Wednesday, August 11, 2010

මුහුදු කින්නර ගී හඬ...


රැළි බිඳෙන මුහුදු වෙරළකට හඳ එළිය වැටිලා තියෙනකොට හරි ලස්සනයි, හරි රොමැන්ටික් කියලා මම පොඩි කාලෙත් කථා පොතක කියවලා තිබුනා. හැබැයි එදා දවස වෙනකල්ම මම දැනගෙන හිටියේ නැහැ ඒ පොත් වල විස්තර කරලා තිබුනු විදියේ මුහුදු වෙරළක් ඒ තරමටම ලස්සනයි කියලා... ඔව්.. එදාත් ලස්සනට හඳ පායලා, හඳ එළිය වෙරළ පුරා අනේක රටා මවමින් තිබුනේ... වෙරළ පේන තෙක් මානයටම හිටියේ මාත් ඈත් විතරයි. ඈ, ඈතින් ඈත රිදීපාටට දිලිසෙන මුහුදු තරංග දිහා බලාගෙන ඉන්නකොට මම ඇගේ කණට මුමුණලා කිවුවා අවුරුදු ගණනාවකට කලින් මම මුහුදු වෙරළක තනි වෙලා ඉන්නකොට ලියපු කවි කීපයක්......




නිල්වන් රළ තරඟ මතින්
සුදු පැහැ පෙණ කැටි බිඳේ
වෙරල සිපින්නට පැනවිත්
නැවතත් දියඹට ඇදේ....

බැසයන මළ හිරු රස් වැද
නෙකවන් සිතුවම් මැවේ
ඒ සිතුවම් මැද තී රුව
ඇඳී තිබෙනු සේ පෙනේ....

ඈත දියඹ දෙසට ඇදෙන
ඔරුවක තනිවී මෙමා
ලිහිණි ගීත අසා සිටිමි
තිගෙ රුව සිහි කරමිනා....

තිගෙ සුවඳින් පිරුණු සුසුම්
සුලඟින් මා වෙත ඇදේ
ඒ විඳිනට නොහැකියි මට
ලුණු සුවඳින් සිත පිරේ....

තිගේ සිතේ මට ඇති පෙම
ගීතයකට අමුණලා...
එවපන් සුළඟේ පා කර
ඉන්නම් ඔරුවට වෙලා...

දනිමි දනිමි තී සිත ගැන
හැපී බිඳෙන රළ වැනී
එහෙත් තිගෙන් සිත නොමිදෙයි
තිට බැඳි පෙම නැත මැකී....

ජීවන රල තරඟ මතින්
සුන්බුන් වුවහොත් මෙමා
රැකගනු මැන මගේ මතක
තී සිත මුල්ලක මනා......

වෙරළේ තී දකිනු රිසින්
නෙත් සිත් දෙක වෙහෙසමී
විහිළු කරයි කිඳුරන් මට
තී ගැන මුමුණනු ඇසී......

පෙරළී එන රළ අතරින්
එන්නෙමි මම වහ වහා
සිටිනු මැනව මා සොඳුරිය
දියඹ දෙසට නෙත් යොමා......


මුහුදු වෙරළක ඉන්නකොට දැනෙන මුහුදු රළත්, මුහුදු හුළඟත් එක්ක මිශ්‍ර වුනු ඒ අපූරු හැගීමට වශීකෘත වුනු එකම කෙනා මම වෙන්න බැහැ. පේන තෙක් මානයක කවුරුවත් නැති හඳ එලියෙන් නැහැවුනු මුහුදු වෙරළක... ලුණු මිශ්‍ර හුළඟ විඳිමින්, රල නැගෙන හඬ අහමින් ඔරු කඳක් උඩට වෙලා ගිටාරය වයමින් නිශ්චලත්වයේ සත්සර රටා මවන එක සුරංගනා කථාවක් තරමටම ලස්සනයි... මුහුදු හුළඟින් දඟ කරන කෙහෙ රැලි රඳවා ගන්නට උත්සාහ කරමින්, ප්‍රේමනීය දෑසින් බලාගෙන ඒ සුරංගනා කථාව බෙදා ගන්න කෙනෙක් ඉන්නවනම් ඒ කථාව තවත් ලස්සනයි...  ඒ නැතත් හුළඟට මුසු වුනු ඒ ගී හඬට ඇහුම්කන් දෙන මිනිස්සු හිතේ බර පොදි මොහොතකට පැත්තකින් තියලා හිත සැහැල්ලුවෙන් නිදා ගනීවි. මිනිස්සු කියයි ඒ මුහුදු කින්නරයන්ගේ ගී හඬ කියලා... හිපියෙක් හැමතිස්සේම ආශා කරන දේවල් දෙකක් තමයි හුදකලාවේ රැඳී තියෙන සාමය සහ හිත වසඟ කරන සුරංගනා කථාවක්...!


මේ කවි වලට අවුරුදු දහයකටත් වඩා වයස වෙලා...එදාත් අදත් මුහුදු වෙරළේ වෙනසක් නැහැ.. ඒ හඳ එළියමයි අදත් නලියන රල පෙළ අතරින් රිදී පාට රටා මවන්නේ... මේ කවි ලියනකොටත් මම හිටියේ මුහුදු වෙරළේ තනියම... අද ඒ කවි මම මතක් කරන්නෙත් මුහුදු වෙරළේ තනියම... 


Thursday, August 5, 2010

ඇයි වෙරෝනිකාට ජීවිතේ එපා වුනේ... වෙරෝනිකා... දැන් මටත් පිස්සු!

පිස්සන් කොටු... ඒ සාමාන්‍ය ව්‍යවහාර භාෂාවෙන්... හරියටම කියනවා නම් මානසික ආරෝග්‍ය ශාලා... මොකටද ඒවා තියෙන්නේ? ලේසියෙන්ම කියන්න පුළුවන් පිස්සන්ව දාන්න කියලා... (අපි මේ මොහොතේ පිස්සාව නිර්වචනය නොකර ඉමු) ඇත්තටම් මානසික ආරෝග්‍ය ශාලා තියෙන්නේ පිස්සන්ව ගාල් කරලා තියන්නද? දැන් එහෙම පිස්සන්ව කොටු කරලා තියෙන උන්මත්තකාගාර (asylum) නැහැ.. පිස්සොත් නැහැ. දැන් ඉන්නේ මානසික රෝගීන්, තියෙන්නේ මානසික ආරෝග්‍ය ශාලා... ඔවුන්ව සුවපත් කරන්න. අඩු තරමේ මිනිස්සු Lunatic කියන වචනේ ගැන එහෙම කථා කරන එකත් සමාජ විපර්යාසයක් කියන්න පුළුවන්.

මට එකවතාවකට වඩා අත්දැකීම් තියෙනවා මිනිස්සු "පිස්සෙක්" විදියට මාව හඳුන්වලා. ඒත් ඒ හැඳින්වීම වෙනස්. කවුරුවත් මාව මානසික ආරෝග්‍ය ශාලාවකට යවන්න ඕන කියලා හිතුවේ නැතත් මට සාමාන්‍ය මිනිස්සුන්ට වඩා පිස්සු කියලා නම් කියලා තියෙනවා, මට නෑහෙන්න ඒ ගැන සඳහන් කරන්න තරම් සමහර අය කරුණාවන්ත වුනා. කවුද කියන්නේ මිනිස්සු කුරිරුයි කියලා...!

මම, මේ සමාජයෙන් වෙන්කරලා තියෙන පිස්සන් සහ සමාජගත පිස්සන් ගැන පුදුම වෙන්න පටන් ගත්ත කාලයේම තමයි වෙරෝනිකා ඕනවට වැඩියෙන් නිදිපෙති අරගෙන දිවි නසා ගන්න තීරණය කරන්නේ. වෙරෝනිකාට තිබුනු ප්‍රශ්නය සඟරාවක "Where is Slovenia?" කියලා ලිපියක් පළවීම කියලා ඇය තමන්ගේ ක්‍රියාව සාධාරණීකරණය කළත් ඇත්ත හේතුව අපි හැමෝම දැනගත්තා තප්පර කෑල්ලක් ගතවෙන්නත් කලින්. වෙරෝනිකාට ඔක්කොම එපා වෙලා තිබුනේ. හරියටම කියනවා නම් ජීවත් වෙන එක මහාම මහා කම්මැලි වැඩක් වෙලා තිබුනේ. මට හරියටම වෙරෝනිකා තේරුම් ගන්න පුළුවන් වුනා මටත් ජීවිතේ කම්මැලි කම දැනිලා, ජීවත් වුනා ඇති කියලා හිතුනු අවස්ථා තිබුනු නිසා...කොහොම වුනත් මම හොයාගෙන තිබුනා ජීවත් වෙන එක කම්මැලි නොවෙන්න දෙයක්... හැමදාම උදේට මතක් කරගත්තොත් අද හවසට මැරෙන්නත් පුළුවන් කියලා, ඔන්න එක පාරටම ජීවිතේ හැංගිලා තිබුනු වර්ණ පේන්න ගන්නවා. එකපාරටම ආශ්චර්‍යයකින් වගේ ජීවිතේ වටිනා දෙයක් කියලා හිතෙන්න ගන්නවා. මැරෙන්නෙ කලින් ජීවිතේ කරන්න තියෙන හැමදේම කරන්න ඕන කියන හැඟීම නිසා අපූරු වින්දනයක් ජීවිතේ පුරාම ගලායන්න පටන් ගන්නවා... හැබැයි මේ අදහස එක පාරටම පිළිගන්න ඉක්මන් වෙන්න එපා. අමතකද... මිනිස්සු මට පිස්සු කියලත් කියනවා. සමහර විට පාවුලෝ කොයියෝ ටත් මිනිස්සු එහෙම කියන්න ඇති...

දවසක් මට පාරෙදි මුණගැහුනු මනුස්සයෙක් අපූරු කථාවක් කිවුවා... 'රටේ ඉන්න පිස්සෝ ඔක්කොම එකතැනකට ගාල් කරලා කන්න බොන්න දෙන්න ගියොත් රටේ ආර්ථිකයත් කඩාවැටෙන්න ගනිවි, රටක් ඉතිරි වෙන එකකුත් නැහැ. ඒ නිසා ලේසිම ක්‍රමය තමයි හොඳ සිහියෙන් ඉන්න අයව කොටු කරලා, වෙන් කරලා පිස්සෝ ටික නිදහස් කරලා තියන එක.  ප්‍රශ්නේ ඉවරයිනේ. කොටු කරලා ඉන්න අයට පිස්සෝ කිවුවත්, මානසික රෝගීන් කිවුවත් දෙකම කිවුවත් වෙනසක් වෙන්නේ නැහැනේ."

මතක තියාගන්න, සම්මතය හැමවිටම සාපේක්ෂයි. මට මේ කථාව කිවුවෙත් සමාජ සම්මතයට අනුව පිස්සෙක්... හරියටම කිවුවොත් මානසික ආරෝග්‍ය ශාලාවකින් පැනලා ඇවිත් ගමේ යන කෙනෙක්... එයා කිවුවෙත් "මට තාමත් පිස්සු මහත්තයෝ" කියලා... සමහරවිට මේ කතාව ලියන්නේත් සමාජ සම්මත ප්‍රමිතීන්ට අනුව පිස්සෙක්... කෝකත් එකයි.. අද හවස ගෙදර යන්න කලින් මම මැරෙන්න සම්භාවිතාවක් තියෙන නිසා ජීවිතේ පුදුමාකාර ලස්සනයි...!!!