The Joker: Oh, you. You just couldn't let me go,
could you? This is what happens when an unstoppable force meets an immovable
object. You truly are incorruptible, aren't you? You won't kill me out of some
misplaced sense of self-righteousness. And I won't kill you because yo u're
just too much fun. I think you and I are destined to do this forever…
"ජෝකර්" කියන්නේ ගොතම් නගරයට තවත්
එක් අපරාධකාරයෙක් පමණක් වුනා. කොමික් ලෝලීන්ටත් "ජෝකර්" කියන්නේ තවත්
එක් Villain කෙනෙක්, දුෂ්ටයෙක්
විතරයි. හැමවිටම කොමික් පොතක් කියවන බැට්මෑන් රසිකයෙක් අවසානය අනුමාන කරනවා.
හැමවිටම ඒ අවසානය සරල කළු සුදු සන්දර්භයක පවතිනවා. බැට්මෑන් අතින් දුෂ්ටයා පරාජය
වනවා. ලෝකේ කොහේ හරි ඉන්න තවත් තරුණියක් බැට්මෑන් සමඟින් ආදරයෙන් වෙළෙනවා. කථාව
අවසන් වෙනවා. එහෙත් මේ තරම් සරලව බැට්මෑන් ව කියවා අවසන් කරන්නට හැකිද?
බැට්මෑන් ට අවිවාදිතවම "ජෝකර්"
කියන්නේ ඔහුගේ "වෙලින්ටන්". ඔහුගේ පරම සමානයා. ජෝකර්ගේ පැවැත්ම බැඳී
තිබෙන්නේ බැට්මෑන් ගේ පැවැත්ම සමඟින්. වෙන් කළ නොහැකි අඳුර සහ ආලෝකය වගේ. ජෝකර්
පමණක් නොව ඕනෑම දුෂ්ටයෙක්, බැට්මෑන්ගේ පැවැත්මේ තීරණාත්මක
සාධක වනවා. ගොතම් නගරය හෝ ලෝකය නපුරින් තොර, දුෂ්ටයන්ගෙන්
තොරවූ දිනයට බැට්මෑන්ගේ පැවැත්ම අවසන් වනවා. ඒ කියන්නේ සැබවටම. ඔහුට එදිනට තමන්ගේ
සාමාන්‍ය ජීවිතයට යන්න හැකි වෙන්නේත් නැහැ. හේතුව බැට්මෑන් කියන්නේ බෲස් වේන් ගේ
වෙස්මුහුණ 'නොවීම'. බෲස් වේන්
කියන්නේ බැට්මෑන් ගේ සැබෑ අනන්‍යතාවය වසන් කරනා වෙස් මුහුණ වීම...
බැට්මෑන් උපත ලබන්නේ "එක් අවාසනාවන්ත
දිනයක" සිදුවන අවාසනාවන්ත සිදුවීමකින්. ඕනෑම බැට්මෑන් ලෝලියෙක් දන්නා විදියට
කුඩා බෲස් වේන්ගේ දෙමාපියන් ගොතම් නගරයේ අඳුරු පටුමඟකදී මංකොල්ලකරුවකු අතින්
නිරර්ථක ලෙස ඝාතනයට ලක්වනවා. වචනාර්ථයෙන්ම බැට්මෑන් උපත ලබන්නේ එදිනයි.
අනෙක් අතට ජෝකර් උපත ලබන්නේද එවන්ම
අවාසනාවන්ත දිනයකින්. තාර්කිකව සලකන කල බැට්මෑන් සහ ජෝකර් දෙදෙනාම එකම දෛවයක් උරුම
කරගත්, ප්‍රතිවාදී හොඳ සහ නරක නියෝජනය කරනා ඇදවැටුනු
දේවදූතයන් දෙදෙනෙක්.
බැට්මෑන් චරිතය උපත ලබන්නේ 1939 දී. ඒ චිත්‍ර ශිල්පියෙක් වුනු බොබ් කේන් සහ රචකයෙක් වුනු බිල් ෆින්ගර්
ගේ එකමුතුවෙන් මැවුනු සුපිරි වීරයෙක් ලෙසට. මේ වනවිට සුපර්මෑන් උපත ලබා අවසන්. ඒ
ඊට පෙර වසරේදී. කොමික් ඉතිහාසයේ පැරණිම වීරයන් දෙදෙනා වන සුපර් මෑන් සහ බැට්මෑන්
තීරණාත්මක ලෙස වෙනස්වන්නේ සුපර්මෑන් සුපිරි බලයන් සහිත විනාශකල නොහැකි චරිතයක් වීම
සහ අනෙක් අතට බැට්මෑන් ශක්තිය, බුද්ධිය සහ සුචල්‍යතාව
අතින් සාමාන්‍ය පුද්ගලයෙකුට ඉහළින් සිටියත්, දිනය අවසානයේ
ඔහුත් මානුෂීය සීමාවන්ගෙන් පරිමිත මනුෂ්‍යයෙක් පමණක් වීමෙන්.
සුපර් මෑන්ට ඇත්තේ එක් දුර්ලභ දුර්වලතාවයක්
පමණයි. ඒ ක්‍රිප්ටොනයිට්. ඒ හැරෙන්නට සුපර්මෑන් පෘතුවිය මත අනභිබවනීයයි. එනිසාම
බොහෝ දුරට සුපර්මෑන් හා ප්‍රතිවාදීන් ලෙසට “Inter Galactic” දුෂ්ටයන්, වෙනත් තාරකා මණ්ඩල, වෙනත් විශ්වයන් වැනි පෘතුල අවකාශයක් නපුරේ උපත ලෙස, හඳුන්වාදීමට නිර්මාපකයන් හට සිදුවනවා. බැට්මෑන්, අනෙක් අතින් බොහෝ සුපිරි වීරයන් හා සංසංදනය කරන විට දුර්වල සහ භංගුර
වීරයෙක්. සිය උත්සාහයෙන් වර්ධනය කරගත් හැකියාවන් සහ සිය මූල්‍යමය තත්වය මත
ලබාගත හැකි නවීන තාක්ෂණික උවාරණ හැරුණු විට, විකිරණශීලී නිරාවරණයකින් එසේත් නැතිනම් පිටසක්වල උරුමයකින්
ලැබුනු සුපිරි බලයන්, අති මානුෂීය බලයන් ඔහුට නැහැ. මෙසේ ඔහු
සීමාවන්ට යටත් වන නිසාම ඔහුට ගතහැකි තීරණ වලද සීමාවන් පවතිනවා. උදාහරණයක් ලෙසට
ඔහුට හැමවිටම හැමදෙනාවම ආරක්ෂා කළ නොහැකියි. බොහෝ අවස්ථාවන්හිදී ඔහුට “බේරාගත යුත්තේ කවුද” යන ප්‍රශ්නයට පිළිතුරු
සපයාගන්නට සිදුවෙනවා.
සුපර්මෑන් චරිතය සමස්ත විශ්වයටම වීරයෙක් වන
විටකදී, බැට්මෑන් ජීවත් වන කොමික් විශ්වය තුළ ගොතම් නගරය
තුළට ලෝකය ඌනනය වීම තුලිනුත් මෙය පැහැදිලි වනවා. බැට්මෑන් ගේ සීමාවන් නිසා
බැට්මෑන්ට මුළු ලෝකයේම දුෂ්ටත්වයට එරෙහිව සටන් වදින වීරයකු වනු නොහැකියි. ඔහුට
ආරක්ෂකයකු විය හැක්කේ තම ක්ෂිතිජ සීමාවෙන් මෙපිටට පමණයි.
මේ නයින්ම බැට්මෑන් චරිතයට කළු සුදු
සන්දර්භයක පැවතීමට නොහැකි වනවා. බැට්මෑන් "සුදු" ලෙස හැඳින්වීම තුලින්
ඔහුව කියැවීම අසීරු වනවා. ඊට වඩා බැට්මෑන් "අළුපැහැ" සන්දර්භයක තබා
කියැවීම තුලින් බැට්මෑන් චරිතය පිටුපස පවතින වියමන කියැවීම වඩා පහසු වනවා.
මුල් වරට බැට්මෑන් චරිතය තුල ගලායන දාර්ශනික
වියමන සිනමාත්මක සන්දර්භයක තබා කියැවීමක් කරන්නේ ක්‍රිස්ටෝපර් නොලන්. ඒ ඔහුගේ
බැට්මෑන් චිත්‍රපට ත්‍රිත්වය තුලින්. මෙහිදී ක්‍රිස්ටෝපර් නොලන් අතින් සුපිරි
වීරයකුගේ ආලේඛණයකට වඩා ප්‍රති වීරයකුගේ මූර්තියක් නිර්මාණය වනවා.
බොහෝ විට අප තුළ පවතින සදාචාර නීතීන්ගේ
සීමාවන් සාපේක්ෂ වනවා. උදාහරණයක් ලෙසට ක්‍රිස්ටෝපර් නොලන්ගේ “Batman: The
Dark Knight” චිත්‍රපටය ගලායෑම සමඟින් ප්‍රේක්ෂකාගාරය
බලාපොරොත්තු වන්නේ බැට්මෑන් අතින් හෝ වෙනයම් වක්‍ර මාර්ගයකින් සිදුවන
"ජෝකර්" ගේ මරණය. ඒ තරමටම ජෝකර් ගොතම් නගරයටත්, ප්‍රේක්ෂක
චිත්ත සන්තානයන් තුළ පවතින ලෝකයේ සදාචාර සීමාවන්ටත් පීඩාවක් වනවා. එනමුත්, බැට්මෑන් හට ජෝකර්ව මරාදැමීම නොකල හැක්කක්. එය සදාචාරවත් ප්‍රේක්ෂකයන්
හට උභතෝකෝටික ගැටළුවක් වුවත් බැට්මෑන් විශ්වීය යුක්ති ධර්මතාවක් අනුගමනය කරනවා.
අනෙක් අතට බැට්මෑන් කළු සුදු සුපිරි
වීරයෙකුගේ ආකෘතියට ඌනනය කළ නොහැකි තැන් ද චිත්‍රපට ත්‍රිත්වය තුලින්ම හසුවනවා. “Batman
Begins” චිත්‍රපටය කූට ප්‍රාප්තියේදී, අවසන්
සටනේදී ඔහු Ra’s al Ghul හට පවසන්නේ “I won’t kill
you, but I don’t have to save you” ලෙසින්. එහිදී බැට්මෑන්
දුෂ්ටයා වුවද මරා දැමීම පිළිකෙව් කලත් ඔහුව බේරාගැනීමද එසේම ප්‍රතික්ෂේප කරනවා.
මෙවැනි තැන්, බැට්මෑන් තුළින් සුපිරි වීරයකුට වඩා ප්රතිවීරයකු
දර්ශනය කරනවා.
බැට්මෑන් කියැවීම තුලින් බොහෝවිට සරල
සදාචාරවාදී ආදර්ශයකට වඩා ගැඹුරු මතවාදයන් ඉස්මතු වන මුත් එය කියැවීම සඳහා අනෙක්
කොමික් සුපිරි වීරයන්ගේ චරිතද සාපේක්ෂව සහ සමාන්තරව කියැවීමට සිදුවෙනවා. කෙසේ
නමුත් මින් එක් දෙයක් පැහැදිලි වනවා. "සුපිරි වීරයෙකුට හැමවිටම පැවත්මක්
තිබෙන්නේ සුපිරි දුෂ්ටයකුගේ පැවැත්ම සමඟින්".
“Batman: The Dark Knight” චිත්‍රපටය
අවසානයේදී ජෝකර්, ගොතම් නගරයේ ධවල නයිට්වරයා, සදාචාරයේ සංකේතය, හාවි ඩෙන්ට් සංකේතාත්මකව තම
තත්වයට ඇද දමනවා. එනමුත් අවසානයේ ගොතම් නගරයේ අඳුරු නයිට්වරයා, බැට්මෑන් තමන්ව කිසිසේත්ම දූෂ්‍ය කල නොහැකි බව පෙන්වා සිටිනවා. ඒ ඔහු,
හාවි ඩෙන්ට් බැඳී සිටින සදාචාර සම්පන්න කොන්දේසි වලින් බැඳී
නොසිටින නිසාවෙන්මයි. බැට්මෑන් යනු ගොතම් නගරය අපේක්ෂා කරන සුපිරි වීරයා නොවන්නේත්,
එනමුත් බැට්මෑන් යනු ගොතම් නගරයට අවශ්‍ය කරන ප්රතිවීරයා වන්නේත්
මේ කියැවීම තුළින්මයි. බැට්මෑන් යනු තවත් ඩයොජිනීස් කෙනෙක්ද? ඒ ප්‍රශ්නයට පිළිතුර මේ වියමන තුළම පවතිනවා...
පැතුම් පුංචිහේවා