පොඩි කාලේ
ඩබර් ඩෙකර් බස් ගැන අහලා තිබුනට, කාලෙන් කාලෙට කලාතුරකින් ඩබල් ඩෙකර් බස් එකක් දැකලා තිබුනට, ජීවිතේට ඩබල් ඩෙකර් බස් එකක යන්න අවස්ථාවක් මෙතෙක් ලැබිලා තිබුනේ නැහැ.
වැඩිපුර සෙනඟ නැති රතුපාට ඩබල් ඩෙකර් එක පැද්දි පැද්දි එනවා දකිනකොට දැනුනේ හරියට
පරණ යාළුවෙක් මුණගැනුනා වගේ හැඟීමක්.
සාමාන්‍යයෙන්
ඩබල් ඩෙකර් එකක යන්න ආශාවක් තිබුනු,
තිබෙන ඕනෑම කෙනෙක් දන්නා කාරණාව වෙන්නේ, ඩබල් ඩෙකර් බස් එකක් හා බැඳුනු සැබෑ ආහ්ලාදය පැමිණෙන්නේ බස් එකේ උඩ තට්‍ටුවේදී
විතරයි කියන එක. පොඩි කාලේ වුනත් ඩබල් ඩෙකර් එකක් දැක්කහම ආසා කලේ ඒකේ උඩ තට්‍ටුවේ
යන්නනේ. එහෙම නැතිනම් දැනෙන්නේ ඩබල් ඩෙකර් බස් එකක තියෙන ක්ලැසික් ගතිය ගැන හැඟීම්
මාත්‍රයක් විතරයි.
බස් එකේ උඩ
තට්‍ටුවටම නැඟලා සැපපහසුවට ජනේලයක් අයිනේ තැන්පත් වුනාට පසුව ඊලඟ කර්තව්‍යය වෙන්නේ
මගදිගට එක අඟලක හෝ දර්ශනය මග හැරේවි යයි බියෙන් අවට සිරි නැරඹීම. ඔබත් කවදා හෝ
ඩබල් ඩෙකර් බස් එකක උඩම තට්‍ටුවේ ගිහින් තියෙනවා නම්, ඔබ පුදුම වෙයි අඩි කිහිපයක්
ඔබේ දර්ශන පථය ඉහළින් පිහිටන විට මඟ දෙපස ඇති හැමදේම වෙනදාට වඩා කොයි තරම් වෙනස්
හැඟීමක් ඇති කරනවාද කියන එක ගැන. අඩු තරමේ මම, ක්ෂණයකින්
මීට පෙර කොළඹ නගරය දැක නැති, කොළඹ නගරයේ විසල් ගොඩනැඟිලි,
පාරේ එහා මෙහා කලබලයෙන් යන මිනිසුන්, අඳුර
වැටෙන්නට තව මොහොතක් තියාත් දැල්වෙමින් නගරය ක්ෂණයකින් සුරූපී සුන්දරියක් බවට
පරිවර්තනය කරනා විදුලි බුබුළු, මේ හැමදේම එකට එක්වී
මවාපාන චිත්තාකර්ෂණීය දර්ශනය මහත් විස්මයකින් රස විඳින පොඩි එකෙක් බවට පත් වුනා.
රැකියාවන්
නිමවී ගෙවල් බලා යන්නට මඟ දෙපස සිටින සුන්දර යුවතියන්, සාරි, කලිසම්, කාර්යාලීය ඇඳුම් ඈ සෑම වෛවර්ණ
විලාසිතාවකින්ම සැරසුණු බවලතුන්, ඒ සුන්දර දසුන් දෙස
බලමින් ප්‍රීතිවෙන තරුණයින් මේ හැමදෙනාමත් "කොළඹ" පුරවරයට අයත්
අංගෝපාංගයන්. ඔවුන් සේවය නිමවී ගෙවල් බලා ගියත්, ඔවුන්
ජීවත් වන්නේ කොළඹින් ඈත එපිට හෝ තදාසන්න පළාතක වුවත්, කොළඹ
නගරය කියන හැඟීම පැමිණෙන්නේ මේ හැමදෙනාමත් ඇතුළත් වූ විට. මේ සිරිමල් කරුවලගෙදර,
නන්දා, පියල් අයත්වෙන පරපුරක නූතන වේශය
බව මොහොතකට මට හිතුනා.
සාමාන්‍යයෙන්
පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයාගේ නොනවතින කෑ ගැහිල්ල, බස් රිය ඇතුලේ ඇහෙන කළකළය
පුදුමයකට වගේ මට ඩබල් ඩෙකර් එක ඇතුලේ ඇහුනේ නැහැ. ඊට වඩා බොහොම සාමකාමී පරිසරයක්
තිබුනා, ඒ නිසාම මම ජීවත්වන කාල අවකාශයෙන් මොහොතකට මිදිලා
පශ්චාත් යටත් විජිත කාල අවකාශයක අතරමං වෙන්නට මට ඉඩක් ලැබුනා.
ශ්‍රී
ලංකාවේ තිබුනු කොළනි කාල වකවානුව කෙරෙහි ශ්‍රී ලාංකිකයන් තුළ කොහොම වුනත් අවිඥාණික
සම්බන්ධතාවයක් පවතින බව අකමැත්තෙන් වුවත් පිළිගන්නට වෙනවා. තවත් හිතලා
බලනකොට ඒ යටත් විජිත මානසිකත්වයක් නොවුනත්,
ලන්දේසි ඌරුවේ ගොඩනැඟිලි අද දකිනකොට වෙනස් හැඟීමක් ඇතිවෙන එක
වළක්වන්නට බැහැ.
ඒ බව මට
තීව්‍රව දැනෙන්නට පටන් ගත්තේ ඩබල් ඩෙකර් එකෙන් බැහැලා පැරණි ලන්දේසි රෝහල පැත්තට
පා ගමනින්ම යනකොටයි. අද පැරණි ලන්දේසි රෝහල නැවතත් මහජනයාට විවෘත වෙලා තියෙනවා.
පැරණි ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයේ වෙනස්ම සුන්දරත්වයක් සමගින් නවීන අවන්හල්
කිහිපයක එකතුව මිනිසුන්ට වෙනස් විදියක අවන්හල් සංස්කෘතියක් ලබාදී තිබෙනවා. ලන්දේසි
රෝහල් සංකීර්ණයේ අවන්හලක් විවෘත කිරීම වෙනස්ම විදියේ මාකටින්ග් වැඩක් බව ඕනෑම
කෙනෙකුට පිළිගන්නට වෙනවා. මේ අවන්හලක් මල් පාරේ නැතිනම් බගතලේ පාරේ විවෘත කරනවාට
වඩා, ලන්දේසි
රෝහල් පරිශ්‍රයේ පිහිටුවීමෙන් ඒ අවන්හලට වෙනස්ම වටිනාකමක්, වෙනස්ම අනන්‍යතාවයක් ලැබෙනවා.
මෝසම්
කාළගුණයත් එක්ක කොළඹට ඇද හැලෙන පොද වැස්ස පුදුමයකට වගේ අසහනකාරී දෙයක් වුනේ නැහැ.
ඒ වෙනුවට පැරණි ලන්දේසි රෝහල ඉදිරිපිට වාඩිවෙලා ඉන්නකොට ගෝල්ෆේස් එක පැත්තෙන් ඇවිත් මුහුණේ ඇතිල්ලෙන මුහුදු හුළඟත්,
පොද වැස්සත් මගේ ආහාර රුචිය වැඩි කරන්නට සමත් වුනා. ලන්දේසි රෝහල් පරිශ්‍රයේ තිබුණු
අවන්හලකින් මෙක්සිකානු ක්‍රමයට බිස්ටේක් ටැකෝ එකකින් සහ කොක්ටේල් එකකින් සප්පායම්
වෙලා පැයක්වත් නැති බව මට අමතක වුනා. තරු එකක්වත් නැති වුනත් කොළඹ රාත්‍රී ආකාශය
සුන්දරයි. ඒ සුන්දරත්වය අහසට ලැබෙන්නේ ඒ අහස යට ඇති දහසකුත් එකක් ගොඩනැඟිලි,
වෛවර්ණ විදුලි බුබුළු සහ එකිනෙක හා මිශ්‍ර වන, එකිනෙකාගෙන් වෙන්වන කොළඹ නගරයටම ආවේණික උප සංස්කෘතීන්ගෙන්. මම පයින්ම ගෝල්ෆේස්
පැත්තට යන්න ගියේ නානාගේ දුවනගිරිය තව දුරටත් ගෝල්ෆේස් එකේ නැති වුනත්, එතැන අද තියෙන නානාගේ පරම්පරාවේ කඩ පේළියෙන් එකකින්, බටර්
නාන් එකක රස බලන බලාපොරොත්තුවෙන්.
“රස්තියාදුවක
සැබෑ සුන්දරත්වය විඳින්නට හැකි වෙන්නේ අතීතය ආවර්ජනය කිරීමේදී බව අප අමතක නොකළ යුතුයි.”
Photography courtesy: Dasun Ranasinghe