අද දවස මගේ ජීවිතයේ පළමු දවසත්, අවසාන දවසත් කියා මට හැඟෙනවානම්, ඒ තමයි ජීවත් වෙන්නට හොඳම විදිය...
“කෙනෙක් අපෙන් ඉවත්ව යනවා නම්, ඒකේ තේරුම
තවත් කෙනෙක් අපේ ජීවිතයට සම්ප්‍රාප්ත වෙන්නට ලඟයි කියන එක. මම නැවතත් ආදරය
සොයාගන්නවා.” එහෙම කියන්නේ පාවුලෝ කොය්යෝ
"සහීර්"... කථාව ඇරඹෙන්නේම අබිරහසකින්.
ගැහැණියක් ඇගේ සැමියාව අතහැර යනවා කිසිම හේතුවක් නැතිව. අඩු තරමින් කිසිම
පණිවුඩයක්, ලියමනක්, කිසිම දෙයක්
ඉතිරි කරන්නේ නැතුව. අඩු තරමින් කිසිම දෙයක් අරගෙන යන්නේවත් නැතිව. ඇය නිකම්ම
සුවිශාල ලෝක ධාතුවක් මධ්‍යයට වාෂ්ප වෙලා යනවා. එතකොට ඇගේ සැමියා, ඔහු ඉක්මනින්ම අවබෝධ කරගන්නවා තමන් නිරත වෙලා ඉන්නේ ඇයව සොයාගෙන යන
චාරිකාවක කියලා. තමන්ව අත හැරලා ගිය තමන්ගේ ආදරවන්තියව සොයාගෙන ඔහු යනවා. මේ ගමන
අතරතුරදී ඔහු තේරුම්
ගන්නවා, ඔහුට ඇයව හොයාගන්නට වුවමනා කරන සැබෑ හේතුව වෙන්නේ මුරණ්ඩු සහ උමතු
ආශාවක් නොවෙන බව. ඔහු ඇයට ආදරෙයි, නිකම්ම ආදරෙයි. එකම
හේතුව එයයි.
අපි කෙනෙක් අපි වෙනුවෙන් කරනා දේවල අගය දකින්නේ නැතිවෙනකොට, අපි වෙනුවෙන් කරන දෙයක් වෙනුවෙන් සුළු හෝ කෘතඥතාපූර්වක භාවයක් නැතිව,
ඔවුන් ඒ දේවල් අප වෙනුවෙන් කල යුතුයැයි සිතනකොට අපි නොදැනුවත්වම
ඒ අය අපේ ජීවිත වලින් දුරස්තර වෙන්න පුලුවන්. ඒත් අපේ නොසැළකිලිමත් බව කොයි තරම්ද
කියනවා නම් ඒ බව අපි දැනගන්නේ ඔවුන් ක්ෂිතිජ සීමාවෙන් එපිටට නොපෙනී ගියාටත් පසුව.
අපිට යම් දෙයක වටිනාකම තේරුම් යන්නේ ඒ දේ අවසාන වූවාට පසුව. සහීර්, ඒ ගැන කථා කරනවා.
කෙනෙක් අපෙන් ඉවත්ව යනවා නම්, ඒකේ තේරුම තවත් කෙනෙක් අපේ ජීවිතයට සම්ප්‍රාප්ත
වෙන්නට ලඟයි කියන එක. මම නැවතත් ආදරය සොයාගන්නවා, කොය්යෝ ඔහුගේ “The
Zahir” කථාවේ නැවත නැවතත් එහෙම කියනවා. ඒක ක්ලැසික් කොය්යෝ
වර්ගයේ, බොහොම ධෛර්යය ඇති කරවන සුළු කියමනක්!
"That is why it is so important to let certain things go, to
release them, to cut loose. People need to understand that no one is playing
with marked cards; sometimes we win and sometimes we lose. Don't expect
recognition for your efforts; don't expect your genius to be discovered or your
love to be understood. Complete the circle. Not out of pride, inability, or
arrogance, but simply because whatever it is no longer fits in your life. Close
the door, change the record, clean the house; get rid of the dust. Stop being
who you were and become who you are."
මිනිහෙක්ව වෙනස් කරන්නේ කාලයවත් ඥානයවත් නෙවෙයි. මිනිහෙක්ව වෙනස් කරන, මිනිහෙක්ගේ හිත වෙනස් කරන එකම දේ ආදරය විතරයි.
පාවුලෝ කොය්යෝ යනු නවීන ලෝකයේ මහා දෛවවාදියාද? අනිවාර්යයෙන්ම ඔහුගේ විශ්වාසය වන්නේ දෛවය සහ සෑම මිනිසෙකුටම සෑම
ගැහැණියකටම ඒ මහා විචිත්‍ර රංගන රචනයේ වෙන්වන කොටසක් තිබෙනවා යන සංකල්පය. ඔහුට
අනුව විශ්වය යනු කලින්ම නිර්මාණය වුනු අති සංකීර්ණ, එමෙන්ම
විශිෂ්ට නිර්මාණයක්. කෙනෙකුගේ ජීවිතයේ පරිසමාප්තිය එළැඹෙන්නේ එහි මේ විශ්වීය
නිර්මාණයේ අලංකාර රටාවන් අවබෝධකරගැනීමෙන්, ඒ රටාවට ඔබ
ගැළපෙන තැන සොයා ගැනීමෙන්.
"ඔබ ඔබම වෙන්න, නැවුම් මංපෙතක ඔබේ චාරිකාව අරඹන්න" කොය්යෝ
කියනවා. ඒත් ඔහුට අනුව ඒ චාරිකාවත් විය යුතු දෙයක්, මහා
විශ්වීය සැලසුමක කොටසක්. කවුද මේ සැලසුම නිමැවුම්කරුවා? කවුද මේ අසහාය ඉංජිනේරුවා?
අපේ ජීවිත වල හැම මොහොතකදීම අපි එක් පයක් සුරංගනා ලෝකයකත්, අනෙක් පය පරක් තෙරක් නොපෙනෙන ගැඹුරු අගාධයක මුවවිටේත් තියාගෙන ඉන්නේ!
පාවුලෝ කොය්යෝ තවත් "මල් පොත්" රචකයෙක්ද? විය හැකියි. කෙසේ වුවත් වැදගත් වන්නේ ඔහු තවමත් ලියන්නේ කා වෙනුවෙන්ද
යන්නයි. කොය්යෝ කියනා ලෙසට ඔහු තවමත් ලියන්නේ තමන් වෙනුවෙන්. ඔහු පවසන්නේ ඔහුගේ
හැම පොතක්ම සැබෑ කොය්යෝට වඩා විශිෂ්ට බව.
කොය්යෝ සිය ජීවිතය අරඹන්නේම ලේඛකයකු වීමේ සිහිනයක් සමගින්. කෙසේ නමුත්
60 දශකයේ බ්‍රසීලයේ පැවතුනු තත්වයත් සමගින් ඔහුට ඒ සිහිනය අත්හැර දමන්නට
සිදුවනවා. කොය්යෝට වයස 17 වනවිට දක්නට ලැබුනු ඔහුගේ
කැරලිකාරී ගැටවර වියත් සමගින්, ඔහුගේ දෙමාපියන් ඔහුව තුන්
වරක්ම මානසික රෝහලකට පවා ඇතුළත් කරනවා. "හැමවිටම එය සිදුවුනේ ආදරය නිසා"
කොය්යෝ කියනවා. "ඒ වගේ දෙයක් වෙන්නේ ආදරය නිසා. ඔබ තුළ යම් කෙනෙකු කෙරෙහි
ආදරයක් ඇතිවිට, ඒත් ඔබට ඒ කෙනාව වෙනස් කරන්නට අවශ්‍ය විට,
ඒ කෙනාත් ඔබ මෙන්ම විය යුතුයැයි ඔබ හිතන විට, ආදරය අතිශය විනාශකාරී දෙයක් වනවා"
මානසික රෝහලින් පිටවන කොය්යෝ නීතිය හැදෑරීමට යොමුවුනත් ඉක්මනින්ම
එතැනින් පිටමන් වන්නේ "sex, drugs and rock 'n' roll" ජීවන රටාව නිසා. පාවුලෝ කොය්යෝ 70 දශකයේදී හිපියෙක් බවට පත්වෙනවා. එසේම බ්‍රසීලයේ මිලිටරි පාලනයට එරෙහිව
ඔහුගේ මිතුරු
රොක් සංගීතඥයින් වෙනුවෙන් ගීත ලිවීම නිසාම දේශපාලන හේතූන් නියමකරමින් ඔහුව තෙවරක්
සිරභාරයට ගැනෙනවා. එසේම වධ හිංසාවන්ට පවා ලක් කෙරෙනවා.
කෙසේ වුවත් එතැනින් පසුව විවිධ වෘත්තීන් කිහිපයකම නියැළෙන කොය්යෝ, සියල්ල අතහැර දමා සංචාරය කරන්නට පටන් ගන්නවා. ඔහුගේ ජීවිතය සදහටම වෙනස්
වන තවත් එක් මං සලකුණක් වන්නේ, අතීත කතෝලික වන්දනාකරුවන්ගේ
ගමන්මාර්ගයක් වූ Santiago de Compostela වෙත මයිල පන්සියයකටත් වඩා
දුරක් ගෙවා කොය්යෝ යන චාරිකාවයි.
Santiago de Compostela හිදී ඔහු ලබනා ආධ්‍යාත්මික
අවබෝධයත්, මේ දේශාටනය සමගින් කොය්යෝගේ දෑස් ඉදිරිපිට
මැවුනු ඉපැරණි වන්දනාකරුවන්
දුටු මහිමයත් සමගින් ඔහු සිය ලෝ ප්‍රකට වුනු පළමු කෘතිය, “The pilgrimage” රචනා කරනවා. එතැනින් එහාට
කොය්යෝ නම් ලේඛකයා පිළිබඳව ඔබ දන්නවා.
ආදරයත්, කාලය සම්බන්ධ ගැටළුවක් පමණක් වුනා...
ජීවිතය හිතනවාට වඩා බොහොම කෙටියි, උණුසුම්
සිපවැළඳගැනීමකට කාලය නවත්වන්න, හිත තුළින් එන උමතු
හිනාවකට හැමවිටම ඉඩදෙන්න, ආදරය සැබෑවක් කියා පිළිගන්න,
ඉක්මනින් සමාව දෙන්න. ඇත්ත. ජීවිතය හරිම
කෙටියි. ජීවිතය නිරන්තර අභිරහසක්. කොය්යෝ කියනවා. ඒ නිසා ඔබගේම පුරාවෘත්තයක්
නිර්මාණය කරගන්න, ඔබේ සිහින ලුහුබඳින්නට එඩිතර වෙන්න,
එහි මිල කෙදිනක හෝ ගෙවන්න, විශ්වය ඔබව
අමතන ගුප්ත සංඥාවන් කියවන්න, වෙනසකට හිතහදාගන්න... මක්තුබ්... මෙතැනින් එහාට මේ වියමන කියැවීම ඔබ
සතුයි.
(photo courtesy: paulocoelhoblog.com)
පැතුම් පුංචිහේවා