Tuesday, January 10, 2012

වැහි වැ‍ටුනු හවසක....

එකමත් එක කාලෙකදී, වැහි වැටෙන හවස් වරුවක Nusrat Fateh Ali Khan ගේ ගායනයකින් මත්වෙලා හිටි වෙලාවක, සුන්දර, විසල් ඇස් තිබුනු කාටදෝ කිව්වා මතකයි "වැස්ස කියන්නේ කවදාවත් එක් නොවෙන අහසේත් පොළවේත් සංවාසයේ උත්කර්ෂය" කියලා. අදත්, දූවිල්ල තෙමෙන කොට නැඟෙන අපූරු සුවඳත් එක්ක, නැවුම් අදහස් වපුරන්නට සරු පොළවක් තෙත් කරමින් වැස්ස වහිනවා... එදා වැස්ස නෙවෙයි අද. ඒත් අදත් Nusrat Fateh Ali Khan ගේ මෝහනීය ගායනය මාව මත් කරනවා..

 වැහි බින්දු පොළවට වැටෙන්නේ සිහින් සර නංවන මිණි ගෙඩි වගේ... තෙත පොළවේ කණට නෑහෙන, හිතට දැනෙන ස්වරයකින් ඒ පුංචි මිණි ගෙඩි නින්නාද වෙනවා... මට මතක් වෙනවා ඒ වගේ පුංචි මිණි ගෙඩි දහසක් එක විචිත්‍ර ස්වර මාධූර්‍යයක් නිර්මාණය කරමින් රාව ප්‍රතිරාව නැංවූ, අද වගේම වැහි ඇද වැටුනු සුන්දර හැන්දෑවක්... එදාත් සොඳුරු කථක් නර්තන වින්‍යාසයන් සමඟින් සුසංයෝග වුනු, Nusrat Fateh Ali Khan ගායනය සහ සුෆි සංගීතය අපූරු වශීකරණයක් වුනා... 

වේදිකාව අඩ අඳුරේ ගිලිලා.ඒ අඳුරේත් නිහඬතාවයේත් හැඟීම් කිතිකවන මොකක්දෝ ගුණයක් ගැබ්වෙලා කියලයි මට දැනුනේ. යථාර්තයත් විකාරරූපී මෘදු මායාවී දර්ශනත් අතර දෝලනය වුනු මගේ ධ්‍යානය විනිවිදිමින් වේදිකාව ඒකාලෝක වුනා. වෛවර්ණ කථක් නර්තන ආයිත්තමින් හැඩවුනු චාරුමත් නළඟනන්, ඔවුන්ගේ සුන්දර වළලුකර සිපගෙන සිටින ගිගිරි වැල් සිහින් සරින් නාද කරවමින් මුළු වේදිකාවමත්, මගේ සමස්ත වින්දනයත් ඔවුන්ගේ සොඳුරු ආධිපත්‍යයට නතු කරගෙන. 

කථක් නර්තන කලාවේ උපත සිදුවෙන්නේ උතුරු ඉන්දියාවේ... කථක් මූලාරම්භයන් දිව යනවා, පුරාතන උතුරු ඉන්දියානු සංචාරක කවියන් දක්වා... ඔවුන්ව හැඳින්වූයේ "කථක්", නැතිනම් කථා කාරයන් (Storytellers) නමින්... කථක් උපත ලබන්නේ දේවස්ථානයක හිඳ මිත්‍යා කථා, දේව කථා කියූ දුරාතීතයේ විසූ සංචාරක කවීන්, නැත්නම් කථා කරුවන් හරහා බව විශ්වාස කළ හැකි වනවා. මේ බව සඳහන් වන්නේ ඉන්දියානු ශුද්ධ ග්‍රන්ථයක් වන "නාට්‍ය ශාස්ත්‍ර" (Nātyaśāstra) හි. 

ඉන්දියාවේ ඉපැරණි අවාධි සංස්කෘතියේ යශෝධර උරුමයක් වන කථක් , එය තුළට සංයෝග වන සුවිශේෂී කථක් ප්‍රකාර දෙකක් සමඟින් අතුල්‍ය බවක් ලබා ගන්නවා, ඒ ආගම් භක්තියෙන් ආලම්බනය වුනු "ටෙම්පල් කථක්" සහ විදේශීය උරුමයක් සමඟින් විශිෂ්ටත්වයට පත්වන "දර්බාරි කථක්"... 

සු‍ෆි සංගීතය සහ කථක් කියන්නේ නර්තන රටා එකිනෙක හා නොවෙනස් ලෙස බැඳී පවතින බව මට හැමදාටමත් දැනුනු දෙයක්. ඉස්ලාම් දහමෙන් කැඩී වෙන්වුනු ගුප්ත අංකුරයක් වන සු‍ෆි දහම තුළ ‍රැඳුනු ගුප්ත සුඛ ප්‍රහර්ෂය, කථක් නර්තනය තුළිනුත් ඉස්මතු වනවා... 

ආයෙමත්, මුරුගසන් වරුසාවක ආකූල සංක්ෂෝභයේ සිට එකින් එක පොළවට දැනෙන නොදැනෙන සෙයින් ඇද හැලෙන හිරිපොද වැස්සක ශාන්ත නිසලතාවය දක්වා පරාසයක හඬ රූ, දෙපය බැඳි මිණි හැඬවෙන නදින් මවමින් කථක් නිළියන් වේදිකාව මත සුන්දර රංගනයක... රහ්මාන්ගේ දිල්ලි 6 චිත්‍රපට සංගීතයට, එකම කියැවීමක් තුල වෙනස් හැඟීම් එක්කරන්නට "කථක්" සමත් වෙලා... 

ඒ වැහි වැටෙන හවසත්, ඒ Nusrat Fateh Ali Khan ගේ විචිත්‍ර ගායනයත්, මෝහනීය සු‍ෆි සංගීතයත්, මගේ විකාරරූපී කල්පනාවනුත් එකම දිව්‍යම්‍ය ප්‍රහර්ෂයක් තුළට ඒකාත්මික වෙනවා... මෝක්ෂා සමරසූරිය ඇදුරුතුමියගේ කථක් නෘත්‍ය ප්‍රසංගය අවසානවෙනවා... වේදිකාව නැවතත අඳුරට මුහුවෙනවා.... මා ලෙස සිටි මිනිසා මියගොස් අළුත් චිත්ත පරම්පරාවක් උපත ලබනවා.... 



"Listen to the reed, how it complains
and tells a tale of separation pains.
"Ever since I was cut from the reed bed, my lament
has caused man and woman to moan.
I want a bosom torn my separation,
to explain the pain of longing.
Everyone who is far from his source
longs for the time of being united with it once more."

~ Jalal Al-Din Al-Rumi, "spiritual couplets"

තුති: ලිෂාන්, හෂිත අය්යා, සචී අක්කා