සුචල්‍යතාව අතින් සාමාන්‍ය පුද්ගලයෙකුට ඉහළින් සිටියත්, දිනය අවසානයේ ඔහුත් මානුෂීය සීමාවන්ගෙන් පරිමිත මනුෂ්‍යයෙක් පමණක් වීමෙන්.

සුපර් මෑන්ට ඇත්තේ එක් දුර්ලභ දුර්වලතාවයක් පමණයි. ඒ ක්‍රිප්ටොනයිට්. ඒ හැරෙන්නට සුපර්මෑන් පෘතුවිය මත අනභිබවනීයයි. එනිසාම බොහෝ දුරට සුපර්මෑන් හා ප්‍රතිවාදීන් ලෙසට “Inter Galactic” දුෂ්ටයන්, වෙනත් තාරකා මණ්ඩල, වෙනත් විශ්වයන් වැනි පෘතුල අවකාශයක් නපුරේ උපත ලෙස, හඳුන්වාදීමට නිර්මාපකයන් හට සිදුවනවා. බැට්මෑන්, අනෙක් අතින් බොහෝ සුපිරි වීරයන් හා සංසංදනය කරන විට දුර්වල සහ භංගුර වීරයෙක්. සිය උත්සාහයෙන් වර්ධනය කරගත් හැකියාවන් සහ සිය මූල්‍යමය තත්වය මත ලබාගත හැකි නවීන තාක්ෂණික උවාරණ හැරුණු විට, විකිරණශීලී  නිරාවරණයකින් එසේත් නැතිනම් පිටසක්වල උරුමයකින් ලැබුනු සුපිරි බලයන්, අති මානුෂීය බලයන් ඔහුට නැහැ. මෙසේ ඔහු සීමාවන්ට යටත් වන නිසාම ඔහුට ගතහැකි තීරණ වලද සීමාවන් පවතිනවා. උදාහරණයක් ලෙසට ඔහුට හැමවිටම හැමදෙනාවම ආරක්ෂා කළ නොහැකියි. බොහෝ අවස්ථාවන්හිදී ඔහුට බේරාගත යුත්තේ කවුද යන ප්‍රශ්නයට පිළිතුරු සපයාගන්නට සිදුවෙනවා.

සුපර්මෑන් චරිතය සමස්ත විශ්වයටම වීරයෙක් වන විටකදී, බැට්මෑන් ජීවත් වන කොමික් විශ්වය තුළ ගොතම් නගරය තුළට ලෝකය ඌනනය වීම තුලිනුත් මෙය පැහැදිලි වනවා. බැට්මෑන් ගේ සීමාවන් නිසා බැට්මෑන්ට මුළු ලෝකයේම දුෂ්ටත්වයට එරෙහිව සටන් වදින වීරයකු වනු නොහැකියි. ඔහුට ආරක්ෂකයකු විය හැක්කේ තම ක්ෂිතිජ සීමාවෙන් මෙපිටට පමණයි.

මේ නයින්ම බැට්මෑන් චරිතයට කළු සුදු සන්දර්භයක පැවතීමට නොහැකි වනවා. බැට්මෑන් "සුදු" ලෙස හැඳින්වීම තුලින් ඔහුව කියැවීම අසීරු වනවා. ඊට වඩා බැට්මෑන් "අළුපැහැ" සන්දර්භයක තබා කියැවීම තුලින් බැට්මෑන් චරිතය පි‍ටුපස පවතින වියමන කියැවීම වඩා පහසු වනවා.

මුල් වරට බැට්මෑන් චරිතය තුල ගලායන දාර්ශනික වියමන සිනමාත්මක සන්දර්භයක තබා කියැවීමක් කරන්නේ ක්‍රිස්ටෝපර් නොලන්. ඒ ඔහුගේ බැට්මෑන් චිත්‍රපට ත්‍රිත්වය තුලින්. මෙහිදී ක්‍රිස්ටෝපර් නොලන් අතින් සුපිරි වීරයකුගේ ආලේඛණයකට වඩා ප්‍රති වීරයකුගේ මූර්තියක් නිර්මාණය වනවා.

බොහෝ විට අප තුළ පවතින සදාචාර නීතීන්ගේ සීමාවන් සාපේක්ෂ වනවා. උදාහරණයක් ලෙසට ක්‍රිස්ටෝපර් නොලන්ගේ “Batman: The Dark Knight” චිත්‍රපටය ගලායෑම සමඟින් ප්‍රේක්ෂකාගාරය බලාපොරොත්තු වන්නේ බැට්මෑන් අතින් හෝ වෙනයම් වක්‍ර මාර්ගයකින් සිදුවන "ජෝකර්" ගේ මරණය. ඒ තරමටම ජෝකර් ගොතම් නගරයටත්, ප්‍රේක්ෂක චිත්ත සන්තානයන් තුළ පවතින ලෝකයේ සදාචාර සීමාවන්ටත් පීඩාවක් වනවා. එනමුත්, බැට්මෑන් හට ජෝකර්ව මරාදැමීම නොකල හැක්කක්. එය සදාචාරවත් ප්‍රේක්ෂකයන් හට උභ‍තෝකෝටික ගැටළුවක් වුවත් බැට්මෑන් විශ්වීය යුක්ති ධර්මතාවක් අනුගමනය කරනවා.

අනෙක් අතට බැට්මෑන් කළු සුදු සුපිරි වීරයෙකුගේ ආකෘතියට ඌනනය කළ නොහැකි තැන් ද චිත්‍රපට ත්‍රිත්වය තුලින්ම හසුවනවා. “Batman Begins” චිත්‍රපටය කූට ප්‍රාප්තියේදී, අවසන් සටනේදී ඔහු Ra’s al Ghul හට පවසන්නේ “I won’t kill you, but I don’t have to save you” ලෙසින්. එහිදී බැට්මෑන් දුෂ්ටයා වුවද මරා දැමීම පිළිකෙව් කලත් ඔහුව බේරාගැනීමද එසේම ප්‍රතික්ෂේප කරනවා. මෙවැනි තැන්, බැට්මෑන් තුළින් සුපිරි වීරයකුට වඩා ප්‍රතිවීරයකු දර්ශනය කරනවා.

බැට්මෑන් කියැවීම තුලින් බොහෝවිට සරල සදාචාරවාදී ආදර්ශයකට වඩා ගැඹු‍රු මතවාදයන් ඉස්මතු වන මුත් එය කියැවීම සඳහා අනෙක් කොමික් සුපිරි වීරයන්ගේ චරිතද සාපේක්ෂව සහ සමාන්තරව කියැවීමට සිදුවෙනවා. කෙසේ නමුත් මින් එක් දෙයක් පැහැදිලි වනවා. "සුපිරි වීරයෙකුට හැමවිටම පැවත්මක් තිබෙන්නේ සුපිරි දුෂ්ටයකුගේ පැවැත්ම සමඟින්".

“Batman: The Dark Knight” චිත්‍රපටය අවසානයේදී ජෝකර්, ගොතම් නගරයේ ධවල නයිට්වරයා, සදාචාරයේ සංකේතය, හාවි ඩෙන්ට් සංකේතාත්මකව තම තත්වයට ඇද දමනවා. එනමුත් අවසානයේ ගොතම් නගරයේ අඳුරු නයිට්වරයා, බැට්මෑන් තමන්ව කිසිසේත්ම දූෂ්‍ය කල නොහැකි බව පෙන්වා සිටිනවා. ඒ ඔහු, හාවි ඩෙන්ට් බැඳී සිටින සදාචාර සම්පන්න කොන්දේසි වලින් බැඳී නොසිටින නිසාවෙන්මයි. බැට්මෑන් යනු ගොතම් නගරය අපේක්ෂා කරන සුපිරි වීරයා නොවන්නේත්, එනමුත් බැට්මෑන් යනු ගොතම් නගරයට අවශ්‍ය කරන ප්‍රතිවීරයා වන්නේත් මේ කියැවීම තුළින්මයි. බැට්මෑන් යනු තවත් ඩයොජිනීස් කෙනෙක්ද? ඒ ප්‍රශ්නයට පිළිතුර මේ වියමන තුළම පවතිනවා...

පැතුම් පුංචිහේවා


Tuesday, January 10, 2012

වැහි වැ‍ටුනු හවසක....

එකමත් එක කාලෙකදී, වැහි වැටෙන හවස් වරුවක Nusrat Fateh Ali Khan ගේ ගායනයකින් මත්වෙලා හිටි වෙලාවක, සුන්දර, විසල් ඇස් තිබුනු කාටදෝ කිව්වා මතකයි "වැස්ස කියන්නේ කවදාවත් එක් නොවෙන අහසේත් පොළවේත් සංවාසයේ උත්කර්ෂය" කියලා. අදත්, දූවිල්ල තෙමෙන කොට නැඟෙන අපූරු සුවඳත් එක්ක, නැවුම් අදහස් වපුරන්නට සරු පොළවක් තෙත් කරමින් වැස්ස වහිනවා... එදා වැස්ස නෙවෙයි අද. ඒත් අදත් Nusrat Fateh Ali Khan ගේ මෝහනීය ගායනය මාව මත් කරනවා..

 වැහි බින්දු පොළවට වැටෙන්නේ සිහින් සර නංවන මිණි ගෙඩි වගේ... තෙත පොළවේ කණට නෑහෙන, හිතට දැනෙන ස්වරයකින් ඒ පුංචි මිණි ගෙඩි නින්නාද වෙනවා... මට මතක් වෙනවා ඒ වගේ පුංචි මිණි ගෙඩි දහසක් එක විචිත්‍ර ස්වර මාධූර්‍යයක් නිර්මාණය කරමින් රාව ප්‍රතිරාව නැංවූ, අද වගේම වැහි ඇද වැටුනු සුන්දර හැන්දෑවක්... එදාත් සොඳුරු කථක් නර්තන වින්‍යාසයන් සමඟින් සුසංයෝග වුනු, Nusrat Fateh Ali Khan ගායනය සහ සුෆි සංගීතය අපූරු වශීකරණයක් වුනා... 

වේදිකාව අඩ අඳුරේ ගිලිලා.ඒ අඳුරේත් නිහඬතාවයේත් හැඟීම් කිතිකවන මොකක්දෝ ගුණයක් ගැබ්වෙලා කියලයි මට දැනුනේ. යථාර්තයත් විකාරරූපී මෘදු මායාවී දර්ශනත් අතර දෝලනය වුනු මගේ ධ්‍යානය විනිවිදිමින් වේදිකාව ඒකාලෝක වුනා. වෛවර්ණ කථක් නර්තන ආයිත්තමින් හැඩවුනු චාරුමත් නළඟනන්, ඔවුන්ගේ සුන්දර වළලුකර සිපගෙන සිටින ගිගිරි වැල් සිහින් සරින් නාද කරවමින් මුළු වේදිකාවමත්, මගේ සමස්ත වින්දනයත් ඔවුන්ගේ සොඳුරු ආධිපත්‍යයට නතු කරගෙන. 

කථක් නර්තන කලාවේ උපත සිදුවෙන්නේ උතුරු ඉන්දියාවේ... කථක් මූලාරම්භයන් දිව යනවා, පුරාතන උතුරු ඉන්දියානු සංචාරක කවියන් දක්වා... ඔවුන්ව හැඳින්වූයේ "කථක්", නැතිනම් කථා කාරයන් (Storytellers) නමින්... කථක් උපත ලබන්නේ දේවස්ථානයක හිඳ මිත්‍යා කථා, දේව කථා කියූ දුරාතීතයේ විසූ සංචාරක කවීන්, නැත්නම් කථා කරුවන් හරහා බව විශ්වාස කළ හැකි වනවා. මේ බව සඳහන් වන්නේ ඉන්දියානු ශුද්ධ ග්‍රන්ථයක් වන "නාට්‍ය ශාස්ත්‍ර" (Nātyaśāstra) හි. 

ඉන්දියාවේ ඉපැරණි අවාධි සංස්කෘතියේ යශෝධර උරුමයක් වන කථක් , එය තුළට සංයෝග වන සුවිශේෂී කථක් ප්‍රකාර දෙකක් සමඟින් අතුල්‍ය බවක් ලබා ගන්නවා, ඒ ආගම් භක්තියෙන් ආලම්බනය වුනු "ටෙම්පල් කථක්" සහ විදේශීය උරුමයක් සමඟින් විශිෂ්ටත්වයට පත්වන "දර්බාරි කථක්"... 

සු‍ෆි සංගීතය සහ කථක් කියන්නේ නර්තන රටා එකිනෙක හා නොවෙනස් ලෙස බැඳී පවතින බව මට හැමදාටමත් දැනුනු දෙයක්. ඉස්ලාම් දහමෙන් කැඩී වෙන්වුනු ගුප්ත අංකුරයක් වන සු‍ෆි දහම තුළ ‍රැඳුනු ගුප්ත සුඛ ප්‍රහර්ෂය, කථක් නර්තනය තුළිනුත් ඉස්මතු වනවා... 

ආයෙමත්, මුරුගසන් වරුසාවක ආකූල සංක්ෂෝභයේ සිට එකින් එක පොළවට දැනෙන නොදැනෙන සෙයින් ඇද හැලෙන හිරිපොද වැස්සක ශාන්ත නිසලතාවය දක්වා පරාසයක හඬ රූ, දෙපය බැඳි මිණි හැඬවෙන නදින් මවමින් කථක් නිළියන් වේදිකාව මත සුන්දර රංගනයක... රහ්මාන්ගේ දිල්ලි 6 චිත්‍රපට සංගීතයට, එකම කියැවීමක් තුල වෙනස් හැඟීම් එක්කරන්නට "කථක්" සමත් වෙලා... 

ඒ වැහි වැටෙන හවසත්, ඒ Nusrat Fateh Ali Khan ගේ විචිත්‍ර ගායනයත්, මෝහනීය සු‍ෆි සංගීතයත්, මගේ විකාරරූපී කල්පනාවනුත් එකම දිව්‍යම්‍ය ප්‍රහර්ෂයක් තුළට ඒකාත්මික වෙනවා... මෝක්ෂා සමරසූරිය ඇදුරුතුමියගේ කථක් නෘත්‍ය ප්‍රසංගය අවසානවෙනවා... වේදිකාව නැවතත අඳුරට මුහුවෙනවා.... මා ලෙස සිටි මිනිසා මියගොස් අළුත් චිත්ත පරම්පරාවක් උපත ලබනවා.... 



"Listen to the reed, how it complains
and tells a tale of separation pains.
"Ever since I was cut from the reed bed, my lament
has caused man and woman to moan.
I want a bosom torn my separation,
to explain the pain of longing.
Everyone who is far from his source
longs for the time of being united with it once more."

~ Jalal Al-Din Al-Rumi, "spiritual couplets"

තුති: ලිෂාන්, හෂිත අය්යා, සචී අක්කා

Saturday, May 14, 2011

මුහුදු කොල්ලකාරයා සහ කැනරි කිරිල්ලිය


මුහුදු හැතැම්ම  දස දහස් ගණනාවක් දුර ගෙවාගෙන
රළ මතින් නාඳුනන වෙරළකට පාවී ආ මේ බෝතලය
තුළ ඇති කතාව කියවන කවුරුන් හෝ
නාඳුනන්නෙකු වෙත.......

කාලයක් තිස්සේ මිනිස්සු හිතුවා ආක්ටික් අහසේ අනේක වර්ණ රටා මවන ඒ එලි , දෙවියන්ගේ විශ්මය ජනක ක්‍රියාවක ප්‍රතිඵල කියලා..... aurora borealis නැතිනම් ඌශාලෝක කියලා සමහර මිනිස්සු ඒවා හැඳින්වුවා. කොහොම වුනත් ආක්ටික් අහසේ මේ වෛවර්ණ රටා දකින හැම මොහොතකම , මේ මුහුදටම කැපවුනු , වෘකයෙක්ගේ හැඩහුරුකම් තියෙන  පරණ කුඹ ගස් දෙකේ රුවල් නැවක කපිතාන් වුනු පලපුරුදු මුහුදු කොල්ලකාරයාට හිතුනේ එකම දෙයක්... 'ලෝකේ හරිම විස්මයජනකයි'
ඔහුට නමක් තිබුනේ නෑ. දන්න කියන හැමදෙනාම ඔහුට කතා කලේ 'කපිතාන්' කියලා. නොදන්න හැම දෙනාම ඔහුව හඳුනාගෙන තිබුනේ කැරිබියන් මුහුදේ භීෂණය කියලා. ඒත් ඔහුට තමන් ගැන කියන්න ඉතිහාසයක් වත්,හරි හමන් නමක්වත් නොතිබුනත් තමන් ගැන නිර්වචනයක් තිබුනා. 'අනනුකම්පීය නිර්දය මුහුදු කොල්ලකාරයෙක්'!
කපිතාන් හැමදාමත් දැනගෙන හිටියා තමන්ට ජීවත් වෙන්න ලොකු කාලයක් නැති බව. මැරෙන එක කවදාහරි වෙන්න ඕනෙ. එකම වෙනස මම අනික් මිනිස්සුන්ට කලින් මැරෙන එක, කපිතාන් එහෙම හිතපු වෙලාවල් තිබුනා. සටනකදී කඩු පහරකින් , බීමත් සේලරුවෙක්ගේ කිණිසි පහරකින්, , නැවේ තට්‍ටුවෙන් ඇද වැටිලා නැතිනම් පපුව පසාරු කරගෙන යන වෙඩි පහරකින් ... කාටද කියන්න පුලුවන්.. ඒත් කපිතාන් එක් දෙයක් දැනගෙන හිටියා නියතවම... කපිතාන් ආවේත් තනිවම , කපිතාන් යන්නේත් තනිවම. නැවේ තට්‍ටුවට වෙලා ඈත මුහුද දිහා බලාගෙන ඉන්න කපිතාන් දැනගෙන හිටියා කවදා හෝ තමන්ගේ සයනය වෙන්නේ ඉමක් නැති මුහුදු පතුල කියලා. Davy Jones' locker... ඒ සිතුවිල්ලම කපිතාන්ට සතුට ගෙනාවා. ඒ මේ කෲර මුහුදු කොල්ලකාරයා , කපටි වෘකයා ආදරය ගැන නොදැන හිටියත්, ආදරය කියා දෙයක් ගැන විස්වාස නොකරත් අවිඥානිකව ඔහු මහ මුහුදට ආදරය කල නිසා, අසීමිතව . මහ මුහුද කපිතාන්ගේ ප්‍රියාවත් මවත් වුනා...

එක් දවසක උදෑසනින්ම නැවේ තට්‍ටුවට විත් කුඹගස් වලට ඉහලින් අහස දිහා බලාගෙන ඉන්න මුහුදු වෘකයාට මහාම තනිකමක් දැනුනා. ජීවිතේ පලමුවෙනි වතාවට කපිතාන්ට ආයෙමත් තමන් ගතකල ජීවිතේ ගැන ආපස්සට හැරිලා බලන්න උවමනා වුනා. මේ අනනුකම්පීය මුහුදු කොල්ලකාරයාට දැනෙන්නට වුනා , ජීවත් වුනා ඇති කියලා.
මේ මොහොතේම ගොඩබිම දෙසින් පියඹාගෙන ආවා , නිල්වන් පියාපත් තියෙන, සුන්දර සටහන් තියෙන, කැනරි කිරිල්ලියක්, ලාලිත්‍යවත් පියාසැරියකින්... කැනරි කිරිල්ලිය පියඹාගෙන ඇවිත් නැව් තට්‍ටුවේ ගරාදි වැට මත වැහුවා. කෙලින්ම කපිතාන්ගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා.
අඩුවෙන්ම කියනවනම් කපිතාන් පුදුම වුනා. කැරිබියන් මුහුදු තීරයේ කිසිම කෙනෙක් , මේ ලේ පිපාසිත මුහුදු වෘකයා ඉදිරියේ නැඟී සිටින්නට තරම්, මේ අනනුකම්පීය මුහුදුකොල්ලකාරයා දිහා කෙලින් බලන්න තරම් එඩිතර වුනේ නැහැ. ඒත් මේ අහංකාර කැනරි කිරිල්ලිය , මුහුදු කොල්ලකාරයාගේ ඇස් දෙක දිහාම බලාගෙන හිටියා. මුහුදු වෘකයා නොදැන හිටියත් ලෝකේ ඈත කොනක හිටපු ලේඛකයෙක් ඒ වෙනකොටත් ලියලා තිබුනා "ඇස් කථා කරනවා" කියලා...

එතනින් එහාට සිදුවුන දේවල් ගැන මිනිස්සු එක එක විදියේ කතා කියනවා. ඒත් කවුරුවත් හරියටම සිදුවුනේ මොකක්ද කියලා දැනගෙන හිටියේ නැහැ. තවදුරටත් කැරිබියන් මුහුදේ භීෂනය , දරුණු වෘකයා, අනනුකම්පීය මුහුදු කොල්ලකාරයා , කපිතාන්... ඔහුගේ කුඹ ගස් දෙකේ නෞකාවත් එක්ක රළ අතරින් සැරිසරනවා දකින්න ලැබුනේ නැහැ. සදහටම ඔහු කැරිබියන් මුහුදෙන් අතුරුදන් වුනා....

මෙතනින් එහාට කතාව අවසානයි. ඒත් කැරිබියන් මුහුදේ නාවිකයන් අතර කටින් කර පැවතුනු මිත්‍යා කථාවක් සමහරවිට මෙතනට සම්බන්ධ ඇති. . මිත්‍යා කතා කියන්නේ යථාර්තයේ මායාවී, සිහින කොටස්...

කැරිබියන් මුහුදේ එක් හුදෙකලා දූපතක් අසලට කලාතුරකින් නැව් යනවා. ඒ , මුහුදු මාර්ගයේ තියන ගල්පර මග හරින්න. ඒත් කිසිම කෙනෙක් දූපතට යන්නට තරම් එඩිතර වෙන්නේ නැහැ. ඒ දූපත වටාම නැව් වලට මාරක අනතුරු ලඟා කරන ගල්පර ගහන නිසා. ඒත් ඔබ යාත්‍රා කරන  නැව දූපත අසලින් යනවා නම් සහ ඔබ වාසනාවන්ත නම් ඔබට දකින්න පුලුවන් වේවි හුදෙකලා මුහුදු වෙරළේ ගලින් කල ප්‍රතිමාවක්.
තවත් හෝදිසියෙන් බැලුවොත් ඔබට පෙනේවි , ඒ ප්‍රතිමාව, වැරහැලි වුනු ඇඳුම් ආයිත්තමින් සැරසුනු, මුහුදු කොල්ලකාරයෙකුගේ විසල් හිස්වැස්මකින් සැරසුනු, හිණෙන් කෙටි කඩුවක් හා පිස්තෝලයක් එල්වුනු, අවුල් වුනු දිගු කෙස් කැරළිත් දිගු රවුලත් මඳ සුළගට ලෙළ දෙන මිනිස් රූපයක් බව... ඒ ප්‍රතිමාව, තමන්ගේ ජීවිතය වැනි මහා සමුද්‍රය දෙස ශෝකයෙන් බලා සිටිනා මුහුදු කොල්ලකාරයෙකුගේ හැඩතල දරනා බව... ඔහුගේ නොසෙල්වෙන දසරුව මත වාඩි වී නිසංසලේ හොටයෙන් පිහා‍ටු සකස් කරන්නේ සුන්දර කැනරි කිරිල්ලියක්...මුහුදු කොල්ලකාර ප්‍රතිමාවේ තොල් මත පෙනෙන නොපෙනෙන මඳහසක්....
මිනිසුන් කියනවා ඒ කැරිබියානු මුහුදේ භීෂණයත් ,ඔහුගේ ජීවිතයේ ප්‍රථම ප්‍රේමයත් කියලා..... කතාව මෙතනින් අවසානයි...
~ නාඳුනන කතා කියන්නෙක්
Myth is the hidden part of every story, the buried part, the region that is still unexplored because there are as yet no words to enable us to get there. Myth is nourished by silence as well as by words.
~ Italo Calvino

Sunday, December 12, 2010

ජීවිතේ හරිම රස්තියාදුවක්

"මම රස්තියාදුකාරයෙක්", එහෙම නැත්නම් "මමත් රස්තියාදු ගහලා තියෙනවා" කියනවාට වඩා "ජීවිතේ හරිම රස්තියාදුවක්" කිවුවහම මිනිස්සු මේ ලිපියට කොහේවත් නැති වැදගත්කමක් දෙන්න උත්සාහ කරයි. ඒත් ඉතින් ඒ මිනිස්සුන්ගේ හැටි. ඔබත් මාත් අයිති වෙන, ඒ වගේම ඔබත් මමත් කැපී වෙන්වෙන සමාජයේ ජීවත් වෙන සහෝදර ජනතාව, මිනිස්සු...

ආයෙමත් රස්තියාදු කතාවට ආවොත්, "ඔව්, මම රස්තියාදු ගහලා තියෙනවා හොඳට". ඉස්කෝලේ යන කාලේ නම් මරදාන වටේ තිබුනු පොත් කඩවල, මෑත අතීතයේ නම් හැමතැනම.
රස්තියාදු ගහන එක නරකයි කියලා ඉස්කෝලේ කාලේ කියලා දීලා තිබුනා මට මතකයි. ඇත්තටම රස්තියාදු ගහන එක නරකද? ඒ ප්‍රශ්නය මට කොයිම මොහොතකවත්-දැන් ඇරෙන්න- මතක් වෙලා නැහැ.මං හිතන්නේ ඉස්කෝලෙදී හරියටම කිවුවේ 'රස්තියාදුකාරයෙක්' වෙන්න එපා කියලා. දැන් ඊලඟ නිර්වචනය, රස්තියාදුකාරයා... ඒක මම දන්නේ නැහැ. ඒ නිර්වචනය ඔබට අයිති වැඩක්.

මම දැන් රස්තියාදු ගහන්නේ කොලඹ පාරවල් දිගේ විතරක් නෙවෙයි. ආර්ට් ගැලරි අස්සේ, පොත් කඩවල් අස්සේ, ජාතික පුස්තකාලයේ, ෆිල්ම් තියෙටර් අස්සේ, කෝපි කඩ අස්සේ- කෝපි කඩ කිවුවට අනෙක් අය කියන්නේ ලස්සනට බරකරලා coffee lounges කියලා...  එතකොට මුහුදු වෙරළ, ගෝල්ෆේස් එකේ ඉස්සො වඩේ කරත්ත, Goethe. Alliance France, Russian cultural center,මාර්ගරිටා බ්ලූ, Budz, Barefoot, Burger king, Club parties, beach parties වගේ සංස්කෘතික, සමාජයීය වශයෙන් අහසට පොළව වගේ වෙන/ අතිශය සර්වසම වෙන දහසකුත් එකක් තැන් මගේ රස්තියාදු අධිරාජ්‍යයේ දේශසීමාවන් ඇතුළේ තියෙනවා. ඔව්, මම beach party එකකට ගියත් එතන තියෙන්නේ එක්තරා විදියක රස්තියාදුවක්. ඒකේ පුදුමයකුත් නැහැ. මම හිපියෙක්, හිපියෙක් රස්තියාදුව නරකයි කියලා කියන්නේ නැහැ...

මම ඉස්කෝලේ යනකොට Rowing කරන කාලේ අනන්තවත් හබල් දෙකේ තනි ඔරුවකට වෙලා, බේරේ වැවේ Rowing Club එකට අයිති කොටසේ ඔහේ පාවි පාවි රස්තියාදු වෙලා තියෙනවා. එතකොට මට පෙනිලා තියෙනවා මාලිගා වගේ හෝටල් එක පැත්තකත්, පොඩි වුන් ගේ දොරකඩ වාඩිවෙලා කක්කා කරන මුඩුක්කු පැල්පත් බේරේ වැවේ අනෙක් පැත්තේත් තියෙනවා. රස්තියාදුවකට දේශපාලන මතවාදයන් බිහිකරන්න බැරිත් නැහැ.

මම කොහේ හරි කියෙව්වා, රස්තියාදුවෙන් දාර්ශනිකයෝ බිහිවෙනවා කියලා... ඒක දාර්ශනිකයෙකුගෙන් අහලා බලන්න.

රස්තියාදු ගහනවා කියන්නේ කාලය නාස්ති කරනවා කියන එක නම් මම ඒ කතාවට එකඟ වෙන්නේ නැහැ.මොකද මට නම් මගේ රස්තියාදු දේශාටන වලදී නාස්ති කරන්න වෙලාවක් තිබුනේ නැහැ. ලෝකේ කොයි තරම් ලොකුද? කොයි තරම් නම් දේවල් බලන්න තියෙනවද? කොයි තරම් මිනිස්සුන්ව මුණගැහෙන්න තියෙනවද? මේ හැමදේම මැරෙන්න කලින් කරන්නත් ඕන. අපි ඔක්කොම මැරෙන මිනිස්සු...

මගේ ප්‍රියතම හීනයක් තමයි අත්‍යාවශ්‍ය ඇඳුම් පැළඳුම්, තවත් අත්‍යාවශ්‍ය දේවල් backpack එකකට අහුරගෙන, කැමරාවක් කරේ එල්ලගෙන ඔහේ රස්තියාදු වෙන එක. ලංකාව පුරා විතරක් නෙවෙයි, ලෝකේ පුරාම...ඉන්දියාවේ වරණාසි වල, ඌටි කඳුකරයේ, කජුරාවෝ වල, රාජස්ථානයේ වර්ණ අතරේ... ස්පාඤ්ඤයේ අන්දලුසියානු කඳුබිම් වල... රොමානි කූඩාරම් අතරේ... කාම්බෝජයේ අන්ග්කෝර් වල... ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවලින් මායිම් වන පිටිසර ප්‍රංශ ගම්මාන වල... මගේ හීන විසල් කියලා මම දන්නවා.
backpackers උප සංස්කෘතිය බිහිවෙන්නේ හිපි ව්‍යාපාරයට ගොඩක් පස්සේ. ඒත් මතවාදමය සහ ආකෘතිමය වෙනස්කම් අත ඇරලා බැලුවොත්, ලෝකය දකින්න තියෙන, සංචාරය කරන්න තියෙන හිපීන්ගේ නොතිත් ආශාව backpackersලාත් බෙදාහදා ගන්නවා...

AR1421_0

මේ ආඛ්‍යානය දිග වැඩියි, පැටලිළි ගොඩයි කියලා කවුරුහරි කියනවා නම් මට ඒකට කරන්න දෙයක් නැහැ. This post also one big vagabonding dream...

මෑතකදී මමත් තව රස්තියාදු මිත්‍රයෙකුත් රස්තියාදු ගමනක යෙදිලා ඉන්නකොට මුණගැහුනා අපි දෙන්නාගේම පරණ මිතුරියක්, කුමාරි කුමාරගම. ජාතික පුස්තකාලය ඉස්සරහාපිටදී. එයත් එයාගේ අළුත්ම පොත, 'උරෙයිට්ටු සාප්පාඩ්' තනියම බෙදා හරින රස්තියාදු ගමනක හිටියේ. ඇය කිවුවා "අපි ඔක්කොම රස්තියාදුකාරයොනේ මචං' කියලා. එතකොට තමයි මට හිතුනේ "ජීවිතේ හරිම රස්තියාදුවක්" කියලා කොහේ හරි ලියලා තියන්න ඕන කියලා...

දැන් මම ඉන්නේ නිදහස් චතුරශ්‍රයට යන පාරේ වටරවුම ගාව. මට දැන් මතක නැහැ එතනට කියන්නේ මොකක්ද කියලා. රස්තියාදු ගහන කෙනෙක්ට නිදහස තියෙනවා මඟතොට ගැන පාරිභාෂික නාම නොදැන ඉන්න, අමතක වෙන්න. මෙතනින් කෙළින්ම ගියොත් නිදහස් චතුරශ්‍රයේ ගල් කුළුණක් යටට වෙලා ඔහේ වාඩිවෙලා අහස දිහා බලාගෙන කල්පනා කරකර ඉඳලා ඇතිවුනහම අග්‍රා එකට ගිහින් දකුණු ඉන්දියන් කෑම වේලක් කන්න පුළුවන්. නැත්නම් වමට හැරිලා ගිහින්, ගොතේ එකට යන්න පුළුවන්.ඕනනම් පොලිසිය ලඟින් ඇතුළට හැරිලා ගිහිල්ලා ලයනල් වෙන්ඩ්ට් එකට යන්නත් පුළුවන්.නැත්නම් ආපහු හැරිලා ගිහින් එතනින් ඔළුව හැරෙන මුල්ම පැත්තට යන්නත් පුළුවන්!

රස්තියාදුවේ අලංකාරයක් තියෙනවා... නැත්නම් අමුතුම 'එකක්' තියෙනවා. ඒ ලෝකය බලන්න, මිනිස්සුන්ට ආදරේ කරන, ආදරේ දැනෙන, ජීවත් වෙන්න සැබෑ වුවමනාවක් තියෙන මිනිස්සුන්ට...

The song of the open road... එන්න, ඔබත් මමත් එකට මෙය පරිවර්තනය කරමු, අපිට දැනෙන විදිහට... "නිදහස් සිතුවිලි, විඩා නොදැනෙන දෙපා... ඔබ ඉදිරියේ වැතිර පැතිර ඇත්තේ ආශ්චර්යමත් ලෝකයක්..."

ඒ මට දැනෙන ලෝකය...

~ හිපියා

Saturday, November 13, 2010

උන්මන්තක කාල යාත්‍රිකයා සහ Butterfly ආචරණය...

"කාලය හරහා ගමන් කරන්න පුළුවන්, කාල තරණ යන්ත්‍රයක් තියෙනවා නම් කොයි තරම් අපූරුද" කියලා මම පුංචි කාලේ ඉඳන් හිතලා තියෙනවා. ,මට හිතුනු තවත් දෙයක් තියෙනවා. කාල තරණය ගැන හීන දැකපු ලෝකේ එකම එක පොඩි එකා මමද? මම හිතන්නේ උත්තරේ "නැහැ". H.G.Wells 1895 අවුරුද්දේ The Time machine ලියන්න හේතුවත් ඔහු මම වගේම කාල තරණය ගැන සිහින දැකීම වෙන්න ඇති.

 
කාලය හරහා ගමන් කරන එකේ තියෙන මේ තරම් හිත් වශීකෘත කරවන ෆැන්ටසි එක මොකක්ද ඇත්තටම? විද්‍යාත්මක කුතුහලය? වෙන්න පුළුවන්. කෙනෙක් අනාගතයට යන්න හිතන්නේ නම් කුතූහලය නිසා වෙන්න පුළුවන්. ඒක වෙනම කතා කරන්න ඕන දෙයක්. ඒත් ඇයි කාල තරණ යන්ත්‍රයකින් අතීතයට යන්න සිහින දකින්නේ? ඒකට මට දෙන්න පුළුවන් එකම උත්තරයයි. අඩු තරමේ අවංකව කතා කළොත් මට කාල තරණ යන්ත්‍රයකින් අතීතයට යන්න ඕන කරන්නේ මේ හේතුව උඩ. ඒ 'අතීතයේ වැරදි නිවැරදි කරන්න'!


තව ටිකක් අවංක වුනොත් මම කතා කරන්නේ ඉතිහාසය පුරා මනුෂ්‍යයා අතින් වුනු වැරදි, කළු පැල්ලම් නෙවෙයි. මගේ ජීවිතයේ මගේ අතින් වෙලා තියෙන වැරදි. ඒක ඉතාම ආත්මාර්ථකාමී අදහසක් කියලා කෙනෙක්ට හිතෙනවා නම් ඒක මම නිවැරදි කරන්න යන්නේ නැහැ. මම කාලය තරණය කරලා අතීතයට ගියොත් මේ මොහොතේ මෙතැන ඉන්න "ආත්මාර්ථකාමී මම" තව දුරටත් ඉන්න පුළුවන් කමක් නැහැනේ... ඒක තමයි කාලතරණයේ තියෙන හිත් වසඟ කරවන ප්‍රමෝදය... ඔබට අනාගතය හැඩගස්වන්න පුළුවන් වීම!


මගේම ෆැන්ටසි අවකාශයේ, කාලතරණ යන්ත්‍රයක නැඟලා අතීතයට ගිහින් සර්ව සම්පූර්ණ "මම" කෙනෙක්ව බිහිකරන එක, වර්තමාන ව්‍යාකූල, අපේක්ෂා භංගත්වයෙන් පිරුණු ලෝකයෙන් මොහොතකට මිදිලා යුතෝපියානු සිහිනයක අතරමං වෙන්න හරියනම නිමිත්තක්!
"වෙලාවකට බයත් හිතෙනවා ඔය විදියට ඔක්කොම වැරදි නිවැරදි කරගෙන එනකොට වර්තමාන 'මම' නැති වේවිද කියලත්"..."මම ගොඩනැඟෙන්නේ අනුභූතින් මත කියලා කිවුවොත් වර්තමාන 'මම' ගොඩනැඟෙන්න පදනම් වුනු නිශ්චිත අනුභූතීන් නැතිවුනු තැන තවදුරටත් 'මම' පවතින්න ඉඩක් නැහැ. ඒක සරලවම තේරුම් ගන්න පුළුවන් Butterfly Effect කියන සංකල්පයට පොඩ්ඩක් හිත යොමු කළොත්. සරල උදාහරණයක්, "ඔබ අතීතයට ගිහින් ඔබ අතින් සමනළයෙක් මැරුනොත්, සහශ්‍රක ගණනාවක් අනාගතේ ඔබට හිතාගන්න වත් බැරි වෙනස්කම් වෙලා තියෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම වෙනස් තාක්ෂණයන්, සම්පූර්ණයෙන්ම වෙනස් සමාජයන්ට අමතරව සම්පූර්ණයෙන්ම වෙනස් චින්තන රටාවන් ඇතිවෙලා තියෙන්න පුළුවන්. මෙතනදී අති දීර්ඝ ක්‍රියාදාමයක එක පුරුකක් වෙන සමනළයා අකාලයේ මියයාම නිසා දේවල් අඩුවෙනවා කියන දේට වඩා දේවල් "වෙනස් වීම" තමයි වෙන්න පුලුවන්. ඒක පලමුවැන්නට වඩා අතිශය භයානක වෙන්න පුළුවන් බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.


දැන් එතකොට වර්තමාන 'මම' ගොඩනැඟෙන්න පදනම් වුනු නිශ්චිත අනුභූතීන් නැතිවුනු තැන තවදුරටත් 'මම' පවතින්න ඉඩක් නැහැ කියන්නේ දැන් කාලතරණයේ යෙදෙන 'මම' ට මොනවා වේවිද? නිශේධ වෙලා යයිද? එතකොට මේ වැල්වටාරම් ලියන මම මෙතන තවදුරටත් පවතින්න ඉඩක් නැද්ද? ඔන්න දැන් ගැලවිල්ලට එනවා තවත් සංකල්පයක්... සමාන්තර විශ්වයන්!


මම හිතනවා Fringe Scienceඑක්ක මේ පැටළුනා හොඳටම ඇති කියලා!  බලනකොට කාලතරණ යන්ත්‍රයක නැඟලා සර්ව සම්පූර්ණ අනාගතයක හීනයක් වෙනුවෙන් අසම්පූර්ණ අතීතයකට ගමන් කරන එක, එතකොට කාලතරණ සංකල්පය එක්ක බැඳුනු දහසක් ඔළුව තෝන්තු වෙන විසංවාදයන්, මතවාදයන් එක්ක ගැටෙනවාට වඩා හැම අතින්ම ලේසියි "උන්මන්තක කාලතරණ ෆැන්ටසියක" මොහොතකට අතරමං වෙන එක.

Time_Travelling_2_by_Allura66
මේකට Psychedelic experience එකක් කියලා කවුරුහරි කිවුවොත් මම මොහොතකටවත් අමනාප වෙන්නේ නැහැ. ඒ වගේම එයින් පැහැදිලි කිරීමක් ලැබෙනවා Psychedelic experience,  වලට නැත්නම් හරියටම කිවුවොත් LSD, weed වගේ Psychedelic Drugs වලට මුල් කාලයේ හිපියන් මේ තරම් ආශක්ත වුනේ ඇයි කියලා.


මේ ලියලා තියෙන වැල්වටාරම් ටික සාහිත්‍ය නිර්මාණයක් විදියට නම් තුට්ටුවක් වටින්නේ නැහැ. ඒත් සමහර වෙලාවට කවුරුහරි නන්නාඳුනන කවියෙක්, ලේඛකයෙක් කිසිම තේරුමක් නැතුව ලියන පදවැල් කීපයක් ඇතුළේ සියවස් ගණනාවකට පස්සේ අපූර්ව තේරුම් පෙනෙන්න පටන්ගන්න හොඳටම ඉඩ තියෙනවා!


විප්ලවයකට අත්‍යාවශ්‍ය සාධකය උණ්ඩ පිටවෙන තුවක්කුවක් නෙවෙයි, තියුණු පරිකල්පනයක්... මේ සටහන තමන්ගේ පරිකල්පන ශක්තියේ ගැඹුර වටහාගෙන සිටින සහෝදර හැම වෙනුවෙන්...

~ හිපියා

Wednesday, August 11, 2010

මුහුදු කින්නර ගී හඬ...


රැළි බිඳෙන මුහුදු වෙරළකට හඳ එළිය වැටිලා තියෙනකොට හරි ලස්සනයි, හරි රොමැන්ටික් කියලා මම පොඩි කාලෙත් කථා පොතක කියවලා තිබුනා. හැබැයි එදා දවස වෙනකල්ම මම දැනගෙන හිටියේ නැහැ ඒ පොත් වල විස්තර කරලා තිබුනු විදියේ මුහුදු වෙරළක් ඒ තරමටම ලස්සනයි කියලා... ඔව්.. එදාත් ලස්සනට හඳ පායලා, හඳ එළිය වෙරළ පුරා අනේක රටා මවමින් තිබුනේ... වෙරළ පේන තෙක් මානයටම හිටියේ මාත් ඈත් විතරයි. ඈ, ඈතින් ඈත රිදීපාටට දිලිසෙන මුහුදු තරංග දිහා බලාගෙන ඉන්නකොට මම ඇගේ කණට මුමුණලා කිවුවා අවුරුදු ගණනාවකට කලින් මම මුහුදු වෙරළක තනි වෙලා ඉන්නකොට ලියපු කවි කීපයක්......




නිල්වන් රළ තරඟ මතින්
සුදු පැහැ පෙණ කැටි බිඳේ
වෙරල සිපින්නට පැනවිත්
නැවතත් දියඹට ඇදේ....

බැසයන මළ හිරු රස් වැද
නෙකවන් සිතුවම් මැවේ
ඒ සිතුවම් මැද තී රුව
ඇඳී තිබෙනු සේ පෙනේ....

ඈත දියඹ දෙසට ඇදෙන
ඔරුවක තනිවී මෙමා
ලිහිණි ගීත අසා සිටිමි
තිගෙ රුව සිහි කරමිනා....

තිගෙ සුවඳින් පිරුණු සුසුම්
සුලඟින් මා වෙත ඇදේ
ඒ විඳිනට නොහැකියි මට
ලුණු සුවඳින් සිත පිරේ....

තිගේ සිතේ මට ඇති පෙම
ගීතයකට අමුණලා...
එවපන් සුළඟේ පා කර
ඉන්නම් ඔරුවට වෙලා...

දනිමි දනිමි තී සිත ගැන
හැපී බිඳෙන රළ වැනී
එහෙත් තිගෙන් සිත නොමිදෙයි
තිට බැඳි පෙම නැත මැකී....

ජීවන රල තරඟ මතින්
සුන්බුන් වුවහොත් මෙමා
රැකගනු මැන මගේ මතක
තී සිත මුල්ලක මනා......

වෙරළේ තී දකිනු රිසින්
නෙත් සිත් දෙක වෙහෙසමී
විහිළු කරයි කිඳුරන් මට
තී ගැන මුමුණනු ඇසී......

පෙරළී එන රළ අතරින්
එන්නෙමි මම වහ වහා
සිටිනු මැනව මා සොඳුරිය
දියඹ දෙසට නෙත් යොමා......


මුහුදු වෙරළක ඉන්නකොට දැනෙන මුහුදු රළත්, මුහුදු හුළඟත් එක්ක මිශ්‍ර වුනු ඒ අපූරු හැගීමට වශීකෘත වුනු එකම කෙනා මම වෙන්න බැහැ. පේන තෙක් මානයක කවුරුවත් නැති හඳ එලියෙන් නැහැවුනු මුහුදු වෙරළක... ලුණු මිශ්‍ර හුළඟ විඳිමින්, රල නැගෙන හඬ අහමින් ඔරු කඳක් උඩට වෙලා ගිටාරය වයමින් නිශ්චලත්වයේ සත්සර රටා මවන එක සුරංගනා කථාවක් තරමටම ලස්සනයි... මුහුදු හුළඟින් දඟ කරන කෙහෙ රැලි රඳවා ගන්නට උත්සාහ කරමින්, ප්‍රේමනීය දෑසින් බලාගෙන ඒ සුරංගනා කථාව බෙදා ගන්න කෙනෙක් ඉන්නවනම් ඒ කථාව තවත් ලස්සනයි...  ඒ නැතත් හුළඟට මුසු වුනු ඒ ගී හඬට ඇහුම්කන් දෙන මිනිස්සු හිතේ බර පොදි මොහොතකට පැත්තකින් තියලා හිත සැහැල්ලුවෙන් නිදා ගනීවි. මිනිස්සු කියයි ඒ මුහුදු කින්නරයන්ගේ ගී හඬ කියලා... හිපියෙක් හැමතිස්සේම ආශා කරන දේවල් දෙකක් තමයි හුදකලාවේ රැඳී තියෙන සාමය සහ හිත වසඟ කරන සුරංගනා කථාවක්...!


මේ කවි වලට අවුරුදු දහයකටත් වඩා වයස වෙලා...එදාත් අදත් මුහුදු වෙරළේ වෙනසක් නැහැ.. ඒ හඳ එළියමයි අදත් නලියන රල පෙළ අතරින් රිදී පාට රටා මවන්නේ... මේ කවි ලියනකොටත් මම හිටියේ මුහුදු වෙරළේ තනියම... අද ඒ කවි මම මතක් කරන්නෙත් මුහුදු වෙරළේ තනියම... 


Thursday, August 5, 2010

ඇයි වෙරෝනිකාට ජීවිතේ එපා වුනේ... වෙරෝනිකා... දැන් මටත් පිස්සු!

පිස්සන් කොටු... ඒ සාමාන්‍ය ව්‍යවහාර භාෂාවෙන්... හරියටම කියනවා නම් මානසික ආරෝග්‍ය ශාලා... මොකටද ඒවා තියෙන්නේ? ලේසියෙන්ම කියන්න පුළුවන් පිස්සන්ව දාන්න කියලා... (අපි මේ මොහොතේ පිස්සාව නිර්වචනය නොකර ඉමු) ඇත්තටම් මානසික ආරෝග්‍ය ශාලා තියෙන්නේ පිස්සන්ව ගාල් කරලා තියන්නද? දැන් එහෙම පිස්සන්ව කොටු කරලා තියෙන උන්මත්තකාගාර (asylum) නැහැ.. පිස්සොත් නැහැ. දැන් ඉන්නේ මානසික රෝගීන්, තියෙන්නේ මානසික ආරෝග්‍ය ශාලා... ඔවුන්ව සුවපත් කරන්න. අඩු තරමේ මිනිස්සු Lunatic කියන වචනේ ගැන එහෙම කථා කරන එකත් සමාජ විපර්යාසයක් කියන්න පුළුවන්.

මට එකවතාවකට වඩා අත්දැකීම් තියෙනවා මිනිස්සු "පිස්සෙක්" විදියට මාව හඳුන්වලා. ඒත් ඒ හැඳින්වීම වෙනස්. කවුරුවත් මාව මානසික ආරෝග්‍ය ශාලාවකට යවන්න ඕන කියලා හිතුවේ නැතත් මට සාමාන්‍ය මිනිස්සුන්ට වඩා පිස්සු කියලා නම් කියලා තියෙනවා, මට නෑහෙන්න ඒ ගැන සඳහන් කරන්න තරම් සමහර අය කරුණාවන්ත වුනා. කවුද කියන්නේ මිනිස්සු කුරිරුයි කියලා...!

මම, මේ සමාජයෙන් වෙන්කරලා තියෙන පිස්සන් සහ සමාජගත පිස්සන් ගැන පුදුම වෙන්න පටන් ගත්ත කාලයේම තමයි වෙරෝනිකා ඕනවට වැඩියෙන් නිදිපෙති අරගෙන දිවි නසා ගන්න තීරණය කරන්නේ. වෙරෝනිකාට තිබුනු ප්‍රශ්නය සඟරාවක "Where is Slovenia?" කියලා ලිපියක් පළවීම කියලා ඇය තමන්ගේ ක්‍රියාව සාධාරණීකරණය කළත් ඇත්ත හේතුව අපි හැමෝම දැනගත්තා තප්පර කෑල්ලක් ගතවෙන්නත් කලින්. වෙරෝනිකාට ඔක්කොම එපා වෙලා තිබුනේ. හරියටම කියනවා නම් ජීවත් වෙන එක මහාම මහා කම්මැලි වැඩක් වෙලා තිබුනේ. මට හරියටම වෙරෝනිකා තේරුම් ගන්න පුළුවන් වුනා මටත් ජීවිතේ කම්මැලි කම දැනිලා, ජීවත් වුනා ඇති කියලා හිතුනු අවස්ථා තිබුනු නිසා...කොහොම වුනත් මම හොයාගෙන තිබුනා ජීවත් වෙන එක කම්මැලි නොවෙන්න දෙයක්... හැමදාම උදේට මතක් කරගත්තොත් අද හවසට මැරෙන්නත් පුළුවන් කියලා, ඔන්න එක පාරටම ජීවිතේ හැංගිලා තිබුනු වර්ණ පේන්න ගන්නවා. එකපාරටම ආශ්චර්‍යයකින් වගේ ජීවිතේ වටිනා දෙයක් කියලා හිතෙන්න ගන්නවා. මැරෙන්නෙ කලින් ජීවිතේ කරන්න තියෙන හැමදේම කරන්න ඕන කියන හැඟීම නිසා අපූරු වින්දනයක් ජීවිතේ පුරාම ගලායන්න පටන් ගන්නවා... හැබැයි මේ අදහස එක පාරටම පිළිගන්න ඉක්මන් වෙන්න එපා. අමතකද... මිනිස්සු මට පිස්සු කියලත් කියනවා. සමහර විට පාවුලෝ කොයියෝ ටත් මිනිස්සු එහෙම කියන්න ඇති...

දවසක් මට පාරෙදි මුණගැහුනු මනුස්සයෙක් අපූරු කථාවක් කිවුවා... 'රටේ ඉන්න පිස්සෝ ඔක්කොම එකතැනකට ගාල් කරලා කන්න බොන්න දෙන්න ගියොත් රටේ ආර්ථිකයත් කඩාවැටෙන්න ගනිවි, රටක් ඉතිරි වෙන එකකුත් නැහැ. ඒ නිසා ලේසිම ක්‍රමය තමයි හොඳ සිහියෙන් ඉන්න අයව කොටු කරලා, වෙන් කරලා පිස්සෝ ටික නිදහස් කරලා තියන එක.  ප්‍රශ්නේ ඉවරයිනේ. කොටු කරලා ඉන්න අයට පිස්සෝ කිවුවත්, මානසික රෝගීන් කිවුවත් දෙකම කිවුවත් වෙනසක් වෙන්නේ නැහැනේ."

මතක තියාගන්න, සම්මතය හැමවිටම සාපේක්ෂයි. මට මේ කථාව කිවුවෙත් සමාජ සම්මතයට අනුව පිස්සෙක්... හරියටම කිවුවොත් මානසික ආරෝග්‍ය ශාලාවකින් පැනලා ඇවිත් ගමේ යන කෙනෙක්... එයා කිවුවෙත් "මට තාමත් පිස්සු මහත්තයෝ" කියලා... සමහරවිට මේ කතාව ලියන්නේත් සමාජ සම්මත ප්‍රමිතීන්ට අනුව පිස්සෙක්... කෝකත් එකයි.. අද හවස ගෙදර යන්න කලින් මම මැරෙන්න සම්භාවිතාවක් තියෙන නිසා ජීවිතේ පුදුමාකාර ලස්සනයි...!!!



Sunday, May 2, 2010

කවියක් සහ අපේ ලොකු මාමා...

පුන් සඳේ ඔහොම නොකරන් හැමදාම...

රන් බඳේ කිතුල් ගෝමර ඇති සේම...

මන් ලඳේ මෙදුකා පවසන්නද කෝම...

යන් ලඳේ රටට නොකියා රහසේම...

මේ කවිය මට මුලින්ම ඇහුනේ හඳ එළියෙන් වැහුනු බාගෙට ගොයම් කපපු කුඹුරක පිදුරු ගොඩකට හේත්තු වෙලා නින්දත් නොනින්දත් අතරේ අහස දිහා බලාගෙන ඉන්නකොට... මේ කවිය කිවුවේ කුඹුරේ පැලට වෙලා හිටපු අපේ ලොකු මාමා... තාමත් මට කුඹුරු යාය විනිවිදිමින් උස් පහත් වෙවී නින්නාද වුනු ඒ ශෝකී කවිපද ඇහෙනවා වගේ... ඔව්, ලොකු මාමාගේ කටහඬේ තැවරිලා තිබුනේ ශෝකයක්... කවිය කිවුවේ අපේම ලොකු මාමා වුනත් ලොකු මාමා හිටියේ මහගම සේකරයන්ගේ තුංමංහංදිය පොතේ... ඒ අපේම ලොකු මාමා...

මට හරිම ආසාවක් තිබුනා, තාමත් තියෙනවා.. මේ කවියේ ආදරයට ලක්වුනු ගමේ කෙල්ල කොයි වගේ වෙන්න ඇත්ද කියලා බලන්න ... මට නිතරම දැනිලා තියෙනවා, මේ කවිපද මුමුණන හැමවෙලාවකම, මේ කවිපද අතරේ හැංගිලා ඇත්තේ Tragedy end එකක් කියලා... සමහරවිට මේ කවියා මේ තරම් ආදරේ කරපු දැරිවි පිට ගමකට දීග යන්න ඇති...කවියා කුඹුරේ පැලට වෙලා ඈ ගැන හිත හිත මේ සීපදය කිය කියා ඉඳලා මැරිලා යන්න ඇති... නැත්නම් මොකක්ද මේ කවිපද අතරේ හැංගිලා තියෙන ශෝකය?

තුංමංහංදිය පොතේ සිරිසේනගේ ලොකු මාමා සහ අපේ ලොකු මාමා බොහොම සමානයි... දෙන්නම ලස්සන හිත් තිබුනු අහිංසක, සුන්දර මිනිස්සු... අපේ ලොකු මාමා නියම ජේ වී පී කාරයෙක්... ... ඒ වගේම හැමෝම කියන විදියට විශිෂ්ට මොළයක් තිබුනු අපූරු මිනිහෙක් ... වෙනස් ලෝකයක් ගැන හීන දැකපු, ඒ හීනවලට අඩිතාලම් දමපු පුංචි කොළු ගැටයෙක්ගේ ලෝකයට ලොකු මාමා ලොකු හයියක් වුනා.

ඒ ලොකු මාමා අද නැතත්, මට අද ලොකු මාමාව මතක් වුනා. ඒ කවි පදත් ආයෙමත් ඇහෙන්න පටන් ගත්තා... සමහරවිට වෙල් එළිය දිගේ උස් පහත් වෙමින් ඇහුනු ඒ ශෝකාන්විත සීපද රාවය මහගමසේකරයන්ගේ භාවයන්ට කථා කරන්න ඇති... ඒ ඇහෙන්නේ අපේ ලොකු මාමාගේ කටහඬ...


පුන් සඳේ ඔහොම නොකරන් හැමදාම... යන් ලඳේ රටට නොකියා රහසේම...