Sunday, August 26, 2012
Jedi Philosophy: ස්ටාර් වෝර්ස් විසංයෝජනය
Friday, June 15, 2012
Amor Fati
Saturday, March 17, 2012
“Could you be loved ... and be loved…”
Saturday, February 25, 2012
අන්ධකාරයේ කුමාරයා: Another saga of the caped crusader…
Tuesday, January 10, 2012
වැහි වැටුනු හවසක....
"Listen to the reed, how it complains
and tells a tale of separation pains.
"Ever since I was cut from the reed bed, my lament
has caused man and woman to moan.
I want a bosom torn my separation,
to explain the pain of longing.
Everyone who is far from his source
longs for the time of being united with it once more."
~ Jalal Al-Din Al-Rumi, "spiritual couplets"
තුති: ලිෂාන්, හෂිත අය්යා, සචී අක්කා
Saturday, May 14, 2011
මුහුදු කොල්ලකාරයා සහ කැනරි කිරිල්ලිය
මුහුදු හැතැම්ම දස දහස් ගණනාවක් දුර ගෙවාගෙන
රළ මතින් නාඳුනන වෙරළකට පාවී ආ මේ බෝතලය
තුළ ඇති කතාව කියවන කවුරුන් හෝ
නාඳුනන්නෙකු වෙත.......
කාලයක් තිස්සේ මිනිස්සු හිතුවා ආක්ටික් අහසේ අනේක වර්ණ රටා මවන ඒ එලි , දෙවියන්ගේ විශ්මය ජනක ක්‍රියාවක ප්‍රතිඵල කියලා..... aurora borealis නැතිනම් ඌශාලෝක කියලා සමහර මිනිස්සු ඒවා හැඳින්වුවා. කොහොම වුනත් ආක්ටික් අහසේ මේ වෛවර්ණ රටා දකින හැම මොහොතකම , මේ මුහුදටම කැපවුනු , වෘකයෙක්ගේ හැඩහුරුකම් තියෙන පරණ කුඹ ගස් දෙකේ රුවල් නැවක කපිතාන් වුනු පලපුරුදු මුහුදු කොල්ලකාරයාට හිතුනේ එකම දෙයක්... 'ලෝකේ හරිම විස්මයජනකයි'
ඔහුට නමක් තිබුනේ නෑ. දන්න කියන හැමදෙනාම ඔහුට කතා කලේ 'කපිතාන්' කියලා. නොදන්න හැම දෙනාම ඔහුව හඳුනාගෙන තිබුනේ කැරිබියන් මුහුදේ භීෂණය කියලා. ඒත් ඔහුට තමන් ගැන කියන්න ඉතිහාසයක් වත්,හරි හමන් නමක්වත් නොතිබුනත් තමන් ගැන නිර්වචනයක් තිබුනා. 'අනනුකම්පීය නිර්දය මුහුදු කොල්ලකාරයෙක්'!
කපිතාන් හැමදාමත් දැනගෙන හිටියා තමන්ට ජීවත් වෙන්න ලොකු කාලයක් නැති බව. මැරෙන එක කවදාහරි වෙන්න ඕනෙ. එකම වෙනස මම අනික් මිනිස්සුන්ට කලින් මැරෙන එක, කපිතාන් එහෙම හිතපු වෙලාවල් තිබුනා. සටනකදී කඩු පහරකින් , බීමත් සේලරුවෙක්ගේ කිණිසි පහරකින්, , නැවේ තට්‍ටුවෙන් ඇද වැටිලා නැතිනම් පපුව පසාරු කරගෙන යන වෙඩි පහරකින් ... කාටද කියන්න පුලුවන්.. ඒත් කපිතාන් එක් දෙයක් දැනගෙන හිටියා නියතවම... කපිතාන් ආවේත් තනිවම , කපිතාන් යන්නේත් තනිවම. නැවේ තට්‍ටුවට වෙලා ඈත මුහුද දිහා බලාගෙන ඉන්න කපිතාන් දැනගෙන හිටියා කවදා හෝ තමන්ගේ සයනය වෙන්නේ ඉමක් නැති මුහුදු පතුල කියලා. Davy Jones' locker... ඒ සිතුවිල්ලම කපිතාන්ට සතුට ගෙනාවා. ඒ මේ කෲර මුහුදු කොල්ලකාරයා , කපටි වෘකයා ආදරය ගැන නොදැන හිටියත්, ආදරය කියා දෙයක් ගැන විස්වාස නොකරත් අවිඥානිකව ඔහු මහ මුහුදට ආදරය කල නිසා, අසීමිතව . මහ මුහුද කපිතාන්ගේ ප්‍රියාවත් මවත් වුනා...
එක් දවසක උදෑසනින්ම නැවේ තට්‍ටුවට විත් කුඹගස් වලට ඉහලින් අහස දිහා බලාගෙන ඉන්න මුහුදු වෘකයාට මහාම තනිකමක් දැනුනා. ජීවිතේ පලමුවෙනි වතාවට කපිතාන්ට ආයෙමත් තමන් ගතකල ජීවිතේ ගැන ආපස්සට හැරිලා බලන්න උවමනා වුනා. මේ අනනුකම්පීය මුහුදු කොල්ලකාරයාට දැනෙන්නට වුනා , ජීවත් වුනා ඇති කියලා.
මේ මොහොතේම ගොඩබිම දෙසින් පියඹාගෙන ආවා , නිල්වන් පියාපත් තියෙන, සුන්දර සටහන් තියෙන, කැනරි කිරිල්ලියක්, ලාලිත්‍යවත් පියාසැරියකින්... කැනරි කිරිල්ලිය පියඹාගෙන ඇවිත් නැව් තට්‍ටුවේ ගරාදි වැට මත වැහුවා. කෙලින්ම කපිතාන්ගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා.
අඩුවෙන්ම කියනවනම් කපිතාන් පුදුම වුනා. කැරිබියන් මුහුදු තීරයේ කිසිම කෙනෙක් , මේ ලේ පිපාසිත මුහුදු වෘකයා ඉදිරියේ නැඟී සිටින්නට තරම්, මේ අනනුකම්පීය මුහුදුකොල්ලකාරයා දිහා කෙලින් බලන්න තරම් එඩිතර වුනේ නැහැ. ඒත් මේ අහංකාර කැනරි කිරිල්ලිය , මුහුදු කොල්ලකාරයාගේ ඇස් දෙක දිහාම බලාගෙන හිටියා. මුහුදු වෘකයා නොදැන හිටියත් ලෝකේ ඈත කොනක හිටපු ලේඛකයෙක් ඒ වෙනකොටත් ලියලා තිබුනා "ඇස් කථා කරනවා" කියලා...
එතනින් එහාට සිදුවුන දේවල් ගැන මිනිස්සු එක එක විදියේ කතා කියනවා. ඒත් කවුරුවත් හරියටම සිදුවුනේ මොකක්ද කියලා දැනගෙන හිටියේ නැහැ. තවදුරටත් කැරිබියන් මුහුදේ භීෂනය , දරුණු වෘකයා, අනනුකම්පීය මුහුදු කොල්ලකාරයා , කපිතාන්... ඔහුගේ කුඹ ගස් දෙකේ නෞකාවත් එක්ක රළ අතරින් සැරිසරනවා දකින්න ලැබුනේ නැහැ. සදහටම ඔහු කැරිබියන් මුහුදෙන් අතුරුදන් වුනා....
මෙතනින් එහාට කතාව අවසානයි. ඒත් කැරිබියන් මුහුදේ නාවිකයන් අතර කටින් කර පැවතුනු මිත්‍යා කථාවක් සමහරවිට මෙතනට සම්බන්ධ ඇති. . මිත්‍යා කතා කියන්නේ යථාර්තයේ මායාවී, සිහින කොටස්...
කැරිබියන් මුහුදේ එක් හුදෙකලා දූපතක් අසලට කලාතුරකින් නැව් යනවා. ඒ , මුහුදු මාර්ගයේ තියන ගල්පර මග හරින්න. ඒත් කිසිම කෙනෙක් දූපතට යන්නට තරම් එඩිතර වෙන්නේ නැහැ. ඒ දූපත වටාම නැව් වලට මාරක අනතුරු ලඟා කරන ගල්පර ගහන නිසා. ඒත් ඔබ යාත්‍රා කරන නැව දූපත අසලින් යනවා නම් සහ ඔබ වාසනාවන්ත නම් ඔබට දකින්න පුලුවන් වේවි හුදෙකලා මුහුදු වෙරළේ ගලින් කල ප්‍රතිමාවක්.
තවත් හෝදිසියෙන් බැලුවොත් ඔබට පෙනේවි , ඒ ප්‍රතිමාව, වැරහැලි වුනු ඇඳුම් ආයිත්තමින් සැරසුනු, මුහුදු කොල්ලකාරයෙකුගේ විසල් හිස්වැස්මකින් සැරසුනු, හිණෙන් කෙටි කඩුවක් හා පිස්තෝලයක් එල්වුනු, අවුල් වුනු දිගු කෙස් කැරළිත් දිගු රවුලත් මඳ සුළගට ලෙළ දෙන මිනිස් රූපයක් බව... ඒ ප්‍රතිමාව, තමන්ගේ ජීවිතය වැනි මහා සමුද්‍රය දෙස ශෝකයෙන් බලා සිටිනා මුහුදු කොල්ලකාරයෙකුගේ හැඩතල දරනා බව... ඔහුගේ නොසෙල්වෙන දසරුව මත වාඩි වී නිසංසලේ හොටයෙන් පිහාටු සකස් කරන්නේ සුන්දර කැනරි කිරිල්ලියක්...මුහුදු කොල්ලකාර ප්‍රතිමාවේ තොල් මත පෙනෙන නොපෙනෙන මඳහසක්....
මිනිසුන් කියනවා ඒ කැරිබියානු මුහුදේ භීෂණයත් ,ඔහුගේ ජීවිතයේ ප්‍රථම ප්‍රේමයත් කියලා..... කතාව මෙතනින් අවසානයි...
~ නාඳුනන කතා කියන්නෙක්
Myth is the hidden part of every story, the buried part, the region that is still unexplored because there are as yet no words to enable us to get there. Myth is nourished by silence as well as by words.
~ Italo Calvino
Sunday, December 12, 2010
ජීවිතේ හරිම රස්තියාදුවක්
ආයෙමත් රස්තියාදු කතාවට ආවොත්, "ඔව්, මම රස්තියාදු ගහලා තියෙනවා හොඳට". ඉස්කෝලේ යන කාලේ නම් මරදාන වටේ තිබුනු පොත් කඩවල, මෑත අතීතයේ නම් හැමතැනම.
රස්තියාදු ගහන එක නරකයි කියලා ඉස්කෝලේ කාලේ කියලා දීලා තිබුනා මට මතකයි. ඇත්තටම රස්තියාදු ගහන එක නරකද? ඒ ප්‍රශ්නය මට කොයිම මොහොතකවත්-දැන් ඇරෙන්න- මතක් වෙලා නැහැ.මං හිතන්නේ ඉස්කෝලෙදී හරියටම කිවුවේ 'රස්තියාදුකාරයෙක්' වෙන්න එපා කියලා. දැන් ඊලඟ නිර්වචනය, රස්තියාදුකාරයා... ඒක මම දන්නේ නැහැ. ඒ නිර්වචනය ඔබට අයිති වැඩක්.
මම දැන් රස්තියාදු ගහන්නේ කොලඹ පාරවල් දිගේ විතරක් නෙවෙයි. ආර්ට් ගැලරි අස්සේ, පොත් කඩවල් අස්සේ, ජාතික පුස්තකාලයේ, ෆිල්ම් තියෙටර් අස්සේ, කෝපි කඩ අස්සේ- කෝපි කඩ කිවුවට අනෙක් අය කියන්නේ ලස්සනට බරකරලා coffee lounges කියලා... එතකොට මුහුදු වෙරළ, ගෝල්ෆේස් එකේ ඉස්සො වඩේ කරත්ත, Goethe. Alliance France, Russian cultural center,මාර්ගරිටා බ්ලූ, Budz, Barefoot, Burger king, Club parties, beach parties වගේ සංස්කෘතික, සමාජයීය වශයෙන් අහසට පොළව වගේ වෙන/ අතිශය සර්වසම වෙන දහසකුත් එකක් තැන් මගේ රස්තියාදු අධිරාජ්‍යයේ දේශසීමාවන් ඇතුළේ තියෙනවා. ඔව්, මම beach party එකකට ගියත් එතන තියෙන්නේ එක්තරා විදියක රස්තියාදුවක්. ඒකේ පුදුමයකුත් නැහැ. මම හිපියෙක්, හිපියෙක් රස්තියාදුව නරකයි කියලා කියන්නේ නැහැ...
මම ඉස්කෝලේ යනකොට Rowing කරන කාලේ අනන්තවත් හබල් දෙකේ තනි ඔරුවකට වෙලා, බේරේ වැවේ Rowing Club එකට අයිති කොටසේ ඔහේ පාවි පාවි රස්තියාදු වෙලා තියෙනවා. එතකොට මට පෙනිලා තියෙනවා මාලිගා වගේ හෝටල් එක පැත්තකත්, පොඩි වුන් ගේ දොරකඩ වාඩිවෙලා කක්කා කරන මුඩුක්කු පැල්පත් බේරේ වැවේ අනෙක් පැත්තේත් තියෙනවා. රස්තියාදුවකට දේශපාලන මතවාදයන් බිහිකරන්න බැරිත් නැහැ.
මම කොහේ හරි කියෙව්වා, රස්තියාදුවෙන් දාර්ශනිකයෝ බිහිවෙනවා කියලා... ඒක දාර්ශනිකයෙකුගෙන් අහලා බලන්න.
රස්තියාදු ගහනවා කියන්නේ කාලය නාස්ති කරනවා කියන එක නම් මම ඒ කතාවට එකඟ වෙන්නේ නැහැ.මොකද මට නම් මගේ රස්තියාදු දේශාටන වලදී නාස්ති කරන්න වෙලාවක් තිබුනේ නැහැ. ලෝකේ කොයි තරම් ලොකුද? කොයි තරම් නම් දේවල් බලන්න තියෙනවද? කොයි තරම් මිනිස්සුන්ව මුණගැහෙන්න තියෙනවද? මේ හැමදේම මැරෙන්න කලින් කරන්නත් ඕන. අපි ඔක්කොම මැරෙන මිනිස්සු...
මගේ ප්‍රියතම හීනයක් තමයි අත්‍යාවශ්‍ය ඇඳුම් පැළඳුම්, තවත් අත්‍යාවශ්‍ය දේවල් backpack එකකට අහුරගෙන, කැමරාවක් කරේ එල්ලගෙන ඔහේ රස්තියාදු වෙන එක. ලංකාව පුරා විතරක් නෙවෙයි, ලෝකේ පුරාම...ඉන්දියාවේ වරණාසි වල, ඌටි කඳුකරයේ, කජුරාවෝ වල, රාජස්ථානයේ වර්ණ අතරේ... ස්පාඤ්ඤයේ අන්දලුසියානු කඳුබිම් වල... රොමානි කූඩාරම් අතරේ... කාම්බෝජයේ අන්ග්කෝර් වල... ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවලින් මායිම් වන පිටිසර ප්‍රංශ ගම්මාන වල... මගේ හීන විසල් කියලා මම දන්නවා.
backpackers උප සංස්කෘතිය බිහිවෙන්නේ හිපි ව්‍යාපාරයට ගොඩක් පස්සේ. ඒත් මතවාදමය සහ ආකෘතිමය වෙනස්කම් අත ඇරලා බැලුවොත්, ලෝකය දකින්න තියෙන, සංචාරය කරන්න තියෙන හිපීන්ගේ නොතිත් ආශාව backpackersලාත් බෙදාහදා ගන්නවා...
මේ ආඛ්‍යානය දිග වැඩියි, පැටලිළි ගොඩයි කියලා කවුරුහරි කියනවා නම් මට ඒකට කරන්න දෙයක් නැහැ. This post also one big vagabonding dream...
මෑතකදී මමත් තව රස්තියාදු මිත්‍රයෙකුත් රස්තියාදු ගමනක යෙදිලා ඉන්නකොට මුණගැහුනා අපි දෙන්නාගේම පරණ මිතුරියක්, කුමාරි කුමාරගම. ජාතික පුස්තකාලය ඉස්සරහාපිටදී. එයත් එයාගේ අළුත්ම පොත, 'උරෙයිට්ටු සාප්පාඩ්' තනියම බෙදා හරින රස්තියාදු ගමනක හිටියේ. ඇය කිවුවා "අපි ඔක්කොම රස්තියාදුකාරයොනේ මචං' කියලා. එතකොට තමයි මට හිතුනේ "ජීවිතේ හරිම රස්තියාදුවක්" කියලා කොහේ හරි ලියලා තියන්න ඕන කියලා...
දැන් මම ඉන්නේ නිදහස් චතුරශ්‍රයට යන පාරේ වටරවුම ගාව. මට දැන් මතක නැහැ එතනට කියන්නේ මොකක්ද කියලා. රස්තියාදු ගහන කෙනෙක්ට නිදහස තියෙනවා මඟතොට ගැන පාරිභාෂික නාම නොදැන ඉන්න, අමතක වෙන්න. මෙතනින් කෙළින්ම ගියොත් නිදහස් චතුරශ්‍රයේ ගල් කුළුණක් යටට වෙලා ඔහේ වාඩිවෙලා අහස දිහා බලාගෙන කල්පනා කරකර ඉඳලා ඇතිවුනහම අග්‍රා එකට ගිහින් දකුණු ඉන්දියන් කෑම වේලක් කන්න පුළුවන්. නැත්නම් වමට හැරිලා ගිහින්, ගොතේ එකට යන්න පුළුවන්.ඕනනම් පොලිසිය ලඟින් ඇතුළට හැරිලා ගිහිල්ලා ලයනල් වෙන්ඩ්ට් එකට යන්නත් පුළුවන්.නැත්නම් ආපහු හැරිලා ගිහින් එතනින් ඔළුව හැරෙන මුල්ම පැත්තට යන්නත් පුළුවන්!
රස්තියාදුවේ අලංකාරයක් තියෙනවා... නැත්නම් අමුතුම 'එකක්' තියෙනවා. ඒ ලෝකය බලන්න, මිනිස්සුන්ට ආදරේ කරන, ආදරේ දැනෙන, ජීවත් වෙන්න සැබෑ වුවමනාවක් තියෙන මිනිස්සුන්ට...
The song of the open road... එන්න, ඔබත් මමත් එකට මෙය පරිවර්තනය කරමු, අපිට දැනෙන විදිහට... "නිදහස් සිතුවිලි, විඩා නොදැනෙන දෙපා... ඔබ ඉදිරියේ වැතිර පැතිර ඇත්තේ ආශ්චර්යමත් ලෝකයක්..."
ඒ මට දැනෙන ලෝකය...
~ හිපියා
Saturday, November 13, 2010
උන්මන්තක කාල යාත්‍රිකයා සහ Butterfly ආචරණය...
"කාලය හරහා ගමන් කරන්න පුළුවන්, කාල තරණ යන්ත්‍රයක් තියෙනවා නම් කොයි තරම් අපූරුද" කියලා මම පුංචි කාලේ ඉඳන් හිතලා තියෙනවා. ,මට හිතුනු තවත් දෙයක් තියෙනවා. කාල තරණය ගැන හීන දැකපු ලෝකේ එකම එක පොඩි එකා මමද? මම හිතන්නේ උත්තරේ "නැහැ". H.G.Wells 1895 අවුරුද්දේ The Time machine ලියන්න හේතුවත් ඔහු මම වගේම කාල තරණය ගැන සිහින දැකීම වෙන්න ඇති.
කාලය හරහා ගමන් කරන එකේ තියෙන මේ තරම් හිත් වශීකෘත කරවන ෆැන්ටසි එක මොකක්ද ඇත්තටම? විද්‍යාත්මක කුතුහලය? වෙන්න පුළුවන්. කෙනෙක් අනාගතයට යන්න හිතන්නේ නම් කුතූහලය නිසා වෙන්න පුළුවන්. ඒක වෙනම කතා කරන්න ඕන දෙයක්. ඒත් ඇයි කාල තරණ යන්ත්‍රයකින් අතීතයට යන්න සිහින දකින්නේ? ඒකට මට දෙන්න පුළුවන් එකම උත්තරයයි. අඩු තරමේ අවංකව කතා කළොත් මට කාල තරණ යන්ත්‍රයකින් අතීතයට යන්න ඕන කරන්නේ මේ හේතුව උඩ. ඒ 'අතීතයේ වැරදි නිවැරදි කරන්න'!
තව ටිකක් අවංක වුනොත් මම කතා කරන්නේ ඉතිහාසය පුරා මනුෂ්‍යයා අතින් වුනු වැරදි, කළු පැල්ලම් නෙවෙයි. මගේ ජීවිතයේ මගේ අතින් වෙලා තියෙන වැරදි. ඒක ඉතාම ආත්මාර්ථකාමී අදහසක් කියලා කෙනෙක්ට හිතෙනවා නම් ඒක මම නිවැරදි කරන්න යන්නේ නැහැ. මම කාලය තරණය කරලා අතීතයට ගියොත් මේ මොහොතේ මෙතැන ඉන්න "ආත්මාර්ථකාමී මම" තව දුරටත් ඉන්න පුළුවන් කමක් නැහැනේ... ඒක තමයි කාලතරණයේ තියෙන හිත් වසඟ කරවන ප්‍රමෝදය... ඔබට අනාගතය හැඩගස්වන්න පුළුවන් වීම!
මගේම ෆැන්ටසි අවකාශයේ, කාලතරණ යන්ත්‍රයක නැඟලා අතීතයට ගිහින් සර්ව සම්පූර්ණ "මම" කෙනෙක්ව බිහිකරන එක, වර්තමාන ව්‍යාකූල, අපේක්ෂා භංගත්වයෙන් පිරුණු ලෝකයෙන් මොහොතකට මිදිලා යුතෝපියානු සිහිනයක අතරමං වෙන්න හරියනම නිමිත්තක්!
"වෙලාවකට බයත් හිතෙනවා ඔය විදියට ඔක්කොම වැරදි නිවැරදි කරගෙන එනකොට වර්තමාන 'මම' නැති වේවිද කියලත්"..."මම ගොඩනැඟෙන්නේ අනුභූතින් මත කියලා කිවුවොත් වර්තමාන 'මම' ගොඩනැඟෙන්න පදනම් වුනු නිශ්චිත අනුභූතීන් නැතිවුනු තැන තවදුරටත් 'මම' පවතින්න ඉඩක් නැහැ. ඒක සරලවම තේරුම් ගන්න පුළුවන් Butterfly Effect කියන සංකල්පයට පොඩ්ඩක් හිත යොමු කළොත්. සරල උදාහරණයක්, "ඔබ අතීතයට ගිහින් ඔබ අතින් සමනළයෙක් මැරුනොත්, සහශ්‍රක ගණනාවක් අනාගතේ ඔබට හිතාගන්න වත් බැරි වෙනස්කම් වෙලා තියෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම වෙනස් තාක්ෂණයන්, සම්පූර්ණයෙන්ම වෙනස් සමාජයන්ට අමතරව සම්පූර්ණයෙන්ම වෙනස් චින්තන රටාවන් ඇතිවෙලා තියෙන්න පුළුවන්. මෙතනදී අති දීර්ඝ ක්‍රියාදාමයක එක පුරුකක් වෙන සමනළයා අකාලයේ මියයාම නිසා දේවල් අඩුවෙනවා කියන දේට වඩා දේවල් "වෙනස් වීම" තමයි වෙන්න පුලුවන්. ඒක පලමුවැන්නට වඩා අතිශය භයානක වෙන්න පුළුවන් බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
දැන් එතකොට වර්තමාන 'මම' ගොඩනැඟෙන්න පදනම් වුනු නිශ්චිත අනුභූතීන් නැතිවුනු තැන තවදුරටත් 'මම' පවතින්න ඉඩක් නැහැ කියන්නේ දැන් කාලතරණයේ යෙදෙන 'මම' ට මොනවා වේවිද? නිශේධ වෙලා යයිද? එතකොට මේ වැල්වටාරම් ලියන මම මෙතන තවදුරටත් පවතින්න ඉඩක් නැද්ද? ඔන්න දැන් ගැලවිල්ලට එනවා තවත් සංකල්පයක්... සමාන්තර විශ්වයන්!
මම හිතනවා Fringe Scienceඑක්ක මේ පැටළුනා හොඳටම ඇති කියලා! බලනකොට කාලතරණ යන්ත්‍රයක නැඟලා සර්ව සම්පූර්ණ අනාගතයක හීනයක් වෙනුවෙන් අසම්පූර්ණ අතීතයකට ගමන් කරන එක, එතකොට කාලතරණ සංකල්පය එක්ක බැඳුනු දහසක් ඔළුව තෝන්තු වෙන විසංවාදයන්, මතවාදයන් එක්ක ගැටෙනවාට වඩා හැම අතින්ම ලේසියි "උන්මන්තක කාලතරණ ෆැන්ටසියක" මොහොතකට අතරමං වෙන එක.
මේකට Psychedelic experience එකක් කියලා කවුරුහරි කිවුවොත් මම මොහොතකටවත් අමනාප වෙන්නේ නැහැ. ඒ වගේම එයින් පැහැදිලි කිරීමක් ලැබෙනවා Psychedelic experience, වලට නැත්නම් හරියටම කිවුවොත් LSD, weed වගේ Psychedelic Drugs වලට මුල් කාලයේ හිපියන් මේ තරම් ආශක්ත වුනේ ඇයි කියලා.
මේ ලියලා තියෙන වැල්වටාරම් ටික සාහිත්‍ය නිර්මාණයක් විදියට නම් තුට්ටුවක් වටින්නේ නැහැ. ඒත් සමහර වෙලාවට කවුරුහරි නන්නාඳුනන කවියෙක්, ලේඛකයෙක් කිසිම තේරුමක් නැතුව ලියන පදවැල් කීපයක් ඇතුළේ සියවස් ගණනාවකට පස්සේ අපූර්ව තේරුම් පෙනෙන්න පටන්ගන්න හොඳටම ඉඩ තියෙනවා!
විප්ලවයකට අත්‍යාවශ්‍ය සාධකය උණ්ඩ පිටවෙන තුවක්කුවක් නෙවෙයි, තියුණු පරිකල්පනයක්... මේ සටහන තමන්ගේ පරිකල්පන ශක්තියේ ගැඹුර වටහාගෙන සිටින සහෝදර හැම වෙනුවෙන්...
~ හිපියා
Wednesday, August 11, 2010
මුහුදු කින්නර ගී හඬ...
Thursday, August 5, 2010
ඇයි වෙරෝනිකාට ජීවිතේ එපා වුනේ... වෙරෝනිකා... දැන් මටත් පිස්සු!
මම, මේ සමාජයෙන් වෙන්කරලා තියෙන පිස්සන් සහ සමාජගත පිස්සන් ගැන පුදුම වෙන්න පටන් ගත්ත කාලයේම තමයි වෙරෝනිකා ඕනවට වැඩියෙන් නිදිපෙති අරගෙන දිවි නසා ගන්න තීරණය කරන්නේ. වෙරෝනිකාට තිබුනු ප්‍රශ්නය සඟරාවක "Where is Slovenia?" කියලා ලිපියක් පළවීම කියලා ඇය තමන්ගේ ක්‍රියාව සාධාරණීකරණය කළත් ඇත්ත හේතුව අපි හැමෝම දැනගත්තා තප්පර කෑල්ලක් ගතවෙන්නත් කලින්. වෙරෝනිකාට ඔක්කොම එපා වෙලා තිබුනේ. හරියටම කියනවා නම් ජීවත් වෙන එක මහාම මහා කම්මැලි වැඩක් වෙලා තිබුනේ. මට හරියටම වෙරෝනිකා තේරුම් ගන්න පුළුවන් වුනා මටත් ජීවිතේ කම්මැලි කම දැනිලා, ජීවත් වුනා ඇති කියලා හිතුනු අවස්ථා තිබුනු නිසා...කොහොම වුනත් මම හොයාගෙන තිබුනා ජීවත් වෙන එක කම්මැලි නොවෙන්න දෙයක්... හැමදාම උදේට මතක් කරගත්තොත් අද හවසට මැරෙන්නත් පුළුවන් කියලා, ඔන්න එක පාරටම ජීවිතේ හැංගිලා තිබුනු වර්ණ පේන්න ගන්නවා. එකපාරටම ආශ්චර්‍යයකින් වගේ ජීවිතේ වටිනා දෙයක් කියලා හිතෙන්න ගන්නවා. මැරෙන්නෙ කලින් ජීවිතේ කරන්න තියෙන හැමදේම කරන්න ඕන කියන හැඟීම නිසා අපූරු වින්දනයක් ජීවිතේ පුරාම ගලායන්න පටන් ගන්නවා... හැබැයි මේ අදහස එක පාරටම පිළිගන්න ඉක්මන් වෙන්න එපා. අමතකද... මිනිස්සු මට පිස්සු කියලත් කියනවා. සමහර විට පාවුලෝ කොයියෝ ටත් මිනිස්සු එහෙම කියන්න ඇති...
දවසක් මට පාරෙදි මුණගැහුනු මනුස්සයෙක් අපූරු කථාවක් කිවුවා... 'රටේ ඉන්න පිස්සෝ ඔක්කොම එකතැනකට ගාල් කරලා කන්න බොන්න දෙන්න ගියොත් රටේ ආර්ථිකයත් කඩාවැටෙන්න ගනිවි, රටක් ඉතිරි වෙන එකකුත් නැහැ. ඒ නිසා ලේසිම ක්‍රමය තමයි හොඳ සිහියෙන් ඉන්න අයව කොටු කරලා, වෙන් කරලා පිස්සෝ ටික නිදහස් කරලා තියන එක. ප්‍රශ්නේ ඉවරයිනේ. කොටු කරලා ඉන්න අයට පිස්සෝ කිවුවත්, මානසික රෝගීන් කිවුවත් දෙකම කිවුවත් වෙනසක් වෙන්නේ නැහැනේ."
මතක තියාගන්න, සම්මතය හැමවිටම සාපේක්ෂයි. මට මේ කථාව කිවුවෙත් සමාජ සම්මතයට අනුව පිස්සෙක්... හරියටම කිවුවොත් මානසික ආරෝග්‍ය ශාලාවකින් පැනලා ඇවිත් ගමේ යන කෙනෙක්... එයා කිවුවෙත් "මට තාමත් පිස්සු මහත්තයෝ" කියලා... සමහරවිට මේ කතාව ලියන්නේත් සමාජ සම්මත ප්‍රමිතීන්ට අනුව පිස්සෙක්... කෝකත් එකයි.. අද හවස ගෙදර යන්න කලින් මම මැරෙන්න සම්භාවිතාවක් තියෙන නිසා ජීවිතේ පුදුමාකාර ලස්සනයි...!!!
Sunday, May 2, 2010
කවියක් සහ අපේ ලොකු මාමා...
රන් බඳේ කිතුල් ගෝමර ඇති සේම...
මන් ලඳේ මෙදුකා පවසන්නද කෝම...
යන් ලඳේ රටට නොකියා රහසේම...
මේ කවිය මට මුලින්ම ඇහුනේ හඳ එළියෙන් වැහුනු බාගෙට ගොයම් කපපු කුඹුරක පිදුරු ගොඩකට හේත්තු වෙලා නින්දත් නොනින්දත් අතරේ අහස දිහා බලාගෙන ඉන්නකොට... මේ කවිය කිවුවේ කුඹුරේ පැලට වෙලා හිටපු අපේ ලොකු මාමා... තාමත් මට කුඹුරු යාය විනිවිදිමින් උස් පහත් වෙවී නින්නාද වුනු ඒ ශෝකී කවිපද ඇහෙනවා වගේ... ඔව්, ලොකු මාමාගේ කටහඬේ තැවරිලා තිබුනේ ශෝකයක්... කවිය කිවුවේ අපේම ලොකු මාමා වුනත් ලොකු මාමා හිටියේ මහගම සේකරයන්ගේ තුංමංහංදිය පොතේ... ඒ අපේම ලොකු මාමා...
මට හරිම ආසාවක් තිබුනා, තාමත් තියෙනවා.. මේ කවියේ ආදරයට ලක්වුනු ගමේ කෙල්ල කොයි වගේ වෙන්න ඇත්ද කියලා බලන්න ... මට නිතරම දැනිලා තියෙනවා, මේ කවිපද මුමුණන හැමවෙලාවකම, මේ කවිපද අතරේ හැංගිලා ඇත්තේ Tragedy end එකක් කියලා... සමහරවිට මේ කවියා මේ තරම් ආදරේ කරපු දැරිවි පිට ගමකට දීග යන්න ඇති...කවියා කුඹුරේ පැලට වෙලා ඈ ගැන හිත හිත මේ සීපදය කිය කියා ඉඳලා මැරිලා යන්න ඇති... නැත්නම් මොකක්ද මේ කවිපද අතරේ හැංගිලා තියෙන ශෝකය?
තුංමංහංදිය පොතේ සිරිසේනගේ ලොකු මාමා සහ අපේ ලොකු මාමා බොහොම සමානයි... දෙන්නම ලස්සන හිත් තිබුනු අහිංසක, සුන්දර මිනිස්සු... අපේ ලොකු මාමා නියම ජේ වී පී කාරයෙක්... ... ඒ වගේම හැමෝම කියන විදියට විශිෂ්ට මොළයක් තිබුනු අපූරු මිනිහෙක් ... වෙනස් ලෝකයක් ගැන හීන දැකපු, ඒ හීනවලට අඩිතාලම් දමපු පුංචි කොළු ගැටයෙක්ගේ ලෝකයට ලොකු මාමා ලොකු හයියක් වුනා.
ඒ ලොකු මාමා අද නැතත්, මට අද ලොකු මාමාව මතක් වුනා. ඒ කවි පදත් ආයෙමත් ඇහෙන්න පටන් ගත්තා... සමහරවිට වෙල් එළිය දිගේ උස් පහත් වෙමින් ඇහුනු ඒ ශෝකාන්විත සීපද රාවය මහගමසේකරයන්ගේ භාවයන්ට කථා කරන්න ඇති... ඒ ඇහෙන්නේ අපේ ලොකු මාමාගේ කටහඬ...
පුන් සඳේ ඔහොම නොකරන් හැමදාම... යන් ලඳේ රටට නොකියා රහසේම...









