Thursday, September 19, 2013

හිමාලයා ප්‍රයාණය




හිමාලයා චිත්‍රපටයේ සංගීතය චිත්ත සන්තානයේ ආකූල ව්‍යාකූලත්වයන් සමනය කරනා මන්ත්‍රයක් වැනිය. හිමාලයා චිත්‍රපටයත්, එහි සංගීතයත් මාගේ ජීවිතය හා බැ‍ඳෙන්නේ පර්යාවලෝකයන් කිහිපයක් හරහායි. 2004 වසරේදී මුල්වරට හිමාලයා නැරඹීමෙන්, දුෂ්කර එහෙත් සුන්දර නේපාලය හා බැඳුණු ආදරය අදටත් එසේම පවතී. කෙදිනක හෝ චෙන්නායි තොටින් ඉන්දියාවට ගොඩ බැස කාලයක් දේශයක් සම්බන්ධයෙන් සිත උමතුකර නොගනිමින් හයිද්‍රාබාදය හරහා විශාකාපට්නම්, ඉරවඩි, රතන්පූර් හරහා තාගෝරයන්ගේ කාව්‍යයන් තවමත් ‍රැව් දෙන බව සිතෙනා බෙංගාලයේ සැරිසරන්නටත්, එතැනින් දහසක් සංස්කෘතික වර්ණයන්ගෙන් ආඪ්‍යව ගංගා ගං ඉවුරු අසබඩ වැජඹෙන වරණාසියටත්, එතැනින් නේපාලයටත් චාරිකා කිරීම තවමත් මිය යාමට පෙර කළ යුතු වැඩ ලැයිස්තුවේ පවතී. ජීවිතයට මා ඇඳ බැඳ තබනා හුය පොට කිහිපයෙන් එකක් වැනි වූ ඒ සිහිනය කාලයෙන් කාලයට වර්ණවත්ව, ප්‍රබලව හිතට නැගෙන්නේ හෂිත අය්යා සමඟ කරනා නිමක් නැති සාකච්ඡා අතරිනුත්, මටත් නොදැනී හිතේ ඇසෙනා තරමට ඇඟට කා වැදී ඇති හිමාලයා සංගීතයත්, මගේ නේපාල මිතුරිය සවූර් ගංගා ගේ වර්ණනාවනුත් තුළින් බැව් නොඅනුමානයි.

නේපාලයේ මේ වනවිට හින්දු සමය පැතිරී තිබේ. ලොව පුරා හින්දු බැතිමතුන් තම ශුද්ධ වූ වන්දනා ගමනක අවසානය සේ ‍තෝරාගන්නා ශිව දෙවිට පිදූ පශුපතිනාත් කෝවිල කත්මණ්ඩු නුවර භගමතී නදී ඉවුරුබඩ පිහිටා තිබෙයි. කිරාති මුන්දුම්, ක්‍රිස්තියානිය සහ ජෛනාගමද සුළු වශයෙන් නේපාලයේ පැතිරී තිබුණත්, බුදුන් උපන් දේශය වූ නේපාලයේ ප්‍රධාන බෞද්ධ ධාරාවන් ත්‍රිත්වයක් තවමත් පවතියි. එය එසේ වුවත් නේපාලය සමගින් සෑමවිටම මහායානය සිතට එන්නේ හෂිත අය්යාගේ රසවතිය සටහන් කියැවීමෙන්දැයි නොදනිමි. හිමාලයා සංගීතය අසනා විටක වුවත්, හිමෙන් වැසුණු දුර්ගම හිමාලයානු කඳු ශිඛරයන් අතුරින් චෙන්රසී, මිලාරෙපා, කුවන් යින්, තාරා, ටන්කා මතුවී එයි. බෘයිනෝ කුලේ (Bruno Coulais) ගේ සංගීතය අතුරින් ඕම් මනි පද්මෙ හුම් මන්ත්‍රය සංගීතවත්ව ඇසෙයි. 

අත් සතරක් ඇති ෂඩක්ශාරී වෙස් ගත් අවලෝකිතේශ්වරයන්ගේ නාමය සමගින් කියැවෙන ඕම් මනි පද්මෙ හුම් සංස්කෘත මන්ත්‍රය ගැන මගේ හිතේ තිබූ බලවත් හැඟීම, දකුණතේ මැණික්ක‍ටුව අසල ඕම්කාරය සහ පද්ම මණ්ඩලය කැටයම් කිරීමෙන් පසුවවත් නැති නොවුණි.

ප්‍රඥා අධිගමය යනු තමන්ගේම සිතයි.
තමන්ගේ සිතේ ස්වභාවය වටහාගන්නවුන් එය දනියි.
තව දුරටත් එපිටින් සම්බෝධිය නොසොයන්න,
සැබවින්ම කියනවා නම් සම්බෝධිය සෙවීමෙන් ලැබ ගත නොහැකි වෙයි.
නුඹ, නුඹගේම සිත විමසා බලන්න,
ඒ ප්‍රගුණ කළ හැකි ඉහලම භාවනාවයි;
පරිසමාප්ත අවබෝධය ලබාගත් සිතක් වේ නම්,
සම්බෝධියට පත්වූ සැමගේ උපන් බිමද එයම වෙයි.

වජ්‍රධාර අධිගම ලද මිලාරෙපා එසේ පවසා සිටී. මගේ සිතේ මේ මොහොතේ ඇති ව්‍යාකූලත්වය මිලාරෙපා යුග ගණනාවකට පෙර සිට දක්නට ඇති සෙයකි. අජරාමර වීමේ රහස සොයා දේශ දේශාන්තරයන්ගේ ඇවිද ගිය ගල් වඳුරා, සුන් වුකොන්ග් මෙන් මමද හිමාලයා සංගීතය සමගින් විමුක්තිය සොයා ඉබාගාතේ මොහොතකට ඇවිද යමි.
ඒ පී ගුණරත්නයන් අතින් පරිවර්තනය වූ වානරයාගේ පුරාවෘත්තයේ හැටියට සිරිතල පර්වතයේදී වානර ට මුණ ගැසෙනා දුප්පත් දර කපන්නාගේ ගීතය මට සිහිපත් වෙයි.

උපා නොසොයමි, පියෝ නොයොදමි ලොවේ නිදි පැසසුම් සමයි
සැහැල්ලුයි දිවි සැහැල්ලුයි හද දුක් තැවුල් කිසිවක් නොවෙයි
හැමදෙනා මට හමුවෙනා මග නිවී සැනහී ගිය අයයි
නිසල සඟ ගණ, හසළ මුණි බණ මේ නිසා අජරාමරයි

හෂිත අය්යා දුන් "මීටින්ග් ද බුද්ධාස්" හි බුද්ධ චරිතය සම්බන්ධයෙන් එහි කතුවරයා, ‘වෙස්සන්තර ලියනා කෙටි සටහන් කිහිපය මගේ සිතේ ඇඳි ශාක්‍යමුණි සම්බන්ධයෙන් නැවත නැවතත් සනාථ කර සිටියි. තවත් මා වැනිම මිනිසෙකු වූ, පෙළහර නොපාන, අහසේ පළක් බැඳ භාවනා නොකළ, එහෙත් සම්බෝධිය සොයා සියල්ල අතැර දැමීමට තරම් ශ්‍රේෂ්ඨ වූ ශාක්‍යමුණීන්ද්‍රයන්, ඔහුගේ පියවර අනුගමනය කිරීමට මා පොළොඹවා සිටී. සුද්ධෝදනයන් විසින් සිද්ධාර්ථයන්ගෙන් ජීවිතයේ යථා ස්වභාවය වැසැංගීමට කටයුතු නොකලේ නම්, කෙදිනක හෝ අභිනිෂ්ක්‍රමණයක් සිදුවන්නට ඉඩක් තිබුනා දැයි මම මවිත වෙමි. යශෝධරාවටත් රාහුලයන්ටත් තිබූ අප්‍රමාණ ඇල්මම සිදුහතුන්ගේ අභිනිෂ්ක්‍රමණය ඉක්මන් කළ බැව් මට වැටහෙයි.
දෙසැත්තෑවක් පරිවර්තන ගත හැකිවූ, අජරාමරත්වය ලඟාකොටගත් වානර මුණිටත් ලෞකික ජීවිතයේ නිස්සාරත්වය වටහා ගැනීමට පුරාවෘත්තයක කාලයක් ගත වුණි. පුහුදුන් මටද ශාක්‍යමුණීන්ද්‍රයන් ඇවිද ගිය මඟ අනුගමනය සඳහා මගේ කෙටි ජීවිත කාලයම ගතවනු ඇත. හිමාලයා සංගීතය අවසාන ඛණ්ඩයද වියැකී යයි. රාත්‍රී නිශ්ශබ්දතාවය තුළින් මට පින්ක් ෆ්ලොයිඩ් ඇසෙයි.

ඔබ මෙතැන සිටියානම්...

"අපි දෙන්නා මාළු දෙන්නෙක්ට ඉන්න පුළුවන් පොඩි බඳුනක අවු‍රුද්දෙන් අවු‍රුද්දට පිහිනමින් ඉන්න අතරමං වුණු ජීවිත දෙකක් විතරයි."
~
පින්ක් ෆ්ලොයිඩ්

පැතුම් පුංචිහේවා

රසවතියට: rasawathiya.blogspot.com



(photo courtesy:  toutlecine.com)