"මායාවරුන්ගේ දින දර්ශනයට අනුව ලෝක විනාශය වෙන්න තියෙන්නේ 2012 දෙසැම්බර් මාසේ විසි ගණන් වල. අවුරුදු දාස් ගාණක් දුරට තිබුණු මායන්
කැලැන්ඩරේ 2012 න් ඉවර වෙනවා. ඔයා හිතන්නේ ඒක අහම්බෙන්
වුණු දෙයක් කියලද?" ඒ විදියට ඈ තර්ක කළා මාත් එක්ක,
හරියටම මීට මාසෙකට පෙරාතුව. ගැහැණියක් හා වාද නොකරන ලෙසට පඬිවරු
පුරාතනයේ අවවාද දී තිබුණත්, මේ වගේ ජවසම්පන්න වාදයක් අත
ඇරලා දාලා "ඔව් ඔයා හරි මගේ සීනි බනිස් ගෙඩිය" කියලා ඈට හාද්දක් දෙන්න
පුළුවන්ද මොළයක් තියෙන මිනිහෙක්ට. සමච්චලේට වගේ හිනාවෙලා මම වාදය පටන්ගත්තා,
කෙළින්ම නාසා එකෙන්.
"නාසා එක විතරක් නෙවෙයි, මුලු ලෝකෙම වගකිව යුත්තෝ
දන්නවා වෙන්න යන දේ ගැන. ඒ වුනාට එහෙම ඒ වගේ දෙයක් ඔහේ කියලා දන්න පුළුවන්ද? මිනිස්සු කොයි තරම් කුලප්පු වෙයිද, ලෝක මට්ටමේ වියවුල් ඇති වෙයි
එහෙම දෙයක් ගැන මිනිස්සු දැනගත්තොත්" ඈ මගේ පලමුවෙනි
පන්දුවටම හයේ පාරක් ගැහුවා.
"ඒ කොහොම වුනත් ඔය තරම් ග්‍රහලෝක මට්ටමේ විනාශයක් ගැන දන්නවා නම්,
ඒ වගේ රහසක් හංගගෙන ඉන්න පුළුවන් කමක් නෑ කිසිම ආණ්ඩුවකට,
කිසිම කෙනෙකුට".
"ඔව්, ඔයා හරි. ඉතින් මේ අපි දන්නේ. ඒක කොයි
තරම් උත්සාහ කළත් ලෝකේ ඉන්න කුතුහලයෙන් පිරැණු දක්ෂ මිනිස්සුන්ගෙන් රහසක් විදියට
තියාගන්න කාටවත් බැහැ, ඒ නිසාම තමයි අපි ඒ ගැන
දන්නේ" ඈ සාඩම්බරයෙන් ඒ වචන ටික කිව්වේ ලෝක විනාශයක කුමන්ත්‍රණයක් නවත්වන්න
වගකීම කරට අරන් ඉන්න, එක්ස් ෆයිල්ස් එකේ ඒජන්ට් ස්කලී වගේ
හිතාගෙන. "හැබැයි ලෝකේ හැමෝම දැනගත්තොත් වෙන්න යන දේ, හිතන්න මොනතරම් කළබගෑණියක් ඇතිවෙයිද ලෝකේ. මිනිස්සු අපේක්ෂා භංගත්වයට
පත්වුනාට පස්සේ මොනවා නොකරාවිද"
"ඉතින් ලෝකේ ඔය කියන විදියට ඇත්තටම විනාශ වෙනවා නම්, මොනව වුනත් මොකද. මිනිස්සුන්ට බේරෙන්න දුවන්න තැනකුත් නැත්තම්, පෘතුවියේ ජීවත් වෙන අවසාන දවස් කිහිපය තමන්ට ඕන විදියකට ජීවත් වුනහම
මොකද. ඔයා කියන දේ වෙනවනම් කොහොමත් ඔය ආණ්ඩු ඉතුරු වෙන්නේ නැහැනේ." මම කල්
යල් බලලා තවත් දුස්රා එකක් දැම්මා.
"එහෙම කියන්න එපා. මිනිස්සු ලඟ එන අවසානය ගැන හිත හිත අවසාන දවස් කිහිපය
දුක් විඳලා මැරිලා යනවට වඩා හොඳයි එක පාරම කිසිදෙයක් නොදැන මැරෙන එක".
“ඔය
විදියට මහා ලෝක විනාශයක් ගැන වාදය දිගින් දිගටම ඇදිලා ගියා. ඈ මට රැව්වා.
නියෙව්වා, එරෙව්වා, සමච්චලේට
හිනා වුනා. ඒත් මම අත අරින්නේම නැතුව විද්‍යාත්මක කරුණු කාරණාවන්ගේ ආනුභාවය ඇතිව
වාදාභිශීලීව මගේ මතයේම එල්ලිලා හිටියා. ඈ, ඈත අභ්‍යවකාශයේ
සිටන් සෞරග්‍රහ මණ්ඩලය දෙසට ඇදී එන නෙම්සීස් කියලා දැවැන්ත ග්‍රහලෝකයක් ගැන මතයෙන්
පටන් අරන්, ක්‍රොප් සයිකල්ස්, නස්කා
රේඛාවන්, 2012 චිත්‍රපටය, පෘතුවි
ධ්‍රැවයන් විතැන් වීම, මහා සූර්ය කුණාටු ඈ මෙකී නොකී
විද්‍යා ප්‍රබන්ධ, අවිද්‍යාත්මක කථා, කටකථා, කරුණු කාරණා සමගින් මට කියන්න දෙයක්
නැතිවෙනකල්ම මහා උල්කා වර්ෂාවක් වගේ 2012 දෙසැම්බර් මාසයේ
ලෝක විනාශය වෙන බවට සාධක ගෙන හැර පෑවා.
'ඔයා
නින්ද යන්න කලින් විද්‍යා ප්‍රබන්ධ පොත් කියවනවා වැඩියි පැටියෝ' කියලා කියන්න කට ඇරලත්, අඩු තරමේ ලෝකය විනාශ
වුනත් එතකල් හරි පෙම්වතියව නැතිකරගන්න වුවමනාවක් නැති නිසා මම ආයෙමත් කට වහ ගත්තා.
මට ඈත් එක්ක වාද කරලා මගේ මතය හරියි කියලා ඔප්පු කරන්න, ලෝක
විනාශයක් වෙන්නේ නැහැ කියලා ඈට පහදලා දෙන්න පුදුම අන්දමේ වුවමනාවක් තිබුනත්,
මට තව දුරටත් මායා කැලැන්ඩරයක් ගැන කථා අහන්න කම්මැලි හිතුනා. ඒ
නිසා, බැඳපු මිනිස්සු කරනවා වගේ "ඔයා හරි තමයි මගේ
අයිස් කැටේ" කියලා මම නිකම් හිටියා. ඒත් මම තව දෙයක් කිව යුතුයි කියලා ඈ ඇස්
හීනි කරගෙන මගේ දිහා බලාගෙන හිටපු හැටියට මට පෙනුනා. "ඔයා මට ඔරවා ඔරවා වාද
කරනකොට හරිම ශෝක්. ඒ වෙලාවට ඔයාගේ ඇස් පුංචි වෙනවා. එතකොට හරිම ලස්සනයි"
හැබැයි ඈ
බලාපොරොත්තු වුනු පිළිතුර වුනේ "ඔයා හරි, මම වැරදියි" කියන එක කියලා මට පර චිත්ත
විඥාණන ශක්තියෙන් වගේ දැනුනා.
"ඔයාට හිතෙන්නේ නැද්ද, ලෝක විනාසේ වෙන එකේ,
මේ ගෙවෙන්නේ අපි දෙන්නගේ අවසන් දින කිහිපය කියලා" මම ටෙස්ට්
රන් එකක් කරලා බැලුවා. ආයෙමත් ඒ ලස්සන ඇස් හීනි වුනා.
"එහෙම නෙවෙයි මම කියන්නේ පැටියෝ, ඔයාට
විශ්වාසයිනේ ලෝක විනාසේ එනවා කියන එක ගැන. ඔයාට විශ්වාසයි කියන්නේ මටත් විශ්වාසයි.
ඉතින් ඒ කියන්නේ අපි දෙන්නට සතුටින් ජීවත් වෙන්න තියෙන්නේ මේ පොඩි කාලේ විතරයි.
එහෙම නේද." මම බොහොම අමාරුවෙන් කියාගන්න ඕන ටික කියාගත්තා.
"ඔයා කියන්නේ......................................" ඈ ඇස් ලොකු
කරගෙන ඇහුවා.
"මම කියන්නේ.......................... ඔව්" මම ලෝකේ විනාශ
වෙනවාමයි කියලා මටම හිතින් කියාගන්න ගමන් කිවුවා.
"ඔයා කියන කථාව හරි. ඒත් මට හිතෙනවා මෙහෙමත්. සමහරවිට ලෝකේ විනාස වෙන
එකක් නැහැ නේද. නොත්‍රදාමුස්ගේ අනාවැකි වුනත් කොච්චර හරි ගියත් වැරදුණු ඒවා
තිබුණනේ. විද්‍යාඥයින්ටත් වරදින්නේ. සමහරවිට අපිට බේරෙන්න පුළුවන් වෙයි"
"ඒත් අමතක කරන්න එපා, මායන් කැලැන්ඩරේ 2012 න් පස්සේ ඉවරයි. ඒක නිකම්ම අහඹු සිදුවීමක් වෙන්න බැහැනේ. මටත් දැන්
හිතෙනවා ලෝකේ විනාස වෙනවාමයි කියලා. මම නම් හිතන්නේ මෙහෙට ලොකූ සුනාමියක්
එයි" මම ඇගේ අතේ තිබුණු තුරුම්පු කොළ ටික හොරෙන් අරගෙන මගේ වගේ සෙල්ලම්
කරන්න පටන් ගත්තා.
"ඔව්, ඔයා කියන එක හරි. ඒත් ඉතින් විශ්වයටම
පොදු දේ තමයි මේ වගේ දේවල් වෙන්නත් පුළුවන්, නොවෙන්නත්
පුළුවන් කියන එක. අර නාසා එකෙන් නිල නිවේදනයකුත් නිකුත්කරලා තිබුණා ලෝකේ විනාස වෙන
කථාව බොරුවක් කියලා. අනේ මන්දා" ඈ බොහොම කල්පනාකාරීව කියනවා. හරියට බැලුවොත්
මම වාදෙන් දිනුම්. ඒත් ලෝක විනාශය සම්බන්ධයෙන් මගේ මතය මොකක්ද කියලා මටවත් දැන්
හරියටම විශ්වාස නැති තැනකට මම පත්වෙලා තිබුනේ. මේ ඉලව් ලෝක විනාසේ කථාව
පටන්ගන්නකොටම ඇගේ නහයට හාද්දක් දීලා 'ඔයා හැමදාමත් හරි
මගේ පණ' කියලා නොකියපු එක ගැන මම පසුතැවුනා. ලෝකේ දිනෙන්
දින භ්‍රමණය වෙමින් නොදන්නා විනාශයක් දෙසට ඇදී ගියා.
දෙසැම්බර්
මාසේ පහුවුනා. ලෝකය විනාස වුනෙත් නැහැ. මිනිස්සු ඒ ගැන මොකුත් කිව්වෙත් නැහැ. ඈට
අපේ වාදය මතක තිබුනෙත් නැහැ. මට ඒ වාදය ගැන ආයෙමත් මතක් කරන්න වුවමනාවක් තිබුනෙත්
නැහැ.
'ලෝකේ
විනාස වෙන්න ඕන මේ වගේ දවසක' කියලා හිතෙන තරම් සුන්දර
හැන්දෑවක, ලෝක විනාශය ගැන වාද කරලා මාසෙකට පස්සේ ඈ මාව
දාලා ගියා.