Saturday, May 14, 2011

මුහුදු කොල්ලකාරයා සහ කැනරි කිරිල්ලිය


මුහුදු හැතැම්ම  දස දහස් ගණනාවක් දුර ගෙවාගෙන
රළ මතින් නාඳුනන වෙරළකට පාවී ආ මේ බෝතලය
තුළ ඇති කතාව කියවන කවුරුන් හෝ
නාඳුනන්නෙකු වෙත.......

කාලයක් තිස්සේ මිනිස්සු හිතුවා ආක්ටික් අහසේ අනේක වර්ණ රටා මවන ඒ එලි , දෙවියන්ගේ විශ්මය ජනක ක්‍රියාවක ප්‍රතිඵල කියලා..... aurora borealis නැතිනම් ඌශාලෝක කියලා සමහර මිනිස්සු ඒවා හැඳින්වුවා. කොහොම වුනත් ආක්ටික් අහසේ මේ වෛවර්ණ රටා දකින හැම මොහොතකම , මේ මුහුදටම කැපවුනු , වෘකයෙක්ගේ හැඩහුරුකම් තියෙන  පරණ කුඹ ගස් දෙකේ රුවල් නැවක කපිතාන් වුනු පලපුරුදු මුහුදු කොල්ලකාරයාට හිතුනේ එකම දෙයක්... 'ලෝකේ හරිම විස්මයජනකයි'
ඔහුට නමක් තිබුනේ නෑ. දන්න කියන හැමදෙනාම ඔහුට කතා කලේ 'කපිතාන්' කියලා. නොදන්න හැම දෙනාම ඔහුව හඳුනාගෙන තිබුනේ කැරිබියන් මුහුදේ භීෂණය කියලා. ඒත් ඔහුට තමන් ගැන කියන්න ඉතිහාසයක් වත්,හරි හමන් නමක්වත් නොතිබුනත් තමන් ගැන නිර්වචනයක් තිබුනා. 'අනනුකම්පීය නිර්දය මුහුදු කොල්ලකාරයෙක්'!
කපිතාන් හැමදාමත් දැනගෙන හිටියා තමන්ට ජීවත් වෙන්න ලොකු කාලයක් නැති බව. මැරෙන එක කවදාහරි වෙන්න ඕනෙ. එකම වෙනස මම අනික් මිනිස්සුන්ට කලින් මැරෙන එක, කපිතාන් එහෙම හිතපු වෙලාවල් තිබුනා. සටනකදී කඩු පහරකින් , බීමත් සේලරුවෙක්ගේ කිණිසි පහරකින්, , නැවේ තට්‍ටුවෙන් ඇද වැටිලා නැතිනම් පපුව පසාරු කරගෙන යන වෙඩි පහරකින් ... කාටද කියන්න පුලුවන්.. ඒත් කපිතාන් එක් දෙයක් දැනගෙන හිටියා නියතවම... කපිතාන් ආවේත් තනිවම , කපිතාන් යන්නේත් තනිවම. නැවේ තට්‍ටුවට වෙලා ඈත මුහුද දිහා බලාගෙන ඉන්න කපිතාන් දැනගෙන හිටියා කවදා හෝ තමන්ගේ සයනය වෙන්නේ ඉමක් නැති මුහුදු පතුල කියලා. Davy Jones' locker... ඒ සිතුවිල්ලම කපිතාන්ට සතුට ගෙනාවා. ඒ මේ කෲර මුහුදු කොල්ලකාරයා , කපටි වෘකයා ආදරය ගැන නොදැන හිටියත්, ආදරය කියා දෙයක් ගැන විස්වාස නොකරත් අවිඥානිකව ඔහු මහ මුහුදට ආදරය කල නිසා, අසීමිතව . මහ මුහුද කපිතාන්ගේ ප්‍රියාවත් මවත් වුනා...

එක් දවසක උදෑසනින්ම නැවේ තට්‍ටුවට විත් කුඹගස් වලට ඉහලින් අහස දිහා බලාගෙන ඉන්න මුහුදු වෘකයාට මහාම තනිකමක් දැනුනා. ජීවිතේ පලමුවෙනි වතාවට කපිතාන්ට ආයෙමත් තමන් ගතකල ජීවිතේ ගැන ආපස්සට හැරිලා බලන්න උවමනා වුනා. මේ අනනුකම්පීය මුහුදු කොල්ලකාරයාට දැනෙන්නට වුනා , ජීවත් වුනා ඇති කියලා.
මේ මොහොතේම ගොඩබිම දෙසින් පියඹාගෙන ආවා , නිල්වන් පියාපත් තියෙන, සුන්දර සටහන් තියෙන, කැනරි කිරිල්ලියක්, ලාලිත්‍යවත් පියාසැරියකින්... කැනරි කිරිල්ලිය පියඹාගෙන ඇවිත් නැව් තට්‍ටුවේ ගරාදි වැට මත වැහුවා. කෙලින්ම කපිතාන්ගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා.
අඩුවෙන්ම කියනවනම් කපිතාන් පුදුම වුනා. කැරිබියන් මුහුදු තීරයේ කිසිම කෙනෙක් , මේ ලේ පිපාසිත මුහුදු වෘකයා ඉදිරියේ නැඟී සිටින්නට තරම්, මේ අනනුකම්පීය මුහුදුකොල්ලකාරයා දිහා කෙලින් බලන්න තරම් එඩිතර වුනේ නැහැ. ඒත් මේ අහංකාර කැනරි කිරිල්ලිය , මුහුදු කොල්ලකාරයාගේ ඇස් දෙක දිහාම බලාගෙන හිටියා. මුහුදු වෘකයා නොදැන හිටියත් ලෝකේ ඈත කොනක හිටපු ලේඛකයෙක් ඒ වෙනකොටත් ලියලා තිබුනා "ඇස් කථා කරනවා" කියලා...

එතනින් එහාට සිදුවුන දේවල් ගැන මිනිස්සු එක එක විදියේ කතා කියනවා. ඒත් කවුරුවත් හරියටම සිදුවුනේ මොකක්ද කියලා දැනගෙන හිටියේ නැහැ. තවදුරටත් කැරිබියන් මුහුදේ භීෂනය , දරුණු වෘකයා, අනනුකම්පීය මුහුදු කොල්ලකාරයා , කපිතාන්... ඔහුගේ කුඹ ගස් දෙකේ නෞකාවත් එක්ක රළ අතරින් සැරිසරනවා දකින්න ලැබුනේ නැහැ. සදහටම ඔහු කැරිබියන් මුහුදෙන් අතුරුදන් වුනා....

මෙතනින් එහාට කතාව අවසානයි. ඒත් කැරිබියන් මුහුදේ නාවිකයන් අතර කටින් කර පැවතුනු මිත්‍යා කථාවක් සමහරවිට මෙතනට සම්බන්ධ ඇති. . මිත්‍යා කතා කියන්නේ යථාර්තයේ මායාවී, සිහින කොටස්...

කැරිබියන් මුහුදේ එක් හුදෙකලා දූපතක් අසලට කලාතුරකින් නැව් යනවා. ඒ , මුහුදු මාර්ගයේ තියන ගල්පර මග හරින්න. ඒත් කිසිම කෙනෙක් දූපතට යන්නට තරම් එඩිතර වෙන්නේ නැහැ. ඒ දූපත වටාම නැව් වලට මාරක අනතුරු ලඟා කරන ගල්පර ගහන නිසා. ඒත් ඔබ යාත්‍රා කරන  නැව දූපත අසලින් යනවා නම් සහ ඔබ වාසනාවන්ත නම් ඔබට දකින්න පුලුවන් වේවි හුදෙකලා මුහුදු වෙරළේ ගලින් කල ප්‍රතිමාවක්.
තවත් හෝදිසියෙන් බැලුවොත් ඔබට පෙනේවි , ඒ ප්‍රතිමාව, වැරහැලි වුනු ඇඳුම් ආයිත්තමින් සැරසුනු, මුහුදු කොල්ලකාරයෙකුගේ විසල් හිස්වැස්මකින් සැරසුනු, හිණෙන් කෙටි කඩුවක් හා පිස්තෝලයක් එල්වුනු, අවුල් වුනු දිගු කෙස් කැරළිත් දිගු රවුලත් මඳ සුළගට ලෙළ දෙන මිනිස් රූපයක් බව... ඒ ප්‍රතිමාව, තමන්ගේ ජීවිතය වැනි මහා සමුද්‍රය දෙස ශෝකයෙන් බලා සිටිනා මුහුදු කොල්ලකාරයෙකුගේ හැඩතල දරනා බව... ඔහුගේ නොසෙල්වෙන දසරුව මත වාඩි වී නිසංසලේ හොටයෙන් පිහා‍ටු සකස් කරන්නේ සුන්දර කැනරි කිරිල්ලියක්...මුහුදු කොල්ලකාර ප්‍රතිමාවේ තොල් මත පෙනෙන නොපෙනෙන මඳහසක්....
මිනිසුන් කියනවා ඒ කැරිබියානු මුහුදේ භීෂණයත් ,ඔහුගේ ජීවිතයේ ප්‍රථම ප්‍රේමයත් කියලා..... කතාව මෙතනින් අවසානයි...
~ නාඳුනන කතා කියන්නෙක්
Myth is the hidden part of every story, the buried part, the region that is still unexplored because there are as yet no words to enable us to get there. Myth is nourished by silence as well as by words.
~ Italo Calvino