"මම රස්තියාදුකාරයෙක්", එහෙම නැත්නම් "මමත් රස්තියාදු ගහලා තියෙනවා" කියනවාට වඩා "ජීවිතේ හරිම රස්තියාදුවක්" කිවුවහම මිනිස්සු මේ ලිපියට කොහේවත් නැති වැදගත්කමක් දෙන්න උත්සාහ කරයි. ඒත් ඉතින් ඒ මිනිස්සුන්ගේ හැටි. ඔබත් මාත් අයිති වෙන, ඒ වගේම ඔබත් මමත් කැපී වෙන්වෙන සමාජයේ ජීවත් වෙන සහෝදර ජනතාව, මිනිස්සු...
ආයෙමත් රස්තියාදු කතාවට ආවොත්, "ඔව්, මම රස්තියාදු ගහලා තියෙනවා හොඳට". ඉස්කෝලේ යන කාලේ නම් මරදාන වටේ තිබුනු පොත් කඩවල, මෑත අතීතයේ නම් හැමතැනම.
රස්තියාදු ගහන එක නරකයි කියලා ඉස්කෝලේ කාලේ කියලා දීලා තිබුනා මට මතකයි. ඇත්තටම රස්තියාදු ගහන එක නරකද? ඒ ප්‍රශ්නය මට කොයිම මොහොතකවත්-දැන් ඇරෙන්න- මතක් වෙලා නැහැ.මං හිතන්නේ ඉස්කෝලෙදී හරියටම කිවුවේ 'රස්තියාදුකාරයෙක්' වෙන්න එපා කියලා. දැන් ඊලඟ නිර්වචනය, රස්තියාදුකාරයා... ඒක මම දන්නේ නැහැ. ඒ නිර්වචනය ඔබට අයිති වැඩක්.
මම දැන් රස්තියාදු ගහන්නේ කොලඹ පාරවල් දිගේ විතරක් නෙවෙයි. ආර්ට් ගැලරි අස්සේ, පොත් කඩවල් අස්සේ, ජාතික පුස්තකාලයේ, ෆිල්ම් තියෙටර් අස්සේ, කෝපි කඩ අස්සේ- කෝපි කඩ කිවුවට අනෙක් අය කියන්නේ ලස්සනට බරකරලා coffee lounges කියලා... එතකොට මුහුදු වෙරළ, ගෝල්ෆේස් එකේ ඉස්සො වඩේ කරත්ත, Goethe. Alliance France, Russian cultural center,මාර්ගරිටා බ්ලූ, Budz, Barefoot, Burger king, Club parties, beach parties වගේ සංස්කෘතික, සමාජයීය වශයෙන් අහසට පොළව වගේ වෙන/ අතිශය සර්වසම වෙන දහසකුත් එකක් තැන් මගේ රස්තියාදු අධිරාජ්‍යයේ දේශසීමාවන් ඇතුළේ තියෙනවා. ඔව්, මම beach party එකකට ගියත් එතන තියෙන්නේ එක්තරා විදියක රස්තියාදුවක්. ඒකේ පුදුමයකුත් නැහැ. මම හිපියෙක්, හිපියෙක් රස්තියාදුව නරකයි කියලා කියන්නේ නැහැ...
මම ඉස්කෝලේ යනකොට Rowing කරන කාලේ අනන්තවත් හබල් දෙකේ තනි ඔරුවකට වෙලා, බේරේ වැවේ Rowing Club එකට අයිති කොටසේ ඔහේ පාවි පාවි රස්තියාදු වෙලා තියෙනවා. එතකොට මට පෙනිලා තියෙනවා මාලිගා වගේ හෝටල් එක පැත්තකත්, පොඩි වුන් ගේ දොරකඩ වාඩිවෙලා කක්කා කරන මුඩුක්කු පැල්පත් බේරේ වැවේ අනෙක් පැත්තේත් තියෙනවා. රස්තියාදුවකට දේශපාලන මතවාදයන් බිහිකරන්න බැරිත් නැහැ.
මම කොහේ හරි කියෙව්වා, රස්තියාදුවෙන් දාර්ශනිකයෝ බිහිවෙනවා කියලා... ඒක දාර්ශනිකයෙකුගෙන් අහලා බලන්න.
රස්තියාදු ගහනවා කියන්නේ කාලය නාස්ති කරනවා කියන එක නම් මම ඒ කතාවට එකඟ වෙන්නේ නැහැ.මොකද මට නම් මගේ රස්තියාදු දේශාටන වලදී නාස්ති කරන්න වෙලාවක් තිබුනේ නැහැ. ලෝකේ කොයි තරම් ලොකුද? කොයි තරම් නම් දේවල් බලන්න තියෙනවද? කොයි තරම් මිනිස්සුන්ව මුණගැහෙන්න තියෙනවද? මේ හැමදේම මැරෙන්න කලින් කරන්නත් ඕන. අපි ඔක්කොම මැරෙන මිනිස්සු...
මගේ ප්‍රියතම හීනයක් තමයි අත්‍යාවශ්‍ය ඇඳුම් පැළඳුම්, තවත් අත්‍යාවශ්‍ය දේවල් backpack එකකට අහුරගෙන, කැමරාවක් කරේ එල්ලගෙන ඔහේ රස්තියාදු වෙන එක. ලංකාව පුරා විතරක් නෙවෙයි, ලෝකේ පුරාම...ඉන්දියාවේ වරණාසි වල, ඌටි කඳුකරයේ, කජුරාවෝ වල, රාජස්ථානයේ වර්ණ අතරේ... ස්පාඤ්ඤයේ අන්දලුසියානු කඳුබිම් වල... රොමානි කූඩාරම් අතරේ... කාම්බෝජයේ අන්ග්කෝර් වල... ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවලින් මායිම් වන පිටිසර ප්‍රංශ ගම්මාන වල... මගේ හීන විසල් කියලා මම දන්නවා.
backpackers උප සංස්කෘතිය බිහිවෙන්නේ හිපි ව්‍යාපාරයට ගොඩක් පස්සේ. ඒත් මතවාදමය සහ ආකෘතිමය වෙනස්කම් අත ඇරලා බැලුවොත්, ලෝකය දකින්න තියෙන, සංචාරය කරන්න තියෙන හිපීන්ගේ නොතිත් ආශාව backpackersලාත් බෙදාහදා ගන්නවා...
මේ ආඛ්‍යානය දිග වැඩියි, පැටලිළි ගොඩයි කියලා කවුරුහරි කියනවා නම් මට ඒකට කරන්න දෙයක් නැහැ. This post also one big vagabonding dream...
මෑතකදී මමත් තව රස්තියාදු මිත්‍රයෙකුත් රස්තියාදු ගමනක යෙදිලා ඉන්නකොට මුණගැහුනා අපි දෙන්නාගේම පරණ මිතුරියක්, කුමාරි කුමාරගම. ජාතික පුස්තකාලය ඉස්සරහාපිටදී. එයත් එයාගේ අළුත්ම පොත, 'උරෙයිට්ටු සාප්පාඩ්' තනියම බෙදා හරින රස්තියාදු ගමනක හිටියේ. ඇය කිවුවා "අපි ඔක්කොම රස්තියාදුකාරයොනේ මචං' කියලා. එතකොට තමයි මට හිතුනේ "ජීවිතේ හරිම රස්තියාදුවක්" කියලා කොහේ හරි ලියලා තියන්න ඕන කියලා...
දැන් මම ඉන්නේ නිදහස් චතුරශ්‍රයට යන පාරේ වටරවුම ගාව. මට දැන් මතක නැහැ එතනට කියන්නේ මොකක්ද කියලා. රස්තියාදු ගහන කෙනෙක්ට නිදහස තියෙනවා මඟතොට ගැන පාරිභාෂික නාම නොදැන ඉන්න, අමතක වෙන්න. මෙතනින් කෙළින්ම ගියොත් නිදහස් චතුරශ්‍රයේ ගල් කුළුණක් යටට වෙලා ඔහේ වාඩිවෙලා අහස දිහා බලාගෙන කල්පනා කරකර ඉඳලා ඇතිවුනහම අග්‍රා එකට ගිහින් දකුණු ඉන්දියන් කෑම වේලක් කන්න පුළුවන්. නැත්නම් වමට හැරිලා ගිහින්, ගොතේ එකට යන්න පුළුවන්.ඕනනම් පොලිසිය ලඟින් ඇතුළට හැරිලා ගිහිල්ලා ලයනල් වෙන්ඩ්ට් එකට යන්නත් පුළුවන්.නැත්නම් ආපහු හැරිලා ගිහින් එතනින් ඔළුව හැරෙන මුල්ම පැත්තට යන්නත් පුළුවන්!
රස්තියාදුවේ අලංකාරයක් තියෙනවා... නැත්නම් අමුතුම 'එකක්' තියෙනවා. ඒ ලෝකය බලන්න, මිනිස්සුන්ට ආදරේ කරන, ආදරේ දැනෙන, ජීවත් වෙන්න සැබෑ වුවමනාවක් තියෙන මිනිස්සුන්ට...
The song of the open road... එන්න, ඔබත් මමත් එකට මෙය පරිවර්තනය කරමු, අපිට දැනෙන විදිහට... "නිදහස් සිතුවිලි, විඩා නොදැනෙන දෙපා... ඔබ ඉදිරියේ වැතිර පැතිර ඇත්තේ ආශ්චර්යමත් ලෝකයක්..."
ඒ මට දැනෙන ලෝකය...
~ හිපියා