Friday, June 15, 2012

Amor Fati


"දිව්‍යලෝකයේ ඇස්...". නොදන්නා ලෝකයක ඉම් සොයා නිර්භීත චාරිකාවන්ගේ නිරත වනු අතීත හවායි සේලරැවන්, නි‍රැවත් රාත්‍රී ආකාශයේ අපිළිවෙලට විසිරැණු තාරකා හැඳින්වූයේ එහෙමයි. "තාරකා කියන්නේ දිව්‍යලෝකයේ ඇස්..." තාරකා, නිහඬව, ගුප්තව පහල ලෝකයේ සිදුවෙන හැමදේම දෙස බලා සිටින බව ඔවුන් විශ්වාස කලා...

අනන්ත තරැ පිරි අහසක් යට වැතිරිලා ඉහළාකාශයේ නිශ්ශබ්ද ආලෝක පුංජයන් අතර අරමුණක් නැති රටාවන් අධ්‍යයනය කිරීම, ඕනෑම මනුෂ්‍යයෙක්ගේ අවිඥාණයේ සැඟවිලා තිබෙන ආශාවක්. නියැන්ඩතාල් මානවයාගේ සිට අද දක්වාම සෑම මනුෂ්‍යයෙකුම තමන්ගේ හිසට ඉහලින් විහිදී පැතිරී ඇති අනන්තාපරිමිත විශ්වය දෙස විස්මයෙන් බලා හිටියා.

නොදන්නා ඉමක් දක්වා විහිදුනු තරැ පිරි අහසක් හැමවිටම මිනිස් චිත්ත සන්තානයේ අසීමිත නිදහස පිළිබඳ තියුණු හැඟීමක් ඇතිකරවනවා. ජීවිත කාලයකට නොහිතන දාර්ශනික ප්‍රශ්න අහන්නට බල කරනවා. තමන් ලෙස ජීවත් වන මනුෂ්‍ය ප්‍රාණියා කවුරැන්ද, ඔහු ආවේ කොහි සිටද කියා මවිත වන්නට බල කරනවා. මොහොතකට, ඔබ විශ්වයේ කේන්ද්‍රය බවට වන මායාකාරී නිර්වචනයක ඔබව අතරමං කරවනවා....

මම උත්සාහ කරමින් හිටියේ අතීත මිනිසුන් තරැ අතර දු‍ටු යශෝධර හැඟීම අත්විඳින්නට. මේ තාරකා අතර තවත් කොහේ හෝ ජීවයේ ගිනි පුළිඟු පහළ වී ඇත්ද කියා මම පුදුම වුනා. ඒ මොහොතේදී මම දැක්කා, තරැ පොකුරක ඈත කොනක හුදකලාව තිබුනු තරැවක් එක් මොහොතකට දීප්තියෙන් දැල්වී නිවී යනවා... සමහරවිට මම ඒ දකින්න ඇත්තේ තරැවක මියයාම. සුපර්නෝවා පිපිරීමක්. වසර මිලියන ගණනාවක් සෙමින් දැවෙමින් දීප්තියෙන් දැල්වුනු වෙහෙසට පත් දැවැන්ත තාරකාවක්, මිනිසා දන්නා, නොදන්නා සියළුම මූලද්‍රව්‍ය නිර්මාණය කරමින් තමන් තුළටම කඩා වැටෙනවා. අති මහත් ශක්තියකින් තමන් තුළටම පුපුරා යනවා. දෘෂ්ඨි මායාවක් බවට ස්ථිර හැඟීමක් තිබුනත් අඩු තරමේ මම විශ්වාස කරන්න කැමති වුනා ඒ මම දකින්නේ තාරකාවක මියයාම බව.

ඒ මොහොතේ දී, මට සිහිපත් වුනා මම බලා සිටින්නේ අතීතය දෙස බව. රාත්‍රී ආකාශය දෙසට ඔබ නෙත් හරවන ඔබ හැමවිටම දකින්නේ අතීතය. සමහරවිට වසර මිලියන ගණනක අතීතය. ඔබ බලාසිටින්නේ අභ්‍යවකාශ සුසාන භූමියක් දෙස. දීප්තිමත්ව ඔබේ ඇස් ඉදිරිපිට දැල්වෙන තාරකාවක් මේ වනවිට මිය ගොස් ඇතිවා වෙන්නට පුළුවන්.

ග්‍රීක, ඊජිප්තු, ස්කැන්ඩිනේවියානු මිත්‍යා කථාන්තර වල ජීවත්වුනු වීරයන් මනුෂ්‍ය ලෝකයේ තමන්ගේ වීර චාරිකාවන් අවසන් කලාට පසුව, දෙවිවරැන් ඔවුන්ව අහසේ සදහටම දීප්තිමත් තාරකා ලෙස සටහන් කරනවා. පර්සියුස් සහ ඇන්ඩ්‍රොමීඩා, එලෙස ග්‍රීක දෙවිවරැන් විසින් අහසේ තරැ රටා ලෙස සටහන් කර තැබුවා. මෙහි අර්ථය ඔවුන් සදාකාලික බව. අතීත ශිෂ්ඨාචාරයන්ගේ විශ්වාසය වූයේ අහසේ දිදුලන තරැ, සදාකාලික බව... සදාතනිකත්වය හැමදාකමත් මිනිසාගේ අවිඥාණයේ සැඟවුනු ප්‍රාර්ථනාවක් වූවා.

"සදාතනික කිසිවක් නැහැ..."අතීතයේ මියගොස් තවමත් අහසේ දීප්තිමත්ව ගිනිගෙන දැවෙන තරැ, නිහඬවම පවසනවා. “Memento Moriමම ඉහලාකාශයේ විසිරැණු තරැ රටාවන්ට මිමිණුවා...මතක තබාගනු, දිනක ඔබ මිය යනු ඇත..."




"The Starry Night". Vince Van Gogh